ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයේ අනූ වැනි සැතපුම් කණුව අභියස සිය ගායන පෞරුෂය සක්‍රීයව රඳවා ගැනිමට සමත් වීම අසාමන්‍ය වූද දුර්ලභ වූද විශ්මයජනක සංසිද්ධියකි. ඒ භාග්‍ය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයේ කිසිදු ගායන ශිල්පිනියක හෝ ශිල්පියෙකු මෙතෙක් නොලද ආශිර්වාදයකි. ඒ ආශිර්වාදයේ හිමිකාරිය එළැඹෙන නොවැම්බර් 11 වැනි දින සිය ජිවන ගමනේ අනු දෙවෙනි සැතපුම් කණුවට පා තබන්නීය. ඇය පුරා වසර 80කට ආසන්න කාල පරාසයක් පුරා එදා ගුවන් විදුලියේ ග්රැමෆෝන් තැටියට ගැයූ ස්වර පරාසයෙන් යුක්තව මනෝ රම්‍ය වූ හඬින් ගී ගැයූ ප්‍රතිහාපූර්ණ ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොලය.
ලතා සිය ගායන කෞශල්‍යා දෝතට තිළිණ කර ගනිමින් මෙළොව එළිය දුටු ප්‍රතිභා පූර්ණ ගායිකාවකි. ඇගේ මියුරු හඬින් සංගීත ක්ෂේත්රය ප්‍රසංග වේදිකාව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් පෑ පෙළහර අසීමිතය. ඇගේ ගායන දිවියේ ආගමනය ගල්කිස්ස සාන්ත අන්තෝනි දේවස්ථානයේ ගායනා කණ්ඩායමයි. එදා සිය මවගේ සුරතේ දැවටී දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගි වූ ඇය ලතින් බසින් ගැයුනු ගීතිකා තමන්ට හැකි අයුරින් උච්ච ස්වරයෙන් ගයද්දී ඇයගේ වයස අවුරුදු හතරක් පමණ විය අම්මේ පල්ලි යං නිතරම මවට කළ ඇවටිල්ලට හේතුව වුයේ දේවස්ථානයේ ගීතිකා ගායනා කිරීමට ඈ කෙරෙහි තිබූ අසීමිත ඇල්මය
ඒ ආශාව සාක්ෂාත් වුයේ කන්තාරු කණ්ඩායමේ සිටි ළාබාලතම සාමාජිකාව බවට ඇය පත් වෙමිනි. අනිකුත් සාමාජිකාවන් අබිබවා ඇගේ හඬෙහි පැවති මිහිරියාව නිසා කන්තාරු කණ්ඩායමට ලැබුණේ ද ආලෝකයකි. පුංචි ලතා දැරිවියට කාඩිනල් තෝමස් කුරේ හිමිපාණන් අතින් ත්‍යාගයක් ලෙස ශුද්ධ වූ බයිබලයක් ද පිරිනැමුණි.
ලතා හා පුරා කියා ගුවන් විදුලියට ගැයුවේ කඳුළු දෙනතේ වෑහෙනා නමැති යුග ගීතයයි. එය රචනා කළේ සරත් විමලවීරය. එඩ්වඩි පෙරේරා සංගීතවත් කළ මෙම යුග ගීතය ඇය වින්සන් ද අල්විස් සමඟ ගයන ලද්දේ 1947 දිය.
ලතා ගුවන් විදුලියට තැටි ගත කළ ප්‍රථම ඒකල ගීතය වූයේ නමෝ මරියනී ගීතය තැටිගත කළේ ද 1947 වසෙර්ය. එවකට ඇය පසු වූයේ දහතුන් වැනි වියේය. කොළඹ ආනන්ද විදුහලේ බෞද්ධ ගුරුවරයකු වූ කාලිදාස කුරුකුලසුරිය රචනා කළ එම ගීතය ලතාගේ හඬින් වැඩිම වාර ගණනාවක් ගැයුණු ගීතයයි. ඒ කොලොම්බියා තැටියටය. තැටිගත වූ මෙම ගීතය අතිශයින් ජනපි‍්‍රය වූ අතර එම තැටිය ලක්ෂ ගණනින් අලෙවි වීම හේතුවෙන් විය එයින් සතුටට පත් වූ මිලර්ස් සමාගමේ අධිපති නමෝ මරියනි ගීතය වෙනුවෙන් කර්තෘ භාගය පවා ලතාට ගෙවීමට තීරණය කළේය. ගීතිකා කණ්ඩායමෙන් ලද පරිචය නිසා බටහිර ආභාසයෙන් පොහොණි වූ ඇගේ ගායන කෞශල්‍යය සරල ගී ගායනයට උචිත හඬක් බවට පත් කළේ ප්‍රවීණ සංගීතවේදී සුසිල් පේ‍්‍රමරත්නය, රීටා ජෙනවි ප්‍රනාන්දු ගේ භෞතිස්ම නාමය ලතා බවට පත් කළේ ද සුසිල් ප්‍රේමරත්නයන්ය. සුසිල් ලතා සුසංයෝගයෙන් බිහි වූ චමත්කාර ගීත අතර මිහිරි සුවඳ විහිදුවා රන්වන් කරලින් පැසිලා රූ රැස්සේ අඳිනා ලෙසේ කළු කැලණි නදී නංවමු ශ්‍රී ලංකා ආදි ගිත වත්මන් ශ්‍රාවකයන්ට පවා මනාව ගැළපේ.
සී.ටී. ප්‍රනාන්දු ලතා සුසංයෝගයෙන් ගැයුණු ගී අතර ලෝ අඩ නින්දේ, මල්බර හිමි ඉදිරියේ, සැළලිහිණි කොවුල් ආදී ගීත ගුවන් විදුලි ඒ සරල ගී වැඩසටහන් සහ කොලුම්බියා තැටි සමාගමටත් ගැයූ ජනපි‍්‍රය ගීත ලෙස හැඳින්විය හැකිය. කොලොම්බියා තැටි සමාගමට සහ එච්.එම්. වී. සමාගම යන ද්විත්වයටම ගීත ගායනා කිරිමේ විරල වරම් ලැබූ ගායිකාව වූයේ ද ලතා වල්පොලය.
