Home » මේ ගොක් කලාකරුවන් ගැන අවධානය යොමු විය යුතු කාලයයි

මේ ගොක් කලාකරුවන් ගැන අවධානය යොමු විය යුතු කාලයයි

ගොක් නිර්මාණ ශිල්පී ප්‍රසන්න කරුණාතිලක

by mavan
February 5, 2026 12:11 pm 0 comment

පුරාතනයේ සිට ශශ්‍රී ලංකේය අනන්‍යතාව ලොවට නිරූපණය කරන සාම්ප්‍රදායික කලාවකි “ගොක් නිර්මාණ”. ගොක් නිර්මාණ සඳහා උපයෝගී කර ගන්නේ පොල් ශාකයෙහි ළපටි කොළ වේ.විශේෂයෙන් ගැමි ජනතාව අතර පාරම්පරික ශිල්පයක් ලෙස මෙය පැවතුණද අද වන විට පාරම්පරික නොවන ශිල්පීන් ද මෙම කලාව හරහා දස්කම් විස්කම් පාමින් වෘත්තීයමය වශයෙන් නියැළී සිටී.දේශීය නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩු,ගම්මඩු වැනි ශාන්ති කර්ම වලට ද මංගල උත්සවල දී මගුල් පෝරු,සශශ්‍රීක මේස වැනි අංගෝපාංග තැනීමට ද පිරිත් මණ්ඩප,ධර්මාසන වැනි ආගමික පූජෝත්සවලට ද අවමඟුල් උත්සවලදී අවමගුල් තොරණ සෑදීමට ද පාසැල් හා වෙනත් ආයතනික කටයුතුවලදී පිළිගැනීමේ තොරණ ඉඳීකිරීමට ද ආදී වශයෙන් ගොක් කොළ මගින් විවිධ සැරසිලි කරනු ලබයි.නව්‍ය නිර්මාණ අත්හදා බලමින් මෙම කලාව නව මානයකින් ජනතාව අතරට රැගෙන යන තරුණයෙකු අපට මුණගැසුණා.ඒ ගොක් නිර්මාණ තුළින් මානව රූප හදුන්වාදීමෙනි.ආණමඩු ප්‍රදේශයේ පදිංචි ගොක් නිර්මාණ ශිල්පියෙකු වන ඔහු නමින් කලා කීර්ති ශශ්‍රී ජනරංජන ප්‍රසන්න කරුණාතිලක.

ඔබ මේ කලාවට අවතීර්ණ වුනේ කොයි කාලේද?

දැනට වසර 3ක් පමණ වෙනවා.

ඔබට මෙය සහජයෙන් ලැබුණු හැකියාවක්ද?නැත්නම් දෙමාපිය උරුමයෙන් ලැබුණු දායාදයක්ද?

මගේ පරම්පරාවෙ සහ මේ ප්‍රදේශයේ වත් මේ කලාව කරන කෙනෙක් හිටියේ නැහැ.මට හම්බවුණේත් නැහැ. සමාජ මාධ්‍ය හරහා (ටචජඥඡධධඬ) දැකපු නිර්මාණයක් නිසා තමයි මම මේ කලාව කරන්න පටන් ගත්තේ. මම හිතුවා මට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතිං සෑහෙන කාලයක් අධ්‍යයනය කරලා මීට අවුරුදු 03 කලින් මගේ පලවෙනි නිර්මාණය කළා.

වෘත්තිය ලෙස ඔබ ගොක් සැරසිලි නිර්මාණකරණය තෝරා ගත්තේ ඇයි?

මම මීට කලින් ඡ්යජචමචබධප ධනඥපචබධප කෙනෙක් විදිහට තමයි රැකියාව කළේ. නමුත් මේ කලාවට අවතීර්ණ වුණාට පස්සෙ ගොඩක් තැන් වලින් නිර්මාණවලට ආරාධනා ලැබුණා. කාලයක් යනකොට වෙන වැඩක් කරන්න කාලයක් නැතිව ගියා පිරිත් මණ්ඩප ධර්මාසන වලට සෑහෙන ඉල්ලුමක් ලැබුණා. ඒක නිසා මම මේ කලාව වෘත්තීය ලෙස තෝරා ගත්තා. අනික තමයි මේ නිර්මාණයක් කරලා අවසානේ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ඒ ඔක්කොම හේතුන් එක්ක මම මේ කලාව මගේ රැකියාව විදිහට තෝරගත්තා.

මෙම කලාව උපයෝගී කරගෙන ඔබ නවමු නිර්මාණයක් ලෙස ප්‍රසිද්ධ චරිතයන්ගේ මුහුණු හදුන්වාදී තියෙනවා.කොහොමද මේ සංකල්පය ඔබේ සිතට නැගුනේ?

ඔව්. ඒක වෙනස්ම විදිහේ වැඩක්. මුලින්ම සහෝදර ශිල්පියෙක් දෙන්නෙක් තමයි මේ වගේ නිර්මාණයක් කරලා තිබුණේ. ඒ අය බුදු රූප සහ තවත් එක එක රූප තමයි කරලා තිබුණේ. හැබැයි මට ඕන වුණා වෙනස්ම විදිහේ වැඩක් කරන්න ඕන කියලා. ඒක නිසා මම ප්‍රසිද්ධ චරිත ටිකක් තෝරගෙන ඒ චරිතවල පින්තූර ටිකක් කළා. හිතුවට වඩා ගොඩක් ප්‍රතිචාර ලැබුණා. හරිම සතුටුයි ඒ ගැන.

මෙවැනි නිර්මාණයක් අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වෙනවාද ?

මේ වගේ නිර්මාණයක් කරන්න ගොඩක් කාලයක් ගතවෙනවා. සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් වගේ කාලයක් ගතවෙනවා. හරිම සියුම්ව කරන්න ඕන වැඩක්, සෑහෙන්න කල්පනා කරලා කරන්න ඕන වැඩක්. ඒ අදාළ රූපේ තියෙන ඉරියව්ව සහ අදුරු තැන් හොදින් අධ්‍යයනය කරලා ඒ වර්ණ වලට ගැළපෙන ගොක්කොළ තෝරලා තමයි රූපයක් නිර්මාණය කරන්නේ. සමහර රූපවලට පැය 10ක් විතර යන අවස්ථා තියෙනවා.

මේ කර්තව්‍යය වෙනුවෙන් උපරිම ඉවසීමක් තියෙන්න ඕනේ නේද?

ඔව්. අංක එක ඉවසීම. අනික තමයි එවැනි නිර්මාණයක් කරනකොට මනස නිරවුල්ව තියෙන්න ඕනෙ. මේ කලාවත් හරියට භාවනාවක් වගේ කියලා තමයි මට දැනෙන්නෙ.

ප්‍රසිද්ධ චරිත ඉස්මතු කිරීම හරහා ඔබට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය දැනගන්න කැමතියි.

ප්‍රසිද්ධ චරිත වල රූප කරන්න මට ඕන වුණේ ඒක වෙනස්ම වැඩක් නිසා. හැබැයි මට ඒ නිර්මාණ කළාට පස්සෙ හිතුණා ඒ අය හමුවෙලා ඒ පින්තූර ඒ අයට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පින්තූරය කරාට පස්සේ එක එතුමාට දෙන්න උත්සාහ කරා. නමුත් මගේ උත්සාහය අසාර්ථක වුණා. එතුමා ඒ වෙනකොට මෙරටින් බැහැර වෙලා වෙනත් රටක සංචාරයක් සඳහා ගිහින් තිබුණා.

මීට කලින් ඉදිරිපත් කළ නිර්මාණ මොනවාද ?

මීට කලින් මම ගොඩක් කළේ ධර්මාසන සහ පිරිත් මණ්ඩප. තාමත් ඒ නිර්මාණ කරගෙන යනවා. ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට ගිහින් මම නිර්මාණ කරලා තියෙනවා.

මෙම ව්‍යාපාරයෙන් ඔබට හොද ආදායමක් ලැබෙනවාද? පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඉල්ලුම කොහොමද ?

හොඳ ප්‍රශ්නයක්. මේක මම වෘත්තීයක් විදිහට තෝර ගන්න එක හේතුවක් තමයි මේ කලාවෙන් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. අලුතෙන් මේ කලාවට එකතුවෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඇත්තම කියන්නම්. මම සමහර මාසවල මාසෙකට ලක්ශ 5 ක්, 6 ක් හොයලා තියෙනවා. මගෙ ළඟ ධර්මාසන තියෙනවා. මගේ මේ ව්‍යාපාරය “ගොක්කලා ආණමඩුව” නමින් පවත්වා ගෙන යනවා. දැනට සේවකයෝ 4ක් මාත් එක්ක වැඩ කරනවා. අනික තමයි තමන් කරන නිර්මාණය ලස්සනට පිළිවෙළකට කරනවා නම් හොඳ පරිභෝගික ඉල්ලුමක් තියෙනවා.

මේ වෘත්තිය තෝරා ගැනීම පිළිබඳව අද ඔබට දැනෙන හැඟීම මොනවගේද?

ඇත්තටම ගොඩක් සතුටුයි මට මේ කලාව ඉගෙන ගන්න ලැබුණ එක ගැන සහ අද මම ඉන්න තැන ගැන. මගේ ජීවිතේ සෑහෙන දේවල් මේ කලාවත් එක්ක වෙනස් වුණා. මගේ එකම බලාපොරොත්තුව ගොක් කලාව හරහා ලොකු ගමනක් යන්න.

ආදීවාසී ජනතාව සහ ඔබ අතර තියෙන සම්බන්ධය මොකක්ද ?

මම සහ මගේ ගෝලයෝ කිහිපදෙනෙකු එක්ක හසලක ගිය වෙලාවක මට හිතුණා දඹානට ගිහින් නැති නිසා ඒ පැත්තට යන්න. එහිදී තමයි ආදීවාසී නායකයා ඇතුළු ඔහුගේ පිරිස මට මුණගැහුණේ.එතනදී ඔවුන් මාත් සමඟ කතාබහ කරන විට ගොක් නිර්මාණ ශිල්පියෙකු ලෙස දැන හඳුනාගත්තා. මීට කලින් ගොක් නිර්මාණකරුවන් ඔවුන්ගේ ගමට ඇවිත් නොමැති බව පැවසුවා. එදා ලෝක ළමා දිනය වෙනුවෙන් ඔවුන්ගේ උත්සවයක් තිබුණා. අපි ඉස්සරහට එහෙ පාසලක වැඩසටහනක් කරන්න ආදිවාසී නායකතුමා එක්ක කතාබහ කරගෙන ආවේ. ඔවුන්ගේ පරපුරට මේ ශිල්පය උගන්වනවාට ඔහු ගොඩාක් සතුටු වුණා.

ශිල්පයක් ලෙස මෙය රැකගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

අපි ලංකාව පුරා ඉන්න ගොක්කොල නිර්මාණ ශිල්පීන් එකතු කරලා සංගමයක් හදලා තියෙනවා ” ජාතික ගොක්කලා සංගමය” කියලා. අපේ සංගමය හරහා දිවයින පුරා පාසල්වල ළමුන්ට ” අපේ දැනුම මතු පරපුරට ” යන තේමාව යටතේ වැඩසටහන් කරගෙන යනවා. එයින් අපි බලාපොරොත්තු වන්නෙ මේ කලාව රට තුළ තවත් ව්‍යාප්ත කිරිමටයි. කනගාටුදායකම හේතුව තමයි මේ වෙනකම් තවම රාජ්‍ය මට්ටමින් අපේ කලාකරුවන්ට කිසිම අයුරින් උපකාරයක් සහ අවධානයක් යොමු කරලා නෑ.

ඔබට මෙතරම් දුරක් ඒමට ගුරුහරුකම් දුන් අය කවුද?

මගේ ගුරුතුමා තමයි ජාතික ගොක් කලා සංගමයේ සභාපති රෝහණ සමන් කුමාර මහතා. එතුමා තමයි මට ගොක්කලාවෙ සියලුම දේවල් කියලා දුන්නෙ සහ තවදුරටත් කියලා දෙන්නෙ.

පවුලේ විස්තර ටිකක් කියමු.ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද ?

අම්මා අනුලා අබේගුණවර්ධන. ඇය රැකියාවක් කරන්නෙ නෑ. තාත්තා කරුණාතිලක.ඔහු නොරොච්චොලේ විදුලි බලාගාරේ වැඩ. මට සහොදරයෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු මල්ලී ප්‍රවීන් සත්සර කරුණාතිලක. ඔහුත් විදුලි බලාගාරයේ වැඩ කරන්නේ. පොඩි මල්ලී ප්‍රමාශ් දුල්සර කරුණාතිලක. එයා ගෙදරට වෙලා ඉන්න ගමන් මගෙ වැඩවලට උදවු වෙනවා. මම විවාහකයි.

බිරිදගේ නම චතුරිකා දිල්හානි සුභසිංහ. ඇය වෘත්තීයෙන් රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරනවා. ඇය කොච්චර කාර්‍යබහුල ජීවිතයක් ගතකලත් මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පුතා ආකේශ. එයාට තාම අවුරුදු 3යි. ඒ ඇරුණහම මගේ පවුලේ අනිත් සාමාජිකයන්ගෙනුත් විශාල සහයෝගයක් මට ලැබෙනවා. මම ඉගෙන ගත්තේ ආණමඩුව විමලරත්න කුමාරගම විද්‍යාලයේ.

ඔබට වෘත්තිය වශයෙන් ලැබුණු ජයග්‍රහණ සහ අභියෝග මොනවාද ?

මේ කලාව තුළින් මම කලින් කිවා වගේ මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. මගේ ජිවිතේ ගොඩක් වෙනස්කම් සිදුවුණා. මට මීට වසර දෙකට විතර කලින් කලා කීර්ති ශශ්‍රී ජනරංජන කියන ගෞරව නාම ලැබුණා. එතකොට අභියෝගයක් විදිහට අපේ කලාකරුවන් හැමෝටම තියන එකම දේ තමයි මේ කලාව කරගෙන යන්න අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යය වන ගොක් කොළ සහ පොල් අතු හොයා ගන්න එක තමයි තියෙන ගැටලුව.

අවසාන වශයෙන් දැනගන්න කැමතියි.ඉදිරි අනාගත සැලසුම් මොනවාද ?

ඉදිරියේදී මේ කලාව රැකගෙන, කලාවේ අලුත් වෙනස්කම් රැසක් සමඟින් නව නිර්මාණ එළිදක්වන්න. ඒ වගේම තමයි මේ කලාව අනාගත පරපුරට සුරක්ෂිතව දායද කරන්න. ඒ වගේම “ගොක්කලා ආණමඩුව” කියන නම මුළු රටේම අය අතරට යන විදිහේ නිර්මාණ කරන්න.

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT