එකල ලක්දිව විසූ පණ්ඩුකාභය රජතුමා හා බංගලිදේශයේ රජකළ “බංගලී” නම් රජු වටා දිග හැරෙන සිනමා පටයකි “Once A For Time Taka”. අතීත පුරාවෘත්තයට අනුව එදා පණ්ඩුකාභය රජු විසින් අසරණ වූ දූගී ජනතාව වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇත.මෙම උත්සවය සඳහා මුම්බායිවල වෙසෙන ධනවත් මුස්ලිම් කාන්තාවකට රජු ඇරයුම් කර තිබේ.ඇය එම අවස්ථාවට සහභාගී වී සතුටු වෙන දර්ශනයක් සිනමා පටය තුළින් දැකගන්න ලැබෙනවා. මෙහි මුස්ලිම් කාන්තාවගේ චරිතය නිරූපණය කරන ඇය මෙවර අප හා පිළිසඳරෙහි යෙදුණා. නවක රංගන ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ ඇය නමින් නිලානි දිල්රුක්ෂි.
ඔබ ගැන හදුන්වා දුන්නොත්?
මගේ ගම කලල්ගොඩ,පන්නිපිටිය.පාසැල් ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට.උසස් පෙළ කලා අංශයෙන් හැදෑරුවා.අම්මාගේ නම ටී.සෝමාවතී.ඇය ගෘහණියක්.මෑතකදී ජීවිතෙන් ඇය සමුගත්තා.තාත්තාගේ නම එස්.පී.සිරිසෝම.ඔහු වානේ සංස්ථාවේ වැඩ කලා.මට සහෝදරියන් දෙදෙනෙක් සහ එක් සොහොයුරෙක් ඉන්නවා. මල්ලී සහ ලොකු නංගී විවාහකයි.ලොකු නංගීගේ නම ඩෙසිකා බද්රානි.බාල නංගී තක්ෂිලා බුද්ධිකා.සහෝදරියන් දෙදෙනා රැකියාවල නියුතු වෙනවා. මල්ලීගේ නම නුවන් චාමර.ඔහු සංගීත් විශාරද හැදැරූ තබ්ලා වාදක ශිල්පියෙක්.ඔහු ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරනවා.
කොහොමද මේ ක්ෂේත්රයට අවතීර්ණ වුනේ?
අහම්බෙන් තමයි කලාවට යොමු වුණේ.පන්නිපිටිය ගමේ කලා ශිල්පීන් හමුවුණු විටදී රඟපාන්න ආසද කියලා මගෙන් අහලා තියෙනවා.2020 වසරේදී ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අයියාගේ අවමගුල් උත්සවයේදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුමිත් ගල්හේන සහ ටෙලිනාට්‍ය සඳහා රංගන ශිල්පීන්ව සම්බන්ධීකරණ කටයුතු කරන ජගත් ධීරසිංහ මට අහඹු ලෙස මුණ ගැහුණා.ඉන්පසු සුමිත් ගල්හේනගේ ප්‍රථම ඒකාංගික ටෙලිනාට්‍යය වන ” නික්ම යාම” ට මාව සම්බන්ධ කරගත්තා.එතන තමයි කලාවේ ආරම්භක පියවර. කොරෝනා ආරම්භයේ දී (2021 වසරේ දී) “නික්ම යාම” බේරුවල රූපගත කිරීම සිදුවුණා.මම එහිදී ප්‍රියන්ත රත්නායක සමඟ උප ප්‍රධාන චරිතයක් සිදුකළා. ඊට අවුරුද්දකට පසුව (2022 වසරේදී) You Tube නාලිකාවේ විකාශය වන ” ඒකබාර්” විකට නාට්‍යය සඳහා මට උදය ඇල්පිටියගෙන් ආරාධනා ලැබුණා.ඔහු මාව මුහුණු පොතෙන් දැකලා ඇරයුම් කළේ.”ඒකබාර්” අධ්‍යක්ෂණය කළේ් “ධර්මපාල සුදු මල් කන්ද අයියා. මෙම නාට්‍යය ජනප්‍රිය වුණා.එයින් පසුව ටෙලිනාට්‍යවලට මට ආරාධනා ලැබුණා.
පවුලේ අය කලාවට සම්බන්ධයිද?
අම්මායි තාත්තායි දෙන්නාම කලාවට ලැදියි.නමුත් ඔවුන් කලාවට සම්බන්ධ නෑ.තාත්තාට ගීත ගැයීමේ හැකියාව තියෙනවා.ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොලගේ ගීත ඔහු නිතර ගායනා කරනවා.මා කලින් කියූ පරිදි මල්ලී සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.සහෝදරියන් දෙදෙනාටත් ගීත ගැයීමේ හැකියාව තියෙනවා.
කුඩා වියේ සිටම රංගනය වෘත්තීයක් වශයෙන් තෝරා ගැනීම පිළිබඳ සිහිනයක් තිබුණාද?
ඔව්.මං පොඩි කාලේ ඉදන්ම ආස වුණේ නිළියක් වෙන්න. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙකු වූ ලාල් පෙරේරා සර් අපිව පාසැලේ වේදිකා නාට්‍යවලට බලෙන් සම්බන්ධ කර ගත්තා.පාසැල් සමිතිවලදී “කදා වළලු” නාට්‍යයට මං සම්බන්ධ වුණා.
සුළු චරිත පමණයි ද දැනට නිරූපණය කරලා තියෙන්නේ?
උප ප්‍රධාන චරිත තුනක් කළා. 2025 වසරේ දී ධර්මපාල සුදු මල් කන්ද අධ්‍යක්ෂණය කළ “සමනළ කදුළු” සිනමාපටයෙහි ගුරුවරියකගේ චරිතයක් මා රඟපෑවා. ඒක දැනට රූපගත වෙමින් පවතිනවා.ඔහුම අධ්‍යක්ෂණය කළ “බෝනික්කා ” චිත්‍රපටියෙහි ආධාර එකතු කරන ගමන් ගෙවල්වල බඩු සොරකම් කරන චරිතයක් මං නිරූපණය කරනවා. මානෙල් චන්ද්‍රලතා අක්කා සමඟ මම එහි රඟපෑවා.”කාලි” චිත්‍රපටයේ මාධ්‍යවේදිනියකගේ චරිතයක් රඟපෑවා. දැනට චරිත 32කට වැඩිය රඟපාලා තියෙනවා.
මේ දිනවල ඔබේ වැඩකටයුතු කොහොමද ?
දැනට බංගලී චිත්‍රපටයක් වන Once A For Time Taka සහ “සමනල කදුළු” චිත්‍රපට දෙකක වැඩ කරගෙන යනවා. බංගලී චිත්‍රපටයේ මුස්ලිම් චරිතයක් මං නිරූපණය කරනවා. වේදිකා නාට්‍ය 4, 5 කට ආරාධනා ලැබී තියෙනවා. දැනට මම රැකියාවක නියැළෙන නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණා.
හාස්‍ය රංගනයන් සඳහා ඔබට වැඩිපුර ඉල්ලුම තියෙනවා නේද?
ඔව්.එක නාට්‍යයක් විකාශනය වුණාහම ගොඩාක් අය අහන දෙයක් තමයි තව එවැනිම නාට්‍යයක් ඉදිරියේ දී විකාශනය වෙනවාද කියලා.දැනට හාස්‍ය රංගන 2,3 ක් කරලා තියෙනවා.ඉදිරියේදී විකට රංගනයන් සඳහා අරාධනා ලැබුණොත් කරනවා.
රංගන ජීවීතේ අමතක නොවන සිදුවීම් තියෙනවා ද?
එහෙම සිදුවීම් තියෙනවා. රොජර් සෙනෙවිරත්න අයියා එක්ක කරපු Once a Upon A Time In Colombo ටෙලිනාට්‍යයේ සමහර දෙබස් කියනකොට මට හිනා යනවා.ඔහු මුහුණ දිහා බලාගෙන ඉන්නකොට මට ඒවෙලාවට හිනා ගියහම එයා සැර කළා.
You Tube හි විකාශය වූ “ඒකබාර්” නාට්‍යයෙහි මගෙන් ආදරය ඉල්ලගෙන උදය ඇල්පිටිය අයියා එනකොට මම ඇත්තටම එයාට ගැහුවා.
මෙය වෘත්තීයක් වශයෙන් කරගෙන යාමේදී ජීවිතයට ලැබුණු අභියෝග සහ අත්දැකීම් මොනවාද ?
තවම මට කැපිලි කෙටිලි නම් නැහැ.අභියෝගයක් විදිහට අදාළ චරිතයට සමවැදිලා ඉන්න උත්සාහ කරනවා.ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණාහම මොනවැඩ තිබ්බත් මම ඒ වැඩේ කරලාම තමයි එන්නේ.කවදාවත් වැඩක් මඟහැරලා නෑ.
දවසක්, දෙරණේ ගිය “සංගීතේ” සහ “දෙවන ඉනිමේ” ටෙලිනාට්‍යයවලට කතා කළ අවස්ථාවේ මට හොඳටම උණ හැදිලා හිටියේ.මම අසනීපේ තියෙද්දීම ඇවිත් රෑ එළි වෙනකන් රඟපාලා ගෙදර ආවා.
“ආදර වසන්තය” චිත්‍රපටියේ රඟපෑ අඛිල ධනුද්දර එක්ක රසවත් වගේම අභියෝගාත්මක අත්දැකීම් තියෙනවා. මීපේ වග ඇල්ලේ දී රෑ 1 ඉදන් පාන්දර 4 වෙනකන් වතුර වලකට බැහැලා කෑගසන දර්ශනයක් රූපගත කරන්න මට තිබුණා. අකිල හොඳ සහයෝගයක් දුන්නා.එදා සීතල හැදිලා මට හොදටම උණ හැදුණා.
දැනට වේදිකාවේ,සිනමාවේ සහ පුංචි තිරයේ කොපමණ රංගනයෙන් දායක වී තියෙනවා ද?
දැනට වේදිකා නාට්‍යවල රඟපාලා නෑ.
පසුගිය අවුරුද්දේ (2025 වසරේ) උපාලි ගම්ලත් සර්ගේ ඒකාංගික නාට්‍යයක හෙදියකගේ චරිතයක් රඟපෑවා. නීල් ඉන්ද්‍රජිත්,සුසන්ත පුෂ්පකුමාර, ජයතිලක හේරත් යන අයගේ නාලිකාවක “පරිසරය සුරකින්න” වීදී නාට්‍යය සහ විකට නාට්‍යයක් කළා. දැනට චිත්‍රපට 8 ක රඟපාලා තියෙනවා. සමනල කඳුළු, බොනික්කා,සනත් ගුණතිලක මහතා රංගනයෙන් දායක වූ සූරිය සුළඟ, තුමිඳු දොඩන්තැන්න රඟපෑ වාලම්පුරි, Once A For Time Taka , සනත් අබේසේකරගේ දළදා ගමනය, ආදර වසන්තය ,කාලි වැනි සිනමාපටවලට මං දායක වුණා.ටෙලිනාට්‍ය 32 ක රඟපාලා තියෙනවා.
ගීත රූප රචනාවලට සහ වෙළඳ දැන්වීම්වලට ඔබ පෙනී ඉඳලා තියෙනවා ද ?
මේ ක්ෂේත්රයට එන්නට පෙර මියුසික් විඩීයෝවක් සඳහා සිරසේ කැමරා අධ්යක්ෂකයෙකු වන අමිල පෙරේරා අයියාගෙන් මට ආරාධනා ලැබී තිබුණා.ඔහු විදෙස් රටකට ගිය නිසා එය කිරීමට නොහැකි වුණා.මම වෙළඳ දැන්වීම් 25 කට පෙනී සිටියා.මේ මෑතකදී වෙද්‍යවරයෙකුගේ ගීත රූපරචනයකට ආරාධනා ලැබුණා.
නිලානී, ඔබ කොහොම කෙනෙක්ද ?
කෙනෙකු අවංකව ඇසුරු කරනවා නම් මම අවංකව කටයුතු කරනවා.හැමෝම එක්ක නිහතමානීව ඉන්නවා. මේ ජීවිත කාලෙට සතුරෝ නැහැ.අසාධාරණ විදිහට කවුරුන් හෝ දෝෂාරෝපණය කරනවා නම් මට කේන්ති යනවා. ඕනම කෙනෙකුට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටිලාත් තියෙනවා.
ඔබ මෙතෙක් නිරූපණය කළ චරිත අතරින් සැබෑ ජීවීතේට සමීප චරිත තිබෙනවාද ?
එහෙම සමහර ඒවා තියෙනවා.”සමනල කදුළු” එකේ ගුරුවරියගේ චරිතය මට සමීපයි.මම අවුරුදු 15 කට කලින් පෙර පාසැල් ගුරුවරියක් ලෙස කටයුතු කළා.” ඒකබාර්” නාට්‍යයෙහි ආදරය ඉල්ලගෙන එන තරුණයාට මම ගහනවා, බනිනවා. මට අවුරුදු 22 දී එහෙම දෙයක් වුණා.
“පිය සෙනෙහස” කෙටි ටෙලිනාට්‍යයෙහි තේ එකක් අදාළ පුද්ගලයාට දුන්නහම ඒ කෙනා තේ එක දමල ගැහුවහම මම එතනින් කේන්තියෙන් යනවා. සැබෑ ජීවිතේ සමහර අවස්ථාවල ඒවගේ කේන්ති යන අවස්ථා තියෙනවා.
පවුලේ අයගෙන් ඔබේ කලා දිවියට ලැබෙන පිටුවහල කොහොමද ?
හොඳ සහයෝගයක් ගෙදර අයගෙන් ලැබෙනවා.ගෙවල් ළඟ රූපගත කිරීමක් තිබුණ විටදී දෙමව්පියෝත් එයට සහභාගී වෙනවා.මට ඕනම වෙලාවක රූපගත කිරීම්වලට යන්න අවසර දීලා තියෙනවා.මං රඟපාන චරිතවලට ගෙදර අය මේ වනතුරු අකමැත්ත පළ කරලා නැහැ.
කලා ශිල්පිනියක් ලෙස ඔබ ලැබූ ජයග්‍රහණ මොනවාද ?
2024 වසරේදී “බොනික්කා” චිත්‍රපටය වෙනුවෙන් රුක්මණී දේවි පදනම හරහා කුසලතා සම්මානයක් ලැබුණා.
තරුණ වයසේ පසුවන කෙනෙකු ලෙස ඔබ ආදරය විදින කෙනෙක් ද?
ඔව්.ආදරවන්තයෙක් ඉන්නවා.ඔහුව මට මුණ ගැසුනේ කොරෝනා එන්නත විදීමට ගිය විට පනාගොඩ යුදහමුදා මූලස්ථානයේ දී.එයා යුදහමුදාවේ සේවය කරන්නේ.ඔහු කලාවට ලැදියි.ගීත ගායනා කිරීමේ හැකියාව එයාටත් තියෙනවා.
වසුන්දරා කුමාරී ධර්මරත්න
