Home » රිදී දෝලිය සොයා මහනුවරට ගියෙමි

රිදී දෝලිය සොයා මහනුවරට ගියෙමි

by mavan
January 15, 2026 10:18 am 0 comment

 

පසුගිය දිනෙක සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් මා හට ආරාධනා පතක් යොමු කර තිබුණි. එය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චමින්ද ඉලුක්වෙලගේ නවතම අධ්‍යක්ෂණය වන රිදී දෝලිය චිත්‍රපටයේ මුහුරත් උලෙළට කළ ආරාධනාවකි. කර්තෘතුමාට ලැබෙන ආරාධනා අපට ලබා දෙන්නේ ඒ කටයුත්තට සරසවිය පුවත්පත නියෝජනය කිරීම වෙනුවෙන් සහභාගී වීමටය. ලැබෙන ආරාධනාව කුමක් වුවත් ලංකාවේ එකම සිනමා පුවත්පතේ ප්‍රවෘත්ති පිටුවට එය වැදගත් නිසා මාධ්‍යවේදිනියක් ලෙස කෙසේ හෝ එම අවස්ථාවන් ආවරණය කිරීමට මම සැදී පැහැදී සිටිමි. එහෙත් ඇතැම් අවස්ථාවන්හී අපට ආරාධනා පත් නොලැබෙන අවස්ථාද ඇත. එසේ ලැබුණත් නොලැබුණත් සරසවියට එය එතරම් දෙයක් නොවේ. මක්නිසාද අප සහභාගී වුවත් නැතත් අදාළ ප්‍රවෘත්තිය සරසවිය පුවත්පතේ පළ කරන ලෙස අපේ කර්තෘතුමා අපට උපදෙස් දී ඇත. පසුගිය දිනෙක උදෑසනක යෙදී තිබූ රිදී දෝලිය මුහුරත් උලෙළට යාමට මා සූදානම් වූයේ උදේ පාන්දරය. කල්තියා මා හැඩවැඩ වූයේ වේලාවට එම ස්ථානයේ සිටිය යුතු නිසාය. එදින මට ප්‍රවාහන පහසුකම් ලැබුණේ ලේකහවුස් එකෙන් නොව බඹරා හවුස් එකෙනි. ඒ වෙනුවෙන් බඹරා හවුස් අයිතිකරුට මා ස්තූතිවන්ත වෙමි. ඔහු මා හට අදාළ ස්ථානයටම රැගෙන ගියේය. මුහුරත් උලෙළ තිබෙන ස්ථානය ලෙස දන්නවා තිබිණේ කොළඹ ඒතබචඪප ගොඩනැගිල්ලයි. උත්සවය තිබුණේ හැටතුන් වන මහලේය. ඒ වෙත යාමට සිදුවන්නේ විදුලි සෝපානයේය. මට මතුවූ විශාලම ගැටලුව එයයි. ඒ විදුලි සෝපානයක තනිවම යාමට ඇති බිය නිසාය. දෙවියන්ට පින් සිදුවන්නට මට පිරිසක් හමුවිය. ඔවුන්ද පැමිණ සිටියේ මුහුරත් උලෙළට සහභාගී වීමටය. ඔවුන් සමඟ මම අදාළ ස්ථානයට ගියෙමි. එය ඉතා සිත්ගන්නා සුලු ස්ථානයකි. මට දැනුනේ අහසේ සිටිනවා වැනි හැඟීමකි. කොළඹ නගරය ඉතාමත් අලංකාරව ඉහළට දිස්විය. සුබ වේලාව ළංවූ නිසා සරසවිය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි හේමාලි විජේරත්නත් සමඟ මම අසුන් පනවා තිබූ ස්ථානයට ඇතුල්වන විට අපව පිළිගැනීමට සිටියේ ලස්සන නෝනා කෙනෙකි.

ඇය රිදී දෝලිය චිත්‍රපටයේ නිෂ්පාදිකාවක් බව එතුමිය අපට හඳුන්වා දුන්නාය. මම සාමා ආර්. කැලණිය.

“මම සරසවියෙන් නයනාංජලී දෙහිපිටිය . ඉස්සර චිත්‍රපටවල රඟපාපු සෝමසිරි දෙහිපිටියගේ දියණිය. මම ඇයට මාව හඳුන්වා දුන්නෙමි. ඇයගේ ඉරියව් ක්ෂණිකයකින් වෙනස් විය. ඇය පුදුමයෙන් මෙන් මාව වැලඳ ගත්තාය. අනේ සෝමසිරි දෙහිපිටිය මහත්මයායි , මමයි එක ධටටඪජඥ එකේ වැඩ කළා. එතකොට මට අවුරුදු දහ අටක් වගේ විතර ඇති. අනේ පුදුම හමුවීමක්නේ මේ. ඒ අවස්ථාවේ ඇයගේත් මගේත් ඇසට කඳුළු ගැලුවේ අප දෙදෙනාටම නොදැනීවමය. ඒ අවස්ථාවේ සිට ඇයත් මමත් කාලයක සිට දැන හඳුනන දෙදෙනෙකු බවට පත්වීමට ගියේ ඉතා කෙටිකාලයකි.

එදින සරසවිය නිල ඡායාරූප ශිල්පී නිශ්ශංක සහෝදරයා නොපැමිණි හෙයින් ඒ රාජකාරියට කරගැසීමට සිදුවූයේද මටය. සුබ කතා මැද අවසන් වූ මුහුරත් උලෙළෙන් පසු අපනැවතත් යාමට සැරසෙද්දී ඉහත කී නිෂ්පාදකතුමිය මාගේ දුරකතන අංකය ලබා ගත්තාය.

සවස වරුවේ ඇය මා ඇමතුවාය. අනේ මට අද හරිම සතුටුයි. සෝමසිරි දෙහිපිටිය කියන්නේ මම හරිම ප්‍රිය කළ චරිතයක්. ඉස්සර අපේ ඔෆිස් එකට නිතරම විජය කුමාරතුංග, ඩබ්ලිව් ජයසිරි , දයා තෙන්නකෝන්, පියසේන අහංගම, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කෝස්තා වගේ සිනමාවේ සිටි දැවැන්තයෝ සෝමසිරි මහත්මයා හම්බවෙන්න ආවා. ඒ දවස් වල තමයි සිනමාව ගැන මට ආසා හිතුණේ. ඇය කියාගෙන ගියාය. ඉන්පසු කිහිප වතාවක් ඇය මා සමඟ ජංගම දුරකතනය ඔස්සේ කතා කළාය. දිනක් ඇය මා අමතා මෙසේ ආරාධනාවක් කළාය. මම හෙට නුවර යනවා රිදී දෝලිය ෂූටිං බලන්න. ඔයාටත් එන්න පුළුවන්ද. ඇය ඇසූ සැණින් මම එයට කැමැත්ත පළ කළෙමි. කොහේ යතත් අපේ කර්තෘතුමා දැනුම්වත් කළ යුතුව ඇත. එදා ඉරිදා දිනයක් වූ බැවින් මම කර්තෘතුමාට ඇමතුමක් ලබා දෙමින් නුවර යාම සඳහා අවසර ගතිමි.

පසුදා පාන්දර සාමා මහත්මිය මාව රැගෙන යාමට පැමිණියාය. ඉන්පසු අප රැගත් වෑන් රථය ගමන් කළේ නුගේගොඩ දෙසටය. ඒ රන් දෝලිය චිත්‍රපටයේ තවත් නිෂ්පාදකවරයෙක් වන රංජිත් මලිගස්පේ මහතා අපේ ගමනට එක් කරගැනීමටය. නුගේගොඩ ජම්බුගස්මුල්ල පෙදෙසෙන් ඔහුව වෑන් රථයට නංවා ගත් අප නැවතත් ගමන් කළේ කොළඹ වෝඩ් පෙදෙසටය. අප එහි ගියේ තවත් විශේෂිත පුද්ගලයෙකු අපේ ගමනට එක් කරගැනීමටය. ඔහු සිංහල සිනමාවේ ප්‍රකට චරිතයකි. ඔහු ප්‍රකට නිෂ්පාදකවරයෙක් වන ජයන්ත ජයතිලකය. තවත් පැත්තකින් ඔහුව හඳුන්වා දුනහොත් ඔහු අපේ රටේ ජනප්‍රිය නිළියක් වූ අනර්කලී ආකර්ෂාගේ ආදරණීය පියාය. ඔහුත් අපේ ගමනට එක්වීම ගැන මම සතුටු වුණෙමි. මින් පෙර මා ඔහු ගැන අසා තිබුණත් සැබැවින් හමු වී තිබුණේ නැත. අපේ ගමනේ සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ බැවින් සතුටින් නුවර ගමන ආරම්භ කෙරිණි. ගමන පටන් ගත් වෙලාවේ සිට ඉතාමත් රසවත් විය. කතාබහ සිනමාව පිළිබඳවමය. අතීත සිනමා රසකතා අතරේ නොදැනීම අප නුවරට සේන්දු විය. අපේ රියදුරු මහතා නුවර පළාතේම කෙනෙක් වූ නිසා මාර්ග ගැන හොඳීන් අවබෝධයක් ඔහුට තිබුණි. ඔහු අපව අදාළ ස්ථානයට අපව කැඳවා ගෙන කිසිදු අපහසුතාවයකින් තොරවය. රිදී දෝලිය රූගත කිරීම් තිබුණේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේය. අප එහි ළඟා වනවිට උදෑසන 9.30 පමණ විය. රිදී දෝලිය අධ්‍යක්ෂවරයා වන චමින්ද අපිව ඉතාමත් ආදරයෙන් පිළිගත්තේය. ඒ වන විටත් රූගත කිරීම් ආරම්භ වී තිබුණි. නිෂ්පාදක කණ්ඩායමේ යුහුසුළුව රූගත කිරීම් සඳහා කැමරා ආම්පන්න සූදානම් කරමින් සිටියහ. ඒ අතර තුර අප වෙත පැමිණියේ රිදී දෝලිය චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන නීටා ප්‍රනාන්දුය. ඇය පැමිණ අපව උණුසුම් ලෙස පිළිගත්තාය. ටික වේලාවකින් නැවතත් රූගත කිරීමක් තිබෙන නිසා ඇය ඒ සඳහා ඇතුළු වූයේ බංගලාවේ ඇති නිදන කාමරයටයි. රූගත කිරීම් සඳහා යොදා ගෙන තිබුණේ අනිවත්ත කුරේ බංගලාවයි. එය ඉතා මනස්කාන්ත පරිසරයකින් යුක්ත වූ බංගලාවකි. එහි ඇතුළතද ඉතාමත් සිත් ගන්නා සුලුය.

“ඇක්ෂන්”

නීටා ප්‍රන්නාදු ඇඳක හාන්සි වී ලියමනක් කියවමින් සිටියාය. ඇයගේ මුහුණින් දිස්වූයේ ඉතාමත් දුක්බර පෙනුමකි. ඇඳෙන් බැසගත් ඇය කණ්ණාඩිය ඉදිරියට ගොස් හැඬීමට පටන් ගත්තාය. ඇය නදීකාය. ඇය අස්වැසීමට පැමිණියේ ජෙසීය. ජෙසී යනු නදීකාව බලා කියාගන්නා තරුණියයි. ජෙසීට පණ පොවන්නේ ජනප්‍රිය නිළියක වන වොල්ගා කල්පනීය. ඇය හරි අපූරුවට නීටා ප්‍රනාන්දු සමඟ රංගනයේ යෙදුණාය. එම දර්ශනය කිහිපවතාවක් රූගත කෙරිණි. ඉන්පසු රූගත කිරීම් නැරඹීමට ගිය අපට උදෑසන ආහාරයට ආරාධනා ලැබුණි. ඒ සියල්ල සූදානම් කොට තිබුණේ බංගලාවේ ඉහළ මාලයකය. එහි ගිය අපට නුවර අසිරිය අපූරුවට දිස්විය. එහෙත් හිතට සුසුමක් නැඟුණේ කඳු පංති අතරින් තැනින් තැන නාය ගොස් තිබූ අයුරු දැකීමෙනි.

උදෑසන ආහාර වේල සප්පායම් වූ අප නැවතත් පහළ මාලයට ආවේ රූගත කිරීම් නැරඹීමටය. ඒ අතරේ ජෙසී (වොල්ගා) විවේකීව සිටිනු අයුරු මම දුටිමි. මම ඇයට ළං වුණෙමි.

” කොහොමද වොල්ගා” මම ඇසීමි.

” හොඳීන් ඉන්නවා අක්කේ” එසේ කියූ ඇය , මා සමඟ කතාවට හවුල් වූවාය. මගේ චරිතය ජෙසී. මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේම නීටා ප්‍රනාන්දු රංගවේදිනිය නිසාමයි. ඇය හා රඟපෑමට අවස්ථාව ලැබෙන නිසයි. මම මෙහි රඟපාන්නේ ඇයට තියෙන ආසාව, ගෞරවය සහ ඈ සතු දක්ෂතාවය නිසා. එවැනි අවස්ථාවක් ලැබීමත් මගේ රංගන ජීවිතයේ මට ලැබුණු භාග්‍යයක්. ඇය තමයි අපේ කණ්ඩායමේ ඉන්න සුරතල්ම සහ අහිංසකම චරිතය. ඒ වගේම මෙහි ඉන්න ජ්‍යේෂ්ඨ රංගවේදීන් පිරිසත් එක්ක වැඩ කිරීමෙන් ලැබෙන අත්දැකීම මට වටිනවා. විශේෂයෙන් ශ්‍යාම් අයියා. ඒ වගේම උමා, සූර්‍යා සහ තුෂ්නි අපි හොඳ යාළුවෝ. අපි ඔක්කොම එකතු වුණාම හරි විනෝදයි. සමහර වෙලාවට සහය අධ්‍යක්ෂවරයාටත් අපිව පාලනය කරන්න බැරි අවස්ථා එනවා. අපි විනෝදෙන් සිටියත් රූගත කිරීම් වලට හානියක් කරන්නේ නැහැ. අපේ කැමරා අධ්‍යක්ෂවරයා ෂර්ලි අයියා ඉතා වෙහෙසෙනවා මේ නිර්මාණය වෙනුවෙන්.නිෂ්පාදන කණ්ඩායමෙනුත් හොඳ සහයක් ලැබෙනවා. මෙහි පිටපතට මම හරිම කැමතියි. ඉදිරියේදි හොඳ නිර්මාණයක් බලා ගන්න පුළුවන් වෙයි. එසේ කියූ වොල්ගා මා සමඟ ඡායාරූප කිහිපයකටද පෙනී සිටියාය.

ඇය සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව මම සාලය දෙසට පිය මැන්නෙමි. නිෂ්පාදක කණ්ඩායමේ සිටි කාර්මික ශිල්පීන් තවත් දර්ශනයකට සූදානම් වෙමින් සිටියෝය. ඒ අතරේ මම අධ්‍යක්වරයා හමු වුණෙමි.

” ඔබ ඉතා කාර්‍යබහුලයි ” එයට පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා වන චමින්ද ඉලුක්වෙල මෙසේ ඔහුගේ කතාව ආරම්භ කළේය.

” ඔව්, රූගත කිරීම් දිගටම කෙරීගෙන යනවා. අපි ෂූටිං පටන් ගත්තේ දෙසැම්බර් 27 වෙනිදා. කුරේ බංගලාව ඇතුළෙම තමයි රූගත කිරීම් තියෙන්නේ. ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය සහ කැමරා උපකරණ මේ සඳහා යොදා ගත්තා. දර්ශන රාශියක් තියෙන්නේ කළු පසුබිමක. චරිත පමණක් ආලෝකමත් කළා. රිදී දෝලිය කියන්නේ සිනමාවේ වෙනම පැතිකඩක් ගැන කියවෙන නිර්මාණයක්. අපි උත්සාහ කරන්නේ අන්තර් ජාතික සිනමා උලෙළ කිහිපයක් සඳහා රිදී දෝලිය ඉදිරිපත් කරන්න. මෙහි විශේෂත්වයක් තියෙනවා. අතිරේක නළු නිළියන් සියලු දෙනාම පළමු වතාවට තමයි නීටා ප්‍රනාන්දු මහත්මිය සමඟ රඟපාන්නේ. අපි මේ චිත්‍රපටයට සම්බන්ධ කර ගත් සියලුම ශිල්පීන් ජ්‍යේෂඨ සහ ජනප්‍රිය දක්ෂ නළු නිළියන්. සියලුම දෙනා සතුටින් වැඩ කරනවා. පසුගිය දිනවල නුවරට යහපත් කාලගුණික තත්වයක් තිබුණේ නැහැ. දැන් නම් එයින් බලපෑමක් නැහැ. අපි බංගලාව ඇතුළත රූගත කිරීම් කරන නිසා කාලගුණය අපට එතරම් බලපෑමක් නැහැ. එසේ කියූ අධ්‍යක්ෂවරයා එතැනින් ඉවත් වූයේ රිදී දෝලිය කැමරා අධ්‍යක්ෂවරයා වන ෂර්ලි සඳරුවන්ට අදහස් දැක්වීමට ඉඩ ලබා දෙමිනි.

මම පළමු වරට තමයි ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නේ. මීට කලින් කැමරාකරණයෙ යෙදිලා හිටියත් රිදී දෝලිය චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස මාව තෝරා ගත්තා. මෙහි පිටපත් දැක්කහම මට හිතුණා මේක තමයි හොඳම අවස්ථාව කියල මට ඉදිරියට එන්න. මට ලොකු කාර්‍යභාරයක් පැවරිලා තියෙනවා. මම මේ ගැන චමින්ද සමඟ දීර්ඝ ලෙස කතාකළා. ඔහු මට අවශ්‍ය කැමරා උපකරණ සහ කාලය ලබා දුන්නා. නිෂ්පාදන කණ්ඩායමත් මට හොඳ සහයක් දෙනවා. ඒ නිසා මම මගේ කොටස උපරිමයෙන් කරනවා. එසේ කියූ ඔහු ඊළඟ දර්ශනය රූගත කිරීමට සූදානම් වුණේය. ඒ දර්ශනයට පෙනී සිටියේ ජනප්‍රිය නළි උමා අසේනි ය. එම දර්ශනය රූගත කෙරුණේද නිදන කාමරයක් තුළය. කැමරා ආම්පන්න, ආලෝකකරණ උපකරණ නිසා කාමරය ඇතුළට ගොස් එම දර්ශනය දැක බලාගැනීමට මට නොහැකි විය. එහෙත් පිටතින් සිට මම එය නැරඹුවෙමි.

ඉන් අනතුරුව තේ පානය සඳහා කෙටි වේලාවකට රූගත කිරීම් නතර කළේය. එළිමහනේ හීන් සීරුවට වැටෙන හිරි පොද වැස්සකි. බංගලාව අවට කඳු පංතිය දිස්වූයේ නිල්පැහැයෙනි.බංගලාව පිහිටා ඇති වත්තේ මල් ගොමු වල සුන්දරත්වයත් මුසුවූ කළ එය සිත්තරෙකු විසින් ඇඳී සිතුවමක් බඳු විය. මම එම දර්ශනය මගේ ජංගම දුරකනයෙන් ඡායාරූපයට නඟා ගතිමි.

” මිස් තේ ලෑස්තියි”

එ හඬ නිෂ්පාදන කණ්ඩායමට සංග්‍රහ කටයුතු සිදුකරන තරුණයාගෙනි. කහට කෝප්පයක රස විඳී මා නිෂ්පාදකතුමිය අසලට ගොස් අසුන් ගතිමි. සාමා මහත්මිය ඉතාම විනෝදකාමී කාන්තාවකි. ඇය කාටත් කරුණාවන්තය. ඇය සමඟ කතා කරන විට කාලය ගෙවීයන බව මට අමතකය. කෙටි වේලාවක් විවේක ගත් මා නැවතත් සුපුරුදු රාජකාරිය පටන් ගතිමි.

ඊළඟට මා කත බහට හවුල් කරගත්තේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වන උමා අසේනිය.

” මම සඳුනි”

වෘත්තියෙන් නිළියක්”

සෑබෑ ජීවිතයේ ආත්මාර්ථකාමී චරිතයක්. ඒත් මිත්‍රත්වයකුත් තියෙනෙවා.

“ඒ මම කිව්වේ රිදී දෝලියේ මට ලැබුණ චරිතය ගැන.

” මේ චිත්‍රපටය මම භාර ගත්තේ හරිම ආසාවෙන්. ඒ නීටා ප්‍රනාන්දු ජ්‍යේෂ්ඨ රංගවේදිනිය ඉන්න නිසා. මම ආසයි ඇය දිහා බලාගෙන ඉන්න. ඇගෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. ඇය අපට හරිම ආදරෙයි. අපි ගැන නිතර සොයා බලනවා. මේ චිත්‍රපටයේ ඉන්නේ මගේ මිතුරන්. වොල්ගා, සූර්‍යා, තුෂ්නි. සූර්‍යා මම ඉස්සර ඉදන්ම දන්නවා. වොල්ගයි, මමයි එකට රඟපාල තියෙනවා. ඇත්තටම රූගත කිරීම් අතර අපි ඉන්නේ හරිම විනෝදෙන්. ඇයත් සමඟ කතා කරන අතරේ එතනට පැමිණියේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් වලස්මුල්ලය. මේ චිත්‍රපටය ඉතාමත් ලස්සන චිත්‍රපටයක්. රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහය උපරිමයි. එයාල රඟපාන කොට අපිටත් එය දැනෙනවා. රිදී දෝලිය රූගත කිරීම් ඉතා සාර්ථකයි.

ඔහුත් සමඟ කතා බහ අවසන් කළ මා නැවතත් විවේකයක් ගැනීමට බංගලාව පිටුපස කොටසට ගියෙමි. මම එහි යනවිට නීටා ප්‍රනාන්දු රංගවේදිනිය නිෂ්පාදකතුමිය සහ අපත් සමඟ මේ ගමනට එක්වූ ජයන්ත ජයතිලක සහ රංජිත් මලිගස්පේ මහත්වරුන් සමඟ සුහද කතා බහක නිරත වී සිටියාය. ඇය මා දුටු සැණින් ” ඔයා තේ එකක් බිව්වද? කියා ඇසුවේ දැඩි ආදරයකිනි. ඒ අතර තුර සාලයේ රූගත කිරීම් ආරම්භ වී තිබුණි. ඒ නිසා අපට කටවල් වසා සිටීමට සිදුවිය. ඒ අතර තුර මම කොණ්ඩ මෝස්තර ශිල්පියා සමඟ කතා කළෙමි. ඔහු අප කවුරුත් හඳුනන තුෂාර විදානගේය. ඒ කතාවට අඩුවැඩිය සැපවූයේ රිදී දෝලිය චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා වූ බුවනෙක රණවකය. ඔහු ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ජයන්ත රණවකගේ පුත්‍රයාය.

“‘මේ ගෙවෙන කාලය ඉතාමත් සතුටින් වැඩ කරන්නේ” මට පැවරිලා තියෙන්නේ කොණ්ඩ සැකසීම. ඉතින් හරි විනෝදයි මේ වැඩේ. ඒ වගේම සුන්දරයි.

” ඔව් අක්කේ හරිම සුන්දරයි. රාත්‍රියට තවත් සුන්දරයි” එසේ කියා සිනාවූයේ බුවනෙකය. රාත්‍රිය සුන්දර යැයි කී කතාවේ රහස මා ඒ තරුණයන්ගෙන් අසා නොසිටීමට වග බලා ගතිමි.

එසේ විහිළු තහළුවෙන් කාලය ගතවිය. අප දිවා ආහාරය ලබා ගත්තේ සවස දෙකයි තිහට පමණය. ඉතා ප්‍රණීත ආහාර වේලක් අප වෙනුවෙන් සූදානම් කොට තිබුණි. අප දිවා ආහාරය ලබා ගන්නා විට රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් රූගත කිරීම් වලට සූදානම් වූහ. එය එළිමහනේ රූගත කෙරෙන දර්ශන පෙළක් විය.

දිවා ආහාරයෙන් පසුව අපද ඒ වෙත ගියෙමු. සූර්‍යා දයාරුවන් , තුෂ්නි සහ උමා අසේනි රංගනයේ යෙදීමට සැරසී සිටියෝය. නිෂ්පාදකතුමියත් , මමත් අසළ ඇති සිමෙන්ති බංකුව මත වාඩි වී ඒ දෙස බලා සිටියෙමු. කෙමෙන් කෙමෙන් හවස් වරුවට ළඟා විය. රූගත කිරීම් අතර තුර නිෂ්පාදක තුමියත් මමත් අපට රිසිසේ ඡයාරූප ගත්තෙමු. විටෙක ඇයත් මමත් නිළියන් මෙන් විවිධ ඉරියව් මවා පාමින් ඡයාරූප වලට පෙනී සිටියෙමු. ඒ අතරතුර නිෂ්පාදක කණ්ඩායමේ සැමට විධානයක් ලැබුණේ සහය අධ්‍යක්වරයාගෙනි.

” හැමෝම එන්න ගෲප් ෆොටෝ එකක් ගන්න”. නිෂ්පාදක කණ්ඩායමේ තිස් දෙනෙකුට ආසන්න පිරිසක් සිටියහ. ඡායාරූපය ගැනීමට සූදානම් කළේ එළිමහනේය. නිෂ්පාදකතුමිය, අධ්‍යක්ෂවරයා ඇතුළුව සැවොම ඉතාමත් සතුටින් ඡායාරූපයට මුහුණ දුන්හ. ඉන් අනතුරුව නැවතත් රූගත කිරීම් ආරම්භ විය. ඒ අතරතුර මම ජනපි‍්‍රය නිළි තුෂ්ණි සමඟ ඡායාරූප කිහිපයකටද පෙනී සිටියෙමි. ඇයද චිත්‍රපටයට සම්බන්ධවීම ගැන සතුට ප්‍රකාශ කළාය.

සවස තේ පානය සඳහා චොක්ලට් කේක් සංග්‍රහයක් සමඟ කිරි තේ එකක් සූදානම් කර තිබුණි. රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන්ද ඔවුන්ගේ වැඩ කටයුතු වලින් පසුව ඒ සඳහා සම්බන්ධ වූහ.

ඉන්පසුව තිබූ දර්ශනය හරි අපූරුය. ඒ සඳහා නිෂ්පාදක කණ්ඩායමේ සියලුම දෙනා නළු නිළියන් බවට පත්වූහ. ඒ සඳහා නිෂ්පාදකතුමියටද, රිදී දෝලිය රූගත කිරීම් ආවරණය කිරීමට ගිය මටද පෙනී සිටීමට සිදුවිය. හරිහැටි මුහුණ නොපෙනෙන දර්ශනයක් නිසාත්, ඩ්‍රෝන කැමරාවකින් රූගත කෙරුණු නිසාත් මමද ඒ සඳහා පෙනී සිටියේ අපහසුතාවයකින් තොරවය. ඇක්ෂන් කියූ සැණින් ඩ්‍රෝන කැමරාව ගමන් කළේ අපේ හිසට උඩිනි. එම දර්ශනයේ තිබුණේ චිත්‍රපටයක් අවසන් කර එකිනෙකාට සුබ පතා ගන්නා ආකාරයයි. දර්ශන තලයෙන් සමුගැනීමට අප එය අවස්ථාවක් කර ගතිමු. මන්ද එවිට සවස පහට පමණ විය. අප සිව්දෙනා කොළඹට සේන්දු විය යුතුය. සැමගෙන් සමුගත් අප ආපසු ඒමට සැරසෙද්දී අපට සමුදෙන්නෙට පැමිණියේ රිදී දෝලිය චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන නීටා ප්‍රනාන්දුය. ඇය එතරම් නිහතමානී චරිතයක් වූවාය. සුන්දර සිනහවක් පාමින් ” පරිස්සමෙන් යන්න” යැයි කියමින් අප වාහනයට ගොඩ වන තුරුම ඇය අප අසළ රැඳී සිටියාය. දිනයක් පුරාවට රිදී දෝලිය සමඟ ගත කළ මම දර්ශන තලයෙන් සමුගත්තේ රිදී දෝලිය චිත්‍රපටය අති සාර්ථක වේවා යැයි සුබ පතමිනි.

ඒ වගේම දර්ශන තලයට යාමට මා හට ආරාධනා කළ රිදී දෝලිය චිත්‍රපටයේ නිෂ්පාදකතුමියක වන සාමා ආර්. කැලණිය මහත්මියට ස්තූතිය පුද කරමි. අපව උදෑසන වාහනයේ නංවා ගත් අවස්ථාවේ සිට නිවසට රැගෙන එන මොහොත තෙක් කිසිදු කරදරයක්, අපහසුතාවයක් සිදුවන්නට නොදී ආරක්ෂා සහිතව රිය ධාවනය කළ රියදුරු මහතාවද සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙනි.

සේයාරූ – ධම්මික පතිරත්න

සටහන සහ සේයාරූ නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT