Home » සංගීතය නැති ජීවිතය වැඩක් නැහැ

සංගීතය නැති ජීවිතය වැඩක් නැහැ

සංගීත විශාරද, වෛද්‍ය අජිත් ජයරත්න

by mavan
November 27, 2025 10:35 am 0 comment

කුමන වෘත්තියක නිරත වුවත් ඔහු හෝ ඇය සතුව කලාකාමී අදහස් තිබේනම් ඔවුන් ඉතා සුන්දර මිනිසුන් වේ. වර්තමාන සමාජයේ ජීවත් වන පිරිස අතරින් වැඩි පිරිසක් අතිශය කාර්‍යබහුලය. සෞන්දර්යට ඇති ළැදියාව, කලාකාමී බව, රසවින්දනය ඔවුන් තුළින් ගිලිහී ගොසිනි.

රටේ තිබෙන විවිධ වූ වෘත්තීන් අතර වෛද්‍ය වෘත්තිය ඉහළින්ම තැබිය හැකි වෘත්තියකි. ඔවුන් තම වෘත්තියත් සමඟ දැඩි කාර්‍යබහුල ජීවිතයක් ගතකරති. එහෙත් එයින් සුළු හෝ විවේකයක් ලද මොහොතක නාට්‍යයක් බැලීම, සිනමාපටයක් නැරඹීමට, ගීයක් ගැයීමට බොහෝ වෛද්‍යවරු පෙලඹී සිටිති. ඔවුන් තම පීඩනය මුදවා හරින්නේ ඒ මාර්ගයෙනි. ඇතැම් වෛද්‍යවරු තම වෘත්තියට අමතරව ගායකයන් ලෙසද කටයුතු කරති. ඔවුන් එසේ පෙලඹී සිටින්නේ මුදල් උපයන පරමාර්ථයෙන් නොවේ. ඒ තම මානසික ආතතිය මඟහරවා ගැනීම සඳහාය. නැතහොත් සංගීතයට ඇති දැඩි ළැදියාව නිසාය.

කුඩා කල සිට ගීත ගැයීමට තිබූ ආශාව නිසාම ගායකයෙකු ලෙස වේදිකාවට ගොඩ වූ අපූරු වෙදැදුරෙකු සරසවියට මුණගැසිණි. ඔහු ප්‍රසව සහ නාරි වෛද්‍ය අජිත් ජයරත්නය. දෙසැම්බර් තුන්වෙනිදා පවත්වන්නට බලාපොරොත්තු වන හින්දි ගීත ප්‍රසංගය ගැන කතාබහක යෙදෙන්නට පසුගියදා සරසවිය සමඟින් සම්බන්ධ වුයේය.

මම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විදුහලේ. පොඩි කාලේ ඉඳන්ම මම ප්‍රිය කළේ සංගීතයට. අ.පො.ස. සාමාන්‍ය පෙළට සංගීතය විෂය කළා. උසස් පෙළට විද්‍යා විෂයයන් තෝරාගත් නිසා සංගීතයෙන් ඈත්වුණා. එහෙත් සිතින් ඈත් කළේ නැහැ. සංගීතයට , ගීත ගායනයට තිබූ ආශාව නිසාම පසු කාලයකදී විශාරද නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමයට සම්බන්ධ වුණා. එහිදී මට දයාන් විතාරණ, දීපිකා ප්‍රියදර්ශනී, වසන්තා තිලකාංගනී වැනි සුන්දර චරිත ඇසුරු කරන්නට අවස්ථාව සැලසුණා.

මට වෛද්‍ය වෘත්තියේදී පළමු පත්වීම ලැබුණේ අම්පාරට. ඒ නිසාම සංගීත කටයුතු කිරීම අපහසු වුණා. වෛද්‍ය වෘත්තිය කියන්නේ රෝගීන්ගේ ජීවිත සමඟ සටන් කිරීමක්. වගකීම් සම්භාරයක් සහිත රැකියාවක්. ඒ නිසා තමන් කරන රාජකාරිය ගැන මිස බාහිර දෙයක් ගැන සිතන්නට කාල වේලාව නැහැ.

අම්පාරේ සේවය කිරීමෙන් පසුව මම කොළඹට මාරුවුණා. කොළඹ සේවය කළාට පසුව නැවතත් සංගීතය පැත්තට සිත යොමු වුණා. මංජුලා සෙනෙවිරත්න මහත්මියගෙන් මම සංගීතය හදාරන්න පටන් ගත්තා. ඒ ඔස්සේ මම සංගීත විශාරද දක්වා ඉගෙන ගෙන විභාගත් සමත් වුණා. ඒ අතරේ අහම්බෙන් වගේ හින්දි ගීත ගායනා කරන්න පෙලඹුණේ. මගේ මිත්‍ර සුනෙත් වික්‍රමසිංහ මට යෝජනා කළා මගේ හැකියාවන් වලින් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඉන්පසුව මටත් උද්‍යෝගයක් ඇතිවුණා. සුනෙත් වික්‍රමසිංහ ඩබ්ලිව්. ප්‍රේමරත්න වැනි අය සමඟ එකතු වෙලා අපි හවස් වරුවේ හින්දි ගීත ගායනා කළා. ඒ අතරේ මට හිතුණා හින්දි ගීත ප්‍රසංගයක් පවත්වන්න. මීට අවුරුදු හයකට පෙර මම එවැනි ප්‍රසංගයක් දෙකක් පැවැත්වූවා. ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ලබන දෙසැම්බර් තුන් වෙනිදා නැවතත් හින්දි ගීත ප්‍රසංගයක් පවත්වන්න මේ දිනවල සූදානම් වෙනවා. මගේ කලින් ප්‍රසංගවලට සංගීතය සැපවූයේ සංගීතවේදී මර්වින් ප්‍රියන්ත. මෙවර ප්‍රසංගය සඳහා ගුවන් විදුලි සංස්ථාවේ සංගීතවේදීන් වන ලලිත් ශාන්තප්‍රිය සහ ඩී.ඩී. ගුණසේන විසින්. මෙම ප්‍රසංගයේදී මට අමතරව මගේ හිතමිතුරන් වන පාලිත ලියනගේ, මොහොමඩ් රාෆි, විදුනි, කල්‍යාණි ගංඟා ගීත ගායනයෙන් සහය වෙනවා. එදිනට හින්දි ගීත කලාව සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වෙනවා. දේශනය පවත්වන්නේ සරසවිය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින්. අපේ රටේ ප්‍රවීණ සග ජ්‍යෙෂ්ඨ ගායිකාවක් වන සුජාතා අත්තනායක, ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි, ගායන ශිල්පී දයාන් විතාරණ එදින ප්‍රසංගයට සහභාගී වෙනවා.

දැනට මගේම ගීත තුනකුත් මම ගායනා කර තිබෙනවා. ඒවා සමහර ටථ නාලිකාවල ප්‍රචාරය වෙනවා. ආදර පිනි වරුසාව, කඳුළු බිංදු විසිරුණා, සමුගත් දිනේ නමින් ඒ ගීත නම් කළා. ඉදිරියේදී නව නිර්මාණ සමඟ සිංහල ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ගීතයක් ගැයීමෙන් මම අප්‍රමාණ සතුටක් විඳීනවා. අපේ වෘත්තීය අනුව අපට ගිලන් වූ ජීවිත සමඟ අප වැඩ කරන්නේ. ඒ නිසා උතුම් කාරියට අවධානය යොමු කරන්න අවශ්‍යයි. පිටරට වල සංගීතය රෝගීන් සඳහා සංගීත චිකිත්සාවක් ලෙස යොදා ගන්නවා. ඒත් අපේ රටේ එවැනි තත්වයක් නැහැ. අපේ රටවල මිනිසුන්ගේ මතය වෙන්නේ ගීත ගායනය කියන්නේ සතුට, විනෝදය ලබන්න පමණක්ම බව. ඔවුන් දන්නේ නැහැ සංගීතය හෘද ස්පන්දනයත් සමඟ ගමන් ගන්නා බව. සංගීතය රස විඳීන පුද්ගලයන් කවදාවත් ජීවිතයේ දරුණු තීරණ ගන්නේ නැහැ. ඔවුන් තමන්ගේ පීඩනය පිට කරගන්නේ ගීතයක් අහලා. සංගීතය රස විඳලා. සිතේ ඇතිවන වේදනාව පිට කරගන්න පුළුවන් හොඳම ක්‍රමය සංගීතයට යොමු වීම.

මමත් මගේ ප්‍රසංගයෙන් බලාපොරොත්තු වන්නේ ගීත ගායනයෙන් මම සතුටු වෙන ගමන් අන් අයගේ මනසද සුවපත් කිරීම. ඒ නිසා මම විවෘත ආරාධනාවක් කරනවා දෙසැම්බර් තුන් වෙනිදා සවස 4.30 ට ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසට. භාරතීය මියුරු හින්දි ගීතයෙන් නැළවෙන අපූරු සැන්දෑවක චමත්කාරය විඳගන්න එදිනට මා සමඟ එකතු වෙන්න.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT