Home » මගේ මීළඟ සිහිනය චිත්‍රපට අධ්‍යක්ෂණය

මගේ මීළඟ සිහිනය චිත්‍රපට අධ්‍යක්ෂණය

සහය අධ්‍යක්ෂ චාමර සේලාර

by mavan
October 16, 2025 11:53 am 0 comment

කන්ද උඩරට පුරවරයෙන් කලාවට දායාද කළ අමිල සම්පතක් ලෙස ඔහු හැඳීන්විය හැකිය. හේ ජීවන ගමන් මඟේ ආරම්භය සිදුවන්නේ නාවලපිටියේ ඉඟුරු ඔය සුන්දර ගම්මානය පාදක කොටගෙනය. ප්‍රාථමික අධ්‍යාපනය මාපකන්ද කනිෂ්ඨ විද්‍යාලය සහ ඉඹුල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයත්, ද්විතීක හා තෘතික අධ්‍යාපනය නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ලබාගත්තේය. ජනාධිපති බාල දක්ෂ සම්මානලාභියෙකු වූ ඔහුට කුඩා කල සිටම තිබුණු හැකියාව වුයේ තව කෙනෙකු මෙහෙය ව්මය.සිය සහජ දක්ෂතාවය මැනවින් පාසල් අධ්‍යාපනය තුළ පියවරෙන් පියවර ගොඩනගා ගනිමින් පාසල් සමිති සමාගම්වලද දක්ෂතාවයන් පෙන්වමින් තම අරමුණ කරා ක්‍රමයෙන් ළං විය. ගොයම් ගස පිදි කිරි වැදී ඇට පැහි පොළොවට බර වෙන්නා සේ ඔහුගේ අධ්‍යාපනය ක්‍රමවත් කරගත්තේය. පාසල් සහ වෘත්තීමය අධ්‍යාපනයන් එක ලෙස සමබරව කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුට ගතවූයේ කෙටි කාලයකි. ඒ හරහා පැමිණි ගමන් මගේ සිනමා පට තිහකට නොවැඩ්ද ටෙලිනාට්‍ය ගණනාවක ද දැනට සහාය අධ්‍යක්ෂවරයකුගේ භූමිකාව මැනවින් ඉටුකරන ඔහු නමින් චාමර සේලාරයි. මේ ඔහු පසුගිය දින සරසවිය පුවත්පත සමඟ ඔහුගේ අලුත්ම සිනමා පටයේ තොරතුරුත් ඔහුගේ ගමන් මඟ ගැන කළ සාකච්ඡාවයි.

පාසල් අධ්‍යාපනය හරිම රසවත් කියන්නේ ඇත්තද?

ඇත්තටම ඔව්, නාවලපිටිය මධ්‍ය මාහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මම තරම් කලා කටයුතු වෙනුවෙන් කැප වෙච්ච සතුටු වෙච්ච තවත් කෙනෙක් හිටියද කියලා මම දන්නේ නැහැ.පාසලේ විවිධ සමිති සමාගම් වල සහ ඉංග්‍රීසි සිංහල නාට්‍යවල මම රංගනයෙන්ද දායක වුණා.ඒත් මට ඒ කාලේ රඟපානවාට වැඩිය ඒ ඒ චරිත වල වැරදි අඩුපාඩු කියාදීමට මම වැඩි කැමැත්තක් දැක්වූවා. ඒ රඟපාපු සමහරක් නාට්‍යය පාසල් අන්තර්පාසල් පළාත් සහ සමස්ත ලංකා දක්වාත් යන්නට අවස්ථාවව ලැබුණා. ඒත් මගේ වැඩි නැඹරුතාවයක් තිබුණේ පාසලේ බාල දක්ෂ කණ්ඩායම වෙනුවෙන්. එහිදී මම ජනාධිපති සම්මානලාභියෙකු බවටද පත්වීමට අවස්ථාව ලැබුණා. ඒ කෙසේ වෙතත් ඒ සියලු අරමුණු යටපත් කරගෙන මගේ ගමන තිබුණේ මම කොහොමහරි කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඕන කියන එකයි. උසස් පෙළ අධ්‍යාපනය අවසන් වීමෙන් පසු මම ඒ ඒ ශානරයන් සොයාගෙන විවිධ මාර්ග ඔස්සේ ගමන් කළා.

කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඉස්සෙල්ලා රැකියාවක් කළේ නැද්ද?

කලා ක්ෂේත්‍රයට එන්න කලින් මම රැකියාවක් කළා. උසස් පෙළ ඉවරවෙලා මම ගෙදරට වෙලා ඉන්න බැරි නිසා ඉන්ෂුවරන්ස් කම්පැනි එකක රැකියාව කරනවා. මේ රැකියාව කරන අතරතුරේ මට දැනගන්නට ලැබෙනවා කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේ සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් පවත්වන බව. ඉන් පසුව මෙම රැකියාව අතහැරලා ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලබා ගන්නවා.

සිනමාකරණය හැදෑරීමත් සමඟ ඔබ බලාපොරොත්තු වුණු ගමන් මාර්ගයේ යන්නට ඉඩ සැලසුණාද?

සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හදාරන විට එතනට පැමිණි පුද්ගලයකු මාර්ගයෙන් සුදත් රෝහණ මහත්තයාගේ දුරකතනය අංකය ලැබේනවා. ඒ හරහා එතුමාව හඳුනා ගන්නට මට ලැබුණා. ඒ කතා කරන අතරතුරේ මගෙන් ඇහුවා මොනාද කරන්න කැමති කියලා.මම එක පාරටම කිව්වේ සහය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන්නට කැමති බවයි. ඒ වන විට සහය අධ්‍යක්ෂවරයකුගේ කාර්ය භාරය ගැන මනා වැටහීමක් මට පාඨමාලාව හරහා ලබාගන්නට පුළුවන් වුණා. සිනමාකරණය පිළිබඳව පොත් පත් රාසියක් සහාය අධ්‍යක්ෂවරයකුගේ කාර්යභාරයට අවශ්‍ය තොරතුරු මම රැස්කරගෙන තිබුණා. ඉන්පසුව මට දිනයක් දීලා සුදත් රෝහණ මහත්මයා එන්න කියලා කිව්වා අලුත් වැඩක් පටන් ගන්නවා කියලා. ඒවන විට ඔහුගේ සරදියෙල් කියන ටෙලිනාට්‍යයේ පසු නිෂ්පාදන කටයුතු සිදුවෙනවා. ඉන් පසු ගාමිණී සිල්වා කියන ඔහුගේ සහය අධ්‍යක්ෂවරයා සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්නට අවස්ථාව සලසනවා. මට මුලින්ම ක්ෂේත්‍රයේ වැඩ කරන්නට හම්බ වෙන්නේ දික්වැල්ලට ගොස් පසුතල නිර්මාණකරුවකු ලෙසයි. දැනට ලංකාවේ සිටින ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන ඇහැලියගොඩ සෝමතිලක ළඟටයි මම මුලින්ම එකතුවෙන්නේ. මට පැවරූ කාර්යභාරය නිසියාකාරව කරනවද කියලා සුදත් රෝහණ මහත්තයා ඔහුගෙන් විමසලා තිබුණා. ඔහු මාව හොඳට රෙකමන්ඩ් කරලා තිබුණා. ඒ ලැබුණු පිළිතුරත් සමග නැවත මම කොළඹට ගෙන්වා ගන්නවා. ඒ ගෙන්වා ගැනීමෙන් පසු තමයි සහාය අධ්‍යක්ෂවරයකුගේ කාර්යභාරය මට පවරන්නේ.එතනින් ආරම්භ කරපු ගමන තමයි අද මේ දක්වා ඇවිත් තිබෙන්නේ.

ඒ ආරම්භ කරපු ගමන ගැන පැහැදිලි කිරීමක් කළොත්?

දික්වැල්ලේ සිට කොළඹට ඇවිත් මට භාර දුන්න කළුවර ගෙදර ටෙලි නාට්‍යයයේ සහය අධ්‍යක්ෂකගේ කාර්යභාරය සුදත් රෝහණයන් සමඟ මම අවුරුදු හතරක් එක දිගට වැඩකරන්නට අවස්ථාව ලැ⁣බෙනවා. මේ වැඩ කරන අතරතුරේදී සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරපු මහින්ද ප්‍රසාද් මස්ඹුල මට හමුවෙනවා. එතනින් පසු ඔහු මම ගැන පැහැදිමක් ඇතිවෙලා වෙනත් වැඩකට සම්බන්ධ කරගන්නවා. ඒ මගේ හැරවුම් ලක්ෂ්‍යයයි. ටෙලි නාට්‍යය කිහිපයකම සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නට ඉන් පසු අවස්ථාව හිමිවෙනවා.

කළුවර ගෙදරින් ආරම්භ කරපු ගමනේ මේ වන විට ටෙලිනාට්‍ය කොපමණ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවද?

සුදත් රෝහණයන් අධ්‍යක්ෂණය කළ. ස්වයංජාත. රෙජිනොල්ඩ් ජයමාන්නගේ සැණකෙළියයි මායි, ආනන්ද අබේනායකයන්ගේ චෙස් සහ තාරා වැනි නාට්‍යය සමග වසර තුනක් පමණ ආනන්ද අබේනායකයන් සමඟ වැඩ කරනවා. මේ අතර වාරයේදී මට චාමර ජනරාජ් පීරිස්, මෙන්ඩිස්, සුනිල් කොස්තා යන අය සමඟ මට ටෙලි නාට්‍ය කිහිපයකම සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමිවෙනවා. මේ අතරතුරේදී තමයි සරසවියේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න මට හමුවන්නේ.

ට්ජ්උ ඔහුත් සමඟ එකතුවී වාර්තාමයේ වැඩසටහන් කීපයක සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කරන අතරවාරයේදී දමින්ද මඩවලට දෙවන සහය අධ්‍යක්ෂවරයකු සොයමින් සිටින විට අරුණ ගුණරත්නයන් මාව ඔහුට රෙකමන්ඩ් කරනවා. ඒ හෝ ගානා පොකුණ සිනමාපටයේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමටයි. චිත්‍රපට සහය අධ්‍යක්ෂක ලෙස හා හා පුරා කියල කටයුතු කරන්නට අවස්ථාව හිමිවන්නේ මට දමින්ද මඩවල නිසයි. සිනමා ක්ෂේත්‍රයේ ගුරුවරයා වන්නේ දමින්ද මඩවලයි. මේ වන විට සිනමාපට තිහකට වැඩි සංඛ්‍යාවකට සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනව

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා පට දෙකක් එකම කාලවකවානුවේ අධ්‍යක්ෂණය වෙනවා . ඒ සරිගම සහ ජංගි හොරා කියන සිනමාපට දෙකයි. ඒ වනවිට දමින්ද මඩවල තමයි ඔහුගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ. මම සෝමරත්න දිසානායකයන් සමඟ සම්බන්ධ වන්නේ දමින්ද මඩවලගේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙසයි. එතනින් පටන් ගත්ත ගමන තමයි සෝමරත්න දිසානායකයන්ගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස මට කටයුතු කරන්නට මේ දක්වා අවස්ථාව ලැබෙන්නේ.දමින්ද මඩවල අසනීප තත්ත්වයකට පත්වීම නිසා සෝමරත්න දිසානායකයන්ගේ කතා කිරිම නිසා සුනාමි නවතම සිනමා පටයේ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව හිමිවෙනවා.

සෝමරත්න දිසානායකයන් සමඟ ආරම්භ කළ සහය සිනමා අධ්‍යක්ෂණයන් පසු තවත් සිනමාපට ගණනාවකට සම්බන්ධ වෙනවා නේද?

සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා, සරිගම සහ සුනාමි පසු මට බෙනට් රත්නායක, ප්‍රදීප් ධර්මදාස, තවත් අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සමඟ වැඩ කරන්නට ඔවුන් කතා කළා. ඒ හඳුනාගත්ත සිනමා ගමන මට ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක අධ්‍යාපනයෙන් ලොකු ගමනක් එන්නට මග කියා දුන්නා.

ඔබ වැනි තරුණයෙකුට ක්ෂේත්‍රයෙන් කැපිලි කෙටිලි පැමිණියේ නැද්ද මේ එන ගමනේදී?

මගේ ජීවිතේට එහෙම කැපිලි කෙටිලි ආවා කියලා මම හිතන්නේ නැහැ. මට හමුවුණු සියලු දෙනාම මගේ ගමනට ආශිර්වාදයක් වුණා කියන එක තමයි මට දැනුනේ. කුරුණෑගල ජනකලා කේන්ද්‍රයෙන් ආරම්භ කරපු ගමන සුදත් රෝහණයන්ගේ ආශිර්වාදයෙන් ගමන එන්නට මග කියා දුන්නා. ඉන්පසු අද දක්වා මේ ගමන් මගේ හමු වුණු අය මාව අගය කරමින් මගේ ගමනට ආශිර්වාදය ලබා දෙනවා.නිර්මාණයක් කර අවසානයේ එය ප්‍රේක්ෂකයාට රස විඳීන්නට සලසපුවාම ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තරම් තවත් දෙයක් මට නැහැ. හැමදාම මගේ ජීවිතය මම සෙව්ව මඟ ඒ නිසා මට මොන බාධක පැමිණියත් මගේ ගමන මම යනවා. ඕනෑම මාවතක ගමන් කරන විට ගල් මුල් හැප්පෙනවා. ඒ හැප්පුණා කියලා අපේ ගමන අතරමග නතර කළොත් අපිත් සදාකාලිකම නතර වෙනවා. නිර්මාණකරුවා කියන්නේ අතරමග නවතින කෙනෙකු නොවන බව මම හැම නිර්මාණයකින්ම ඉගෙන ගත්ත දෙයක්ය.

1960,70 සහ අද සහය අධ්‍යක්ෂවරයකුට ක්ෂේත්‍රයේ තිබෙන පිළිගැනීම කොහොමද?

හැට හැත්තෑව දශකය ගැන මට එතරම්ම කියන්න දේවල් මම දන්නෑ. ඒ යුගයේ කියපු කතා පමණයි මම අද දන්නේ. එදා යුගයේ තාක්ෂණය අතින් දියුණුවක් නොතිබුණත් මාස ගාණකට ප්‍රථම සියලුම දේවල් ප්ලෑන් කරනවා. සියලූම රංගන ශිල්පීන් සම්බන්ධ කරගනු ලබන්නේ පෝස්ට් කාඩ් දාලා, ටෙලිග්‍රෑම් ගහලා, ලියුම් යවලා, ජංගම දුරකතන පවා ඒ යුගයේ තිබුණේ නැහැ. ක්‍රමවත් ලෙස ප්ලෑන් කරලා සිනමාපටය අවසන් වන තුරු කටයුතු සිදු වෙලා තියෙනවා. අදට වැඩිය එදා අධ්‍යක්ෂවරුන්ට සහය අධ්‍යක්ෂවරයකුට හොඳ පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ සිනමා පටවල වැඩ කරපු සහය අධ්‍යක්ෂවරු සමඟ කතා කරපුවාම මට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ කාලෙ තිබුණු අඩු පහසුකම් යටතේ වැඩ කරපු ආකාරය. අද තාක්ෂණය අතින් හොඳ ප්‍රවණතාවයකින් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම හොඳීන් ලබා ගන්න පුළුවන් ආකාරයත් සිනමා පටය ආරම්භය සහ පුළුල් තිරයේ ප්‍රදර්ශනය දක්වා ගෙන විත් අවසානය දක්වා වෙන ක්‍රමවේදය තාක්ෂණයත් සමඟ අද ඉදිරියට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා සහය අධ්‍යක්ෂකවරයෙකුට සෑහෙන්න පහසු කාර්යභාරයක් සිදුවෙනවා. අධ්‍යක්ෂවරයා ඇරුණාම සහය අධ්‍යක්ෂවරයාට නිර්මාණයේ විශාල කාර්යභාරයක් පැවරෙන්නේ.කොයිම මොහොතකවත් එතනින් ගැලවිලා යන්නට බෑ. සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයා හමුවට ගේන්න ඕන නම් සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය තේරුම් ගෙන අද වැඩ කරන්න වෙනවා. එහෙම තේරුම් නොගෙන වැඩ කරන සහය අධ්‍යක්ෂවරුන්ට ක්ෂේත්‍රයේ පිළිගැනීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඕනෑම ක්ෂේත්‍රයේ කැපවීමෙන් වැඩ කරන ඕනෑම පුද්ගලයකුට පිළිගැනීමක් අද තිබෙනවා.

ඔබ වඩාත් කැමති ටෙලි නාට්‍ය කලාවට සිනමාවටද?

නිර්මාණකරුවකු කියන්නේ එකම තැනක ජීවත් වෙන පුද්ගලයෙක් නොවේ. ඒත් ටෙලිනාට්‍ය කලාවට යොදවන්නට තිබෙන කාලසීමාව වැඩි නිසා මට ලැබෙන කාලසීමාව තුළ මම ඒ නිර්මාණවලට දායකත්වය දෙනවා.ඒත් සිනමාව තමයි මගේ නියම ගමනට පිටුවහලක් බව මම තේරුම් අරගෙනයිි ඉන්නේ. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස දිගුගමනක් මේ වන විට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා ඊළඟ සිහිනය මා සැබෑ කරගත යුතුයි කියන තැන මම අද සිටින්නේ.

ඔබේ ඊළඟ සිහිනය කිව්වෙ කුමක්ද, අද ඉන්න තැන ගැන සතුටු වෙනවාද?

අධ්‍යක්ෂවරයෙකුට නිර්මාණයට අවශ්‍ය මානව සම්පත සහ අනෙකුත් සියලු කටයුතු පෙල ගස්වම්න් සංවිධානය කර දෙමින් සහාය අධ්‍යක්ෂවරයකු භූමිකාව මැනවින් මා ඉටු කර තිබෙනවා. ඒ ආරම්භ කරපු ගමනේ ඊළඟ පියවර විය යුත්තේ අධ්‍යක්ෂණයයි. මගේ කුඩා කල සිටම තිබුණ සිහිනය තමයි අධ්‍යක්ෂවරයකු බවට පත්වීමයි. ඒ සිහිනය සැබෑ කර ගැනීම තමයි මගේ ඊළඟ පියවර ලෙස මම දකින්නේ. ලාංකේය සිනමාවේ මම අද ඉන්න තැනගෙන මම සතුටු වෙනවා. ඒත් ලෝක සිනමාව අතින් ගත්තාම මම ඉන්න තැන ගැන මට අද සතුටක් නෑ. ලෝක සිනමාව අතින් ගත්තාම ලෝක සිනමාව තියෙන්නේ වෙනම තැනකයි. ඒ මාවත හෙළි පෙහෙළි කර ගැනීම තමයි සිනමා නිර්මාණවේදියෙකු ලෙස කළ යුතු හොඳම දේ කියලයි මම හිතන්නේ.මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.හැම කටයුත්තක් වෙනුවෙන්ම නව තාක්ෂණය යොදා ගැනීම මගේ මූලිකම පරමාර්ථය වන්නේ. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම අතිශයින්ම වැදගත් වෙනවා ඒ තැනට යන්න. අපි හැමවෙලේම හිතන්න ඕනේ අපිට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය සැබෑ කරගත යුතුයි කියන පරමාර්ථය පමණයි.

අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාවට අද අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගන්න අධ්‍යාපන සැකසුමක් තියෙනවද?

අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ රූප රාමුවක් දැනගත්තාටට මදි. ඒවගේම සිනමා පටය රූපගත කිරීමේදී ඒජබඪධද සහ ජභබ කියන එක දැනගත්තාට ඔහු කිසිදු දිනක අධ්‍යක්ෂකවරයකු බවට පත්වන්නේ නැහැ. විශේෂයෙන් මානව සම්බන්ධතාවය හසුරු වන්නේ කොහොමද කියන එක දැනගත යුතුම කරුණක් වෙනවා. රංගන ශිල්පීන් ශිල්පිනියන් කාර්මික ශිල්පීන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද?. චරිතයකට අවශ්‍ය පසුබිම සකසා ගන්නේ කොහොමද?, කාර්මික ඥානය උපයෝගී කරගන්නේ කොහොමද?, ප්‍රේක්ෂකයාට ඒ නිර්මාණය රස විඳීන්නට සලස්වන්නේ කොහොමද? කියන එක මේ මූලික සිද්ධාන්ත ටිකවත් හොඳ අවබෝධයක් අධ්‍යක්ෂවරයා කියන භූමිකාව දැනගත යුතුම කරුණු වෙනවා.මීට එහා හාත්පසින්ම වෙනස් විශේෂ කාර්යභාරයන් ගොඩක් ඔහු සතු ව තිබෙනවා.අද වන විට ලංකාවෙත් විශේෂ පාඨමාලාවන් තිබෙනවා. ඒත් මූලික සිද්ධාන්ත ඉගෙන ගත්තාටම මේ අධ්‍යක්ෂ භූමිකාවේ ජීවත් වෙන්න අමාරුයි. මේ වන විට කිසිදු පාඨමාලාවක් එකම විෂයක් මූලික කරගෙන උගන්වන්නේ නැහැ. ඉන් එහාට න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. විශේෂයෙන් සිංහල සිනමාව ඉදිරියට ගෙන යන්නට නම් මෙරටෙන් එපිට අධ්‍යාපනයක් සිනමාව ගැන ලබාගත යුතුම වෙනවා. ඒ ලෝක සිනමාවේ තිබේන තාක්ෂණය සහ ඔවුන්ගේ සිනමා ඥානය ගැන හොඳ ගවේෂණාත්මක හා ප්‍රායෝගික න්‍යායාත්මක අධ්‍යාපනයක් අපි ලබාගත යුතු වෙනවා. අන්තර්ජාතික මට්ටමේ සිනමා උලෙළ නියෝජනය කරන්නට නම් අධ්‍යක්ෂකවරයකු ඒ සියලු කාර්යයන් මැනවින් වටහාගත යුතු වෙනවා.

අද වන විට ප්‍රේක්ෂකයා සිනමාහල් කරා ඇදී එන නිර්මාණ බිහිවෙනවාද?

මේවන විට ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන හොඳ නිර්මාණ අධ්‍යක්ෂණය වෙමින් පවතිනවා.ගිය වසරට වැඩිය මේ වසර සාපේක්ෂව බලන විට හොඳ නිර්මාණ ගණනාවක්ම තිරගත වුණා.හොඳ තිර පිටපත් අධ්‍යක්ෂණයට තිබුණොත් ප්‍රේක්ෂකයා සිනමා ශාලා කරා ඇදී එන එක නවත්තන්න කිසිසේත්ම බැරිවෙනවා.නිර්මාණයක් කරන විට යම් යම් අංශ කෙරෙහි අඩුපාඩු පවතිනවා. ඒ සියලු දේවල් අපි සකසාගෙන නිර්මාණයක් ගුණාත්මක බවින් තිරය මතට ගෙනාවොත් සිනමාවේ ගමන සාර්ථකයි කියලා මම හිතනවා.

මේ වන විට චාමර සේලාර නිර්මාණවලට දායක කරගන්න අධ්‍යක්ෂවරු වැඩි කැමැත්තක් දක්වනවා නේද ?

මම ලබා ගත්ත අධ්‍යාපන දැනුම හා ප්‍රායෝගික දැනුම තුළ යම් නිර්මාණයකට අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා බලාපොරොත්තුවන ආකාරයට සාධාරණයක් කරනවා නම්. මට පමණක් නොව ඕනෑම නිර්මාණකරුවකුට ඔහුට හොඳ වපසරියක් ක්ෂේත්‍රයේ තිබෙනවා. විශේෂයෙන් තමාට පවරන කාර්ය භාරය මැනැවින් වටහා ගනිමින් නිර්මාණයට දායක වන ශිල්පීන් හසුරුවමින් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට ඉටු කළ යුතුයි කියන තැනයි මම ඉන්නේ.

විදේශීය නිෂ්පාදකයන් පවා අද ලංකාවේ දර්ශන තල සොයාගෙන එනවා නේද? එයට හේතුවල ලෙස ඔබ සිතන්නේ කුමක්ද?

අපේ රටේ තියෙන ස්වභාවික දර්ශන තල තරම් වෙනත් රටක දර්ශන තල නෑ. ඒ රටවල තියෙන දර්ශනතල පැයකින් එකහමාරකින් වෙනස් කරන්න අමාරුයි.සමහර රටවලට එක දර්ශන තලයක් සොයාගෙන යන්නට රටකින් රටකට යන්න එහෙමත් නැත්නම් ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට යන්න පැය දොළහක් දහතුනක් වගේ කාලයක් ගතවෙනවා. අපිට ඕනම දේශගුණයක පැය දෙකකින්, හෝ හතරකින් පමණ කෙටි කාල සීමාවකින් වෙනස් කරලා රූගත කිරීම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.වෙනත් රටවල දර්ශන තල ගොඩක් තියෙන්නේ කෘතිමව හදපු ඒවාය. පසුතල දර්ශන තල හදන්න යන වියදම නිර්මාණයකට අධිකයි. ඒ නිසා මේ වන විටත් ගොඩක් රටවල් අද ලංකාවේ දර්ශන තල සොයාගෙන එන ප්‍රමාණය වැඩිවෙලා.. එයට එක හේතුවක් ලෙස තිබෙන්නේ අපේ දර්ශන තල අඩු මුදලකට ලබාගන්නත් පුළුවන් හැකියාව තිබෙනවා. ඒ අනුව සිනමා පටයකට වියදම් කරන පිරිවැය අඩු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඒ නිෂ්පාදකවරුන්ට. හොලිවුඩ්, බොලිවුඩි, කෝලිවුඩ් සිනමා පට සඳහා දැන් යාපනයේ දර්ශන තල පාවිච්චි කරන ප්‍රමාණයද වැඩිවෙලා තිබෙන්නේ. අපේ රටට හොඳ ප්‍රවණතාවයක් එයින් සිදුවෙලා තියෙන්නේ.

සිනමා පටයක් ආදායම් වාර්තා තබනවා කියන්නේ කොහොමද?

අපේ ජීවත් වන ජනගහනයෙන් සාමාන්‍යයෙන් සිනමාපටයක් නරඹන ප්‍රමාණය අද වන විට ගණනය කරලා තියෙන්නේ දළ වශයෙන් ලක්ෂ දෙකක් තුනක් පමණ වෙනවා කියලයි. හැත්තෑව අසූව දශකයේ වියදම් කළ මුදල නෙවෙයි අද තිබෙන්නේ. කතා තේමාව අනුව යොදා ගනු ලබන දර්ශන තල, තාක්ෂණය හා කාර්මික ඥානය හා ශිල්පීන් අනුව වර්තමානයේ සිනමා පටයෙන් සිනමා පටයට වියදම් කරන මුදල වෙනස් වෙන්න පුළුවන්. ඒත් සිනමා පටයට වියදම් කළ මුදලත් එක්ක සන්සන්දනය කරලා තිබෙන සිනමාහල් සංඛ්‍යාව සහ ප්‍රදර්ශනය වන වාර ගණනත් එක් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයක් සිනමාපටය නැරඹුවොත් අද වන විට සිනමාපටය ආදායම් වාර්තා තැබුවා කියලා සදහන් කරන්න පුළුවන්. සමහරක් සිනමා පටවලට මේ සංඛ්‍යාව ආදායම් වාර්තා තබන්න ප්‍රමාණවත් නොවන බවක් තිබෙනවා. කොහොම වෙතත් බලන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවූවෝත් වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් කළ සිනමා පටය කියලා කියන්න පුළුවන්.

ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය සහ ඉදිරි නිර්මාණ කටයුතු කෙහොමද?

අම්මා තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන් මට නොමසුරු සහයෝගයක් මේ වෙනුවෙන් ලබා දෙනවා. එය මිල කළ නොහැකි දෙයක්ය.

විවිධ කතා තේමාවන් යටතේ විවිධ රස වින්දනයන් බලාපොරොත්තු වන වෙනස් වෙනස් හැඩතලයක් තියෙන ප්‍රේක්ෂකයාට නිර්මාණ ගේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේවන විට විවිධත්වයෙන් නිර්මාණය වන සිනමා පටවලට තිබෙන ඉල්ලුමද වැඩිවෙලා තිබෙන්නේ. මේ වෙනකම්ම අපේ සිනමාව ඉන්ඩස්ට්‍රියක් බවට පත්වි නොමැති නිසා එය ඉන්ඩස්ට්‍රියක් බවට පත්විය යුතුයි.කර්මාන්තයක් බවට පත්වුණාම මේ තුළ තිබෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.ඒ තැනට යන්න ඕන කියන ඉඩකඩ සැකසිය යුතුයි කියන තැන මම අද ඉන්නේ. මේ වන විට ජයන්ත චන්ද්‍රසිරි ඇතුළු අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේම අලුත් නිර්මාණ හතර පහකට සූදානම් වෙනවා, ඒ අතරතුර මේ දවස්වල සෝමරත්න දිසානායකයන්ගේ අලුත්ම සිනමා පටය ර්‍ථචනඪඵබ සහය අධ්‍යක්ෂවරයා ලෙස රූපගත කිරීම් කටයුතු වල නිරතවෙනවා.අලුත්ම නිර්මාණ හතරක් විතර තිරගත වීමට තිබෙනවා. ඒවා ඉදිරියේදී ප්‍රේක්ෂකයාට නරඹන්නට පුළුවන්. විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ ගමනට මට අද එන්න උදව් කරපු සියලු දෙනාටම ස්තුති කරනවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT