Home » මට භාණ්ඩ රැසක් වයන්න පුළුවන්

මට භාණ්ඩ රැසක් වයන්න පුළුවන්

ගායන හා වාද්‍ය ශිල්පී දිනේෂ් ධනුෂ්ක සෙනෙවිරත්න

by shanaka
December 25, 2025 1:00 am 0 comment

“ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” මුනිදාස කුමාරතුංග යන් සඳහන් කළද, එයට එපිටින් සිටින අපූර්ව කලාකරුවෙකු, ප්‍රාසංගික වේදිකාව වර්ණවත් කරන, නවතම ගීත තුළින් යෞවන සිත් ප්‍රබෝධවත් කරන වාද්‍ය භාණ්ඩ සියල්ලක්ම වාදනය කිරීමේ නිපුණත්වයක් ඇති, ඔහු නමින් දිනේෂ් ධනුෂ්ක සෙනෙවිරත්න ය. ඔහු සමඟ කෙරෙන කෙටි පිළිසඳරකි මෙය.

ලාංකේය ප්‍රාසංගික සංගීත වේදිකාව තුළ නව මුහුණුවරකින් ගීත ගායනා කිරීම දක්වා ආ ගමන් මඟට මූල පිරුවේ කොහොමද ?

දෙමාපිය අභාසය නොඅඩුව ලබාගනිමින්, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් සංගීතය හදාරා, ඇහැලියගොඩ ශෙනායි සංගීත කණ්ඩායමේ සංගීත රසය බෙදමින්, ගීතගායනයට සම්බන්ධ වුණා. පාසලේදී මාගේ වාදන හැකියාව, ගායන හැකියාව ඉහළින්ම අගය කළ මගේ ආදරණීය නාලනී ගුරුතුමිය හදවතින්ම සිහිගන්වන්න කැමතියි, මගේ ගායන හැකියාව තවත් ඉහළට ගතයුතුයි යන සිත් පහළ කරගත් ආදරණීයම චරිතයක් මේ පිටුපස ඉන්නවා, ඒ තමා ටෙරී ජයසිංහ රංගන ශිල්පී, ප්‍රවීණ පද රචකයා, ඔහු විසින් මාහට මුල්ම ගීතය නිර්ලොභිව මා වෙනුවෙන්ම පද රචනය කර ලබා දුන්නා, “ඔය කඳුළු අරන් යන්නම් තුටු කඳුළු ගෙනත් දෙන්නම් ‘ගීතය, මේ ගීතය සඳහා, තනුව දැමූ කලාකරුවා මා මතක්කළ යුතුමයි, ඔහු අප අතරින් සමුගත් ප්‍රසන්න දිසානායක, ශෙනායි සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පියා. 2017 වර්ෂයේ ඔබ හා මෙමා නමින් ඒකපුද්ගල ප්‍රසංගයක් කරමින්, මාගේ ගායන හැකියාව ඉදිරිපත් කළා, එම ප්‍රසංගයට මාගෙ අම්මා සහ ලොකු පුතා ගායනයෙන් සහභාගී වුණා, ඉන්පසුව, ඒ නම මූලික කරගෙන ඔබ හා මෙමා live with dinesh නමින් ෆේස් බුක් සජීවී වැඩ සටහනක්, මා සමඟින්, ආදරණීය බිරිඳ සුභා, ලොකු පුතා ටිනූ, අම්මා නන්දනී, විසින් ආරම්භ කළා, එය ඉතා විශාල පිරිසක් සම්බන්ධ කරගෙන අපට ගීතවත් වීමේ අවස්ථාව උදා වුණා, ඉන්පසු මගේ අක්කා නදීකා, සඳුන් අයියා, රකිත පුතා, අපහා සම්බන්ධව ඉදිරියට ම ප්‍රසංගය පවත්වාගෙන ගියා, එම සජීවී ප්‍රසංගය තුළින් ලංකාව වටේම හිටපු දක්ෂ ගායකයින් පිරිසක් හඳුන්වාදෙන්න හැකියාව ලැබීමත් මා භාග්‍යක් කොට සලකනවා, මේ අයුරින් මා විශේෂ ගායකයෙක් විදිහට වේදිකාවට අවතීර්ණය වුණා.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත ” කීවට ඔබ සංගීත භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් වාදනය කළ හැකි අයෙකි. ඔබට කොහොමද ඒ පන්නරය ලැබුණේ ?

පාසල් සංගීත කාමරය තුළ තිබුණු සියලුම සංගීත භාණ්ඩයන්, විවේක ය ලද සෑම අවස්ථාවම උපයෝගීකරගෙන, වාදනය කර බැලීමට මගේ තිබුණු අසීමිත ආශාව නිසාවෙනි. ගිටාරය, සිතාරය, තබ්ලාව වාදනය මා ඉතා කැමැත්තක් දැක්වුවා, ඒ අතරේ සර්පිනාව ද විශේෂයෙන් වාදනයට ප්‍රිය භාණ්ඩයක් වුණා. බටහිර වාදන භාණ්ඩයන් පුරුදු පුහුණු වීමත් අමතක කලේ නෑ, ශෙනායි සංගීත කණ්ඩායමේ බේස්ගිටාර් වාදන ශිල්පියා විදිහට අවුරුදු 7 පමණ එළිමහන් ප්‍රසංගයන් සඳහා වාදනයෙන් සහභාගී වීමට ලැබුණු අවස්ථාව, මා ඔසවා තැබූ තෝතැන්නක් වුණා. සංගීත කණ්ඩායමේ නායකතුමා චේතිය වීරවර්ධන මගේ ආදරණීය සහොදරයා විශේෂයෙන් මතක් කරනව.

විවිධ ගායක ගායිකාවන්ගේ හඬවල් වලින් ගීත ගායනා කරන්නත් ඔබ දක්ෂයි. ඒ නිසාම ප්‍රාසංගික වේදිකාව තුළ ඔබ නැතුවම බැරි කෙනෙක් බවට පත්වී ඇත. ඒ අනුකරණය කොයි වගේද ඔබ සිදු කරන්නේ ?

හඬ අනුකරණය කිරීමට වුවමනා කලාකරුවාගේ මුහුණ මතක් කර ගැනීම මඟින්, ඒ හඬ ට සමානව මාගේ කටහඬ හැසිරවීමට මට ඇති හැකියාව නිසා. මේ අතරින් ටී.එම් ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, මිල්ටන් මල්ලවරාච්චි, ආත්මා ලියනගේ, යන ප්‍රවීණ ගායකයන්ගේ ගීත ගායනයට මට විශේෂම හැකියාවක් ලැබුණා, මාගේ ගීතවලට අමතරව ඒ ප්‍රවීණ ගායකයන්ගේ ගීත ඇසීමට මගේ පේ‍්‍රක්ෂකයන් ඇලුම් කළා, පොඩි ඊර් නමින් මා ආමන්ත්‍රණයටත් ඔවුන් හුරු වුණා,

ඔබේම කියලා ගීත නිර්මාණ ගණනාවක් දැයට දායාද කර තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම ජනප්‍රිය ගීතය ගැන විස්තර කළොත්?

මා ගායනා කළ ගීත 5, අතරින් වඩාත්ම, ජනප්‍රිය ගීතය වන්නේ, රන්දික හෙන්නැදිගෙ සහෝදරයා, ඔහුගේ අදහසින් මාහට ලබාදුන්, දර්ශන වික්‍රමතුංග තනු නිර්මාණයෙන්, සමිලා හුසේන්, ගී පදයෙන් අරුත් බර කළ, “අතීතයේ පෙම් පුරාවතක කිදුරී තවම ඔබ සොයමී’ ගීතයයි. මේ ගීතය ඉතා කාව්‍යාත්මක වියෝගීතයක් වූ නිසා, ඒ ගීතය මහත් ආදරයට පාත්‍රවුණා,

ඔබ මෙතෙක් කර ඇති ගීත වගේම ඉදිරියේදී සංගීත ක්ෂේත්‍රය තුළ ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස මොන වගේද ?

1 ගීතය ඔය කඳුළු අරන්යන්නම්, 2 ගීතය අතීතයේ පෙම්පුරාවතක කිදුරී, 3 ගීතය නිල් දෑස ඔබගේ ළඟ නැතත් මගේ, 4 සරාගී පැතුම් මල් පිපිලා, 5 ගීතය සුරංගනා ලොවෙන් මිදී. මේ ගීත අතරින් 3 වන ගීතය මා ගායනා කලේ මගේම එකම සහෝදරිය,නදීකා නිරෝශිනි සෙනෙවිරත්න සමගින්, ඉතා හැඟුම්බර ගීතයක්, ප්‍රවීණ පද රචක, සරත් කොඩිකාර, තනුව මලින්ත ගමාරච්චි, 4 වන ගීතය එළිමහන් වේදිකාවට නැතිවම බැරි ගීතයක්, සරාගී පැතුම් ගීතය, පද රචනය සන්ධ්‍යා ගුණවර්ධන තනුව සිසිර ජයරත්න, 5 ගීතය පුලුන් වලා රොදක එතී, ප්‍රවීණ ගීත රචක සුභාෂ් දික්වැල්ල දායක විය. මේ ගීතය එළි දක්වන්නට සූදානම් කර ඇති ගීතය, මාගේ ආදරණීය දියණිය වෙනුවෙන්, සහ සුවසක් දියණිවරුන් වෙනුවෙන් ගැයෙන ගීතයක්. මා සමගින් මේ ගීතය ගායනා කරන්නේ මගේ ආදරණීය බිරිඳ සුභා සෙනෙවිරත්න, මේ ගීතය පදරචනය කර ලබාදුන්නේ ප්‍රවීණ පදරචක විසින්. ඉදිරියටත්, නිහඬව මනස ට විඳගැනීමට හැකි, නව ගීත නිර්මාණයන් කීපයක් රසිකයන් වෙනුවෙන් එළි දැක්වීමයි මාගේ එකම බලාපොරොත්තුව.

ඔබේ පවුල සංගීත පවුලකි. හැමෝම සංගීතයට දක්ෂයි. ඒ පරිසරය කොහොමද ගොඩනැගුණේ. ඔබේ සංගීත දිවියට පවුලෙන් ලැබෙන ශක්තිය මොන වගේද?

මගේ පියාණන් වන කේ.වී සෙනෙවිරත්නයන් හා මගේ මව නන්දනී සෙනෙවිරත්නයන්, ගෙන් මටත්, නදීකා සෙනෙවිරත්න මගේ එකම සහෝදරියටත් කුඩාකල සිටම නිවස තුළ නිතරම ඇසුණේ සංගීතයේ මිහිරියාවයි, අපි හතර දෙනාගේ, විවේකය සංගීතයටම වෙන්වුණා, මගේ මව නන්දනී සෙනෙවිරත්න, සර්පිනා වාදනය, ඩොලැක්ක වාදනයෙන් දැක්වූ දක්ෂශතාව, මටත් අභාශයක්ම වුණා නොඅනුමානයි, එයට සමගාමීව මාගේ හැරවුම් ලක්ෂය වූ, මාගේ ආදරණීය බිරිඳ සුභා සෙනෙවිරත්නයන් මා වෙනුවෙන් සෙවණැල්ල මෙන් ළඟින් ඉඳ, දිරිගන්වමින්, වැටුණු අවස්ථාවල නගාසිටුවමින් මහත් ශක්තියක් වුණා. ඇයට මා නිහතමානීව ස්තූති කරන්න මේ මොහොත අවස්ථාවක් කරගන්නවා, ටිනුර මන්තික සෙනෙවිරත්න මගේ ලොකු පුතාමට මගේ ගීතවලට සැක්සෆෝන් වාදනයෙන්, ගිටාර් වාදනයෙන්, උපරිමයෙන් සහයෝගය ලබාදෙමින් සහය වෙනව, ගීත රෙකෝඩින්වලටත් ඔහු දායක වුණා, මගේ සංගීත ජීවිතයෙන් ඉහළට යන්න මහත් ශක්තියක් වුණා, යෙමිත සෙනෙවිරත්න, අමා සෙනෙවිරත්න, වන මගේ ආදරණීය පොඩි පුතා සහ චූටි දුවත් සංගීතයේ අත්වැල තදින්ම අල්ලාගත්තා.

ලාංකේය අනාගත සංගීත පරපුරට ඔබ ලබාදෙන සුවිශේෂ පණිවිඩය කුමක්ද?

සංගීතය අපහට ලැබුණු දිව්‍ය වරප්‍රසාදය ක් බැවින්, එහි වටිනාකම නොනැසෙන සේ අනාගතයටත් භුක්තිවිදීමට සලස්වන්න,

 

ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT