කාන්තාව යනු , පාවිච්චි කිරීම සඳහා පමණක්ම නිපදවූ භාණ්ඩයක්ද යනු පැනයකි. නිරන්තරයෙන්ම හිමිවන තාඩන පීඩන හිත් රිදීම් වද බන්ධන තුළ සදාකාලිකවම පුරුෂාධිපත්‍යයට ඇය නතුවී සිටිය යුතුද ? මෙම කතාවේදී ප්‍රේක්ෂකයාට හමුවන මාධව සහ නිර්මලා තරුණ විවාහක යුවළක් වන අතර, නාගරික හා ආර්ථික ජීවන අරගලයන් මැද මහල් නිවාස සංකීර්ණයක කුලී පදනම මත වූ නිවසක ජීවත්වේ. මාධවගේ ප්‍රධාන රැකියාවට අමතරව, වෙනත් ආදායම් මාර්ග උපයාගැනීමේ උත්සාහයේදී ඔහුව විවිධ ආකාරයේ සමාජ සම්බන්ධකම් වෙත යොමු කරවයි. ඒ නිසාම මාධව හා නිර්මලා එතෙක් ගෙවූ කෙළිලොල් සුන්දර විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත්වෙයි. තම ලෙයින් උපන් දරුවකු පිළිබඳව දෙදෙනා තුළ ගොඩනැගුණු නොනිත් ආශාව හා බලාපොරොත්තු අතරේ, මාධවගේ අතුරු සබඳතාවයන් ඔවුන්ගේ ජීවිතය නොසිතූ නොපැතූ ඉරණමකට නතුකරයි. ඔවුන් දෙදෙනාගේ ඉරණම් ගමනේ සරදම් කතාවයි ‘වයිෆ්’
අධ්යක්ෂ ශමීර නාඔටුන්නගේ තෙවන සිනමා නිර්මාණයයි ‘වයිෆ්’. ඔහු විසින් මෙයට ප්‍රථමයෙන් ‘මෝටර් බයිසිකල්’ (2016) හා ‘සිහින නෙළුම් මල්’ (2024) යන සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට පිවිසි අයෙකි. වර්තමානයේ වෘත්තිය නිර්මාණකරුවකු ලෙස කටයුතු කරන ශමීර නාඔටුන්න වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු, ගීත රූප රචනා, කෙටි හා වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේ ද ප්‍රවීණයකු වන අතර , තිර පිටපත් රචකයකු මෙන්ම ගීත ප්‍රබන්ධකයකු ද වෙයි. යොවුන්වියේ සිටම සිනමාව හා බැඳුණු ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරුන් රැසක් යටතේ සහාය අධ්යක්ෂවරයකු වශයෙන් කටයුතු කරමින් ලද ආභාෂය හා පන්නරය තුළින් චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසි ඇත . ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ මෝටර් බයිසිකල්’ දේශීය හා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කර ඇති අතර, එය සාක් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. එසේම 34 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය , හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය සහ හොඳම ගායකයා යන සම්මානයන් දිනා ගැනීමට ද ‘මෝටර් බයිසිකල්’ සමත් විය.
රංගන දායකත්වය
හේමාල් රණසිංහ, උදාරි වර්ණකුළසූරිය, වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත සෙනෙවිරත්න, පියුමි බොතේජු, රෙබෙකා දිල්රුක්ෂි , දිනිති වල්ගමගේ, මල්කාන්ති ජයසිංහ, දිනෙත් ද සිල්වා, ගයාන් මාපලගම, රුක්ෂානා දිසානායක, බෙනට් රත්නායක, හිරුණි රණසිංහ, ගයනි වීරසිංහ සහ ප්‍රියන්ත ලලිත් ඇතුළු පිරිසක් එක්වී ඇත.
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ශමීර නාඔටුන්න
නිෂ්පාදනය – වරුණ අරඹගේ
කැමරා අධ්‍යක්ෂණය- චින්තක සෝමකීර්ති
කැමරා සහය – නලින්ද ප්‍රියදර්ශන, සරත් ගුණතිලක
සංස්කරණය හා වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර
ශබ්ද පරිපාලනය -අරුණ ප්‍රියන්ත කළු ආරච්චි
කලා අධ්‍යක්ෂණය -ධම්මික හේවාදුවත්ත
අංග රචනය -බුවනෙක රණවක
ඇඳුම් නිර්මාණය -මාධවී දසනායක
ශබ්ද ප්‍රයෝග -ඩබ්ලිව්. පොඩිරත්න
නිෂ්පාදන සම්බන්ධීකරණය -සිනලි අරඹගේ
නිෂ්පාදන කළමනාකරණය -හැරල්ඩ් කරුණාතිලක
සහය අධ්‍යක්ෂණය – ප්‍රසන්න විජේසිංහ, අනුරුද්ධ ගුණසේකර
සංගීත අධ්‍යක්ෂණය – චිත්‍රාල් සෝමපාල
ගී පද රචනය – කරුණාරත්න අබේසේකර, ශමීර නාඔටුන්න
ගීත ගායනය – චිත්‍රාල් සෝමපාල,රෝහිත ජයලත්
ප්‍රධාන ආලෝකකරණ ශිල්පි – කෝසල මනෝජ්
කලා අධ්යක්ෂණ සහය -නලින් හේවාදුවත්ත, ප්‍රසන්න චතුරංග, දමින්ද ගුණරත්න
අංග රචනා සහය – දිල්ෂාන් තාරුක
නර්තන නිර්මාණය – ඉෂාන් කස්තුරිආරච්චි
ඇඳුම් නිර්මාණ සහය – සුරාජ් අස්මත්
