26 වැනි කොටස
යහළු යෙහෙළි රූ ගත කිරීම් තිබුණේ මීරිගම අවට ලස්සන ගමක. රූ ගත කිරීම් කාලපරිච්ඡේදය පුරාම අපි ඉතාමත්ම විනෝදකාමී ජීවිතයක් ගතකළා. අපට නවාතැන් ගන්න විශාල පැරැණි නිවසක් සූදානම් කරලා තිබුණා. ලෙස්ටර් පීරිස් මින් ඉහතත් කරුණාසේන ජයලත් ගේ නව කතාවක් සිනමාවට නඟලා තිබුණා. ඒ ගොළු හදවත චිත්‍රපටය. නමුත් එහි ප්‍රධාන කාන්තා චරිතය වුණු ‘කුසුම් ගෙන් යහළු යෙහෙළි චිත්‍රපටයේ මුදිතලතා හාත්පසින්ම වෙනස් වුණා. කුසුම් ගෙන් නිරූපණය වුණු අහිංසක ගැමි යුවතිය උඩුයටිකුරු කරමින් මුදිතලතා මේ නිවස ඇතුළත අරගල කරන කාන්තා චරිතය බවට පත් වෙනවා. ඒ වගේම සුමිත්‍රා පීරිස් මින් ඉහත කරපු ‘ගග අද්දර’ චිත්‍රපටයේ ‘නිර්මලා’ ගේ චරිතයටත් මුදිතලතා සමකරන්න බැරිවුණා. නිර්මලා තුළ පැවති අවිහිංසක කාන්තා ගති ලක්ෂණ මුදිතලතාගෙන් සම්පූර්ණයෙන් බැහැර වෙනවා.
මුදිතලතා කියන්නේ සමාජයට හා දෙමව්පියන්ගේ ගතානුගතික ගතිගුණ වලට යටත් නොවී, ඇතැම්විට අප්‍රසන්න, අසාධාරණ ක්‍රියාකලාපයන්ට එරෙහිව, එයට විරුද්ධව නැඟි සිටි චරිතයක්. ඇය හරිම ප්‍රගතිශීලි අදහස් දැරූ තැනැත්තියක්. දැනුත් මට හිතෙන්නේ ඒ ප්‍රගතිශීලි ගතිගුණ මගේ ඇතුළාන්තයේත් යම් යම් අවස්ථාවල තිබුණා කියලයි. මුදිතලතා ඇගේ දුප්පත් නෑදෑයින්ට කරුණාවන්තයි. තමාගේ උද්ධච්ච පියා සහ පවුලේ අනෙක් සාමාජිකයන් ඇය නිර්දය ලෙස හෙළා දකින අවස්ථා මේ චිත්‍රපටය පුරාම පවතිනවා. මට නොයෙක්වර හිතුණා මගේ සමහර ගතිගුණත් මුදිතලතාට සමානයි කියලා. ඒකට හේතුත් මම කියන්නම්.
මගේ ජිවිත කතාවේ මුල් භාගයේදිම මම කිව්වා මගේ මව් පාර්ශ්වය හගුරන්කෙත වලව්වකින් පැවත එන බව. මගේ ජිවිතේත් බොහෝ අවස්ථාවල මම මේ වලව්වේ ජිවත් වෙනවා. සමහර අවස්ථාවල මේ වලව්වේ ඉඳලා මම පාසල් යනවා. ඒකාලේ අපේ වලව්වටත් සේවකයින් ආවේ වලව්ව පිටිපස්ස පැත්තෙන්. ඔවුන්ට වාඩි වෙන්න තිබුණේ මිටි බංකුවල. මේ වෙනස්කම ගැන මම හැමතිස්සෙම හිතුවා. වලව්වේ සේවය කරපු සේවිකාවන්ට මම කාටත් හොරෙන් කරුණාවන්ත වුණා. මට ලැබෙන චොක්ලට් පෙත්ත පවා වෙලාවකට හොර රහසේ සඟවාගෙන සිට මම වලව්වේ සේවකයන්ට දුන්නා. මම හැමමොහොතෙම හිතුවේ අපි හැම දෙනාම මනුස්සයෝ කියන සිතුවිල්ලෙන්. ඒනිසා කුඩා කාලයේ පටන් මගේ සිතේ වැඩුණ සිතුවිලිත් මුදිතලතාගේ චරිතය නිරූපණය කරන්න මට බලපෑවා කියලා මම විශ්වාස කරනවා.
එදිනෙදා කියවන සරල, සුගම බොළඳ නවකතාවක එන සුරංගනා සිහිනවල සිටින යුවතියකට එහා ගිය ජිවන දර්ශනයක් ඇති, පරහිතකාමී, සමාජ අසාධාරණය වෙනුවෙන් එඩිතරව කතා කළ හැකි ශක්තියක් ඇති කාන්තා චරිතයක් මුදිතලතා හරහා සමාජ ගත කරන්න ලැබීම මට සතුටක්. මුදිතලතා ගේ තාත්තා චන්ද්‍රසේකර ඉස්කෝලෙ මහත්තයා (ටෝනි රණසිංහ), මව චන්ද්‍රසේකර මහත්මිය (ලීනා ද සිල්වා) යන දෙදෙනාගේම ඇවතුම් පැවතුම් මුදිතලතා රිස්සුවේ නෑ. ඔවුනට අවශ්‍ය වුණේ කුමන අසාධණ කටයුත්තකින් හෝ තම පවුලේ නැඟීමයි. මුදිතලතාගේ වැඩිමල් සහෝදරිය ජිනාදරී (ස්වර්ණා මල්ලවාරච්චි), නංගි ඉන්දුමතී (ඉනෝකා අමරසේන) දෙදෙනාම තමන්ගේ මවුපියන්ගේ ගතානුගතික ජීවිතය අගය කළා. ජිනාදරි විශ්වවිද්‍යාල සිසුවියක් වුණත් ඇයට ප්‍රගතිශීලි අදහස් පිහිටා තිබුණේ නෑ. මුදිතලතා තම මාමා වුණු කළු දියෝනිස් (සෝමසිරි දෙහිපිටිය) නැන්දා වන කරුණාවතී (මියුරි සමරසිංහ), ඔවුන්ගේ පුතා වන පුජිතරත්න (සනත් ගුණතිලක) වෙත නැඹුරු වෙන්නේ හුදෙක් බොළඳ පෙම්වතියකගේ සිතුවිලි ඇතුව නොවෙයි. ඔවුනට තම පවුලෙන් සිදුවුණ අනදර වෙනුවෙන් මුදිතලතා හැම මොහොතෙම හිට ගත්තේ ඔවුන්ගේ පැත්තේ. නිවැරැදි පැත්තේ. එහෙම හිට ගන්න තරම් නිර්භිත කමක් ඇයට තිබුණා.
අනෙක් පැත්තෙන් බැලුවම මුදිතලතා කියන්නේ සාම්ප්‍රදායික පෙම්වතියකුත් නොවෙයි. ඇය පූජිතරත්නට දක්වපු ආදරය ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රේමයක්. මුදිතලතාගේ ජිවිතයේ අලුත් පිටුවක් පෙරලෙන්නේ ගමේ පාසලට අලුතින් පත්වෙලා එන ගුරුවරිය හේමමාලි (ශ්‍රියාණි අමරසේන) නිසයි. මුදිතලතාට හරියන ආකාරයේ ප්‍රගතිශිලි අදහස් ඇති ගුරුවරිය හා එක්ව තම පියා ප්‍රමුඛ සූරා කන්නන්ට විරුද්ධව ඇය සටන් වදිනවා. තම පියාගේ පීඩනයට හසුවී සිටින පූජිතරත්නට, ඔහුගේ මවට ඇය පිහිට වෙනවා. මේ චිත්‍රපටයේ මුදිතලතාගේ චරිතය තේරුම් ගන්න ඇය ගුරුවරියට කියන පහත දෙබසින්ම හැකි වෙනවා කියලා මට හිතෙනවා.
“පොල්ගෙඩි 14ට මිනිහෙක් මරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ” පොල් ගෙඩි 14ට ජිවිතයක් බිලි ගත්තේ ඇයි?
කාන්තාවකට ස්වාමිපුරුෂයෙක් නැති වුණා. දරු පවුලකට තාත්තා කෙනෙක් නැති වුණා. මේ සේරම පොල් ගෙඩි දාහතරකට
ඇයි අක්කේ එහෙම වුණේ?
“ඒක තමයි නංගියේ මම කිව්වේ, කොහේ හරි කොතැනක හරි වැරැද්දක් වෙලා තියෙනවා. අපි වැරැද්ද හොයා ගන්න ඕන. ඒවගේම ඒකට විසදුමක් තියෙන්නත් ඕන.”
චිත්‍රපටයේ රූ ගත කිරිම් වලට ගිය මුල්ම දවසේ නම් මට චකිතයක් ඇති වුණා. මොකද මම ලෙස්ටර් පීරිස් සමඟ වැඩ කරලා තිබුණට ආන්ටි සුමිත්‍රා ගේ අධ්‍යක්ෂණයට හසුවෙන ප්‍රථම වතාව මෙය. නමුත් රූ ගත කිරීම් පටන් ගත්තට පස්සේ මට ලොකු සහනයක් දැනුණා. හරිම සියුම්ව, කිසිම කලබලයකින් තොරව ඇය අප මෙහෙයවමින් අපගෙන් උපරිමය ලබා ගන්න උත්සාහ කළා.
මුදිතලතා රඟපාද්දි මගේ මනසට තවත් ප්‍රතිරූපයක් ඇතුළු වුණා. ඒ වෙන කවුරුවත් නොවෙයි, අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මැතිනියවයි. ඇයත් උසස්, වංශවත්, කුලවත්, ධනවත් පවුලක ඉපදිලා ධනවාදයට එරෙහිව සටන් වදිමින්, සාම්ප්‍රදායික වැට කඩොළු කඩා බිඳ දමමින් නිදහස සොයා ගිය ප්‍රගතිශිලි කාන්තාවක්. මුදිතලතා රඟපාද්දි මම ඇයගේ චරිතය ගැනත් නිතර සිතුවා. මුදිතලතාත් අර ප්‍රින්සිපල්ගේ වලව්වේ හිටියට හැම මොහොතේම සිතුවේ මේ බල අධිකාරිය පුපුරුවා විනාශ කරන්නේ කවදාද කියන හැඟීමෙන්. මේ චිත්‍රපටයේ රඟපාද්දි මට ප්‍රවීණයෝ රැසක් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ටෝනි රණසිංහ, ලීනා ද සිල්වා, සෝමසිරි දෙහිපිටිය, මියුරි සමරසිංහ, සමඟ ස්වර්ණා මල්ලවාරච්චි, සනත් ගුණතිලක, ශ්‍රියාණි අමරසේන, ඉනෝකා අමරසේන ඇතුළු පිරිසක් මට හමුවෙනවා. කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්නයන්ගේ. යහළු යෙහෙළි නිෂ්පාදනය කළේ මාක් ජයවර්ධන සමඟ රෝයි ජයවර්ධන.
මගේ රංගන ජීවිතයේ මුල් භාගයේ සිටම ස්වර්ණා අක්කා වරින්වර චිත්‍රපට වලින් හමුවෙනවා. මේ පාර ඇය මගේ වැඩිමල් සොයුරිය විදියට රඟපානවා. සනත් ගුණතිලකත් යහළු යෙහෙළි හරහා ආයෙත් මට මුණ ගැසෙනවා. මේ පාර ඔහු රඟපාන්නේ මගේ නැන්දාගේ පුතා විදියට. සනත් මගේ ඇවැස්ස මස්සිනා වුණාට ඔවුන් හරිම දුප්පත්. අපි අතර තිබෙන මේ පරතරයට විරුද්ධව තමයි මුදිතලතා හැම මොහොතේම කැරලි ගහන්නේ. මේ සියලු දෙනාත් එක්ක යහළු යෙහෙළි දර්ශන තලය නම් එකම එක රස සාගරයක් වගේ වුණා.
ලබන සතියේ….
යහළු යෙහෙළි දර්ශන තලයේ රසබර තොරතුරු
