Home » මෙවර කථක් ශෛලියට නැඹුරුවයි ‘ශකුන්තලා’ පැරිසියේ පෙන්වන්නේ

මෙවර කථක් ශෛලියට නැඹුරුවයි ‘ශකුන්තලා’ පැරිසියේ පෙන්වන්නේ

නර්තන- රංගන ශිල්පි ලේඛක-නීතිවේදී කෞශාල් රණසිංහ

by mavan
January 8, 2026 12:09 pm 0 comment

මහා කවි කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ කාව්‍ය සංග්‍රහය ආශ්‍රයෙන් නිර්මිත ‘ශකුන්තලා’ නර්තනමය නාට්‍යය (Dancing Drama) මේ මස 10-11 දෙදින පැරිසියේදී ප්‍රදර්ශනයට නියමිතය. එහි ප්‍රධාන චරිතයක් වන ‘දුෂ්‍යන්ත’ චරිතයට ජීවය දෙන නර්තන, රංගන ශිල්පියකු මෙන්ම ලේඛකයකු, නීතිවේදියකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ද වන කෞශාල් රණසිංහ, එකී නිර්මාණය පිළිබඳත්, සිය චරිතය පිළිබඳවත් කතා කිරීමට සරසවිය හා මෙසේ එක්විය.

ලබන 10 11 දෙදින ප්‍රංශයේ පැරිස් හි ප්‍රදර්ශනය වන ‘ශකුන්තලා’ නර්තනමය නාට්‍යය ගැන හඳුන්වා දෙනවනම් ?

ඉන්දියාවේ සුප්‍රකට කාව්‍ය ශිල්පියකු වන කාලිදාසයන් විසින් රචිත කාව්‍ය සංග්‍රහයක් තමයි ‘ශාකුන්තලය’ කියන්නේ . මෙයින් තමයි ‘මහා භාරතය’ වැනි දැවැන්ත නිර්මාණ රැසකටම ඉඩහසර ලැබෙන්නේ. නර්තනමය

නාට්‍යයක් (Dancing Drama) ලෙස මෙහි ප්‍රතිනිර්මාණයක් ප්‍රංශයේ පැරිස් හිදී සිදුවෙනවා. මේ ප්‍රතිනිර්මාණයට පෙර ප්‍රංශ ජාතිකයන් පමණක් දායක වූ බැලේ නිර්මාණයක් ලෙසද මෙය ප්‍රති නිර්මාණය වුණා. ‘ශකුන්තලා’ නාට්‍යය පිළිබඳ එවැනි ඉතිහාසයක් තිබෙන්නේ. ලංකාවේ සාහිත්‍යය ඉගෙන ගැනීමේදී ‘ශකුන්තලා’ නාට්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා.

මෙවර මේ නාට්‍යය ප්‍රංශයේ දින දෙකක් ප්‍රදර්ශනය කෙරෙනවා ?

2024 වසරේ ප්‍රංශයේ කෞතුකාගාරයක් මඟින් ප්‍රතිනිර්මාණය කළ පසු මේ පිළිබඳ ප්‍රංශ ජනමාධ්‍යයන්හි පවා කතාබහට ලක්වුණා. ඒ පෙලඹවීමත් සමඟ විශේෂයෙන් ඉන්දියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මේ නර්තනමය නාට්‍යය ලොකුවටම පැරිස් නගරයේ දින දෙකක් පුරාවට පෙන්වන්න තීරණය කළේ. පැරිසියේ විශාල ඉන්දියානු ජාතිකයන් පිරිසක් සිටිනවා වගේම ඉන්දීය නර්තනයට, කලාවන්ට ප්‍රිය කරන බොහෝ ප්‍රජාවක් ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන්ම තමයි දින 02ක් තුළ ප්‍රදර්ශන වාර 04ක් පෙන්වන්න තීරණය කළේ .

‘ශකුන්තලා’ හි ඔබේ චරිතය ගැන කීවොත් ?

මෙහි ප්‍රධානම චරිතය ශකුන්තලා . එහි දෙවැනි ප්‍රධාන චරිතය දුෂ්‍යන්ත. මේ චරිත දෙක අතර සිදුවන ආදර අන්දරය තමයි ශකුන්තලාට තේමා වන්නේ. මම දුෂ්‍යන්ත චරිතය රඟපාන්නේ. මෙයට මාව තෝරා ගත්තේ ඔඩිෂන් එකකින්. ඒ ඔඩිෂන් එකට ඉන්දියන් හා ප්‍රංශ ජාතික ආර්ටිස්ලා බොහෝ පිරිසක් ඇවිත් හිටියා. මෙහි අධ්‍යක්ෂවරුන් වන කමල් ඛාන්ත්, මේඝා ජගාවන්ත් සොයමින් සිටියේ නර්තනය වගේම රංගනයෙන් යමක් කළ හැකි කෙනෙක්වයි. ඔවුන් අවසානයේ තීරණය කළා දුෂ්‍යන්ත චරිතයට මම සුදුසුයි කියලා. මෙය බොහොම ප්‍රේමනීය චරිතයක්.

‘ශකුන්තලා’ චරිතය රඟපාන ශිල්පිනියගෙන් ලැබුණු සහාය මොන වගේද ?

ඇයගේ නම Prachi Gbera . වෘත්තීයමය නර්තන ශිල්පිනියක් වන ඇය අමෙරිකාවෙන් තමයි ප්‍රංශයට ආවේ මේ චරිතය රඟපෑමට. මාස 03,04ක කාලයක් අපි එකට පුහුණුවීම් සිදු කරනවා. ඇය අමෙරිකාවේ ජීවත් වුණත් කථක්, භරත නාට්‍යම් නර්තනය පිළිබඳ මනා හැදෑරීමක් සහිත යුවතියක්. අපි බොහෝ දේ හුවමාරු කරගන්නවා. ඉතා මිත්‍රශීලීව, පහසුවෙන් ඇය සමග වැඩ කළ හැකියි.

‘ශකුන්තලා’ බැලේ, කථක්, බොලිවුඩ් මිශ්‍රවූ නාට්‍යයක්. ඒ ගැන කීවොත් ?

අධ්‍යක්ෂ කමල් ඛාන්ත්, රාජස්ථානයේ කථක් ගුරුකුලයකින් පැවත එන කෙනෙක්. පැරිසියේද දක්ෂ ඉන්දියානු නර්තන අධ්‍යක්ෂවරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහු මෙහිදී කථක් නර්තන ශෛලියට මූලිකත්වය දී තිබෙනවා. ඒ නිසා තමයි මේ නාට්‍යය වෙනස් වන්නේත්. ඊට අමතරව මෙහි නර්තනයට බොලිවුඩ් එකතු කර තිබෙනවා. ප්‍රංශ ජාතිකයන් බොලිවුඩ් නර්තනයට කැමැතියි. කථක්, බොලිවුඩ්, බැලේ නර්තන ශෛලීන් එකතු කිරීමෙන් මේ නාට්‍යය නිර්මාණය කර තිබෙන්නේ .

මේ නාට්‍යය මුල්වරට පෙන්වුවේ 2024 දී. එයට මූලිකත්වය ගන්නේ කවුද ?

වසර 20කට පසු 2024දී තමයි ප්‍රතිනිර්මාණයක් ලෙස එළිදක්වන්නේ. එයට මූලිකත්වය ගන්නේ ඛ්චථඪතතඥ ඛ්තචභඤඥත කෞතුකාගාරය. ඔවුන් ළඟ ඓතිහාසික ප්‍රතිමාවක් තිබෙනවා. ඒ මේ ඛ්චථඪතතඥ ඛ්තචභඤඥත කෞතුකාගාරය විසින් නිර්මාණය කළ එකක්. ඒ ප්‍රතිමාව සමඟ මුල් කාලයේ සිට බැලේ නාට්‍යයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. එහෙත් 80 දශකයෙන් පසු මේ නාට්‍යය නතර කළා. පසුව ඔවුන්ම නාට්‍යය කරනවා කියා 2024දී තීරණය කරනවා . එහිදී ඔවුන් ඉන්දීය නර්තන ආයතනයක් වන ‘ත්‍රිබාද්’ නර්තන ආයතනයට ආරාධනා කරනවා. එහිදී ඔවුන් තීරණය කරනවා මෙය කථක්, බොලිවුඩ්, බැලේ යන ශෛලීන් ත්‍රිත්වයම යොදාගෙන නිර්මාණය කරමු කියලා . ඉන්පසු තමයි ඔවුන් ලොකුවටම තෝරා ගැනීමේ පරීක්ෂණ පවත්වන්නේ. ශකුන්තලා, දුෂ්‍යන්ත සහ අනෙක් උප ප්‍රධාන චරිතවලට ඔඩිෂන් තියනවා. මේ වෙද්දි 30කට වැඩි නර්තන ශිල්පීන් එකතු වෙලා 2024දී මුලින්ම ප්‍රදර්ශනය කළා ප්‍රංශයේ පැරිස්හිCamille Claude කෞතුකාගාරයේදී.

2024දී ප්‍රදර්ශනය කළ නාට්‍යය හා මෙවර නිර්මාණය අතර වෙනස්කම් තිබේද ?

ඔව්, මෙවර අපි බොහෝ අංග කථක් ශෛලියට නැඹුරුවයි ප්‍රදර්ශනය කරන්නේ. ඒ, ශාස්ත්‍රය කියන දේ පැරිස් ජනයා අතරට ගෙන යා යුතු නිසා. එනිසා අපි සිතුවා බොලිවුඩ් අංග අඩු කර, කථක් අංග වැඩි කරන්න. පැරිස් ජනයාට අපිට පෙන්වන්න ඕන බොලිවුඩ්වලට වඩා ශාස්ත්‍රීය පදනමක් ඉන්දියානු නර්තනය තුළ තිබෙන බව. එය තමයි මෙවර තිබෙන ලොකුම වෙනස.

Camille Claude හා ශකුන්තලා අතර සම්බන්ධය මොන වගේද ?

Camille Claude කියන්නෙ ප්‍රංශයේ සිටි ශ්‍රේෂ්ඨ මූර්ති නිර්මාණ ශිල්පිනියක් . ඇය තමයි ‘ශකුන්තලා’ නමින් වෙනම නිර්මාණයක් සකසන්නේ . එය ප්‍රංශය තුළ බොහෝ ප්‍රසිද්ධ වෙනවා. ඛ්චථඪතතඥ ඛ්තචභඤඥත නම කී පසු ‘ශකුන්තලා’ නිර්මාණය එයට සමීප වෙනවා . ඇය පිළිබඳ තැනූ චිත්‍රපටය පවා මේ ‘ශකුන්තලා’ තුළින් පෙන්වනවා. ඉන්දියාවේ තිබෙන ඒ කාව්‍ය සංග්‍රහය ගැන අසා ඇගේ සිතේ මැවුණු ආකාරයට ග්‍රීක ආභාසයත් ලබමින් මූර්තිය නිර්මාණය කරන්නේ. ඒ මූර්තියත් සමඟ සංස්කෘතියක් බිහිවෙනවා. මිනිස්සු, නිර්මාණ ශිල්පීන් එකතුවෙලා බැලේ නිර්මාණයක් බිහි කරනවා. එය ප්‍රංශය පුරාම ප්‍රසිද්ධ වෙනවා. එය පසුකාලීනව අවස්ථා රැසකදීම ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ මූර්ති නිර්මාණයත් සමඟයි ඒ නිර්මාණය බිහිවන්නේ.

මේ මස 10-11 දෙදින ප්‍රදර්ශනය වන ‘ශකුන්තලා’ ප්‍රංශයට වැදගත් වන්නේ කොහොමද ?

ශකුන්තලා මූර්තිය සමඟ බැඳුණු ඉතිහාසය නැවත බොහෝ දෙනාට සිහිපත් කරන්න මේ දෙදින හැකියාව ලැබේවි. මේ පවත්වන්නේ ප්‍රංශයේ ‘සජාමාන්’වල සජාමාන් ශ්‍රවණාගාරය යනු ප්‍රංශයේ පැරිසියේ තිබෙන සුවිශේෂී ශ්‍රවණාගාරයක්. බොහෝ නිර්මාණ එළිදැක්වූ, රඟදැක්වූ තැනක්. එනිසා ‘ශකුන්තලා’ නිර්මාණයට වගේම පැරිසියේ දිවිගෙවන ඉන්දියානු සම්ප්‍රදායට කැමැති, ඉන්දියානු සංගීතයට, නර්තනයට කැමැති බොහෝදෙනාට මෙය වැදගත් වේවි.

ඉන්දියානු සහ ප්‍රංශ කලාකරුවන් මෙවර මෙයට දායක වෙනවා නේද ?

ඔව්, ‘ශකුන්තලා’ චරිතය නිරූපණය කරන්නේ ඉන්දියානු සම්භවය සහිත කාන්තාවක්. ඇය නිව්යෝර්ක්හි ජීවත්වන කෙනෙක්. ඊට අමතරව මම ශශ්‍රී ලාංකිකයෙක් ලෙස දායක වෙනවා. අනෙකුත් බොහෝ දෙනා ඉන්දීය සහ ප්‍රංශ සම්භවය සහිත නිර්මාණ ශිල්පීන්. අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු සාම්ප්‍රදායික පසුබිමක් සහිත කථක් ගුරුකුලයකින් පැවතෙන කමල් ඛාන්ත් සහ මේඝා ජගාවන්ත්. අනෙක් හැමෝම ඉන්දියන් හා ප්‍රංශ ජාතිකයන්.

රංගනයේ යෙදෙන අනිකුත් කලාකරුවන් සමඟ ඔබේ රංගන හා මානසික ගනුදෙනුව මොනවගේද ?

මම ශශ්‍රී ලාංකේය කණ්ඩායම් සමඟත් වැඩ කර තිබෙනවා. එහෙත් ඉන්දීය හා ප්‍රංශ නිර්මාණ ශිල්පීන් කියන්නේ බොහෝ වෘත්තියමය ස්වභාවයෙන් යුතු අයයි. ඔවුන් විශේෂයෙන් දක්ෂතාවට තැනදෙනවා. මෙහිදී ඔඩිෂන් තුළින් තමයි සෑම චරිතයක්ම තෝරාගත්තේ. දැනහැඳුනුම්කමවලින් නෙවෙයි තෝරාගත්තේ. එය වැදගත් දෙයක්. මේ අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය වුණේ නිර්මාණයට අවශ්‍ය වටිනාකම ලබා දෙන්නයි. ඔවුන් ඉන්දීය ජාතිකයන් වුණත්, ප්‍රංශ ජාතිකයන් වුණත් බොහෝ දෙනෙක් වෘත්තීයමය පදනමකින් යුතුවයි සබඳතාව පවත්වාගන්නේ. ඔවුන් එකිනෙකාට උදවු කරනවා ඔවුන් කැමැතියි ශශ්‍රී ලංකාව ගැන දැනගන්න. මා සමඟ වැඩ කළ බොහෝ දෙනෙක් තීරණය කළා මාත් සමඟ සංචාරයකට ලංකාවට එන්න.

නර්තනයට ප්‍රමුඛතාවක් දෙමින් මේ නිර්මාණය වී තිබෙන බව පේනවා. එයට විශේෂ හේතුවක් වේද ?

නර්තනය කියන්නේ විශ්වීය භාෂාවක්. ගීතය පැත්තෙන් ගත්තොත් සමහර ගී පදමාලාවලින් මිනිස්සුන්ට අර්ථයක් ගන්න බැහැ. එහෙත් කෙනෙකුට නර්තනයක් සහ නවනළු රස දැක්කට පසු ඔහු ප්‍රංශ ජාතිකයකු, ඉන්දීය ජාතිකයකු, ලාංකිකයකු වෙන්න පුළුවන් ඒ ඕනෑම කෙනෙක්ට නර්තනය තුළින් කියවීමක් කළ හැකියි. ‘ශකුන්තලා’ කියන්නේ ඉන්දීය හා ප්‍රංශ ජාතිකයන් එකතුවී නිර්මාණය කර ප්‍රංශයේ දිවි ගෙවන අයට ප්‍රදර්ශනය කරන නර්තනමය නාට්‍යයක්. නර්තනය තුළ අපට හැකියාවක් ලැබුණා භාෂාමය බාධාවන් නැතිකර, හරි විදිහට ඒ අදහස් සමාජගත කරන්න සහ ඒ කථක් නර්තන ශෛලීන්ගේ අලංකාරවත් බව පෙන්වන්න.

නර්තනමය නාට්‍යයක් වූ මෙහි දෙබස් රචනය ගැනත්, හැඟීම් නර්තනානුකූලව ප්‍රකාශ කිරීම ගැනත් යමක් කීවොත් ?

මෙහි අවස්ථා දෙකක පමණයි දෙබස් භාවිත වෙන්නේ. එක් දෙබසක් ‘දුර්වාසා’ සෘෂිවරයා ශකුන්තලාට ශාප කරන අවස්ථාව. පසුව දුෂ්‍යන්තව හමුවෙන්න ශකුන්තලා ආවම දුෂ්‍යන්තට ශකුන්තලාව මතක නැහැ. එතැනත් දෙබස් භාවිතයක් වෙනවා. වැදගත්ම දේ දුර්වාසා චරිතය තුළදී ඔවුන් භාවිත කරන්නේ හින්දි භාෂාව. ශකුන්තලා භාවිත කරන්නේ සිංග් භාෂාව. මම භාවිත කරන්නේ සිංහල භාෂාව. සිංහල බසත් මෙහි දෙබස් ලෙස යෙදීම සුවිශේෂි‍යි. එහිදී ප්‍රංශ ජාතිකයන්ට තේරුම්ගත හැකි ලෙස තිරයක උපශීර්ෂ පාඨ යොදනවා.

මුල්වරට ශකුන්තලා මේ ප්‍රදර්ශනයේදී ලද ප්‍රතිචාර සිහිකළොත් ?

බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි හිතුවා සංස්කෘතියේ සහ භාෂාවේ බාධා පිළිබඳ. එහෙත් පැය 1 1/2 කාලසීමාවේ ප්‍රේක්ෂකයා ඉතා හොඳීන් එය රසවිඳ තිබුණා. පළමු ෂෝ එක ඩ්ධභඵඥ ටභතත වුණා. ප්‍රදර්ශනයට සතියකට පෙර ටිකට් සියල්ල අලෙවි වුණා. නැරඹූ ප්‍රේක්ෂකයා අපි ළඟට ඇවිත් කතා කරමින්, සුබවාදී ප්‍රතිචාර දැක්වූවා අපි නොසිතූ තරම් ප්‍රතිචාර ලැබුණා.

මේ නර්තනමය නාට්‍යය නිර්මාණයේදී කාලිදාසයන් විසින් රචිත ‘ශාකුන්තලා’ නාට්‍යයට හානියක් සිදුව නැතැයි සිතනවාද ?

මා විශ්වාස කරනවා කාලිදාසයන්ගේ නිර්මාණයට අපේ රස සහ ශෛලිය ලබා දී තිබෙනවා කියලා. කාලිදාසයන් ‘ශකුන්තලා’ නිර්මාණය කළ පසු ඒ හින්දියෙන්, සිංහලෙන්, මුද්‍රා නාට්‍ය ශෛලියෙන් සහ අවස්ථා කිහිපයක චිත්‍රපට ලෙසත් නිර්මාණය වුණා. මේ හැම එකකම තිබෙන්නේ ඒ ඒ රසයන්. මම හිතනවා කාලිදාසයන්ගේ නිර්මාණයට, එහි තිබෙන ප්‍රේමයට, මායා භාවිතයට අපි බාධාවක්, හානියක් කළේ නැහැ කියලා. එය අපි අපූරුවට වේදිකාගත කළා.

මේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ගැන කීවොත් ?

නිර්මාණ අධ්‍යක්ෂ කමල් ඛාන්ත් කියන්නෙ රාජස්ථාන කථක් ගුරු කුලයකින් පැවත එන කෙනෙක්. ඔහු ශාස්ත්‍රයට ගරු කරන කෙනෙක්. ඔහු සමඟ කථක් නර්තනය වසරක පමණ කාලයක් පුහුණු වෙන්න මට සිදුවුණා. එය මට හොඳ අත්දැකීමක්. විශේෂයෙන් ඔහුගේ ගුරුකුලයට අයත් කථක් ශෛලියට ඔහු මාව වසරක් තිස්සේ ගොඩනැගුවා. ඉන්පසු තමයි අපි නාට්‍යයට අවධානය යොමු කළේ. මෙවර ප්‍රදර්ශනයෙන් පසු ඉන්දියාවට ගිහින් ඔහුගේ ගුරුකුලය සමඟ කාලයක් ගතකරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔහු ඉතා හොඳ වෘත්තීයමය අධ්‍යක්ෂවරයෙක්.

අඛණ්ඩව ‘ශකුන්තලා’ පෙන්වන්න අදහස් කරනවද සහ මේ ලාංකේය ප්‍රේක්ෂකයාට සමීප කරවන්න අදහසක් නැද්ද ?

දැනට අපි තීරණය කළේ ප්‍රංශයේ මෙලෙස ප්‍රදර්ශනය කරන්න. එහෙත් එංගලන්තයේ ප්‍රදර්ශනයටත් අපට අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්. ලංකාවේ ප්‍රදර්ශනය ගැනත් අදහසක් තවම නැහැ. මා ලංකාවට ආපසු ඒ ගැන තිබෙන අවකාශය සොයා බලනවා.

පසුගියදා එළිදැක්වූ ඔබේ ජීවිත කතාව ඇතුළත් ‘මන්දස්මිත’යට නොසිතූ තරම් පාඨක ප්‍රතිචාර ලැබුණා නේද ?

ඇත්තෙන්ම ඉතා හොඳ ප්‍රතිචාර ආවා. පොත් ප්‍රදර්ශනය මුල්කරගෙනයි පොත එළිදැක්වූයේ. ප්‍රදර්ශනය අවසන් වෙද්දි පොත් 15000කට වඩා විකිණී තිබුණා. එම ඉමාෂි ප්‍රකාශකයෝ පොත් ප්‍රින්ට් කර කර ගෙනවිත් දැම්මා. එහෙම තත්ත්වයක් තිබුණේ. මම හා නූ පෙරේරා ලියූ පළමු පොතත් ‘මන්දස්මිත’යි. අදටත් පොත ගැන බොහෝ අය මා සමඟ සමාජ මාධ්‍යයේ කතා කරනවා. පැරිසියේ සිටින අයත් මා සමඟ සමීප වුණා. එහි මන්දස්මිත පිළිබඳ වෙනම කියවීම් කවයක් තිබුණා. ඉන්පසු පැරිසියේ සිටින ලාංකිකයෝ බොහෝ දෙනා ‘මන්දස්මිත’ මිලදී ගත්තා. තවමත් මිලදී ගන්නවා .

නවකතාවක් හෝ තිර රචනයක් ලියන්න අදහසක් නැද්ද ?

නව ග්‍රන්ථයක් ලියමින් ඉන්නේ. එයත් සම ආදරය ගැන පොතක්. එහෙත් ඒ පොත ආගමික පසුබිමක් ගන්නවා. මම හිතනවා මේ පොත විශේෂ වේවි කියලා.

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු, නීතිවේදියකු ලෙස ඔබේ භූමිකාව කෙටියෙන් පැහැදිලි කළොත් ?

මම උපාධිය ලෙස හැදෑරුවේ නීතිවේදී උපාධිය. ඒත් සමඟ මගේ ආසාව තිබුණේ මානව හිමිකම් පිළිබඳවයි. ඒත් එක්ක මම ලංකාවේ වැඩ කරන්න පටන් ගත්තා 2017දී. ඉන්පසු බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟත් මම වැඩ කළා. විශේෂයෙන් මානව හිමිකම් පිළිබඳ, එය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ, මානව හිමිකම් ගැන කියාදීමක් රාජ්‍ය හා රාජ්‍ය නොවන සිවිල් පුද්ගලයන්ට කළා. ඒත් සමග මම මානව හිමිකම් ගැන හොඳ අදහසක් අරගෙන තිබෙනවා කියා සිතනවා. ප්‍රංශයේ සිටියත් ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩ කිරීම්වලදී නීතිවේදියෙක් ලෙස විශාල කාර්යයක් මා සිදු කරනවා. බොහෝ අය සමාජ මාධ්‍යයෙන් මට කතා කරනවා, උදව් ඉල්ලනවා. ලංකාවේ නීතිඥවරුන් සමඟ එක්වී බොහෝ වැඩ කටයුතු කරනවා.

ප්‍රංශයේ වෙසෙන ඔබ දැන්ම ලංකාවට එන්න අදහසක් නැද්ද ?

ලංකාවට ඇවිත් ටික කාලයක් ඉන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ලංකාවට ඇවිත් කරන්නේ කුමක්ද කියා තවම සැලසුමක් නැහැ. ඇවිත් මානව හිමිකම් හා කලාව සම්බන්ධ වැඩ කොටසක් කරන්න සිතාගෙන ඉන්නවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ?

මම ලියන මීළඟ පොත ගැන තමයි ශකුන්තලාට පසුව අවධානය යොමු කරන්නේ. එය මේ වසරේ පොත් ප්‍රදර්ශනයට පෙර එළිදක්වන්න සිතාගෙන ඉන්නවා. අපට අවශ්‍ය මේ පොතේ අන්තර්ගතය සමාජගත කර සමාජමය වෙනසක් කරන්නයි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT