Home » මගේ හඬ මුළු ආත්මයත් සමඟ බැඳීලයි තියෙන්නේ

මගේ හඬ මුළු ආත්මයත් සමඟ බැඳීලයි තියෙන්නේ

ඉතාලියේ වෙරෝනාහි "Voice Of the Soul" ප්‍රසංගය පැවැත්වූ නිරූධී අමාශාඛ්‍යා රන්මුතු

by shanaka
November 13, 2025 1:00 am 0 comment

අද වනවිට ඉතාලියේ වෙරෝනා නගරයේ ජීවත්වෙමින් ගායන ක්ෂේත්‍රය තුළින් ජනතාවට හරවත් රසවින්දනයක් ලබාදීමේ අරමුණින් විවිධ ප්‍රසංග පවත්වන ඇය නමින් නිරූධී අමාශාඛ්‍යා රන්මුතුය. ගීපද රචකයකු, නිවේදකයකු වශයෙන් නමක් දිනාසිටි පියල් රන්මුතු ඇගේ ආදරණීය පියාය. සිය පියාගේ ආභාසය ලබමින්, සාරධර්ම, සංස්කෘතිය, සදාචාරය ආදී ගුණාංගයන්ට මූලිකත්වය දෙමින් නිහඬ, සරල ගමනක යෙදෙන ඇය ඉතාලියේ වෙරෝනාහි ජීවත්වන ශ්‍රීලාංකේය මෙන්ම එරට ජනතාවගේ රසවින්දනය උදෙසා ඉකුත්දා ‘Voice Of the Soul’ නමින් ප්‍රසංගයක් පැවැත්වූවාය. එකී ප්‍රසංගය පිළිබඳවත් ඇගේ ගායන දිවිය පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් නිරූධී අමාශාඛ්‍යා මෙසේ සරසවිය හා එක්වූවාය.

නිරූධී, ඔබ පසුගියදා ඉතාලියේ වෙරෝනාහි ‘Voice Of the Soul’ නමින් ප්‍රසංගයක් පැවැත්තුවා නේද ?

ඉතාලියේ වෙරෝනා නගරයේ තමයි මගේ ‘Voice Of the Soul’ කොන්සර්ට් එක තිබුණේ. වෙරෝනාහි ප්‍රේක්ෂක ජනතාවට ලස්සන හොඳ රසවින්දනාත්මක ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා.

‘Voice Of the Soul’ පවත්වන්න අදහස ඇති වුණේ කොහොමද ?

කාලයක සිටම වෙරෝනාහි ‘Voice Of the Soul’ කොන්සර්ට් එකක් පවත්වන්න අවශ්‍යතාව මගේ තිබුණා. මම රැකියාව කරන්නෙත් වෙරෝනාවල. වෙරෝනාහි ජනතාව මගේ හඬටත්, මටත් බොහෝ සේ ආදරය කරනවා. ඔවුන් වෙනුවෙන් මෙවැනි දෙයක් කළ යුතුයි කියන අදහස කාලයක සිටම මගේ හිතේ තිබුණා. වොරෝනාවල බොහෝ කලක සිට මම ප්‍රසංග කළා. අවසානයට තමයි පසුගියදා මේ කොන්සර්ට් එක කළේ . රැකියා ඇති අයත්, රැකියා නැති අයත් ෂෝස් කරන කාලයක් මේ. ඝෝෂාකාරී සංගීතයට වඩා රසවත් සංගීතයක් ඇතුළත් ප්‍රසංගයක් ජනතාවට දෙන්න ඕන කියල හිතුණා. මියුසික් කියන්නේ අමුතුම දෙයක්නේ. මියුසික් කියන දේ දැනෙන්න පුළුවන් ගීත ටිකක් තෝරාගෙන තමයි මගේ ප්‍රසංගය කරන්න අවශ්‍ය වුණේ. මිනිසුන්ට සැබෑම රසයක් ලබාදෙන හොඳ රසවින්දනාත්මක ප්‍රසංගයක් පැවැත්වීමේ අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් තමයි මේ ‘Voice Of the Soul’ කියන්නේ .

මේ ප්‍රසංගය තුළින් ඔබ බලාපොරොත්තු වූ දේ වුණාද ?

ඔව්, මං බලාපොරොත්තු වුණු දේ මට කරන්න පුළුවන් වුණා. මේ රටවල බොහෝ දක්ෂ ගායක, ගායිකාවෝ ඉන්නවා. නමින් ප්‍රචලිත නැහැ. රැකියා කටයුතු සමඟ මේ රටේ අය කාර්යබහුලයි . ඔවුන්ට කලාව කියන දේ මඟහැරිලා තියෙන්නේ. ලංකාවේ දක්ෂ අය ඉන්නවා වගේ මේ ඉතාලියේ වෙරෝනාවලත් දක්ෂයෝ ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාව ඉතාලියේ ඇගයීමට ලක්වුණේ නැහැ. මම බලාපොරොත්තු වුණු දේ, ඒ පණිවිඩය මෙහේ අයට මම දුන්නා. ලොකු වියදමක් දරලා ප්‍රසංග නරඹන්න යන අයට දැනෙන්න හොඳ දෙයක් මම කළා කියන හැඟීම මට තිබෙනවා.

‘ආත්මය හා බැඳී හඬ’ යනුවෙන් ප්‍රසංගය නම් කරන්න හේතුව මොකක්ද ?

ඔව්, මම බොහෝ දුරට ආධ්‍යාත්මික ජීවිතයට බැඳුණු කෙනෙක්. ජීවිතයේ යථාර්ථය සහ ව්‍යාජ බව සොයන කෙනෙක්. ආධ්‍යාත්මික අංශයට මම බොහෝ නැඹුරුයි. ධර්මානුකූලව මම දිවිගෙවන්නේ. ආරම්භය කොතැනද අවසානය කොතැනද කියලා සොයන කෙනෙක් මම. මගේ ජීවිතයේ මගේ හඬ බැඳීලා තියෙන්නේ මුළු ආත්මයත් එක්කම කියලා මට සිතුණා. මම ගොඩක් භාවනාවත් සමඟ ගනුදෙනු කරද්දී මගේ ආත්මය සමඟ ගනුදෙනු කරනවා. මගේ හඬ ආත්මයත් සමඟ බැඳී තිබෙන නිසා මට හිතුණා මේකට ‘Voice Of the Soul’ නම යොදන්න. ප්‍රසංගයට මම තෝරාගත් ශෲප් එකේ නමත් ‘Soul’ කියලා පසුවයි දැනගත්තේ . ඒක අහඹුම සිදුවීමක්. ඒ නිසා මම අවසානයට තීරණය කළා ‘Voice Of the Soul’ නමැති තේමාව මේකට යොදාගන්න. ඒ නම සිතුවට වඩා මිනිසුන්ගේ මනසට ගියා කියලා මම හිතනවා.

ප්‍රසංගයට අනුග්‍රාහකත්වය දැක්වූ පිරිසකුත් ඇති ?

ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින වෙරෝනාවල ඉන්න බලකණු සියල්ලෝම මට මේ සඳහා උදව් කළා. ඔවුන් මා සිතුවට වඩා මට සහායක් දුන්නා. ඔවුන් මගෙන් ඇහුවා ඇයි මෙච්චර කාලයක් මේ දේ නොකළේ කියලා. මේ අතර ප්‍රධාන දායකත්වය ලබා දුන්නේ ඉතාලියේ සෑම නගරයකටම නිවාස සිහිනය සැබෑ කරදෙන ‘ලයිට් හවුස්’ ආයතනය. ඊට අමතරව බොහෝ දෙනා මට අනුග්‍රාහකත්වය ලබා දුන්නා.

ගායිකාවක් ලෙස කලාදිවිය ඇරඹුණේ කොහොමද ?

අවුරුදු හතරදි තමයි මම ළමා ගායිකාවක් ලෙස ප්‍රසංග වේදිකාවට පා තබන්නේ . ඒ මගේ අප්පච්චිත් එක්ක.

ඔබේ පියාත් ගී පද රචකයෙක් හා නිවේදකයෙක් නේද ?

ඔව්, මගේ අප්පච්චිගේ නම පියල් රන්මුතු . ඔහු බෙල්වුඩ් ආයතනයෙන් බිහිවුණේ. පියල් රන්මුතු කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ලංකාවේ රැකියා කටයුතු කරන අතරේම, ප්‍රසංගවල නිවේදක මහතකු ලෙස කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. ඒ කාලයේ මම හරිම කුඩයි. ඉස්සර අප්පච්චි වැඩවලට යද්දී අම්මවයි මාවයි බයික් එකේ තියාගෙන එක්කගෙන යනවා. ඔහු 1980 දශකයේ සිට කී පද රචකයෙකුත් වෙනවා. ” මා තනිවෙන්නම්, ඔබ මා හැර යනවානම්, රට ගම හැරදා මාගෙන් සමුගෙන ” ඇතුළු ගීත රැසක් මගේ අප්පච්චි රචනා කර තිබෙනවා. සමහර පද රචනා අප්පච්චි කළත් ඒවගේ වෙනත් නම් සඳහන් වෙන්නේ. ඒත් අපි ඒවගේ අයිතීන් ඉල්ලන්න ගියේ නැහැ

නිරූධීගේ කලා දිවිය ගැන තාත්තාට ලොකු බලාපොරොත්තුවක් තියෙන්න ඇති ?

අනිවාර්යයෙන්ම. මගේ අප්පච්චිට හීනයක් තිබ්බා මම කලා ලොවේ ඉහළම තැනකට යනව දකින්න. මට අවුරුදු හතරෙදි තමයි ඔහු මට ඒ සඳහා මාර්ගය සැකසුවේ. සමහර වෙලාවට මට හිතෙනවා මම අප්පච්චිගේ සිහිනය සැබෑ කළානේද කියලා. හැකි සෑම අයුරින්ම උත්සාහ කරනවා මගේ ජීවිතයේ තිබෙන ගුණධර්ම රැකගෙන හෙමින් සීරුවේ ගමනක් යන්න. අනාගතයේදීත් ඔහුගේ සිහිනය මල්ඵල ගන්වන්න හැකිවේද කියා බලමු. අප්පච්චිව දකිනවා වගේම ප්‍රේක්ෂකයන් මාවත් දකිනවා. එතුමාගේ ගතිගුණත් ජනතාව මගෙන් දකිනවා. ඔහුගේ ආභාසය කැඩපතක් සේ මා තුළින් දකිනවා කියා මා සිතනවා.

ඔබ වැඩිපුර ගායනා කරන්නේ හින්දි ගීත නේද ?

ඔව්, හින්දි ගීත ගයන්න මම පටන් ගත්තේ කුඩා කාලයේදීමයි. මුලින්ම සංගීත ප්‍රසංගයක හින්දි ගීත ගායනා කරද්දී අම්මා, අප්පච්චි වේදිකාවේ පල්ලෙහාට වෙලා පරිස්සමින් බලාගෙන ඉඳලා තියෙනවා කොයි වෙලාවේ හෝ වචන වරද්දාවිද කියලා . එයාලා ගෙදරදි පුහුණු කරලා ස්ටේජ් එකෙන් මාව තිබ්බාම මම ගිරවා වගේ එක දිගටම සින්දු කියනවා කියලා අම්මා, අප්පච්චි කියනවා. ඒ වගේ කුඩා කාලයේදී තමයි මාව හින්දි ගායනයට අම්මයි අප්පච්චියි නැඹුරු කර තියෙන්නේ. මුලින්ම මම කියලා තියෙන්නේ “දේකාහේ පෙහේලී බාර්” ගීතය. ඒ කැසට් පටය මෑතක් වනතුරුම මා ළඟ තිබ්බා. දැන් නම් ඒක හොයාගන්න බැහැ. පුංචි කටකින් ඒ වගේ බැරෑරුම් ගීත කුඩා කල සිටම කියන්න පටන් ගත් නිසා හින්දි ගීත ගැයීමේ හැකියාව ලැබෙන්න ඇති කියා මම සිතනවා. අදටත් මම හින්දි ගීතයට හරිම ප්‍රියයි .

කොහොමද හින්දි භාෂාවෙන් ගීත ගායනය පුරුදු වුණේ ?

කාලයක් අපේ අප්පච්චි ඩුබායි, සෞදි වගේ මැද පෙරදිග රටවල රැකියාව කළා. ඒ කාලයේදී ඒ රටවල ගීත කැසට් ලෙස ගහලා මට එවනවා පුතේ මේවා පුහුණු වෙන්න කියලා. එහිදී ඒ කැසට් පටවල තිබෙන ගීතවල කොටස් වෙනම ලිය ලිය මං පුහුණු වෙනවා. සම්පූර්ණ ගීත ගොඩක් ඒ වගේ අප්පච්චි මට එව්වා. ‘සාජන්’ නමින් කැසට් පටයකුත් තිබුණා මට මතකයි . ඒවා මම ෆලෝ කරනවා. එහෙම කරද්දි තමයි හින්දි ගීත ගායනය පුහුණු වුණේ. නිතරම ඒ ගීත ශ්‍රවණය කිරීම නිසා ඒවා මගේ ඔළුවට ධාරණය වුණා කියා සිතනවා. හින්දි උච්චාරණය හොඳීන් හුරු වුණා.

සිංහල ගීත සහ හින්දි ගීත ගායනා අතර ඔබ දකින වෙනස මොන වගේද ?

90 දශකයේ සිංහල ගීතවල නාද රසයටත් වඩා අර්ථ රසය ඉහළින්ම තිබුණා. නන්දා මාලනී මහත්මිය, සුනිල් එදිරිසිංහ මහතා, ටී.එම්.ජයරත්න මහතා, එඩ්වඩ් ජයකොඩි මහතා, දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය වැනි අයගේ ගීතවල නාද රසය තිබුණත් එහි අර්ථ රසයටයි ජනතාව වඩාත් කැමැත්තක් දැක්වුවේ. හින්දි ගීතයේ අපි ඇත්තෙන්ම අර්ථ රසයක් දන්නේ නැහැනේ. ඒ වගේ මුලින්ම නාද රසය දැනෙන්නේ. නාද රසයත් සමඟයි ඒ ගීතවලට මිනිස්සු බැඳෙන්නේ. මම සිතනවා මේ දෙකෙහි වෙනස එයයි කියලා.

ගායන දිවියේ ඔබේ ගුරුවරුන් සිහි කළොත් ?

මගේ මුල්ම ගුරුවරුන් දෙදෙනා අම්මා සහ අප්පච්චි. ඔවුන් දෙදෙනා මගේ අඩුපාඩු සොයලා ඒවා හැදුවා. මා කුඩා කල ගීත ශ්‍රවණය කරමින් පුරුදු පුහුණු වුණු කැසට් පට තමයි අනෙක් ගුරුවරුන් වෙන්නේ. නිරෝෂා විරාජිනී මහත්මියට මම ගොඩක් ආදරය කළා. ඇගේ කටහඬ මම අධ්‍යයනය කළා. නිමල් ජයකොඩි සර්, සුනිල් දයානන්ද කෝණාර සර් මගේ හිටපු සංගීත ගුරුවරුන්.

නිරූධී, ඔයා අද ඉන්න ඉතාලියේ. ලංකාවෙන් එන්න විශේෂ හේතුවක් තිබුණද ?

අප්පච්චි අපිව පවුල පිටින්ම ඉතාලියට ගත්තා. ඒ නිසයි ඉතාලියට ආවේ. ලංකාවේ ආර්ථික ගැටලු එක්ක අප්පච්චි, ඒ තීරණය ගත්තේ බොහෝ සෙයින් කල්පනා කරලා. අවුරුදු ගණන් සෑහෙන කට්ටක් කාලා අප්පච්චි, අම්මවයි, මාවයි, නංගිවයි ඉතාලියට ගත්තේ. අනික ලංකාවේ ඉස්සර සිටම දක්ෂයාට හිමි තැන ලැබෙනවා අඩුයි.

ළඟදි ලංකාවට එන්න අදහසක් නැද්ද ?

ළඟදි ලංකාවට එන්න අදහසක් තිබෙනවා. කාලෙන් කාලයට ලංකාවට ඇවිත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. මම ඉතාලියේ හිටියට ලංකාවට ආදරෙයි. ලංකාවේ ඉන්න ආසයි. ළඟදීම එන්න උත්සාහ කරනවා.

ඔබේ ගායන හැකියාවන්ට මාධ්‍යයෙන් ලද සහාය මොන වගේද ?

මගේ දිවියේ එක් සංධිස්ථානයක් තමයි ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහනට දායක වෙන්න අවස්ථාව ලැබීම. ඒ අවස්ථාව ලබා දුන්නේ මාරිම්බා සංගීත කණ්ඩායමේ හිටපු, වික්‍රමශීලා ජාතික පාසලේ ඉගෙන ගත් චාමිකර අයියා. ඒ වැඩසටහනට යන්න පුළුවන් උසස් ගණයේ කටහඬක්, රසාස්වාදනයක් තිබෙන අයටයි. ඒ වැඩසටහනට එක්වීමත් සමඟ බොහෝ රසිකයන් මගේ කටහඬට ආදරය කළා. ගෞරවයක් ලබා දුන්නා. චරණ TV එකේ “උදාගිරි සහෘදයෝ” වැඩසටහනට චින්තක අයියා හරහා සහභාගි වෙන්න ලැබුණා. සියත TVහි සජීවී වැඩසටහනකට දායක වුණා. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන්වලට දායක වී තිබෙනවා.

ලංකාවේ සිටින කාලයේදී ඔබ තුළ සිටි ගායිකාව යළි සිහිපත් කළොත් ?

ඔව්, මා තුළ සිටි ගායිකාවට මා හරිම ආදරෙයි. විදෙස්ගත නොවුණානම් මට මීට වඩා ඉහළ තැනක ඉන්න තිබ්බා කියලා මට ආදරය කරන රසිකයෝ කියනවා. ඒ ගායිකාවට කවදා හෝ අවස්ථාවක් ලැබේවි කියා සිතනවා.

ලංකාවේ සිටි සමයේ විදෙස් ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබුණාද ?

ඔව්… විදෙස් ප්‍රසංගවලට අවස්ථාව ලැබුණා. ඒ එකදු අවස්ථාවකවත් මට ඒවාට සහභාගි වෙන්න බැරිවුණා. ඒ කාලෙ මගේ ළමයි ගොඩක් කුඩයි. මට එයාලාව දාලා යන්න කෙනෙක් හිටියේ නෑ. ඒ අවස්ථා බොහෝදුරට මඟහැරුණා.

සංගීත විෂයය වැඩිදුර හදාරන්න අදහසකුත් ඇති ?

ඔව්, ලොකු ආසාවක් තිබෙනවා වැඩිදුර සංගීතය හදාරන්න. මගේ මේ විදෙස් ගතවීමත් එක්ක මට වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ දේවල් එක්ක ජීවිතේ මඟහැරුණු ගොඩක් දේ තිබෙනවා. දරු පවුලට මූලිකත්වය දී තිබෙන නිසා සංගීතය වැඩිදුර ඉගෙනුමට වෙලාවක් නැහැ. එයට මනස සූදානම් නැති තත්ත්වයක් තිබෙන්නේ. වැඩිදුර ඉගෙනුම ජීවිතයේ එක් බලාපොරොත්තුවක්.

ගායන දිවියේ සුවිශේෂී සංධිස්ථාන හා සුවිශේෂී නිර්මාණ ගැන කීවොත් ?

සුවිශේෂී සංධිස්ථානයක් වන්නේ ” මගේ රත්තරන් අප්පච්චි ” නැමැති ගීතයයි. එය රචනා කළේ තරිඳු අමිල ගී පද රචකයායි. සංගීතය නිර්මාණය කළේ සුනිල් දයානන්ද කෝණාර සර්. මේ ගීතයෙන් බොහෝ දියණියන්, පියවරුන් අතර ඇති සබැඳීයාව ගැන කතා කරන්නේ. මෙය විචාරාත්මකව කතා කරන මාතෘකාවක් වුණා. ඒක මගේ පළමු ගීතයයි. එය සමාජ මාධ්‍ය ජාලයේත් බොහෝ වයිරල් වුණා. හොඳ ප්‍රතිචාර ආවා. විවාහ අවස්ථාවල දියණිය නිවෙසින් පිටවන මොහොතේ මේ ගීතය ප්‍රචාරය කරනවා. මේ ගීතය මම කළේ අප්පච්චි රෝහල්ගතව සිටියදීයි. මෙය රාජ්‍ය සම්මාන උලෙළටත් නිර්දේශ වූ ගීතයක්.

නිරූධී, ඔබ කුඩා කල නර්තනය හැදෑරුවා කියා මම අසා තිබෙනවා?

කුඩා කාලයේ සිටම මම මූලිකව භරත නාට්‍යම් තමා කළේ. මගේ නර්තන ගුරුවරයා ජයන්ත කුමාර කරුණාසේකර මහතායි . ඊට අමතරව මම කෙටිකාලීනව උඩරට නර්තනයත් හැදෑරුවා ගීතාංජලී ජයකොඩි මහත්මියගෙන්.

වත්මන් සංගීත කලාව ගැන ඔබේ විග්‍රහය කවරාකාරද ?

ඇත්තෙන්ම අද හොඳ රසවින්දනයක් සහිත පිරිසකගේ අඩුවක් තමයි මම දකින්නේ. හොඳ නිර්මාණකරුවෝ, හොඳ තනු නිර්මාපකයෝ, හොඳ පද රචකයෝ ඉන්නවා. හොඳ රූප රචනාත් බිහි වෙනවා. හැබැයි, රසික ජනයාගේ රසඥතාවයේ අඩුවක් තමයි මම දකින්නේ. ඇතැම් මාධ්‍ය එයට වගකිවයුතුයි. මුදල්වලින් ට්‍රෙන්ඩින් කරලා අද ඕනෑම කෙනෙකුට ජනප්‍රිය වෙන්න පුළුවන්. සමාජයට දෙයක් දෙන්න පුළුවන වගේම. සිය හදවතින්ම උපදින මිනිස් සිතුවිලිවලට අභියෝග කළ හැකි නිර්මාණ අද තිබෙනවා. මේවට මාධ්‍යයෙන් ලැබෙන සහාය මදි වගේ හිතෙනවා.

ගායනයට අමතරව ගීත රචනයට යොමුවෙන්න අදහසක් නැද්ද ?

මම දැනටමත් ගීත රචනා කරනවා. ඒවා රසික රසිකාවන් රසවිඳ තිබෙනවා. හොඳ ගීපද රචනා කරන අය මගේ ගීත රචනා හරි ආදරයෙන් වැලඳ ගන්නවා.

නිරූධී, අමාශාඛ්‍යා නමැති ලේඛිකාව ගැන කීවොත් ?

ලේඛිකාවක් ලෙස මම ලියන්නේ බොහෝදුරට මෝටිවේටඩ් දේවල් . සමාජයට දැනෙන දෙයක් මම ලියන්නේ. අද මිනිසුන්ගේ හදවතට කතා කරන නිර්මාණ අඩුයි කියලා හිතෙනවා. මම මගේ සංස්කෘතිය, ආගම, මවුපියන්, පවුල ගැන කතා කරනවා. සමාජයේ වැරදිකරුවන් බිහිවන්නේ හදවතේ තෙතමනයක් නොමැති නිසා කියා මම සිතනවා. කෙනෙක් අපරාධකාරයෙක් වුණා නම් එතැන යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා. සමාජයෙන්, පවුල් පසුබිමෙන්, ආගමෙන්, සංස්කෘතියෙන් එයාට නොලැබුණු දේවල් තිබෙනවා. මනුස්සයෙක් එසේ නැතිව නිපදවෙන්න නම් ඉහත කී කරුණු තියෙන්න ඕනේ. එවැනි කරුණුවලින් හදවතේ තෙතමනය මතුකරමින් ලියන දේවල් තමයි මගේ ලිවීම තුළ තිබෙන්නේ. ජනතාවට මෝටිවේටඩ් වෙන දෙයක් තමයි මගේ ලේඛනයේදී මම හසුරුවන්නේ.

ඔබ දක්ෂ ධනාත්මක උපදේශකවරියක් නේද ? එකී භූමිකාව ගැන කීවොත් ?

මට එහෙම සහතිකයක් නම් නැහැ. හැබැයි මම මනුස්සයින්ගේ හදවතට කතා කරනවා. ගීතයෙන් සහ මගේ රචනාවලින්. එහෙම දේවලින් හිත හැදුණු අය මට ආදරය කරනවා. විශේෂයෙන් කාන්තාවන් මට ගොඩක් ආදරය කරනවා. කාන්තා භූමිකාව ගැන මගේ හොඳ කියවීමක් තිබෙනවා කියලා මට දැනිලා තියෙනවා. මම ජීවිතයට මුහුණදුන් ආකාරය ගැන, මගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවූ ආකාරය ගැන කතුන් සමඟ බෙදාහදා ගනිද්දී එයාලා මගෙන් බොහෝ දේ ජීවිතයට ගන්නවා කියලා මට පණිවිඩ එවනවා. මම ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙමින් ගළපවාගෙන යෑම කාන්තාවන්ට ආදර්ශයක් කියා මම සිතනවා. මම ජීවත්වන විදිහ උඩුගම්බලා පිහිනීමක් කියලා විටෙක මට සිතෙනවා . මම හදවතට දැනෙන්න අවංකව ජීවත්වන කාන්තාවක්.

රංගනයට ආරාධනා නැද්ද?

රංගනයට ආරාධනා ලැබී නෑ. නිරූපිකාවක් ලෙස පෙනී සිටින්න ආරාධනා ඇවිත් තිබෙනවා. ඒවා භාරගෙන නැහැ. මවක් කියන දේ ගැන හිතලා පවුල් කුටුම්භයට මූලිකත්වය දීලයි අනෙක්වාට තැන දෙන්නේ. රඟපාන්න බලාපොරොත්තුවක් නැහැ. කරන්න බැරි දේ කරන්න උත්සාහ කරන්නේ නැහැ.

ඉදිරි නිර්මාණ ගැන කීවොත් ?

නව නිර්මාණ දෙකක් පේ‍්‍රක්ෂකයා හමුවට ගේන්න කටයුතු සූදානම් කරගෙන යනවා. මිනිසුන්ගේ හදවතට කතා කළ හැකි ලස්සන ගීත මගෙන් එළියට ඒවි. ඒවාට ලොකු ප්‍රචාරයක් නොලැබුණත් එයින් එක්කෙනකුගේ, දෙදෙනකුගේ මනස සුවපත් කළ හැකිනම් එවැනි නිර්මාණ මගෙන් බිහිවෙනවා.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහාය මොන වගේද ?

කලා කටයුතුවලට අම්මගෙන් අප්පච්චිගෙන් මට සහාය ලැබුණාට පසුව හැමදේටම දැන් මගේ හයියට ඉන්නේ මුදුන්මුල වගේ මගේ ස්වාමිපුරුෂයා. ඔහු උපරිම සහායක් දෙනවා. දරුවෝ තුන්දෙනාගෙන් ලොකු දුවයි, ලොකු පුතයි පුදුම සහයෝගයක් දෙනවා. ඒ දෙන්නත් අපි දෙන්නා වගේම කලාකාරයෝ. මගේ මහත්තයත් හොඳ චිත්‍ර ශිල්පියෙක්. එයා දැන් ඉතා ඉතාලියේ චෙෆ් කෙනෙක් ලෙස සේවය කරනවා. අපි දෙන්නගේ ජීවිතය පටන් ගත්තෙත් කලා පන්තියකින්. මගේ ලොකු දුවගෙන් මට හොඳ සහායක් ලැබෙනවා. මම ආදරයට කියන්නේ ඇය මගේ අම්මා වගේ කියලා. ලොකු දුවත් මහත්තයා වගේම ලස්සනට චිත්‍ර අඳීනවා. ‘Voice Of the Soul’ හි Theam Art එක නිර්මාණය කළෙත් මගේ දුව. මගේ පුතා මම වගේම ලස්සනට ගීත ගයනවා. එයාට අවුරුදු 11යි. අපි හැමෝම කලාව සමඟ ජීවත්වන කලා පවුලක්.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT