Home » මම ගීත ගායනය කරන්නේ ආත්ම තෘප්තියට උදෙසායි

මම ගීත ගායනය කරන්නේ ආත්ම තෘප්තියට උදෙසායි

මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස

by mavan
October 9, 2025 10:56 am 0 comment

සමාජයේ ඉහළ පෙළේ රැකියාවල නියැළී සිටින ඇතැම් උදවිය තුළද සෞන්දර්යාත්මක මිනිසෙකු සිටිය හැකිය. භාරදූර වගකීම් රාශියක් තම කරමත තබාගෙන වෘත්තිය අකුරටම ඉටුකරන ඔවුන් කලාවටද දක්වන්නෙ අප්‍රමාණ ආදරයකි. ඔවුන් දිනපතා කරන රාජකාරි අතරේ මනස මඳකට හෝ සැහැල්ලුවෙන් තබා ගන්නේ ගීතයක් ඇසීමෙනි. ගීතයක් ගැයීමෙනි. මියුරු නාදයකට, දෙසවන් සනහාලන මියුරු හඬකින් පීඩාකාරී මනස සුවපත් කරගත හැකිය. තම ආත්ම තෘප්තිය උදෙසා සහ ගායනයට අතිශයින් ප්‍රිය කරන උසස් නිලයක් දරන අපූරු තැනැත්තෙකු පසුගිය දා සරසවියට මුණ ගැසිණි. ඔහු මහාචාර්ය ප්‍රසන්න ගමගේය. ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයාය. එහි නිර්මාතෘ වන්නේද ප්‍රසන්න ප්‍රේමදාස මහාචාර්යවරයාය. ඔහුගේ වෘත්තිය කෙතරම් වගකීම් සහගත වුවත් කලාව කෙරෙහිද ඔහු තුළ ඇත්තේ මහත් ඇල්මකි. ඔහු ගීත ගායනයට යොමු වී ඇත්තේද ඒ නිසාමය. පසුගියදා ඔහුගේම ගීතයක් එළිදක්වන ලදි. ප්‍රසන්න පේ‍්‍රමදාස මහතා සරසවිය හමුවට පැමිණියේ ඔහුගේ ගායන ගමන් මඟ පිළිබඳ කතා කිරීමටයි.

මම මහාචාර්යරයෙකු වශයෙන් කරන වෘත්තියට අමතරව මම ප්‍රිය කරන බාහිර ක්‍රියාකාරකම් වල නියැළෙන්න අමතක කරන්නේ නැහැ. මම මගේ වෘත්තිය ජීවිතයේ අතිශයින් කාර්‍යබහුලයි. එහෙත් සංගීතය වෙනුවෙන් මම පුංචි කාලයක් හෝ වෙන් කරනවා. අපේ මනස නිරවුල් කරන්න හැකියාව උපරිමයෙන් තිබෙන්නේ සංගීතයට. ගීත ගායනයට මම බෙහෙවින් ඇලුම් කරනවා.

මම කොතලාවල ආරක්ෂක පීඨයේ තාක්ෂණ පීඨයේ මුල්ම පීඨාධිපති. ඒ වගේම එහි නිර්මාතෘවරයා වන්නෙත් මම. ඒ වගේම ජෛව තාක්ෂණය පිලිබඳ මහාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා. 2022 වසරේදී මම ආචාර්ය උපාධිය ලබා ගත්තා. මම අධ්‍යාපනය හැදෑරුවේ කළුතර ඥානෝදය මහා විද්‍යාලයෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගත්තා. ඉන්පසු පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියට ගියා. අධ්‍යාපන කටයුතු සඳහා අවුරුදු දහයක් එක්සත් රාජධානියේ ගතකළා. පශ්චාත් උපාධිය ලබා ගැනීමෙන් පසුව මම නැවතත් පේරාදෙණිය සරසවියේ කෙටි කාලයක් සේවය කළා. දැනට වසර දොළහක පටන් විවිධ තනතුරු හොබවමින් වෘත්තිය කරගෙන යනවා. පසුගිය කාලය ගත කළේ වෘත්තියත් සමඟ බැඳුණු උසස්වීම් ආදිය ලබා ගැනීමේ කටයුතු සඳහා. 2022 න් පසුව මා ප්‍රියකළ ගීත ගායනය සඳහා යොමුවුණා. ගායනය පැත්තට නැඹුරු වූ නිසා විදීෂා මුතුකුඩ නම් මගේ හිතවතියක් මට අපූරු ගීතයක් ලියා දුන්නා. ” සුවඳ තැවරුණ හාදුවක් ” . ඇය මගේ පාසල් කාලයේ මිතුරෙකුගේ බිරිඳක්. අපට ඇසෙන බොහෝ ගීත ආදරය මුල්කොට ගත් ගීත. විදීෂා මට ලියාදුන් ගීතය ආදරය සමඟ විරහවත් මුසු වී තිබෙනවා. එය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද. මේ වන විට මම ගීත පහක් ගායනා කර තිබෙනවා.

සංගීතවේදී නවරත්න ගමගේ විසින් සංගීතවත් කළ ගීත දෙකක් මින් පෙර ගායනා කළා. ඔබේ නෙතු යුග සහ මිලා යන ගීත දෙක. එයින් මිලා කියන ගීතය මට විශේෂයි. එම ගීතය මුල්කරගෙන මම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූවා. එය මම පැවැත්වුයේ රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවණාගාරයේදී. එම ප්‍රසංගයට විශේෂ අමුත්තියක් සහභාගී වුණා. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇය ජීවත් වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. ඇයත් මමත් ප්‍රසංගයේදී මලයාලී ගීතයක් ගායනා කළා. මම මුලින්ම ගායනා කළ ගීත විවිධ නාළිකාවල ප්‍රචාරය කෙරුණා. සමාජ මාධ්‍යවලත් ගීතය ප්‍රචාරය වුණා. එයට ඉහළ ප්‍රතිචාර ලැබුණා.

වර්තමානයේ රූපවාහිනී මාධ්‍යයෙන් ගීතයක් ප්‍රචාරය කරවා ගැනීමට ගීතයට අදාළ රූප රචනාවක් අවශ්‍යමයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලන්නෙත් රූප රචනාව සහිත ගීතය. මා පසුගිය 22 වෙනිදා මගේ තවත් නවතම ගීතයක් ජනතාව අතරට මුදාහැරියා. එම ගීතය එළිදැක්වූයේ විශේෂ කාරණයක් මුල්කොට ගෙන. නුඹ දුරයි කියන එම ගීතය රචනා කළෙත් විදීෂා මුතුකුඩ. ඇයගේ උපන්දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 22 දා. ඇයට ලබාදෙන තිළිණයක් ලෙස ” නුඹ දුරයි” කියන මා ගායනා කළ ගීතය එදිනම ශ්‍රාවකයන්ට අසන්නට සැලැස්වූවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිතවතෙක් මට ලියාදුන් ගීතයක් මම ගායනා කළා. ඔහු රංජිත් නානයක්කාර. අපේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විගණකාධිපතිතුමා විදිහට ඔහු සේවය කරනවා. එයත් හරි ලස්සන ගීතයක්. එම ගීතය සංගීතවත් කළේ සංගීතවේදී නවරත්න ගමගේ.

මට මෙහිදී විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. සංගීතවේදී ජයන්ත අරවින්දයන් කියන්නේ අපේ ලාංකික සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක්. ඔහු අපිට සිටින ජ්‍යේෂ්ඨ සංගීතවේදියෙක්. එතුමා මනමේ , රත්නාවලී ආදී පැරණි නාට්‍යවල සංගීතය නිර්මාණය කළ කලා ශිල්පියෙක්. එතුමා වැනි ප්‍රවීණයෙකු සමඟ ගීතයක් නිර්මාණය කරවා ගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක්. ලබන වසරේ පැවැත්වීමට බලාපොරොත්තු වන ප්‍රසංගයේදී මම එම ගීතයත් ගායනා කරනවා.

2022 වසරෙන් පසුව තමයි මම ගීත ගායනයට නැඹුරුවක් දක්වන්න පටන් ගත්තේ. අපි වෘත්තිය කරන්නේ ජීවත්වීම උදෙසා. කලාව කරන්නේ එයට ඇති ආශාව සහ ආත්ම තෘප්තිය උදෙසා. මම කෙතරම් කාර්‍යබහුල වුවත් ගීත ගායනය සඳහා කාලය කෙසේ හෝ වෙන්කර ගන්නවා. ඇතැම් අවස්ථාවල වෘත්තියට සම්බන්ධ කටයුතු නිවසේ සිට කරන අවස්ථාවල ඇතිවන පීඩනයෙන් මිදෙන්න පියානෝව වාදනයේ යෙදෙනවා. ගීතයක් ගායනා කරනවා. ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න හොඳම දේ සංගීතයට යොමුවීම. මව්පියන් නිතරම දරුවන්ට උපදෙස් දෙන්නේ ඉගෙන ගන්න කියල විතරයි. දරුවන්ව කලාවට යොමු කරන පිරිස අඩුයි. සෞන්දර්ය විෂයයන් වලට යොමු වීමෙන් තමයි යහපත් පුදගලයෙකු නිර්මාණය වන්නේ. ගායනය, වාදනයට යොමු වීමෙන් අපේ මොළයේ නැවුම් බවක් ඇති වෙනවා. එවිට අප කරමින් සිටින කාර්‍ය තවත් හොඳීන් කරගෙන යාමේ උනන්දුව ඇති වෙනවා. කලාව අපේ ජීවිත හොඳීන් ගොඩනඟා ගන්න දායකත්වය ලබා දෙනවා. මේ කාරණාව පිළිබඳ මම මගේ සිසුන්වත් නිතර දැනුම්වත් කරනවා.

වර්තමානයේ තරුණ පිරිස දැඩි ආවේගශීලියි. ඔවුන් ආදරය විරහව ඉදිරියේ ආවේගශීලි වන්නේ ඒ නිසා. ඉක්මනින් හදිසි තීරණ වලට එළඹෙනවා. එහෙත් සෞන්දර්යට යොමුවන විට ආදරය, විරහව, දුක, සතුට දරා ගැනීමේ ශක්තිය ඇති වෙනවා.

මනස නිරවුල්ව තබා ගැනීමට නම්, අවශ්‍ය වන්නේ ගුණාත්මක බවින් යුත් ගීතවලට සවන්දීම සහ එවැනි ගීත ගායනය කිරීම. අතීතයේ මෙන් නොව අද ඇසෙන බොහෝ ගීත එක් රැයකින් ඇසී නැති වී යනවා. එයට හේතුව එහි ගැබ්වී තිබෙන්නේ බොහෝ දුරට ශබ්ද රසය පමණයි. ගීත වල නිසි අර්ථයක් නැහැ. මට අවශ්‍ය සමාජයට අර්ථවත් ගීත අසන්න දෙන්න. දීර්ඝකාලීන පවතින ගීත ගායනා කරන්න. මම ගීත ගායනා කරන්නේ ලාභ ලැබීම හෝ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම ගීත ගායනා කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසායි.

ගායනා කටයුතු වලදී මගේ පවුලෙන් මට ලැබෙන සහය උපරිමයි. මට ඉන්නේ දියණියන් දෙදෙනෙක් සහ පුතෙක්. වැඩිමහල් දියණිය සහ පුතා නිවුන් දරුවන්. පුතා ලෝහස් ගිසේන් කාරියවසම්. දුව ලොහන්සා ගේලි කාරියවසම්. පොඩි දුව දුලිති ලොහන්සා කාරියවසම්. පුතා ගිටාර් වාදකයෙක්. නිවුන් දුවට සහ පුතාට වයස අවුරුදු දහතුනයි. පොඩි දුව ගීත ගායනයට ඉතා දක්ෂයි. ඇය කී බෝඩ් එක ඉතා අගේට වාදනය කරනවා. ඇයට වයස අවුරුදු නවයයි. මගේ බිරිඳ පූර්ණිමා අවන්ති රත්නායක. ඇය මගේ ගායන සහ වෘත්තිය කටයුතු වලට හොඳ සහයක් ලබා දෙනවා.ඒ වගේම මගේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙනුත් මට ලැබෙන්නේ අනගි සහයක්. මගේ ගීත ප්‍රසංගයේදී නර්තනය ඉදිරිපත් කළේ විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන්. මගේ “මිලා” මගේ ගීතයට මියුසික් වීඩියෝව හැදුවේ විශ්වවිද්‍යාලයේම සිසුන්. එය ඔවුන්ගේ ඉල්ලීමක්. මම එයට අවශ්‍ය බරපැන දැරුවා. මගේ ගීත වලට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාර. සමාජ මාධ්‍ය ඔස්සේද මගේ ගීත වලට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

මම බලාපොරොත්තු වෙනවා කලාවේ දිගටම රැඳී සිටින්න. ගායකයෙකු ලෙස ගුණාත්මක නිර්මාණ ජනතාව අතරට ගෙන යාම මගේ එකම බලාපොරොත්තුවයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT