Home » මම රැල්ලට යන්න කැමැති කෙනෙක් නොවෙයි

මම රැල්ලට යන්න කැමැති කෙනෙක් නොවෙයි

-ගායන ශිල්පිනී සදිනි ජයකොඩි

by sachintha
September 18, 2025 11:05 am 0 comment

නූතන පරපුරේ නිර්මාණවේදීන් අතර කතාබහට ලක්වන ගායන ශිල්පිනියක වන්නේ සදිනි ජයකොඩි ය. ඒ ඈ විසින් ගායනා කරන ලද සිය නව ස්වතන්ත්‍ර නිර්මාණය වූ ‘ආයෙත් අප හමු වේ නම්’ නමැති ගීතය ඔස්සේය. නව පරපුරේ ගායන ශිල්පිනියක ලෙස නිරන්තරයෙන් සුභාවිත ගීතය පිළිබඳ ඇල්මෙන් බැල්මෙන් කටයුතු කරන ඈ සිය නිර්මාණ කාර්යයේ ඉතා සැලකිලිමත්ව නිරත වෙමින් රසිකයන් අතරට එන නව ශිල්පිනියක ලෙස ද හඳුනාගත හැකිය.

මම වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. පුංචි කාලෙ ඉඳන් තිබුණ කැමැත්ත නිසා තමයි සංගීතය කරන්න පෙලඹුණේ. ඒකාලෙ රූපවාහිනියෙ ළමා වැඩසටහන්වලට අම්මා මාව එක්කරගෙන ගියා. ජාතික රූපවාහිනියේ ‘ගී මුතු’ කියල වසර කීපයක් එක දිගට පැවැත්වුණු වැඩසටහනක් තිබුණා. දෙදහස් අට වසරේදි පමණ ආරම්භ වුණු ඒ වැඩසටන එක්ක මමත් වසර කීපයක්ම සම්බන්ධ වී හිටියා.

කොහොම හරි උසස් පෙළ කළායින් පස්සෙ මට බැංකු නිලධාරිනියක් විදියට රැකියාවට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වකවානුවේ ටිකක් සංගීතයෙන් ඈත් වෙන්න සිදු වුණා. මගෙ සංගීත ගුරුවරුන් විදියට හඳුන්වා දෙන්න පුළුවන් ජගත් වික්‍රමසිංහ, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ වැනි ගුරු පියවරු. ඒ වගේම දමයන්ති ජයසූරිය මහත්මියත්.

මම පාසලේදී කවදාවත් විෂයක් විදියට සංගීතය හදාරලා තිබුණෙ නැහැ. මම පාසලේදී හැදෑරුවේ නර්තන විෂයයි. නමුත් විෂය බාහිර ක්‍රියාකාරකමක් විදියට මම සංගීතය එක්ක කටයුතු කර තියෙනවා.

‘ ආයෙත් අප හමුවේ නම් ‘ ඔබේ කුලුඳුල් ගීතය ගැන රසිකයන්ට කියමු

ඔව්. ඒක මේ වෙද්දි යූ ටියුබයේ බලන්න පුළුවන්. ‘ ආයෙත් අප හමු වේ නම්’ මගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඒ කියන්නෙ මගෙ ළමා වැඩසටහන්වලින් පසුව කළ පළමු වැනි ස්වතන්ත්‍ර නිර්මාණය තමයි ‘ ආයෙත් අප හමුවේ නම් ‘ කියන්නෙ. ඒ ගීතය ලිව්වෙ සත්සර කසුන් පතිරණ සොයුරා. සංගීත නිර්මාණය කළේ අශාන් ප්‍රනාන්දු සොයුරායි. ඇත්තටම ඒක ලස්සන නිර්මාණයක් කියල මට හිතෙනවා.

ඉන් පෙර ඔබේ නිර්මාණ ජීවිතයේ ලැබූ වටිනා අවස්ථා මොනවාද ?

මට මින් පෙර ආවරණ ප්‍රවාච ගීත (Cover Versions) කීපයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. එකක් තමයී සේනානායක වේරලියද්ද මහත්මයාගෙ ‘ දුක තද කරන්’ කියන ගීතය. ඒ ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම මනේජ් සංජයගෙ ‘පණට නමක් ‘ කියන ගීතයේ ගැහැනු කටහඬේ කවර් වර්ෂන් එක ගායනා කරන්නත් අවස්ථාවක් ලැබුණා. එයටත් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු ?

සංගීත ප්‍රසංග සඳහා මට අවස්ථා ගොඩක් ලැබෙනවා. ඇත්තටම මගේ රැකියාවේ කටයුතු නිසා තමයි මට ඒව ටිකක් සීමා කරගනිමින් කරන්න වෙලා තිබෙන්නේ. මගේ සැමියත් නිවේදන වෘත්තියේ නියැළෙන කෙනෙක්. ඉතින් ඔහු තමයි මේ කටයුතුවලදි මාව ගොඩක්ම දිරිමත් කරන්නෙ ඒවගේම විශාල සහයක් ඒ වෙනුවෙන් ලබා දෙන්නෙ.

ඉදිරියේදී තව තවත් මගෙම ස්වතන්ත්‍ර නිර්මාණ එක්ක මේ ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

නිර්මාණයක් කිරීමේදී මොන වගේ කාරණා ගැනද වැඩි සැලකිල්ලක් දක්වන්නේ ?

මම රැල්ලට යන්න ආස කෙනෙක් නෙවෙයි. පළමුව මම ගායනා කරන දේ මට දැනෙන්න ඕන. මට ඒ නිර්මාණය දැනෙන්නෙ නැතිනම් මම කොහොමත් ගායනා කරන්නෙ නැහැ. නිර්මාණයක පදමාලාව ගැන තමයි මම ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ. වර්තමානයේ හොඳ පද රචකයන් ඉන්නව. ඒ වගේම හොඳ පද රචනා බිහි වෙනවා. නමුත් බහුතරයක් නිර්මාණ නම් රැල්ලට යනවා කියල තමයි මට දැනෙන්නේ. නමුත් මම හරි ආසයි සුභාවිත ගීතයට. මම ගොඩක්ම සරල සුභාවිත ගීත තමයි ගායනා කරන්න කැමති.

ඔබ රියැලිටි වැඩසටහන් ඔස්සේ ක්ෂේත්‍රයට ආ ගායිකාවක් නොවේ. ඊට විශේෂ හේතුවක් තිබුණාද ?

මම හිතුවා කවදහරි මගේම නිර්මාණයක් ඔස්සේ තමයි මම ගායිකාවක් විදියට ඉදිරියට යන්නෙ කියල. ඒ නිසා මට ඕන වුණේ නැහැ රියැලිටි වැඩසටහන් ඔස්සේ මගේ ගමන ආරම්භ කරන්න. එක පැත්තකින් මගෙ රැකියාව මට මූලික නිසා නිර්මාණ කාර්යයට ලොකු කාලයක් මට යොදවන්න තිබෙන ඉඩකඩත් අඩුයි. ඒ වගේම තමයි අද කාලෙ මේ වගේ නිර්මාණයක් කරන්න යන පිරිවැය. මම මගේ සතුට වෙනුවෙන් මේ දේ කරනවා. ඇත්තටම සංගීතය කියන්නෙ මගෙ සතුට වෙනුවෙන් කරන දෙයක්.

ඔබේ නිර්මාණවලදී රූප රචනය කෙරේ වැඩි අවධානයක් දී ඔබ කටයුතු කළාද ?

ඔව්. මොකද මම විශ්වාස කළා ඒක අවශ්‍ය දෙයක් බව. නිර්මාණයක් කොච්චර හොඳ වුණත් ඒක රසිකයන් අතරට ගෙන යෑමේදී රූප රචනයට ප්‍රබල තැනක් හිමි වෙනවා. ඒ නිසා මගේ මේ නිර්මාණයේදීත් එහි විඩියෝවේ රූප රචනය ගැන ගොඩක් සැලකිලිමත් වුණා. මම මේ වෙලාවෙ සිහිපත් කරනවා ඒ රූප රචනා කටයුත්තේදී ඒක හොඳීන් කළ තිවංක මිහිරාන්ව. ඒ වගේම ඒ රූප රචනයට රංගනයෙන් හොඳ ජීවයක් එක්කර දුන් අත්දැකීම් බහුල රංගන ශිල්පීන් දෙපළක් වූ උපේක්ෂා ස්වර්ණමාලි හා අමිල අබේසේකරවත්. විශේෂයෙන් මේ ගීතය මුහුණු පොත ඔස්සේ දුටු අයගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් තමයි ලැබුණේ.ඉතින් මගෙ නිර්මාණ කටයුතුවලදී අම්මා, තාත්තා, නංගිලා, මගෙ පවුලෙ අයගෙන් වගේම මගෙ සැමියගෙන් ලැබෙන සහය අසීමිත යි. ඒ වගේම මගේ සේවා ස්ථානයේ ප්‍රධානීන් ඇතුළු හැමෝගෙන්ම ලැබෙන සහයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ හැමෝම නිසයි මට මේ ගමන යන්න හැකිවී තිබෙන්නේ.

හොඳ නිර්මාණයක් බිහි කිරීම වගේම නිර්මාණකරුවකුට ඒ ගමනත් පහසු නෑ. අසීමිත කැපකිරීම් ඔස්සේ සමහර අවස්ථාවල අපි ගමන් කළ යුතුයි. ඒ කොහොම වුණත් ඇත්තටම ගොඩක් සතුටුයි මොකද සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති අය අපි ළඟට ඇවිත් අපේ නිර්මාණ ගැන කතා කරනවා. ඒ වගෙ දේවල් එක්ක කොච්චර කැප කිරීම් මැද වුණත් හරිම සතුටින් මේ ගමන යන්නේ.

සමුද්‍රිකා වර්ණකුල

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT