Home » ‘ලෝරන්ස්ගේ මනමාලි’ ළඟදීම ‘අදර ගෙදර’ පදිංචියට එනවා අධ්‍යක්ෂ

‘ලෝරන්ස්ගේ මනමාලි’ ළඟදීම ‘අදර ගෙදර’ පදිංචියට එනවා අධ්‍යක්ෂ

- රංගන ශිල්පි සුජීව ප්‍රියාල්

by mavan
March 5, 2026 9:40 am 0 comment

‘ලෝරන්ස්ගේ මනමාලි’ ලබන 14 වැනි දින ‘අදර ගෙදර’ පදිංචියට එන බව පැවසූ අධ්‍යක්ෂ, රංගන ශිල්පි සුජීව ප්‍රියාල්, ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව කලාවට පිවිසියේය. ඔහු නිර්මාණය කළ ‘ ලෝරන්ස්ගේ මනමාලි’ මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ අතිශය ජනප්‍රිය වූවා පමණක් නොව ඉහළම ආදායම් උපයමින් ප්‍රේක්ෂක, විචාරක කතාබහට ලක්විය. අනතුරුව ‘සුපර්ණා’ අධ්‍යක්‍ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ හෙතෙම, පසුව ‘ඉන්ටර්නැසනල් 1, 2, ‘ ටෙලිනාට්‍යය සහ ‘ ‘ගෙවන්නෙත් නෑ ගෙවන්නත් බෑ ‘වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමෙන් සිය අධ්‍යක්ෂ භූමිකාව තුළ ස්ථාවර ගමන් මඟක් සකසා ගත්තේය. මේ දිනවල පෙර පුහුණුවීම් සිදු වෙන සුජීව ප්‍රියාල්ගේ නවතම වේදිකා අධ්‍යක්ෂණය කාර්යය වන ‘ අදර’ ගෙදර ලබන 14 වැනි දින සවස 3:30ට සහ 6:30ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. එකී නිර්මාණය සහ සිය කලාදිවිය පිළිබඳ කතා කිරීමට හෙතෙම සරසවිය හා මෙසේ සම්මුඛ විය.

මොකක්ද මේ ‘අදර’ ගෙදර’ කියන්නේ?
ඉතා සරලවම හඳුන්වා දුන්නොත් ‘ලෝරන්ස්ගේ මනමාලි’ ‘අදර ගෙදර’ට පදිංචියට එනවා කිව්වොත් හරි. මේක ලෝරන්ස්ගේ මනමාලිගේ පවුලේම තවත් වැඩක්. මෙය ටචථඪතර ජධථඥඤර එකක්. පවුලේ සැමට නැරඹිය හැකි, පොදු රසවින්දනයක් තිබෙන, හාටස්‍යෝත්පාදක නිර්මාණයක්. මෙය ලංකාව පුරා වේදිකාගත කළ හැකි නිර්මාණයක්. ‘ලෝරන්ස්ගේ මනමාලි’ට තරම්ම ප්‍රේක්ෂකයා ‘අදර’ ගෙදර’ටත් ආදරය කරාවි. නිවෙසක් තුළ සැමියා, බිරිඳ, දුව, බිරිඳගේ මව, මෙහෙකාරිය එකට ඉද්දී සැමියාට අත්වන ඉරණම තමයි මෙහි කතා කෙරෙන්නෙ. නැන්දම්මා ආවට පසුව තමයි මෙහි අවුල් ජාලාව ආරම්භ වන්නේ. මේ උපහාසාත්මක රසයෙන් යුතුව නිර්මාණය වී තිබෙනවා. මේ කාවවත් අපහාසයට ලක් කිරීමක් කිසිවිටක සිදුවන්නේ නැහැ. එහෙත් සමාජය තුළ අප අත්දකින සිදුවීමක් තමයි සරල රසවින්දනයකින්, යම් හාස්‍ය රසයක් දැනවෙන ලෙස සමාජ යථාර්ථයක් ලෙස කතාබහට ලක්වන්නේ. දුලීකා මාරපන, නිල්මිණී කෝට්ටෙගොඩ, ධනංජි තාරුකා, තාරුකී මෙන්ඩිස් , සශී හේවාවිතාරණ සහ මම ‘අදර ගෙදර’ සාමාජිකයෝ..

‘ අදර ගෙදර ‘ නිර්මාණය කරන්න පෙලඹුණේ කොහොමද ?
මෙහෙමයි, මීට වසරකට පමණ පෙර මට යම් සත්‍ය සිදුවීමකට මුහුණ දෙන්න වුණා. මේ සිද්ධිය හරිම ඛේදනීය තත්ත්වයකට යනවා. එහිදී මම ඒ අත්දැකීම ලැබුවා. මේ සිද්ධියෙන් නාට්‍යයක් කරන්න පුළුවන් කියලා දුලීකා කිව්වා. කොහොමහරි දවසක් කැස්බෑව හන්දියේ අපේ නාට්‍යයක කටවුට් වගයක් බලන්න අපි ඉන්නවා. එහිදී මිහිර සිරිතිලකත් එතැනින් ගියා . එතකොට අපි මිහිරටත් කිව්වා ” මෙහෙම සිදුවීමක් තියෙනවා, මොකද මල්ලි අපි මේක කරමු ” කියලා. ඊට පස්සේ මිහිර මූලික වෙලා මේ කතාව ඉතා රසවත් ලිව්වා. එහෙමයි මේක නිර්මාණය සඳහා පෙලඹුණේ.

මෙහි රංගනයෙන් දායක වන පිරිස තෝරාගත් ආකාරය කීවොත් ?
‘ලෝරන්ස්ගේ මනමාලි’ කරද්දිත් අපි පවුලේ කට්ටිය වගේ සහයෝගයෙන් වැඩකළා. එහෙම වැඩ කරද්දී අපි අතර ඉබේටම වගේ කණ්ඩායමක් හැදෙනවා. අපේ අත්දැකීම් සමඟ අපට වැඩ කළ හැකි කණ්ඩායමක් අපට ඉන්නේ. එහිදී මේ කලාව තුළ ඉදිරියට රැඳෙන්න පුළුවන් කට්ටිය තමයි අපි බලන්නේ. එහිදී විෂයය කියන දේ මූලිකයි. වේලාවට එන්න ඕන රිහසල්වලට. නාට්‍යවලට ආදරය කරන, කැපවීමක් තියෙන පිරිසක් අපි සොයා ගත්තා. මාලි ජයවීරගේ අක්කාවත් මෙහිදී මතක් කරන්න ඕනේ. ඇය මෙහි රංගනයට දායක නොවුණත් අපව නිතරම මුණගැසී කතා කරනවා. ඒ ආදරයත් හැමදාම තියෙන දෙයක්. අපි කණ්ඩායම අතර ඇතිවන බැඳීමත් එක්ක අපි අපේම කණ්ඩායමක් නිර්මාණය කරගෙන තියෙනවා.

‘අදර ගෙදර’ සාමාජිකයන් ගැනත් මතක් කරමු ?
දුලීකා මාරපන, නිල්මිණී කෝට්ටෙගොඩ, ධනංජි තාරකා, තාරකී මෙන්ඩිස්, සශී හේවා විතාරණ සහ මම රංගනයෙන් දායක වෙනවා. මෙය ලිව්වේ මිහිර සිරිතිලකයි. සංගීතය ප්‍රදීප් ජයතිලක, අංගරචනය බුවනෙක රණවක, පසුතල නිර්මාණය රශ්මික අඹේපිටිය, ආලෝකකරණය ප්‍රභාත් සංජීව, වේදිකා පරිපාලනය රශ්මික අඹේපිටිය, සශී හේවාවිතාරණ, ගිමුතු ශශ්‍රීමාල්, අධ්‍යක්ෂණය මම හෙවත් සුජීව ප්‍රියාල්.

ප්‍රේක්ෂකයාට ‘අදර ගෙදර’ ට ගොඩවෙන්න ආරාධනා කළොත් ?
ඔව්, මාර්තු 14 වෙනිදා සවස 3;30ට සහ 6:30ට මරදානේ ටවර් රඟහලේදී ‘අදර ගෙදර’ වේදිකාගත වෙනවා. එදාට පවුලේ හැමෝම ඇවිත් මෙය රසවිඳීන්න කියා මා ආරාධනා කරනවා. බාල, තරුණ, වැඩිහිටි, මහලු ඕනෑම කෙනෙකුට ඇවිත් මෙයින් හොඳ රසවින්දනයක් ලබාගන්න පුළුවන්. හාස්‍ය රසය ද සමඟ මේ සමාජයේ සිදුවන යථාර්ථයක් වේදිකාව තුළින් රසවිඳීන්න ඔබට හැකිවේවි.

වත්මන් වේදිකා නාට්‍ය කලාව ගැන කීවොත් ?
අද වේදිකා නාට්‍ය කලාව සුබවාදී තැනක තිබෙනවා . මම 1993දී නාට්‍ය කරන්න ආවේ. එකල තිබූ යුදමය පසුබිම නිසා මිනිසුන්ට වේදිකා නිර්මාණ රසවිඳීමට නොහැකි වුණා. ඉන්පසු කොරෝනා අර්බුද, ආර්ථික අර්බුද ඇතිවීමත් සමඟ ප්‍රේක්ෂකයාට වේදිකා නාට්‍ය නරඹන්න බැරිවුණා. අද වෙද්දි එම තත්ත්වය නැතිවෙලා හොඳ තැනකට වේදිකා නාට්‍ය කලාව පැමිණ තිබෙනවා. රටේ දේශපාලන වාතාවරණය යහපත් වෙද්දී රසවින්දනයටත් හොඳ ඉඩක් ලැබෙනවා. අද වේදිකාව ගැන සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන් කොළඹ එකම දින රංගශාලා දෙකක, තුනක වේදිකා නාට්‍ය පෙන්නුවත් ප්‍රේක්ෂකයා ඒවා නරඹන්න එනවා. පුංචි තියටර් එකටම එන පිරිසක් ඉන්නවා. අපි ‘ලෝරන්ස්ගේ මනමාලි’ පෙන්වද්දි එය House Full වුණා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ තුළින් අපි විශාල ප්‍රේක්ෂාකාගාරයක් දැක්කා. ඒ තුළින් අපට වේදිකා නිර්මාණ කරන්න උත්තේජනයක් ලැබුණා. සමස්තයක් වශයෙන් අද වෙද්දි වේදිකා නාට්‍ය කලාවේ සුබවාදී තැනක තිබෙනවා. ගෞරවනීය ප්‍රේක්ෂකයාට හිස නවා ආචාර කරනවා අපට ලබාදෙන මානසික උත්තේජනයට.

වේදිකාව තුළ සුජීව ප්‍රියලාල් භූමිකාව කවරාකාරද ?
මම මුලින්ම වේදිකාවට ආවේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාගේ නාට්‍ය වැඩමුළුවකින් . 1993 දී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘යක්ෂාගමනය’ තුළිනුයි මම රංගනයට පිවිසෙන්නේ. එහි අවශේෂ චරිතයක් කළේ. එහිදී මම රඟපෑම පමණක් නොවේ, වේදිකා පරිපාලනය, ලයිටින්, මේකප් වැනි අංශ ගැනත් අවබෝධයක් ලබා ගත්තා. එහිදී ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, ජය ශශ්‍රී චන්ද්‍රජිත්, බුද්ධදාස විතානාරච්චි, වසන්ත විට්ටච්චි, මහේන්ද්‍ර පෙරේරා වැනි දැවැත්ත රංගනවේදීන්ගේ ඇසුර ලබන්නට තරම් මම වාසනාවන්ත වුණා. ධර්මසිරි බණ්ඩාරනායකයන් විනය ගැන ඉතාම සැලකිලිමත් . වේදිකාව මතදී යම් අයකු දකිද්දී ඔහු තුළ පෙර තිබූ විනය පේනවා. සමහරු මත්පැන් පානය කර රඟපෑමට එනවා. විනය තුළ තමයි යමෙකුගේ පැවැත්ම තීරණය වන්නේ. රඟපාන චරිතයට විනය නැති වෙන්න පුළුවන්, ඒත් රංගන ශිල්පියාට විනය තිබිය යුතුයි. අපි මේ කරන්නේ දැවැන්ත පූජනීය කාර්යයක්. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඇසුර මගේ කලා දිවියට ඉතා වටිනවා. අධ්‍යක්ෂවරයකු ලෙස මට එතුමාගේ විනය බලපෑවා. මම ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු වේදිකා නාට්‍යය බුද්ධික දමයන්තගේ ‘අධිපතියාගේ මරණ මංචකය’ එය 1994දී වේදිකාගත වුණේ. එය ප්‍රංශ ජාතික නාට්‍යකරුවකු වන සැමුවෙල් බෙකට්ගේ ‘End Game’ නාට්‍යයේ පරිවර්තනයක්. එහි රංගනයට 1994 යෞවන සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවා සම්මානය මට ලැබුණා. 2000 රාජ්‍ය නාට්‍ය උලෙළේදී සමන් ජයවිරගේ ‘ අන්තිම පළවැනි කෝච්චිය’ වේදිකා නාට්‍යයේ රංගනයට කුසලතා සම්මානයක් මට හිමිවුණා. ඒ වගේම 2003දී බුද්ධික දමයන්තගේ ‘ මාස්ටර් හැරල්ඩ්’ (Master Harold & the Boys) හි රංගනය උදෙසා රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවාට නිර්දේශ වුණා.

‘සුපර්ණා’ගෙන් පසු නැවත චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද ?
ආප්ප බානවා චිත්‍රපට කරන්නත් බැහැ. චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට අකැමැත්තක් නැහැ. නැවත එවැන්නකට අදහසක් තිබෙනවා.

‘සුපර්ණා’ යම් අත්හදාබැලීමක් ද ?
යම් විදිහක අත්හදාබැලීමකුත් ඒ තුළ තිබෙනවා. ගහකොළ, පරිසරය රැකගත යුතුයි යන අදහස සමඟ චිත්‍රපටයක් කළ යුතුයි කියා මට සිතුණා. සොබාදහම මුල්කරගෙන පර්යේෂණ කරන්නටත් චිත්‍රපටයක් නැහැනේ. අනික මෙහිදී තව දෙයක් තියෙනවා, දුලීකාත් ගහකොළ, සොබාදහම සමඟ බද්ධයි. ඇගේ ළමා කාලයේ බොහෝ තැන් මේ චිත්‍රපටයේත් තිබෙනවා. ඇයටත් පියා අහිමිවුණා. සොබාදහම විනාශ කිරීම සම්බන්ධයෙන් ඇය සටනක් කරනවා. අනික මායි දුලීකයි සංචාරයන් කරද්දී ප්‍රෞඪ ඉතිහාසයක් අපට තිබුණා නේද, කතා කළ යුතු දේ ගිලිහෙනවා නේද කියා සිතුණා. අපි සොබාදහමට ආදරය කළ මනුෂ්‍ය වර්ගයක්. සූර්යයා, මහ පොළොව සමඟ බැඳීමක් තිබූ ජනකොටසක් අප. සොබාදහම තුළ අප ම අනන්‍ය වූ සංස්කෘතියක් තිබුණා. අනාගතයේදී අප ආයුධවලින් සටන් නොකරාවි. ජානවලින් සටන් කරාවි. ඒ ගැනත් අපි ‘සුපර්ණා’ තුළින් කතා කළා. කොරෝනා කියන්නෙත් මිනිසුන් හදාගත් වයිරසයක්නේ. මේ ෆිල්ම් එකෙන් වෛරස් එකක් ගැනත් කතා කරනවා. ‘සුපර්ණා’ රිලීස් කර සතියකින් ලංකාවට කොරෝනා ආවා. මේ චිත්‍රපටයේ තිබූ නැවුම් බව ගැනත් කිවයුතුයි. ඒ නැවුම් බව නිසාම ‘සුපර්ණා’ ජාත්‍යන්තරයට තෝරාගන්න බලපෑවා.

ලංකේය සිනමාව ගැන ඔබේ මතය කවරාකාරද ?
සිනමාව තුළක් සුබවාදී බවක් තිබෙනවා. පසුගිය කාලයේ නව තේමාවලින් චිත්‍රපට හැදුණා. එය හොඳ දෙයක්. අපි අසුබවාදීව සිතිය යුතු නැහැ. බරපතළ ලෙස සිනමාහල් වැසී ගියත්, නව තාක්ෂණය මුසුව නව සිනමාහල් හැදුණා. 1980-1990 කාලයේ චිත්‍රපට ප්‍රදර්ශනයට ෂෝ ටයිම් 03යි, 04යි. ඒත් අද අලුත් ක්‍රමයකට චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. සිනමාවත් UpDate වෙනවා. එයඑසේ විය යුතුයි. අද අලුත් නිර්මාණකරුවන් සමඟ අලුත් නිර්මාණ බිහිවෙනවා. අපි අලුත් විදිහට සිනමාව දෙස බලන්න ඕනේ. ආචාර්ය ලෙස්ටර්ගේ, ආචාර්ය පතිරාජගේ සිනමාවේම අපි හැමදාම සිටිය යුතු නැහැ. ඔවුන්ගේ නිර්මාණවල සාරය උකහාගෙන අද කාලයට ගැළපෙන ලෙස නව ආකෘති යටතේ චිත්‍රපට බිහිවිය යුතුයි. අද ඒ දේ සිදුවෙමින් කිරීම ගැන සතුටුයි.

අද ටෙලිනාට්‍ය ගැන මොකද සිතන්නේ ?
ටෙලිනාට්‍ය කලාවෙත් වෙනස් නිර්මාණ කෙරීගෙන යනවා. ‘ඉන්ටර්නැසනල්’ ටෙලියෙන් අපි අලුත් බෙල්ට් එකක් හැදුවා. අලුත් ටෙලිනාට්‍ය බිහිවීම හොඳයි. වට්ටෝරුවෙන් මිදී නව තේමාවන් යටතේ නිර්මාණ, නිර්මාණකරුවන්, රංගන ශිල්පීන් බිහිවීම සුබවාදී ලකුණක්.

ඔබේ බිරිඳ දුලීකාගෙන් ලැබෙන සහාය මොනවගේද ?
ඇගෙන් විශාල සහායක් ලැබෙනවා. මට අධ්‍යක්ෂ භූමිකාව කිරීමට හැකි වන්නේ ඇය නිසයි . නිෂ්පාදන කටයුතුවල සියල්ල පාලනයට, සොයා බැලීමට දුලීකාට පුදුම ශක්තියක්, හැකියාවක් තියෙන්නේ. ඒවා මට තනිව කරන්න ශක්තියක් නැහැ. ඇය තමයි මට ඒ ශක්තිය ලබා දෙන්නේ. යම් සැලැස්මක් සහිතව අපි වැඩ කරන්නේ. සුජීව ප්‍රියාල් නමැති අධ්‍යක්ෂවරයා බිහිවෙන්න, දුලිකා මාරපන නමැති යකඩ ගැහැනිය බලපෑවා කීවොත් නිවැරදියි. අපි දෙදෙනාගේ එකතුවෙන් අද වෙද්දි නිර්මාණ 05ක් කර තිබෙනවා. ‘ලෝරන්ස්ගේ මනමාලි, සුපර්ණා, ඉන්ටර්නැසනල්, ගෙවන්නත් බෑ ගෙවන්නෙත් නෑ සහ අදර ගෙදර’ ඒ නිර්මාණයි.

අර්ථපති භූමිකාවට අදහසක් නැද්ද ?
එහෙම අදහසක් නැහැ. රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස මම ශක්තිමත්.

තිර පිටපත් රචනයට නැඹුරුවක් නැද්ද ?
‘සුපර්ණා’ මම තනිවම ලිව්වේ. ඊළඟට කරනවා නම් වස්තුබීජය අරගෙන රසිකයකු සමඟ කරන්න අදහසක් තියෙනවා. වෙනත් අය තිර රචනා කළ ඒවා අධ්‍යක්ෂණය කිරීම මට පහසුවක්. තිර රචනාවක් ලියන්න කාලය සොයා ගැනීමට අපහසු තත්ත්වයක් තියෙන්නේ. තිර රචනා ලිවීම විවේකබුද්ධියෙන් කළ යුතුයි.

රංගනයට එන නවකයන් ගැන ඔබේ ආකල්පය දැනගන්න කැමැතියි ?
සමහරු තමන්ගේ ගමන් මාර්ගය රංගනය තුළින් නිර්මාණය කරගන්නවා. සමහරු ජනප්‍රියත්වය පසුපස යන්නේ. ඒ දෙගොල්ලම මට හමුවී තිබෙනවා. ඒක අද පමණක් නෙවෙයි, සෑම කාලයකම දකින්න තිබෙන දෙයක්. ඔවුන් සමඟ මම වැඩ කරලත් තිබෙනවා. ජයලත් මනෝරත්නයන්ගේ ‘ගුරුතරුව’ වේදිකා නාට්‍යයේ දෙබසක් තිබෙනවා “ඔබගේ හිස නමැති මුට්ටියට කිරි ද අසූචි ද පුරවා ගන්නේ” කියලා. මේ ගැනත් ඒ වගේ තමයි සිතිය යුත්තේ. මේ විෂයය තුළ අපි ඉගෙන ගත යුතුයි. නවකයන් සිය දැනුම පුරවා ගැනීමට සූදානම් නම් අපි ඔවුන්ට මඟපෙන්වන්න සූදානම්. 1993 සිට අද දක්වාම මම නම් මගේ මුට්ටිය කිරිවලින් පුරවාගෙන ඉන්නේ.
කලාවේ උන්නතියට ඔබේ යම් යෝජනාවලියක් තිබෙනවාද ?
කලාවේ උන්නතියට අපි කළයුත්තේ කලා නිර්මාණ කිරීමයි. වේදිකාව සහ සිනමාව තමයි මට ඉතා සමීප විෂයයන්. අපට හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් රඳවා ගත හැකි චිත්‍රපට හැදෙන්න ඕනේ. කලාවේ උන්නතියට සිනමා ශාලා ද නිර්මාණය විය යුතුයි. හොඳ ආසන සහිත, වායුසමනය කළ සිනමාහල් බිහි විය යුතුයි. චිත්‍රපටවල කොලිටි එක ගැන අද ප්‍රේක්ෂකයා දැනුවත්. ඔවුන්ට බොරු කරන්න බැහැ. හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබිය යුතුය. හොඳ වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. නගරයේ පමණක් නොවේ, ගම්දනව් කරා යන්න පුළුවන් හොඳ නිර්මාණ අපි හදන්න ඕනේ. නාට්‍ය ශාලා නිර්මාණය විය යුතුයි. ප්‍රතිපත්ති ගැන කතාකරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි ප්‍රේක්ෂකාගාරයට හොඳ නාට්‍ය නිර්මාණ හැදෙනවා නම්. එවිට අධ්‍යක්ෂගේ සිට හැමෝටම මේ ක්ෂේත්‍රය තුළ වෘත්තියමයභාවයක් නිතැතින්ම නිර්මාණය වෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කීවොත් ?
මම මේ මොහොතේ වැඩ කරන්නේ මේ මොහොතේ තිබෙන දේ සමඟයි. තිර රචනයක් ගැන සාකච්ඡා මට්ටමේ පවතිනවා. ළඟම තියෙන තේ ගැනයි මම නිතරම සිතන්නේ. ‘අදර ගෙදර’ එක්කයි මේ මොහොතේ මම මානසිකව බැඳී ඉන්නේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT