Home » ශිල්පීය හැකියාවන් සහ කලා හැකියාවන් කියන්නේ දෙකක්

ශිල්පීය හැකියාවන් සහ කලා හැකියාවන් කියන්නේ දෙකක්

-අනුර දහනායක

by mavan
February 12, 2026 8:26 am 0 comment

මුල්ම කථානාද චිත්‍රපටය තිරගත වී ජනවාරි 21 දිනට වසර 79ක් සපිරීම නිමිති කරගෙන ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පවත්වන උත්සවයට සමගාමිව අනුර දහනායක විසින් සම්පාදිත ‘සිනමා නදියේ උඩුගං බලා’ නම් වූ එම කෘතිය ජනගත වීමද සිදු විණ. මේ අනුර දහනායක සමඟ කළ සාකච්ඡාවකි.

කුඩා කාලෙදීම කලා කටයුතු ගැන අදහසක් ඇති වුණා ද?

මං පොඩි කාලේ චිත්‍රපට බලන්න පුළුවන් පසු බිමක් ගෙදර තිබුණේ නැහැ. නමුත් අපේ තාත්තා තරුණ කාලේ සංගීතයට නාට්‍යවලට හුඟක් ලැදි එකම චිත්‍රපටය දහ දොළොස් වතාවක් බලපු කෙනෙක්. මම ජාතික අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය (0/ඹ්) කරන කාලේ අපිට විෂයයන් තිබුණා ප්‍රාගුර්තිය කියලා. ඒකට සබන්වල හැඩ ගැන ඉගැන්නුවා. එහිදී අපට කිව්වා සබන් ගැන ප්‍රචාරය කරන්න සිනමා ශාලාවක ස්ලයිඩ් එකක් අඳීන්න කියලා. මම චිත්‍රපට ශාලාවකට ගිහින් නැහැ. ඒ නිසා ඒ ගැන මම දන්නේ නැහැ. මට ඒක තේරුණු විදිහට කළා. මම එතනදී අසාර්ථක වුණා. නමුත් ඒ කාලේ ගුරුවරු අපට අපහාස කළේ නැහැ. මට පොත පත කියවන්න උනන්දුව තිබුණත් මගෙ අයියලා කියවපු නවකතා, සෝවියට් සාහිත්‍යය ගැන ලියවුණු පොත් වගේ ඒවා හැරුණු කොට සිනමාව ගැන ලියවුණු පොත් තිබුණේම නැහැ.

ඔබේ පළමු සිනමා අත්දැකීම

ඉස්කෝලේ රන්මුතුදුව (1962) චිත්‍රපටය පෙන්නුවා. ඒක බලන්න අම්මගෙන් සල්ලි ඉල්ලුවට මට සිල්ලි දුන්නේ නැහැ. පස්සේ කාලෙක ‘දඩයම’ (1983) චිත්‍රපටයේ ලස්සන කටවුට් එකක් කාර් එකක් ඉස්සරහට දාලා හදපු ගාල්ලේ හෝල් එකක තියෙනවා මම දැක්කා. සල්ලි හොයාගෙන ගිහින් මම ඒ චිත්‍රපටය බැලුවා. මට පළමු වතාවට සිනමා අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා. ඊට කලින් වේදිකා නාට්‍ය විතරයි බලලා තිබුණේ. දැවැන්ත රූප තිරයේ දිග හැරෙන විට මට ඒවත් එක්ක ලොකු හැඟීමක් ඇති වුණා. ඒ අත්දැකීම ඇතුළේ මම ජීවත් වුණා. ඒ සමඟම මට චිත්‍රපට නැරඹීමේ ආශාව ඇති වුණා. ඒ ආශාව එක්ක නොයෙක් දේවල් කළා. අධ්‍යාපනය පැත්තෙදි හොයාගෙන ගිහින් ඉගෙන ගන්න හිතුවා. 1978 දී මම ඒබ්‍රහම්. ටී. කොවුර්ගේ ‘දෙවියෝ සහ භූතයෝ‘ පොත කියෙව්වා. පාසැලේ පන්ති කාමරයේ උගන්නන දෙයින් පිටස්තරව හිතන්න තර්ක කරන්න කියන දේ ගොඩ නැඟුණා. ඒක හැමෝටම හිතෙන දෙයක් නෙමෙයි. එහෙම හිතන අයට උගන්නන දේ ප්‍රශ්න කරන්න හැඟීමක් ඇති වෙනවා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළා.

කලා කටයුතුවලට සම්බන්ධ වුණේ

මම කරපු දේවල් අතර දේශපාලනයත් ප්‍රධාන තැනක් ගත්තා. 1983 දී එවකට පැවති රජය දෙමළ ජනතාව පීඩනයට, මර්දනයට ලක් කළ කළු ජූලිය සමයේ මට කොළඹට එන්න සිද්ධ වෙනවා. ඒ වුණත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. කලාව කිරීමේ වුවමනාව තිබුණු නිසා විවිධ පාඨමාලා හැදෑරුවා. 1984 දී ‘දිරච්ච ඉණිමං’ කියල කෙටි නාට්‍යයක් වේදිකාගත කළා. හෙලේනා ලෙහ්තිමතී ගේ ‘පුන්තිලා’ නාට්‍ය වේදිකාගත වෙන කාලේ නිහාල් සිල්වා, මහේන්ද්‍ර පෙරේරා වගේ අයත් එක්ක සමාජගත වෙන්න පුළුවන් වුණා. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්‘ නාට්‍යයේ වසන්ත විට්ටච්චිගේ අංග රචනා සහායක හැටියට කටයුතු කළා. ඒ කාලේ චිත්‍රපට බලන්න හෝල් එකට ගියාම තියෙන්නේ මොනවද කියලා විශේෂයක් නැහැ ඕනෑම චිත්‍රපටයක් බලනවා. පසු කාලෙක පෝස්ටර් කර්මාන්තය ස්ක්‍රීන් ප්‍රින්ටින් කටයුතු එක්ක මගෙ ‘ඇඩ් ඇඩ්ස්‘ ව්‍යාපාරය ජනප්‍රිය වුණා. වේදිකා නාට්‍යවලට සිනමා පෝස්ටර්වලට ඒවයේ නැති රූප යොදලා පෝස්ටර් නිර්මාණය කළා. ඒ හැම එකක්ම ආකර්ෂණීය වුණා.

ඔබ සිනමාව හදාරන්න පෙලඹෙනවා.

සිනමාකරුවෙක් වීමටම නෙමෙයි. චිත්‍රපට නැරඹීමෙන් ලබපු අත්දැකීම් එක්ක සිනමාව රස විඳීමේ අවශ්‍යතාව ඇති වෙනවා. තාක්ෂණයේ දැවැන්ත බව ගැන හිතනවා. නමුත් මට සිනමාව හදාරන්න උවමනාව තිබුණට ඒක හුඟක් පහුවෙලා කරන්න සිදු වුණා. 2010 දී ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදැරුවා. ඒ වන විට මට වයස අවුරුදු 48 යි . වයස ඉගෙනීමට බාධාවක් වෙන්නේ නැහැ. මම දැනුත් යම් යම් දේවල් හදාරනවා. ප්‍රවීණයි කියන වචනය මගෙ ළඟ නැහැ. මම යම් නිර්මාණයක් කරන්නේ මම වැඩ්ඩෙක් දක්ෂයෙක් කියලා හිතලා නෙමෙයි. ඒක මට පුළුවන් උපරිමයෙන් කරන්න ඕන කියන අදහස පෙරදැරි කරගෙනයි. චිත්‍රයක්, මූර්තියක් හෝ ලියන දෙයක් වුණත් ඒ හැම දේකදිම කපලා කොටලා සංස්කරණය කරනවා. මම ලියන පළවෙනි අකුරු ටික සුපිරියි කියලා මම හිතන්නේ නැහැ. මට හමු වුණු ගුරුවරු අතරේ පාසැලේ රස්තියාදු ජීවිතයේදී හමු වුණු සංගීත ගුරුතුමා අමරදාස ඩී. හේවගේට මම ලියපු නාට්‍ය පිටපතක් දුන්නා. ඔහු එය තියාගෙන කල්ගත කළා මගෙ මතකයෙන් ඒක ඈත්වන තුරුම. පසුව එහි අඩුපාඩු දකින්න මාව යොමු කළා. මම ලියපු දේ ගැන මටම ලැජ්ජාවක් ඇති වෙන විදිහටම එය සිදු වුණා. ඒක නැවත කපලා කොටලා හදලා පෙන්නුවම එතුමා කිව්වා ‘අනුර දැන් මේක හොඳයි.. මම දැකපු අඩුපාඩු ඔක්කෝම හදලා තියෙනවා. මම නොදැකපු ඒවාත් හොයලා හදලා තියෙනවා කියලා. ඒක මගේ යටි හිතේ තැන්පත් වෙලා තිබුණා. ඒ ගැන මට නැවත මතකයට එන්නේ මිරැන්ඩා හේමලතාගෙ 80 වෙනි ජන්ම දිනයට ඇගේ චරිතාපදානය ලියන විට ඒ පොත ඇතුළේ අධ්‍යාපන විධි ක්‍රමයක් ගැන බර්ට්‍රන්ඩ් රසල් සඳහන් කළ දෙයක් තිබුණා. ඒ ක්‍රමය තමයි මට සංගීත ගුරුතුමා ඒ කාලේ කියලා දුන්නේ. අපි ලියපු දේ ගැන විචාරාත්මකව දකින්න ඕනැ.

විචාරකයෙක් වීමට බලපෑවේ

සිනමාකරණ පාඨමාලාව තුළදී මට හමුවෙනවා රොහාන් පෙරේරා. සිංහල නමකින් පෙනී හිටියට ඔහු මුස්ලිම් ජාතිකයෙන් ඔහු අපේ හිතවතෙක් බවට පත් වුණා. න්‍යායාත්මක දේවල් බොහොම ගැඹුරින් ඔහු අපට තේරුම් කරලා දුන්නා. ඒ දේවල් අවබෝධ වුණේ යම් කිසි දර්ශනයක් තිබුණු පිරිසට පමණයි. සිනමාව විශ්ලේෂණය කිරීමට ඒ න්‍යායාත්මක දේවල් අත්‍යවශ්‍යයි. ඒ වගේම මට හමුවුණු ඊ.එම්.ජී. එදිරිසිංහ භාෂා තුනෙන්ම කටයුතු කරන ඔහු මගේ ‘මම තවම පණ පිටින්‘ වේදිකා නාට්‍යයට කැමති ඒ සඳහා විනිශ්චයක් දුන් කෙනෙක්. චිත්‍රපට විචාර කටයුතුවලදී ඔහු මට රුකුලක් වුණා. මම ලියපු පළමුවෙනි විචාරය බලපු ඔහු ඒක හොඳයි මට වෙනස් විදිහට ලියන්න පුළුවන් කියලා කිව්වා. මගෙ පළමුවෙන් විචාර ලිපිය එවකට ‘ඉරුදින‘ පුවත්පතේ විශේෂාංග කර්තෘ වෙලා හිටිය ප්‍රියන්ත කොඩිප්පිලිට දුන්නා. ඔහු එය 2013 ජනවාරි 20 ‘ඉරුදින‘ පුවත්පතේ පළ කර තිබුණා. එය අශෝක හඳගමගේ ‘ඉනිඅවන්‘ චිත්‍රපටය පිළිබඳ කළ විචාරයක්. පසුව ‘සත්හඬ’, ‘රාවය’ වගේ පුවත්පත් වලටත් විචාර ලිව්වා. එකම චිත්‍රපටය සම්බන්ධයෙන් විමලනාත් වීරරත්නගේ විචාර ලිපියක් සහ මගෙ ලිපියක් එකට පළකරමින් ඔහුම කියනවා ඒක ගැටලුවක් නැහැ අපේ අදහස් එක සමාන නැති නිසා කියලා.

කලාකරුවා පිළිබඳව…

පහුගිය කාලේ සංවාදයක් තිබුණා මහේන්ද්‍ර පෙරේරා ‘අප්පට සිරි’ චිත්‍රපටයේ රඟපෑවා කියලා. කලාකරුවා සහ කලා ශිල්පියා ගැන කියද්දි කලාකරුවම තමයි කලා ශිල්පියා වෙන්නෙත්. නමුත් කලාකරුවා කියන්නේ තමන් කරනදේම කරගෙන යන්නේ නැති වෙනත් අය නොදකින පැත්තක් දකින සහ මවන කෙනෙක්. නළුවන්ටත් තමන්ගේ රංගනය ඇතුළෙ වෙනත් පැති ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා වාණිජ ද කලාත්මක ද කියලා බෙදන එක වැරදියි. ඒ හැම ශෘගරයක්ම තියෙන්න ඕනෑ. මහේන්ද්‍ර පෙරේරට ’28’ චිත්‍රපයේ රඟපාන්න පුළුවන් වගේම ‘අප්පටසිරි’ චිත්‍රපටයෙත් රඟපාන්න පුළුවන් වෙන්න ඕනැ. ඒක තමන්ගේ කලාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීමක්. ඒ නිසා ශිල්පීය හැකියාවන් සහ කලා හැකියාවන් කියන්නේ දෙකක්.

නූතන විචාර කලාව ගැන

නූතන සිනමාවේ විචාර කලාව වෙනස්වෙලා තියෙන්නේ. දැන් චිත්‍රපටයක් බලලා පිටතට එද්දම ඒ ගැන අදහස් සමාජ මාධ්‍යයට ලියා හෝ වොයිස් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. චිත්‍රපටයක් ගැන පුවත්පත්වල විචාරයක් පළවුනොත් ඒ මාර්ගයෙන් චිත්‍රපටය ඉහළට එසවීමට හෝ පහළ දැමීමට පුළුවන් තත්වයක් ඉස්සර තිබුණා. නමුත් වර්තමානයේ එහෙම තත්ත්වයක් නැහැ. සමහර අවස්ථාවල සිනමා ශාලාවට ගියාට පසුවයි තිරගත වන චිත්‍රපටය මොකක්ද කියලා දන්නේ. බලන්න සූදානම්ව යන චිත්‍රපටය ඒ අවස්ථාවේ තිරගත නොවන තත්වයන් ද තියෙනවා. ඒ කාලේ චිත්‍රපටය ගැන කතා කරන්න තිබුණේ පුවත්පත් පමණයි. ගුවන් විදුලි වැඩසටහන් වැඩිපුර තිබුණෙත් නැහැ. දැන් පුවත්පත් වලට විචාර ලියන්න හිතෙන්නේ නැහැ. ඒකට හේතුව වචන ගණන සීමා කරනවා. දැන් හුඟක් පත්තරවල රූප ලොකුවට දාලා මොනව හරි වචන ටිකක් ලියලා තියෙනවා. විචාරයක් කරන්න පුළුවන් චිත්‍රපට පමණයි. වේදිකා නාට්‍යවලට විචාර ලියන්න අපහසුයි. නාට්‍යයකද හැම දර්ශන වාරයක්ම එකම විදිහට රඟදක්වන්න පුළුවන් වෙන්නේ නැහැ. සුළු වශයෙන් හෝ වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒක සජීවි මාධ්‍යයක් නිසා. මම චිත්‍රපටයක් බලන්නේ නිරවුල් මනසකින්. වාමාංශිකයෙක් හැටියට හෝ සිංහලයෙක් හැටියට හෝ බෞද්ධයෙක් හැටියට හෝ නෙමෙයි. නිරුවත් මනසකින් නරඹනවා ඒ ඔස්සේ ලියන්න පෙලඹෙනවා. විචාර කියවන ඒවා රස විඳීන පිරිසක් ඉන්නවා. ඒ කාලේ නිර්දය විචාරකයෝ හිටියා ඔවුන් පස්වැනි මණ්ඩලයේ තිරගත වුණු චිත්‍රපට ගැන පමණක් සාධනීය විචාර ලිව්වා අනිත් චිත්‍රපට හොඳ නැති ඒවා හැටියට හංවඩු ගහලා පහර දුන්නා. ඒ ඒ ශානරයන් ඇතුළේ තියෙන හැම චිත්‍රපටයක්ම විචාරය කරන්න පුළුවන් වෙන්න ඕනෑ.

මම පෝස්ටර් නිර්මාණ කරුවෙක් හැටියට කලාවට අවතීර්ණ වුණේ. මගේ චිත්‍රවල ප්‍රධාන වෙන්නේ ආලේඛ්‍ය චිත්‍ර, පැන්සල් චිත්‍ර මගේ චිත්‍ර බලලා ‘ෆොටෝ‘ එකක් ගත්ත වගේ කියලා කවුරු හරි කියනව නම් මම අසාර්ථකයි. නමුත් හොඳ ‘ආර්ට්‘ එකක් කරලා තියෙනවා කිව්වොත් මම සාර්ථකයි. ඉතින් මම චිත්‍ර, මූර්ති, කවිය, සාහිත්‍ය වගේ දේවල් එක්ක ඉන්නවා. මගේ ‘කොම්රේඩ්‘ නව කතාවෙන් තිරපිටපතක් ලියලා තියෙනවා. මම දෙයක් වෙනස් විදිහට දකින කෙනෙක් ලියනවා නෙමේ ලියවෙනවා.

 

ෂෙරින් පීරිස්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT