මෙරට පළමු රූපවාහිනී නිළිය ලෙසින් ගෞරවනීයත්වයට පත් වන්නේ දේවිකා මිහිරාණිය. ඒ මෙරට පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍ය ලෙසින් ඉතිහාසයට එකතුවන ඩී. බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ දිමුතුමුතු ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට එක් වීමෙනි. ඇය මෙරට රූපවාහිනි නාට්‍ය කලාවේ වෘත්තීය නිළියක ලෙසින් පෙර ගමන් ඇරඹුවාය. ඉන්පසුව පැමිණි බොහෝ ටෙලි නාට්‍ය නිළියන් සේම වර්තමානයේ රූපවාහිනී මාධ්‍යයේ විවිධ හරඹ කරමින් තමන් පැමිණි මාවත ගැන හෝ පැහැදිලි අවබෝධයක් නොමැති වූවන්ට පවා පූර්වාදර්ශයක් වූයේ මෙරට පළමු ටෙලි නාට්‍ය නිළිය වූ දේවිකා මිහිරාණි බව දන්නා අපට නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
එහෙත් මේ බව නොදන්නා ක්ෂේත්රයේම සිටිනා පිරිස් කොතෙක්ද යන්න දන්නෝ දනිති. තමන් ලංකාවේ පළමු ටෙලි නිළිය කියා කිසිදු දිනක හිස උදුම්මා ගැනීමක් හෝ ආඩම්බරකාරී බවක් ඇයගෙන් අප දැක නැත. දුටු දින පටන්ම ඇගෙන් අප දුටු නිහතමානි සුන්දරත්වය එදා මෙන්ම අදටත් එලෙසින්මය.
වර්තමානයේ රූපවාහිනී තිරයේ පෙරළි කරන බොහෝ ආධුනික නිළියන්ට පෙර ගමන් සකස් කරමින් ඇය නිර්මාණය කළ මාවත අද වනවිට බොහෝ විවෘතව දක්ෂතා හැකියාවන් ඇති අයට ඇවිද යාමට හැකි විසල් මංපෙතක් වී හමාරය. මෙකී පෙරගමන්කාරියට පසුගියදා සිය ජීවිතයේ තවත් සුවිශේෂී සොඳුරු මොහොතකට එක්වීමට ලැබිණ. ඒ පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලිස් සම්මාන උළෙලින් සුවිශේෂී ගෞරව සම්මානයට පාත්‍ර වීමෙනි. සැබැවින්ම ඇය ගෞරවයට පාත්‍ර විය යුතුව තිබුණේ මින් බොහෝ කලකට ඉහතදීය. එහෙත් කෙදිනක හෝ සුදුස්සාට සුදුසු දේ හිමි විය යුතුව යන්න සනාථ කරමින් ඇය ගෞරව සම්මානයෙන් පුද ලැබුවාය. මේ ඇය ඒ පිළිබඳ වූ සතුට සමරන්නට අප හා එක් වූ අයුරුය.
“ඇත්තටම මේ සම්මානය මට ලැබුණු දිනය හරිම සංවේදී සහ සතුටුදායක දිනයක්. මගේ කලා ජීවිතේ අවුරුදු හතළිහකට අධික කාලයක් ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ පළමු ටෙලි නාට්‍ය වූ දිමුතුමුතු හි නන්දාගේ චරිතය නිරූපණය කරමින් ලද ප්‍රේක්ෂක ආදරය ගැන මට තියෙන ගෞරවනීය හැඟීමක්. ඒක එදා අද මේ දක්වාම ශශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස්ගතව සිටිනා ශශ්‍රී ලාංකිකයන්ගෙන් පවා ලැබෙන්නක්.
ඇත්තටම රූපවාහිනී තිරය හරහා හුදෙක් දිමුතු මුතු කළේ ටෙලි නාට්‍යයක් පමණක්ම ගෙනහැර දැක්වීමක් නොවේ. පරම්පරා කීපයක් සම්බන්ධීකරණය කිරීමක් කළේ. අපගේ සංස්කෘතිකාංග හුවමාරු කර ගත් ජාතික මතකයක් බවට දිමුතුමුතු පත් වුණා.
ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය වීම මට මහත් අභිමානයක්. රයිගම් ටෙලි සම්මාන උළෙල දශක ගණනාවක් පුරා රංග කලාවට මා කළ මෙහෙවර දායකත්වය පිළිබඳ අගය කරමින් මෙවැනි සුවිශේෂී ගෞරව සම්මානයක් පිරිනැමීම මට මහත් අභිමානයක්.
ඒ වෙනුවෙන් කැපවුණු මාව මේ ගෞරවනීය බව ලබන්නට සුදුසු යැයි යෝජනා කළ රයිගම් සමූහ ව්‍යාපාරයේ රවි ලියනගේ මැතිතුමා එම මැතිනිය සහ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය සහ ගෞරවය මේ මොහොතේ පිරිනමනු ලබනවා.
මේ මොහොතේ මේ ටිකත් සඳහන් කළොත් හොඳයි කියලා හිතුණා. ලංකාවේ රූපවාහිනී සම්මාන දෙන උත්සවය රාශියක් පැවැත්වෙනවා. නමුත් ලංකාවේ පළවෙනි රූපවාහිනී නිළියට ආරාධනා පත්‍රයක්වත් නැති අවස්ථා තියෙනවා. ලංකාවේ පළමු රූපවාහිනි නිළිය මම කියන එකට මතභේදයක් නෑ. නමුත් මේ වගේ මදිපුංචිකම් නම් මම නොසෑහෙන්න ලබලා තියෙනවා. ඉතින් ඉදිරියටවත් මේ සම්මාන උත්සව සඳහා ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළියට ආරාධනා කරන්නට ඒ ඒ සංවිධායක මණ්ඩලවල ඇස් ඇරේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. මගේ ක්ෂේත්රයේ මගේ සහෝදර නළු නිළියන් පැමිණිලා සිටින තැනකට යන්න මටත් ආසාවක් නැද්ද මමත් පෘථග්ජන ගැහැනියක් විදිහට ඒ ආසාවන් එක්ක බැඳීලා ඉන්නවා. මම මාර්ගඵලලාභිනියක් නොවෙයිනේ. ඉදිරියේදීවත් ඒ වැරැද්ද නිවැරදි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දේවිකාගේ ජීවිතේ ප්‍රථම ස්ථානය හිමිවූයේ ඇගේ පවුලටය. විවාහයෙන් පසුව ඈ වැඩිදුර කල්පනා කරලුයේ තම පවුලේ සුභ සිද්ධිය ය. ඇගේ ආදරබර ස්වාමියා විජය නන්දසිරිත් දරු දෙදෙනාත් ඇගේ ජීවිතයේ පළමු බලාපොරොත්තුව වූයේය. ඇගේ කැපකිරීම් වල ප්‍රතිඵලය වූයේ විජය නන්දසිරි මේ රටේ අති දක්ෂ ජනප්‍රිය නළුවෙකු වීමත් දරු දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වී ඔවුන්ගේ අනාගතය අතිසාර්ථක වීමත්ය. ඉතාමත්ම සතුටුදායක සාර්ථක පවුල් ජීවිතයක මිහිර විදිමින් සිටියදී මින් වසර දහයකට ඉහතදී ඇගේ ආදරබර සැමියා විජය ඔවුන් හැරදා මෙලොවින් සමුගත්තේය.
ඇත්තටම විජය නැතිවෙලා අවුරුදු දහයක් ගත වුණත් ඔහු තාමත් මගේ හදවතේ ජීවත් වෙනවා. මගේ අත දිග හැරෙනකොට ඔහු මගේ ළඟ හිටපු කෙනා. ඔහු හුස්ම ගන්නකොට මට දැනුණා. ඉතින් ඔහු නැතුව දැනෙන හුදෙකලාව නම් මට වචනයෙන් විස්තර කරන්න බෑ. මුල් කාලේ පුදුමාකාර අපහසුවක් තිබුණා. ඒ වෙලාවේ මගේ බෑනා මට ලොකු උදව්වක් කළා. මගේ දුවයි මගේ පුංචි මිනිබිරියයි මගේ ළඟ අවුරුදු එකහමාරක් නවත්තලා ගියා. මිනි බිරියගේ හුරතල් නිසා මට පාළුව හුදකලාව දැනුණේ නෑ. මගේ දුක තුනී වුණා. එයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා තමන්ගේ බිරිඳවයි අලුත උපන් දරුවාවයි මගේ ළඟ තියලා ගිය එකට. ඒ වගේම තමයි මගේ පුතා. හරිම ආදරෙන් මාව රැක බලා ගන්නවා. ඉස්සර පාන් රාත්තලක් ගේන්නත් ගියේ අපි හතර දෙනාම එකට. ලංකාවේ හෝ ලෝකයේ කොහේ ගියත් අපි හතර දෙනා එකට ගියේ. මම පස්සේ හිතා ගත්තා හැම දෙයක්ම ඇති වුණොත් නැති වෙනවා කියලා. ඉතින් ඒ ස්වභාව ධර්මයේ නීතියට මටත් අකමැත්තෙන් හෝ අවනත වෙන්න වෙනව කියල.
විජයගෙ මතකය නම් මට ජීවිතේ කිසි දවසක අමතක කරන්න බැරි වේවි. එයා අහිමි වුණාට එයා කරපු හොඳ දේවල් මතක් කර ගත්තම ඒ ආත්මය සුවපත් වෙනවා. ඒනිසා දැන් නම් මම හොඳටම හිත හදාගෙන ඉන්නේ. අදටත් ඔහුගේ මතකයන් එක්කලා මම ජීවත් වෙනවා. මගේ පුතාගේ මූණ දකිනකොට මට තාත්තගෙ මූණ පේනවා. දුවයි පුතයි දෙන්නම මට පොඩ්ඩක්වත් හුදකලා වෙන්න දෙන්නේ නෑ. පුතා පිටරටක හිටියත් කතා කරනවා. හිස්තැනක් තියෙන්න දෙන්නෙම නෑ. පුතා ඇත්තටම තාත්තා වගේම තමයි. මගේ ළඟම ඉඳගෙන මගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන තාත්තාගෙන් වෙන්න ඕන යුතුකම් හා වගකීම් සියල්ලම පුතා ඉෂ්ට කරනවා. ඒක ඇත්තටම මට ලොකු සතුටක්. මම අවංකවම ආඩම්බර වෙනවා මගේ දරුවෝ ගැන. දරුවනුත් තත්ත්වය තේරුම් අරගෙන ඉන්නවා. මාව සතුටු කරන්න පුළුවන් හැම අවස්ථාවකම සතුටු කරනවා. ඒකටත් ඒ අයට මම අනිවාර්යයෙන්ම පින් දෙනවා. ඒ ළමයි තරුණ ළමයි. ඒ අයටත් ලෝකයක් තියෙනවා. පවුලක් තියෙනවා. ඒ සියල්ලටම බාධාවක් නොවෙන අයුරින් මාවත් හොඳීන් බලා ගන්නවා.
විජය ගැන කියනවා නම් මට කියන්න බොහෝ දේ තිබෙනවා. අපේ මුල්ම හමුවීමේ ඉඳන්ම හරිම සුන්දරයි. පෙම් කරන කාලයේ ඔහු අපූරු පෙම්වතෙක්.
කොටින්ම කිව්වොත් පැනි ගුලියක්. හරිම සුන්දර මනුස්සයෙක්. එයා ඉන්න තැනක කාලය ගත වෙනවා දැනෙන්නේ නෑ. පිටස්තර අයත් එක්කළා විජය බොහොම අඩුවෙන් කතා කරන කෙනෙක්. ගොඩක් අය හිතන්නේ එයා ටෙලි නාට්‍යවල චිත්‍රපටවල හැසිරෙන ආකාරයට වයින් කරපු බෝනික්කෙකු වගේ හැසිරෙයි කියලා නේ. නමුත් විජය ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. විජය හරිම සරල සුමට බොහොම අඩුවෙන් කතා කරන පුද්ගලයෙක්. එයා කියන්නේ එයාට ලෝකයේ කොතැන ගියත් එයාගේ ගෙදර එයාගේ නිදන කාමරය තරම් සුවපහසු තැනක් නෑ කියලයි. දේවිකා අත හෝදල දෙන වතුර එකත් මට රසයි කියලයි ඔහු කියන්නේ. ඇත්තටම මම හිතනවා මට රහට කෑම හදන්න පුළුවන් කියලා.
විජය කැමති මම හදන කෑම කන්න. ෂූටින් යනකොට එයාගේ බෑග් එක මම ලෑස්ති කරල දෙනවා. ඒ බෑග් එකේ උදේ කෑම, දවල් කෑම, තේ බොන දේවල්, අතුරු පස හැමදේම තියෙනවා. වෙලාවකට ඇසිස්ටන් කෙනෙකුත් යවනවා. අපේ ක්ෂේත්රයේ හිටපු ඕනම කෙනෙක් විජයට පුදුමාකාර ගෞරවයක් තිබුණා. අරන් යන බෑග් එක පවා අරගන්නවා. ඒකටත් ඉතින් පිනක් කරලා තියෙන්න ඕන.
විජය හරිම ප්‍රියජනක මනුස්සයෙක්. ඩබල් මීනින්ග් කතා කියන්න හරිම රුසියෙක්.
අපේ පුතා පුංචිකාලෙ මම නිකම් හරි කල්පනා කර කර හිටියොත් ළඟට ඇවිත් අහනවා “ඇයි අම්මේ කල්පනා කරන්නේ, මම මොකක් හරි වැරැද්දක් කළාද? අහනවා. පුතාට පුංචිකාලෙ ඉඳන්ම තිබුණා අම්මව තේරුම් ගැනීමේ ශක්තියක්. ඒ වගේ අගනා දෑවැද්දක් තමයි විජය මට දීලා ගියේ. ලස්සන පුතෙකුයි දුවෙකුයි. පුතාට විජයගේ පෙනුම එහෙමම තියෙනවා. ඒ අතින් විජයට මම හැමතිස්සෙම පින් දෙනවා. එයා වගේ දරුවෝ දෙන්නෙක් මට දීලා ගිය එකට.
අපි දෙන්නගෙ කලා ජීවිතේ දෙන්නට දෙන්නා නිසා වර්ණවත් වුණා. නමුත් පස කාලීනව මම බැලුවා එයාට ඉඩ දීලා එයාගේ පස්සෙන් ඉඳගෙන වැඩ කරන්න. හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියෙක් ඉන්නවා. පිරිමියෙක් ජය ගන්න නම් ගැහැනියෙක් පිටිපස්සේ ඉන්නම ඕන. ඒ න්‍යායට මම ඉඩ දීලා මම දරුවා බලාගෙන, දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගෙන මම ඒ කැපවීම කළා. පවුල වෙනුවෙන්, කලාව වෙනුවෙන් එයා ගොඩක් කාර්යබහුල වෙද්දි මමත් කාර්යබහුල වෙද්දි දරුවෝ තනිවෙනවා. විජය පෙම් කරන කාලයේ හොඳ පෙම්වතෙක් වුණා වගේම විවාහ වුණාට පස්සේ එයා හොඳ ස්වාමිපුරුෂයෙක්. හොඳ තාත්තා කෙනෙක් වුණා. මගේ දරුවන්ට දෙවැනි අම්මෙක් වුණා. මම දරුවෝ ලැබිලා අපහසුතාවයෙන් ඉන්නකොට ගොඩක් වෙලාවට මාත් එක්ක හරි හරියට විජයත් නිදිමැරුවා. දරුවෝ දෙන්නා රැහැයියෝ වගේ රෑ තිස්සේ ඇහැරගෙන. විජය දවල්ට රඟපාලා මහන්සිවෙලා ඇවිල්ලත් රෑට දරුවෝ බැලුවා. තව සමහර වෙලාවට දරුවෝ වඩාගෙන ඉන්නකොට මල පහ කරන කොට කොහෙවත් තියන්නේ නෑ. අත අල්ලගෙන ඉන්නවා. ඒ තරම් දාරක ප්‍රේමයක් විජයට තිබුණේ.
දරුවන්ගේ හැම ඕනෑ එපා කමක්ම, මගේ හැම ඕනෑ එපාකමක්, මගේ පවුලේ අයගේ, ඥාතීන්ගේ හැම දෙයක්ම විජය නො පිරිහෙළා ඉටුකළා. එයාගේ ජීවිතයේ මුල් තැන කලාව වුණාට පවුල අත්හැරියේ නැහැ.
හේමාලි විජේරත්න
