Home » මම ගී තනු ලියන්නේ මනසින් ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර

මම ගී තනු ලියන්නේ මනසින් ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර

by mavan
April 2, 2026 1:14 pm 0 comment

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂවරයකු සහ සුවිශේෂී ගිටාර් වාදන ශිල්පියකු ලෙසත් සිත් පහන් කරනා ගායන කෞශල්‍යයකින් හෙබි ගායන ශිල්පියෙක් හැටියටත් සංගීත ක්ෂේත්‍රය තුළ මතක සටහන් තැබූ ඔහුගේ සංගීත දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ‘අංජන ස්වර මිහිර’ ප්‍රසංගය හැඳීන්විය හැකිය. ප්‍රේමණීය හදවත් තුළට සප්ත ස්වරයෙන් අමතන මේ සංගීතවේදියා නාලක අංජන කුමාරයි. ඔහුගේ සොඳුරු රසවින්දනාත්මක සංගීත සන්ධ්‍යාව අප්‍රේල් 03 වන දින සවස 6.00ට අනුරාධපුර යොවුන් නිකේතන රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

සංගීත ගමන් ආරම්භය

මම ආඩම්බරයෙන් කියන්න කැමතියි මම රජරට ඉපදුණු කෙනෙක් කියලා. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් සහ අනුරාධපුර මධ්‍යම හා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසලේදී නම් සින්දු කියලා බැනුම් අහලා ආදරයක් ලැබූ කෙනෙක්.

1979 දි ආරම්භ වුණු රජරට සේවයට 1980 දී ගායන වාදන සහ නාට්‍ය ශිල්පියෙක් හැටියට සම්බන්ධ වුණා. ඒ කාලයේ දඬුවම් මාරුවක් ලැබිලා රජරට සේවයට පැමිණි විශාරද ගුණදාස කපුගේගේ අවධානයට පාත්‍ර වෙන්න මට අවස්ථාව ලැබුණා. ඔහු මගේ දක්ෂතා හඳුනා ගත්තා. ඒ නිසා ඔහු විවිධ ශිල්පීන්ට නිර්මාණය කළ ගීතවල සංගීත සංයෝජනය කරන්න මට ලැබුණා. ඔහුගේ ‘කම්පන’ ප්‍රසංගයේ ප්‍රසංග වාර දහසකට පමණ සම්බන්ධ වුණා. 1985 දී ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශමය ශිල්පියෙක් හැටියට කටයුතු කරන්න කොළඹට පැමිණියා. ඒ කටයුතු කරන අතරතුරේ ජාතික නාලිකාවේ ‘සුරම්‍ය රාත්‍රිය’ වැඩසටහනට බොක්ස් ගිටාර් වාදකයෙක් හැටියට එකතු වුණා.

1995 දී පමණ ඩී. ඩී ගුණසේන මාර්ගයෙන් පණ්ඩිත් අමරදේවයන්ව හමුවීමත් මගේ සංගීත දිවිය තුළ ලැබුණු විශේෂ අවස්ථාවක්. ඔහුගේ විදෙස් සංගීත ප්‍රසංගවලට යෑමටත් ඒවායේදී ගිටාර් වාදනයෙන් සංගීත සංයෝජනයෙන් සහ ගායනයෙන් සම්බන්ධ වෙන්න ලැබීමත් සුවිශේෂියි.

රජරට සහ ඔබේ පවුලේ සහයෝගය

මගේ දෙවැනි මහගෙදර රජරට සේවය, එහිදී ගුණදාස කපුගේ වැන්නන් ඇතුළු බොහෝ ප්‍රවීණයන්ගේ ඇසුරු ලැබුණා. එකල වැඩි ජනප්‍රියතාවයක් නොතිබුණු කරුණාරත්න දිවුල්ගනේගේ පසුකාලීනව ජනප්‍රිය වූ ගීත බොහොමයකට සංගීත සංයෝජනයෙන් එකතු වුණා. ඒ අතර ඔබට වරම් නැති මටද වරම් නැති, ඇසට අසුවන මායිමේ, ඔබ මා හමුවන ආදී ගීත.

ගෙදර පසුබිමේදී මගේ අක්කගෙන් සංගීතය ගැන අවබෝධයක් ලබා ගත්තා. මට සරස්වතී යෝගයක් තියෙනවා කියලා අම්මා අක්කට කිව්වා. මට සංගීතය උගන්නන්න කියලා. මගේ මව විවෘත හදවතක් සහිත පපුවේ තෙතමනයක් තිබුණු හිත හොඳ කෙනෙක්. මගේ පියා මුදියන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළා. අම්මා සහ තාත්තා, අක්කලා පස්දෙනාව සහ මාව හොඳට හැදුවා. ඔවුන් දැන් ජීවතුන් අතර නැහැ. තමන් කරන දේ නිවැරදිව කිරීමට මඟපෙන්වීමක් ලැබුණා. මගේ බිරිඳ පද්මා රණසිංහ ඇය ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට කටයුතු කරනවා. දියණිය භාග්‍යා රණසිංහ අධ්‍යාපනය ලබනවා.

සංගීතය සහ ඔබ පිළිබඳව

සංගීතය විශ්ව භාෂාවක්, හොඳ හදවතක් තියෙන, හොඳ සිතුම් පැතුම් තියෙන පුද්ගලයන්ට විඳීන්න පුළුවන්. විඩාබර මනස සුවපත් කළ හැකි සෞන්දර්යාත්මක විෂයයක්. රසවත් තනු නිර්මාණය සහ හඬවල් තුළින් මනසට ඔසුවක් ලැබෙනවා. අපි මොන විෂය කළත් විවෘතව අවංක භාවයෙන් සද්භාවයෙන් කරනකොට තමන් අදහන ධර්මතා එක්ක ගැළපිලා යනවා. අධ්‍යාත්මයේ තියෙන ආදරණීය බව මිනිස්කම එක්ක තමයි ඒවා මතුවෙලා එන්නේ. ව්‍යාජ කපටි මිනිහෙක් තුළින් ඒවා කිසිවක් බිහි වෙන්නේ නැහැ. විෂය හරියාකාරව කරන කෙනාට කල්ලිවාද අවශ්‍ය නැහැ. මම අව්‍යාජ විදියට කටයුතු කරන විවෘත කෙනෙක්. ස්වාධීන කලාකරුවෙක්. මගේ හුස්ම පවතින තාක් කල් එහෙම ඉන්න උත්සාහ කරනවා. මෙතෙක් කලක් රිදම් ගිටාර්, ලීඩ් ගිටාර්, බේස් ගිටාර් වාදනය කරමින් වාද්‍ය ශිල්පියෙක් හැටියට මට හැකි උපරිමයෙන් මම කටයුතු කළා. ඉදිරියටත් මම මගේ උපරිම දායකත්වය ලබාදෙනවා සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන්. මම ගී තනු නිර්මාණය කරන්නේ සංගීත භාණ්ඩයක් යොදාගෙන නොවේ. මම ගී තනු ලියන්නේ මනසින්. එය මා ලද සුවිශේෂී හැකියාවක් කියලා හිතනවා. එවැනි ශිල්පීන් අතළොස්සක් පමණ අප අතර සිටිනවා.

මානව දයාව පිරිහුණු සමාජ පරිසරය තුළ කරන කලාව

මම හැමවෙලේම බලාපොරොත්තු වෙනවා. මා ළඟ තියෙන මිනිස්කම මටත් පෙරළා ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා උදව් කරන අය සමහර අවස්ථාවල පිටුපෑවම දුක හිතුණාත් ඒ ඔවුන්ගේ හැටි කියලා හිතලා හිත හදාගන්නවා. මගේ මනුස්සකම මම කිසිම දේකට පාවලා දෙන්නේ නැහැ. කොයිතරම් ධර්මය ඇහුවත් වැඩක් නැහැ. බහුතරය කරන්නේ බොරුවක්.

විශාරද කපුගේ මට තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ හිටියා. යම්කිසි කාලෙක ඔහු සහ මා අතර තිබෙන සම්බන්ධය බිඳ හෙළන්න විවිධ අය කේලම් කිව්වා. අපිට මිනිස්සු එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒත් අපි හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මම මගේ පාසලේ ඉගැන්වූ ගුරුවරු හැරුණම ‘සර් කිව්වේ අමරදේවයන්ට විතරයි. මම ඔහුගේ ගීත ගායනා කරනවට හුඟක් අය කැමති නැහැ. මම ඒවා හොඳට ගායනා කරන නිසා එහෙම වෙනවා ඇති. මට ඔහුව ඇසුරු කරන්න ඔහු සමඟ ගයන්න අවස්ථාව ලැබුණා. ඒකට මම හුඟක් කැමතියි. 95න් පස්සේ ඔහුත් එක්ක විදෙස් ගතවෙලා කටයුතු කරන්න අවස්ථා හුඟක් ලැබුණා. කෙනෙකුගේ කටහඬක් අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඔහුගේ කලාව එහෙම කරන්න බැහැ.

මේ හැමදේම එක්ක දෝලනය වෙමින් සිටින ඔබ

මගේම ගීත ටිකක් ගයලා සමාජ මෙහෙවරක් කරන්න මිනිස්සුන්ව සතුටින් තියන්න මම බලාපොරොත්තු වෙනවා. මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න මම කැමතියි. මිනිස්සු හැමෝගෙම ඇතුලේ සතෙක් ඉන්නවා. ඒ අපි ආපු විදිහ නිසා භාවනාව, සංගීතය වගේ දේවල් වලින් අපේ හොඳ පැත්ත හදාගන්න පුළුවන්. සංගීතය තුළින් ලෙස මිනිස්සු යහමගට ගන්න පුළුවන්. මම ගායනා කළ ගීත අතර ගීත කිහිපයක් ලෙස සීත මාරු තේ, රැයේ සඳ තරු, සාගරය සේ හැඬුවත්, මියුරු මීවිත තනි වුණේ මා නම් මෙත් කරුණා සුවඳීන් වැනි ගීත සඳහන් කරන්න පුළුවන්.

සංගීත ජීවිතේ් මුල්ම කාලයේ දිවුල්ගනේගේ ‘ඔබට වරම් නැති මටද වරම් නැති’ ගීතයට තනුව යොදද්දී ප්‍රථම ප්‍රේමයක් පිළිබඳ අත්දැකීමක් මට තිබුණෙම නැහැ. ඒ වුණාට ඒ ගීතය සාර්ථක වෙලා තියෙනවා. පසුකාලෙක ගුවන් විදුලියේදී මට සිද්ධ වුණු අසාධාරණයක් නිසා මම පීඩාවට පත්වෙලා ඉද්දි කරපු ‘ඇරඹුමම කඳුළක් වෙලා කසුන් කල්හර ගායන ගීතයට ශෝකාත්මක සංගීතයක් යොදන්න පුළුවන් වුණා. ඒ ගීතය කසුන්ගේ ගායන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණා.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයට මුල ඉදලා ආපු ක්‍රමයේ ප්‍රශ්නත් බලපාලා තියෙනවා. හොඳ සංගීත නිර්මාණ කරන අයත් ඒ අතර විකෘති ගීත නිර්මාණය කරන අයත් ඉන්නවා. මිනිස්සු ඒක තෝරා බේරා ගන්න ඕනෑ. අපට තියෙන්නේ කලවම් වුණුු සංගීතයක්. දැන් ලොකු තරඟයක් තියෙනවා නැඟී එන අයට ඉඩ ලබා දුන්නා මදි නිසා ඔවුන් ඒක සෙල්ලමක් කරගෙන තියෙනවා. වගකීමක් නැති විදිහට කටයුතු කරන නිසා ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් ලබාදිය යුතුයි.

‘අංජන ස්වර මිහිර’ ප්‍රසංගය පිළිබඳව

විදෙස් සංචාරයකට ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවක ගෘහස්ථ ප්‍රියසාදයක පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද කපුගේ ගේ ගීත මා විසින් ගායනා කළා. එහිදී මගේ හිතවත් සහෝදර යුවළක් වන වෛද්‍ය සංජීව ආරච්චිගේ සහ රුවන්මලී ආරච්චිගේ මට යෝජනා කළා කැන්බරා සංදර්ශනයක් කරන්න. ඊට පසුව ඔවුන් ඒ සඳහා වියදම් කරලා ප්‍රසංගයක් කළා. එය සාර්ථක වුණා. ඔවුන්ව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ප්‍රසංගය අනුරාධපුරයෙන් පටන් ගන්නයි මේ උත්සාහ කරන්නේ. එහිදී මා ගායනා කළ සහ වෙනත් අයට තනු නිර්මාණය කළ ගීත ද යොදාගෙන ප්‍රසංගය ඉදිරිපත් කරනවා. රුවන්මලී ආරච්චිගේ යුග ගායනයෙන් එකතු වෙනවා. කසුන් කල්හාර හා කුෂාණි සඳරේඛා ප්‍රසංගයේ ආරාධිතයින් හැටියට සහභාගී වෙනවා. වෙනස් රස වින්දනයක් විදිහට නරඹමින් රස විඳීන්න පුළුවන්. එය ශබ්ද ඝෝෂා ප්‍රසංගයක් නෙමේ. මෙය එක්තරා විදිහක උඩුගං බලා පිහිනීමක් වගේ වෙන්නත් පුළුවන්. මගේ රසික පිරිසට මම ආරාධනා කරනවා මගේ ගමනට සහයක් දක්වන්න එදිනට ප්‍රසංගය නරඹන්න එන්න කියලා. ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමයි. සම අනුග්‍රහය සූර්යයා වෙස්සගිරි රිසෝට් වෙතින් ලැබෙනවා.

ෂෙරින් පීරිස්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT