මට ශ්‍රියන්තව මුලින්ම හමුවෙන්නේ ජාතික රූපවාහිනියේදී. ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ ” මහත් හොරා නැමති ඒකාංකික ටෙලි නාට්‍යයෙන්. එහි කෙටි දර්ශනයකට ශ්‍රියන්තව තෝරාගෙන තිබුණා.
ඉන්පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “මෝරා” වේදිකා නාට්‍යයේ අපි දෙදෙනා එකට රඟපෑවා. ඔහු එවිට යස තරුණයෙක්. වසන්ත විට්ටච්චි, මහේන්ද්‍ර පෙරේරා, උපතිස්ස බාලසූරිය යන රංගන ශිල්පීන් එහි රංගනයේ යෙදුණා. නාට්‍ය දර්ශන සඳහා අපි රටවටා යන විට අපේ ඇසුර සමීප ඇසුරක් බවට පත්වුණා. ඉන්පසුව අපි දෙදෙනා ටෙලි නාට්‍ය බොහෝමයක රඟපෑවා.
ඔහුගේ රංගනයේ පැහැදිලි වෙනසක් මා දුටුවා. ශ්‍රියන්ත තුළින් මතුවුණේ සැබෑ රංගනයෙන් තරමක් ඔබ්බට ගිය රඟපෑමක්. රඟපෑමේදී ඔහු ලොකු දේවල් සිතන්නේ නැහැ. ඔහු ඔහුට ලැබෙන චරිතය කැපවීමෙන් කරන්න උත්සාහ කරනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ සුන්දර මිනිසෙක්.
ඔහුට කුසුම් රේණුව මුණ ගැසුණෙත් වේදිකාවෙන්. ඒ සුදර්ශියේදී. ඔහු එවකට වෘත්තියෙන් ගුරුවරයෙක්. නාට්‍යවේදී සයිමන් නවවත්තේගමයන්ගේ පණ්ඩුකාභය වේදිකා නාට්‍යයේ උන්මාද චිත්‍රා චරිතයට රංගනය මුසුකළේ කුසුම්. කුසුම් රේණු කියන්නේ ඉතාමත් යහපත් කාන්තාවක්. ශ්‍රියන්ත කුසුම් අතර හොඳ සම්මිශ්‍රණයක් තිබුණා. පිරිමියෙකු සාර්ථක වන්නේ සාර්ථක ගැහැනියක් නිසා. ඇය ශ්‍රියන්තට මහත් ශක්තියක්. ඔවුන් විවාහ වෙලා දරුවන්ද ලබා යහපත් පවුල් ජීවිතයක් ගත කරනවා.
ශ්‍රියන්තව ප්‍රේක්ෂකයන් හොඳීන් හඳුනා ගත්තේ පළිගු මැණිකේ ටෙලි නාට්‍යයෙන්. විවෘත ආර්ථිකය රටකට පැමිණෙන ආකාරය පෙන්වන චරිතයක් ඔහු කළා පළිගු මැණිකේ ටෙලි නාට්‍යයෙන්.
ඉන්පසුව දඬුබස්නාමානය, වෙද හාමිනේ, බෝගල සවුන්දිරිස් වැනි චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් ඔහු වෙත ඇඳ බැඳ තබා ගැනීමට ඔහු සමත් වුණා. මුලින්ම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ලබාගත් පන්නරය ඔහු ටෙලි කලාවටත් , සිනමාවටත් රුකුලක් කර ගත්තා. ඔහු ප්‍රථමයෙන් සම්මානනීය වූයේත් වේදිකාවෙන්. ඒ මෝරා වේදිකා නාට්‍යයෙන්.
ශ්‍රියන්තගේ රංගන දිවියට මේ වන විට වසර පනහක්. රංගනයට පිවිසිලා අවුරුදු පනහක් වැනි දීර්ඝ කාලයක් වුවත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස තීරණය කළ හැක්කේ ඒ වසර පනහ ඇතුළත ඔහු කළ වැඩ කොටසෙන්. ශ්‍රියන්ත ඒ වසර පනහ තුළ උපරිම වැඩ කොටසක් කළ ප්‍රවීණයෙක්. ඔහු රංගනය පැත්තෙන් වැඩිවියට පත්වූයේ ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වලින්.
ශ්‍රියන්තගේ වසර පනහක රංගන ජීවිතය තුළ ඔහු පෙරළි කළ කෙනෙක්. හෙටත් ඔහුට පෙරළි කළ හැකියි. කලාවේ, සාහිත්‍යයේ නියැළෙන කෙනෙකුට ඇඟයීමක් අවශ්‍යයි. ඔවුන් එයින් දිරිමත් වෙනවා. අසීමිත සතුටක් ලබනවා. එදාට ඒ සතුට ශ්රියන්තගෙන් දකින්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වසර පනහ ඇතුළත මමත් ඔහු සමඟ සිටි කෙනෙක්. උලෙළ විචිත්‍රවත්ව සිදුකිරීමට එහි නිර්මාණ අධ්යක්ෂවරයා ලෙස මම කටයුතු කරනවා. එම කටයුතු සංවිධානය කිරීම සඳහා මාත් සමඟ තවත් කලාකාමී සහෘදයන් පිරිසක් සිටිනවා. එදිනට ශ්‍රියන්ත මෙන්ඩිස් අපදානය ජනගත කිරීම, ප්‍රත්‍යවලෝකන වාර්තා චිත්‍රපටය එළිදැක්වීම, නාට්‍යමය සංගීත ප්‍රසංගය වේදිකා ගත කිරීම ආදී විශේෂ කටයුතු සිදුවෙනවා. අපි සෑම දෙනාම එකාමෙන්ව, “අඩ සියවසක රංග යාත්‍රිකයා ප්‍රත්‍යවලෝකන උලෙළ සංවිධානය කරන්නේ ශ්‍රියන්තට ආදරයද ලබා දෙමින්.
ශ්‍රියන්ත වසර පනහක රංගන ජීවිතයේ පෙරළි කළ කෙනෙක්
රංග යාත්‍රිකයා ප්‍රත්‍යවලෝකන උලෙළ නිර්මාණ අධ්යක්ෂ- අමිත්ත වීරසිංහ
117
