ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මුණ ගැසිමත් මගේ රංගන ජිවිතයේ එක්තරා අන්දමක සුවිශේෂී සන්ධිස්ථානයක්. මම රිදි නිම්නය චිත්‍රපටයේ වැඩ කරමින් ඉන්න අතරතුර තමයි මට ලෙස්ටර් පීරිස්ව මුණ ගැහෙන්නේ. අම්මා මාව ලෙස්ටර් පීරිස් මුණ ගස්සවන්න ඔහුගේ ගෙදරට එක්කරගෙන යනවා. මට මතකයි ඒ යනකොට මගේ ඡායාරූප තුනකුත් අරගෙන ගියා. කොළඹ ඩික්මන් පාරේ පිහිටි ඔහුගේ නිවස අපේ අම්මට හොඳට හුරු පුරුදු තැනක්. අම්මා නිළියක් වෙන්න ආස කාලේ මේ නිවස හොයාගෙන ඇවිත් තිබුණේ අපි නාවලපිටියේ ඉන්නකාලේ. ඒ වෙනකොටත් අම්මට අපි තුන්දෙනාම ලැබිලා. අම්මා කෝච්චියේ නැගලා කොළඹට ඇවිත් ඩික්මන් පාරේ ලෙකස්ටර් පීරිස් ගේ ගේ හොයාගෙන ඇවිත් තිබුණා. ලෙස්ටර් පීරිස් චිත්‍රපටයකට නිළියන් හොයනවා කියන ආරංචියට තමයි අම්මා ඒ දවස්වල මේ විදියට ගේ හොයාගෙන ඇවිත් තිබුණේ.
එහෙම ආව දවසක ගාමිණි ෆොන්සේකා මහත්මයාත් ලෙස්ටර් පීරිස් මහතාගේ ගෙදර ආවා කියලා අම්මා මාත් එක්ක කියලා තිබුණා මට මතකයි. ලෙස්ටර් මහත්මයා එක්ක කතා බස් කරලා අම්මා නැවත ගෙදර යන්න ඩික්මන් පාරේ බස් නැවතුමට වෙලා බස් එකක් එනතුරු එනකම් ඉන්නවිට ගාමිණි ෆොන්සේකා මහතා සපෝර්ට් කාර් එකකින් ආවලු. අම්මා බස් හෝල්ට් එකේ ඉන්නවා දැකලා කාරෙක නතර කරලා අම්මට කතා කරලා කොටුවට බැස්සුවලු කියලා අම්මා ඒ දවස්වල කියනවා මම අහලා තියෙනවා. ඒවගේම තමයි ලෙස්ටර් පීරිස් ගේ ගෙදරදි ඉන්දිය චිත්‍රපට අධ්යක්ෂ පී නිලකණ්ඨන් අම්මවා දැකලා තිබෙනවා. අම්මා දැකපු ගමන් එයා අම්මා දිහා බලාගෙන ඉඳලා මෙහෙම කිව්වලු.
‘ඔයාව දැක්කම මට මතක් වෙන්නේ අපේ රටේ වෛජයන්තිමාලාව….
ඇත්තටම කිව්වොත් අම්මා ඒකාලේ වෛජන්තිමාලා වගේම ලස්සනයි තමයි.
අම්මා මාව ලෙස්ටර් පීරිස් ළඟට ගෙනියන කාලේ ඔහු ප්‍රවීණ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නවකතාව ඇසුරින් චිත්‍රපටයක් කරන්න සුදානමක් තිබුණා. ඒ වගේම ඔහු ලෙනාඩ් වුල්ෆ් ගේ විලේජ් ඉන්ද ජන්ගල් කාතිය ඇසුරින් ‘බැද්දේගම’ කරන්නත් සුදානමක් තිබුණා. මට ලෙස්ටර් පිරිස් මුණ ගැසුණට පස්සේ එතැනදි දැනගන්න ලැබුණේ මාව එක්කෝ විරාගයේ ‘බති‘ ට කාස්ට් කරනවා, නැතහොත් බැද්දේගම චිත්‍රපටයට කාස්ට් කරනවා කියලයි.
මට අදවගේ මතකයි ඩික්මන් පාරේ ලෙස්ටර් පීරිස් ගේ ගෙදරට ඇතුළු වුණාම දකුණු පැත්තේ තිබුණු කාමරයට තමයි අම්මයි මමයි මුලින්ම ගියේ. ලෙස්ටර් පීරිස් ෆුල් සුට් ඇඳලා මේසේ ළඟ වාඩිවෙලා හිටියා. ඔහු ඉතාම සුහද පිළිගැනිමක් අම්මටයි මටයි දුන්නා. හුඟාක් විස්තර අපි කතා කළා. ඒ වෙනකොට මම රිදි නිමිනය රඟපාලා ඉවර වුණා විතරයි.
කොහොම නමුත් ආචාර්ය පීරිස් අතින් විරාගය චිත්‍රපටය කෙරුණේ නෑ. ඉන්පස්සේ ඔහු බැද්දේගම කරන්න සුදානම් වුණා. ඒ නිසා ඔහු මාව බැද්දේගමට තෝර ගත්තා. රූගත කිරිම් කරන්න ප්‍රථම ඔහු නිහාල්සිංහයන්ගේ එඩිටින් ටේබල් එකට ගිහින් මගේ රිදි නිම්නය රඟපැම් බලලා තිබුණා. මගේ රංගනය මුලින්ම එතුමා දකින්න ඇත්තේ එතැනින් වෙන්න ඕන. පස්සේ දවසක නිහාල්සිංහයන් මට කිවා ලෙස්ටර් පීරිස් ඇවිත් රිදි නිම්නය බැලුවා කියලා. නිහාල්සිංහයන්ටත් හිතිලා තිබුණා ඔහු මේක බලන්නේ බැද්දෙගමට කාස්ට් කරන්න වෙන්න ඇති කියලා.
