ප්‍රභාත් රෝෂන් ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්රයන්හි සම්මානලාභී සිනමා හා රූපවාහිනී කැමරා අධ්යක්ෂවරයෙකි. ඔහුගේ බිරිඳවන නිමන්ති පෝරගේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සම්මානලාභී ශශ්‍රී ලාංකික රංගන ශිල්පිනියකි. ඔවුන් දෙදෙනා තම තම ක්ෂේත්රවල ලබාගත් සාර්ථකත්වය මත, එකට එක්ව, තම නිර්මාණාත්මක ගමන පුළුල් කරමින් “CINE ARTS (PVT) LTD” නම් නිෂ්පාදන ආයතනය ආරම්භ කළහ. එම ආයතනය ශශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට උසස් තත්ත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම ආයතනය යටතේ ඔවුන් ටෙලිනාට්‍ය 25කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර, ඒ සෑම නිර්මාණයක්ම ශශ්‍රී ලාංකික පුංචි තිරයේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත් නිර්මාණ වේ.
ඔවුන් තම ප්‍රථම චිත්‍රපටය ‘රිවර්ස්ටන්’ නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදකවරු ලෙස ද සිනමාවට එක්වෙති. මෙය ඔවුන්ගේ ගෞරවණීය වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශශ්‍රී ලාංකික සිනමා කලාකාරිතාවයේ වර්ධනයට දායක වේ. ප්‍රභාත් රෝෂන් “රිවර්ස්ටන්” චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා වන අතර ඔහු 2025 වසරේ චීනයේ පැවති “ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළෙහි” හොඳම කැමරාකරණය උදෙසා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය. රිවර්ස්ටන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කළ ප්‍රභාත් රෝෂන් සමඟ සරසවිය සමඟ මෙසේ සොඳුරු කතාබහක යෙදුණේය.
“රිවර්ස්ටන්” චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?
“රිවර්ස්ටන්” නිෂ්පාදනය කළේ අපි විසින්මයි. අධ්යක්ෂවරයා විදිහට ලලිත්ට මම මුලින්ම යෝජනා කළේ චිත්‍රපටය සඳහා කැමති කැමරා අධ්යක්ෂවරයෙක් ගන්න කියලා. ඊට පසුව ලලිත් යෝජනා කලා මට කැමරා අධ්යක්ෂවරයා ලෙස චිත්‍රපටය සදහා සම්බන්ධ වෙන්න කියලා. චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ ලොකු වැඩක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේ අපිම නිසාම ගැටළුවක් ඇති වුණේ නැහැ. මට කැමරා අධ්යක්ෂවරයා ලෙස නිර්මාණාත්මකව කරන්න නිදහස හිමි වුණා. නිෂ්පාදිකාව විදියට නිමන්ති හිටපු නිසා චිත්‍රපටය සාර්ථක කරගන්න හැකි වුණා.
චිත්‍රපටය රූගත කිරීම සිද්ධ උනේ කොහොමද?
චිත්‍රපටයේ කතාව හරිම වෙනස් එකක්. 90% වගේ රූපගත කිරීම් සිද්ධ වුණේ ජිප් එකක් ඇතුළේ. කැමරා අධ්යක්ෂවරයකු විදියට ජීප් එකක් ඇතුළේ සම්පූර්ණයෙන්ම වගේ රූගත කිරීමි සිදු කරන එක විශාල අභියෝගයක්. රූපරාමු (Shots) සැලසුම් කරගන්නේ කොහොමද? ජිප් එක ඇතුළේ ලයිට් කරගන්නේ කොහොමද? කැමරාව ස්ථානගත කරන්නේ කොහෙද? වගේ අභියෝග ප්‍රමාණයකට මුහුණ දුන්නා. වැඩේ සාර්ථක කරගන්න තාක්ෂණික කාර්යමණ්ඩලය විශාල සහයෝගයක් මට ලබා දුන්නා.
ජිප් එක ඇතුලේ රූපගත කිරීම් කළේ රිවර්ස්ටන් අවටම තමයි. අනෙක් අතට ජීප් එක ඇතුළු රූපගත කරනවාට වඩා එළියේ රූපගත කරද්දි සෑහෙන්න අපහසු වුණා. රිවර්ස්ටන් ප්‍රදේශයේ සුළං කපොල්ලක් තියෙනවා. එහි පහළ පිට්ටනියක් වගේ අවකාශයක් තියෙනවා. එය වට වෙලා තියෙන්නේ කඳු පෙළකින්. ඔතනට ජිප් එක ගන්න සෑහෙන අපහසු වුණා. ගල්, මුල් වළවල් තියෙන ප්රපාතයක්. මහ රෑ අපි කේබල් ගෙනත් පාර හරස් කරලා තමයි, ජිප් එක පහළට ගත්තේ. සීතල, සුළඟ, වැස්ස එක්ක පොර බඳලා ලයිට් කරලා තමයි රූපගත කිරීම් කළේ.
එක්කෝටි අසූ ලක්ෂයක් වටින ජිප් එකක් පෙරලෙන්න ඔන්න මෙන්න ගියපු තැන් තිබුණා. රැයවල් හතරක් එක දිගට රූපගත කරන්න සිදුවුණා. සෑහෙන්න වැස්සෙන් පීඩාවට පත් වුණා. විශේෂයෙන් මගේ බිරිඳ නිමන්ති මතක් කරන්න ඔින. ගෙවල් ගැන, දරුවෝ ගැන පවා හිතන්නේ නැතුව මට නිර්මාණය පැත්තෙන් විශාල නිදහසක් ලබා දුන්නා සහ මට විශාල සහයක් ලබා දුන්නා. ඒ වගේම රිවර්ස්ටන් චිත්‍රපටයේ නළු නිළියන්, තාක්ෂණික කණ්ඩායමට ස්තුතිය පිරිනමන්න ඔින. රිවර්ස්ටන් කියන්නේ අපි සියල්ලගේම මහන්සියේ ප්‍රතිඵලයක්.
රිවස්ටන් කියන්නේ ශීත දේශගුණයක් සහිත කලාපයක්. ඒ හැඟීම (Vibe) චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකාගාරය වෙත දනවන්න කැමරාකරණයේදී ඔබ භාවිතා කළ විශේෂ ප්‍රයෝග මොනවාද?
චිත්‍රපටය රූපගත කරන්න මම යොදා ගත්තේ ඇරී ඇලෙක්සා මිනි කියන කැමරාව. ඒ කලර් ටෝන් එක, ආලෝක තත්ත්වය එක්ක මම තෝරා ගත්තේ ඇරී ඇලෙක්සා කැමරාව. ඊට පස්සේ අල්ටා ප්‍රයිම් ලෙන්ස් ටික ගත්තා. මීදුම දිගටම පවතිනවා. එතකොට මීදුම තත්ත්වය එක්ක අඛණ්ඩව වැඩ කරන්න වෙනවා. මීදුම් හැමතිස්සෙම නැහැ. අපි ඊට පස්සේ මීදුම් වෙනුවට ස්මෝක් එක පාවිච්චි කළා. සුළඟ යනවා එනවා. සුළං තත්ත්වයත් එක්ක වැඩ කරන්න සිදු වුණා.
90%ක්ම වගේ කැමරා අධ්යක්ෂවරයාගේ කාර්යභාරය සහ වෙහෙස පෙනෙන චිත්‍රපටයක් විදියට “රිවර්ස්ටන්” හි නළු නිළියන්ගේ හැසිරීම සඳහා ඔබ සිදු කළ මැදිහත්වීම මොන වගේද?
නළුවෙක්ගේ හෝ නිළියකගේ රඟපෑම රූප රාමුවට හසුකර ගැනීම කියන්නේ කැමරා අධ්යක්ෂවරයකුගේ කාර්යභාරය. කැමරාවට දාන ලෙන්ස් එක අනුව නළු නිළියන්ගේ මුහුණේ හැඟීම් රූපයට හසුකර ගන්න ප්‍රධාන වශයෙන් බලපානවා. ෂොට් එකේ ප්‍රමාණය, උදාහරණයක් විදියට ගත්තොත් සමීප රූපයක්ද? අති සමීප රූපයක්ද? ඩෙත් ඔෆ් ෆිල්ඩ් තියෙනවද? නැත්නම් ඩෙප්ත් ඔෆ් ෆිල්ඩ් තියන් නැද්ද? වගේ සීන් එකේ මූඩ් එකට හරියන්නයි ෂොට් එක දාන්නේ. කැමරා ඈන්ගල් එක තියෙන තැන අනුව මුළු අර්ථයම වෙනස් වෙන්න පුළුවන්.
අධ්යක්ෂ ලලිත් රත්නායක සමග වැඩකරද්දී කැමරා අධ්යක්ෂවරයකු විදියට ඔබට ලැබුණු නිදහස මොන වගේද?
ලලිත් සහ මම සමකාලීනව හොඳම යාළුවො දෙන්නෙක්. ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු තෙත් සහ වියළි ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂණය කළේ මම. මට ඒ වෙනුවෙන් සම්මාන කිහිපයක් ලැබෙනවා. තෙත් සහ වියළි ටෙලිනාට්‍යයෙන් අවුරුදු 20කට පස්සේ ලලිත් එක්ක කරන වැඩේ තමයි අපි ප්‍රොඩියුස් කරපු රිවර්ස්ටන් ෆිල්ම් එක. ලලිත් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ අධ්යක්ෂවරයෙක්. කතාව, නළු නිළියන් හැසිරවීම එයාට අනන්‍ය වූ ආකාරයට ඒ නිර්මාණය අධ්‍යක්ෂණය කරනවා. මට ඔහු උපරිම නිදහස දුන්නා. රිවර්ස්ටන් චිත්‍රපටය නිර්මාණය කරද්දි, ලලිත් සහ මම අතර විශාල අවබෝධයක් තිබුණා.
රිවර්ස්ටන් චිත්‍රපටයේ ඔබට අලුත් අත්දැකීමක් ගෙන දුන්නා නේද?
“ආලෝකෝ උදපාදි” චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා වුණේ මම. “ආලෝකෝ උදපාදි” චිත්‍රපටයේ සහ රිවර්ස්ටන් චිත්‍රපට දෙක ගත්තොත් ඒ වෙනස අත්විඳීන්න පුළුවන්. පෙර සඳහන් කළා වගේ චිත්‍රපටය කරද්දි මීදුම, සුළඟ, වැස්ස වගේ කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් ඔස්සේ ගොඩනැඟෙන අභියෝග රාශියක් මැද මෙය රූගත කළේ. “ඒ” ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක් වන චීනයේ “ෂැන්හයි අන්තර්ජාතික සිනමා උළෙලේ” හොඳම කැමරාකරණය වෙනුවෙන් සම්මානය මට හිමිවෙනවා. සිංගප්පුරු, කල්කටා, ඕස්ට්‍රේලියා වගේ අපි සෑම අන්තර්ජාතික සිනමා උලෙළකටම සම්බන්ධ වුණා. ඉතින් මම හිතනවා චිත්‍රපටයට සාධාරණයක් කළා කියලා.
ඔබේ අදහසට අනුව හොඳ කැමරා අධ්යක්ෂවරයෙක් කියන්නේ කවුද?
මගේ අදහසට අනුව හොඳ කැමරා අධ්යක්ෂවරයකු වීමට නම් අනිවාර්යයෙන්ම කැමරාකරණය සහ සිනමාව පිළිබඳ හොඳ හැදෑරීමක් තිබිය යුතුයි සහ හොඳ අත්දැකීමක් තිබිය යුතුයි. අපි තමයි අන්තිම පරම්පරාව Cine කැමරාවලින් රූපගත කරපු. ඒ අත්දැකීම් එක්ක අපි මෙතනට එන්නේ. චිත්‍රපට බලන්න ඔින. ඒක තමන්ට දැනෙන්න ඕනි. මේ දේවල් එක්ක තමයි මම හොඳ කැමරා අධ්යක්ෂවරයෙක් විදිහට සඳහන් කරන්නේ.
මලින්ත විතානගේ