බැද්දේගම ‘හින්නිහාමි’ මට ලැබෙන්නේ එහෙම. අද ආපස්සට හිතලා බැලුවත් මගේ රංගන ජීවිතේ මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්. ඒත් ඒක අද මට අභියෝගාත්මකයි කියලා දැනුණට එදා එහෙම දැනේන තරම් මට දැනුමක් තිබුණේ නෑ. මේ චිත්‍රපටයේ රඟපාන්න මම යන්නෙත් විශ්වවිද්‍යාල සිසුවියක් හැටියට. ඒකාලේ මම විශ්වවිද්‍යාලයේ පළමු වසර විභාගයට පාඩම් කරනවා. අපි රු ගත කිරිම් වලට යන්නේ හම්බන්තොට ප්‍රදේශයට. දර්ශන ගතකිරිම් තිබුණේ හම්බන්තොට මහ කැලයක් මැද්දේ. අපි ඔක්කොම නැවතිලා හිටියේ හම්බන්තොට රෙස්ට් හවුස් එකේ. දර්හන තලයට යන්න හම්බන්තොට රෙස්ට් හවුස් එකේ ඉඳන් කිලෝ මිටර් පහක් හයක් කැලය ඇතුළට යන්න ඕන. උදේ පාන්දරින්ම අපිව ගෙනියන්න වැන් එකක් එනවා. චිත්‍රපටයේ කැමරා අධයක්ෂවරයා වුණේ ප්‍රවීණ කැමරා ශිල්පි විලි බ්ලේක්. එහු එළිමහන් දර්හන ගත කිරිම් වලට ප්‍රවිණයෙක් විදියට තමයි සැලකුවේ. කැමරා අධයක්ෂ විලි බ්ලේක් නම් උදේ පාන්දරින්ම නැගිටලා , කැලයේ සුන්දරත්වයක් විඳවිඳ දර්ශන තලයට යන්නේ පයින්මයි.
මා ඇතුළු අනිත් නළු නිළියන් වෑන් එකෙන් දර්ශන තලයට යනවා. අපි උදේ වරුවේ දහවල් 12 -1 විතර වෙනකම් විතරයි රූ ගත කිරිම් කරන්නේ. ඉර මුදුන් මධ්‍යහ්නය වෙනවිට රූ ගත කිරිම් නවත්වනවා. මේ ප්‍රදේශයට අව් රශ්මිය හරිම තදේට දැනෙනවා. ආපහු ඉර බැහැගෙන යනකොට ෂූටිං පටන් ගන්නවා.
හම්බන්තොට රෙස්ට් හවුස් එකේ තනි කාමරයක් මට ඉන්න ලැබුණා. මට මතකයි ලෙස්ටර් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මැතිනිය ඇවිත් කාමරයට වැඩි එළියක් තිබෙන ලයිට් එකක් දාල දෙන්න කියලා කිව්වා. ඒ මම රෑට පාඩම් කරන නිසා. ඒ වුණාට රෑට මම තනියම මේ කාමරේ ඉන්න බයයි. ඉතින් මම කරන්නේ කොණ්ඩ සෑම්ව තනියට අඩගහ ගන්න එක. එයා මට ඒ දවස්වල හරියට උදව් කළා.මගේ තනි රැක්කා වගේම කැලේ ෂුටිං කරලා එනකොට කකුල් වල ඇනගෙන එන කටු අයින් කරන්නෙත් එයා. තුවාල වලට බෙහෙත් දාන්නෙත් එයා. අපි දින 60 ක් එකදිගට ෂුටිං කළා හම්බන්තොට කැලෑ මැද්දේ.
බැද්දේගම හින්නිහාමි මම වෙනකොට පුංචි මැණිකා වෙන්නේ මාලිනි ෆොන්සේකා. බබුන් වුණේ විජය කුමාරතුංග. මාලිනී ෆොන්සේකා මට මුල් වතාවට මුණ ගැහෙන්නේ බැද්දේගමින්. එදා ඇතිවුණ ඇගෙයි මගෙයි මිතුරුකම ඇය මිය යන මොහොත දක්වාම නොවෙනස්ව පැවතුණා. මාලිනි අක්කා බැද්දේගම රඟපාන්න එන කාලේ ඇය තමයි ලංකාවේ ඉහළින්ම බැබළුණු ජනකාන්ත තාරකාව. කැලේ ඇතුලේ ෂූටිං කරත්දි අපි දෙන්නා තමයි ගස් යටට වෙලා කතා කරකර ඉන්නේ. චිත්‍රපටයේ දර්ශනවලින් මට වැඩියෙන් වැඩ කරන්න තිබුණේ ජෝ අබේවික්‍රම, ට්‍රිලීෂියා ගුණවර්ධන, ඩි. ආර් නානායක්කාර, හා මාලිනි ෆොන්සේකා සමඟයි.
හේමාලි විජේරත්න
