Home » මගේ දුක නිවා ගනිමින් යහමඟට ආවේ ගීතය නිසා ගේය පද රචක

මගේ දුක නිවා ගනිමින් යහමඟට ආවේ ගීතය නිසා ගේය පද රචක

නිශාන්ත දර්ශන ජාසිංහ

by mavan
March 12, 2026 10:28 am 0 comment

දශක කීපයක් පුරා සිය කලා ජීවිතය ගොඩනඟා ගනිමින් නොනැවතී, විශාල සමාජ සද්කාර්ය රාශියකට ද සිය ජීවන ගමනේ මුල්තැනක් දෙමින් කටයුතු කරන අතරතුර ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයකු ලෙසින් අද වන නමක් දිනා සිටින නිර්මාණ ශිල්පියකු අපට මුණ ගැසේ. ඔහු නිශාන්ත දර්ශන ජාසිංහය. මේ වන විට සිය කුලුඳුල් ගී පද රචනා කෘතිය (නිශාන්තයක ලියූ ගී) එළිදක්වා ඇති ඔහු සිය පදරචනා සහිත ගීත ඇතුළත් ප්‍රසංගයක් ද මේ වන විට පවත්වා තිබේ. මේ වන විට ඔහු එහි දෙවැනි අදියරට සූදානම් වෙමින් සිටී. මේ ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි.

මගෙ නිර්මාණ ජීවිතය මම ආරම්භ කළේ එක්දහස් නවසිය අනූ හතේ තුරුණු ශක්ති ප්‍රසංගයෙන් ඒ ප්‍රසංගයේදී තමයි මගෙ මුල්ම නිර්මාණය එළිදැක්වෙන්නෙ. පදරචකයකු විදියට.නමුත් ඒ මුල් දශක දෙක තුළ වැඩි නිර්මාණ ප්‍රමාණයක් එළි දැක්වුණේ නැහැ.ඒ දශක දෙකේම ගී පද රචනා දහයක් විතර තමයි එළිදැක්වුණේ.විශේෂයෙන් මාතර මගේ උපන් ගම වීමත් නිසා ඒ අවට සංගීත කණ්ඩායම් සඳහා වගේම මාතර සංස්කෘතික මධ්‍යස්ථානයේ තේමා ගීයත් එවකට මා අතින් ලියැවුණා.

නමුත් මගෙ නිර්මාණ ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ වුණේ දෙදහස් විස්සෙන් විතර පස්සෙ.විශේෂයෙන් පසුගිය වසර හය තුළ මම වැඩි නිර්මාණ ප්‍රමාණයක් එළිදක්වන්න කටයුතු කළා.ඇත්තෙන්ම ඊට මගෙ බිරිඳගෙනුත් දියණියගෙනුත් ලැබෙන සහය විශාලයි. ඔවුන් කරන කැපකිරීම් තුළයි මට මගෙ නිර්මාණ ජීවිතයේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබී තිබෙන්නේ.

නිශාන්තයක ලියූ ගී

මගෙ නිර්මාණ ජීවිතයේ අග්‍රඵලයක් තමයි නිශාන්තයේ ලියු ගී කියන ගීත කෘතිය හා ඒ සබැඳී සංගීත ප්‍රසංගය. ඒ අනුව දෙදහස් විසි තුන වර්ෂයේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඒ කෘතිය එළිදැක්වූවා. ඒ වෙද්දී එහි අන්තර්ගත ගී පද අඩංගු ගීත පහළොවක් පමණ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ ප්‍රචාරය වන මට්ටමේ තිබුණේ. ඉන් අනතුරුව දෙදහස් විසි හතර වර්ෂයේ දී කොළඹ තැපැල් මූලස්ථානයේ දී නිශාන්තයක ලියූ ගී සංගීත ප්‍රසංගය පවත්වන්නට කටයුතු කළා. එහිදී මා ලියු ගීත පහළොවක් ප්‍රවීණ සංගිතවේදින් අතින් සංගීතවත් වී ගායනා කෙරුණා. සංගීතවේදී සමන්ත පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ලසන්ත රත්නායක, රම්සි මොහොමඩ් වැනි මා හිතවත් සංගීතවේදීන් ඊට සංගීතය සැපයූවෙ. මේ වන විට එම ගීත මගෙ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකියි.

විශේෂයෙන් කිතුනුවකු විදිහට බෞද්ධ ගීත රචනා කරන්ට ලැබීමද මා ලද විශේෂ අවස්ථාවක්. විශේෂයෙන් රණවිරු චරිත් කුලතිලක ගායනා කරන සඳ හිරු සෑ ගීතය වැනි ගීත ඒ අතර විශේෂයි. ඒ වගේම මිහින්තලාවේ පියුම් පිපී සැලුණා වැනි බොදු ගීත මෙහිදී මතක් කරන්න පුළුවන්. ඊළඟට ජාතික රූපවාහිනියේ විකාශය වූ විශාරද කල්පනා කාවින්දි ගායනා කරන මනෝ මන්දිර කියන ගීතය වැනි ගීතත් විශේෂයි.

පසුගිය වසරේ අලි මිනිස් ගැටුම පදනම් කරගනිමින් මා ලියූ වනවදුලෙන් එන්න කියන ගීතය මේ පොළොවේ සැබෑ යථාර්ථය පාදක කරගනිමින් ලියූවක්. එය ගායනා කළේ ශේෂා ස්වර්ණමාලි දියණිය විසින්. ඇයත් මේ ගැටුමට ඍජුව මුහුණ දුන් දියණියක් වීම විශේෂත්වයක්. ඊට සංගීතය සැපයූවේ රම්සි මොහොමඩ් විසින්. පසුගිය.. පැවැති ෆියුචර් ලීඩර්ස් අවෝඩ්ස් උලෙළේ දී හොඳම ළමා ගීතයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙවැනි පර්‍යේෂණ ගීත කෘතිය

මේ වන විට මම දෙවැනි පර්‍යේෂණ ගීත කෘතිය නිර්මාණය කරමිනුයි ඉන්නෙ. එය නිශාන්තයක ලියූ ගීත කෘතියේ දෙවැන්නයි. නමුත් එහි ඇතුළත් වන්නේ පර්‍යේෂණ ගීත. එනම් අපේ විවිධ ජනවහර ඇසුරින් නිර්මාණය කෙරෙන ගීත. උදාහරණ ලෙස ධීවර හෝ පතල් කර්මාන්තය ආශ්‍රිත ජනවහර ඇසුරින් නිර්මාණය වන ගීත, ඒ වගේම ගාඩි වහර ආදි එකිනෙකට වෙනස් වහර ඇසුරින් නිර්මාණය කෙරෙන ගීත නිර්මාණය කොට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. නූතනයේ අපට අහන්ට ලැබෙන්නේ බොහෝ විට සම්මිශ්‍රිත ගීත. නමුත් මගේ මේ පර්‍යේෂණ ගීත කෘතියේ අඩංගු ගීත ඒ ඒ ජනවහර ඇසුරෙන් ම මනාව ගළපා නිර්මාණය කළ ගීතවලින් සැදුම්ලත් ගීත කෘතියක් ලෙස එළිදැක්වීමටයි අදහස් කරන්නේ.

ඊට අමතරව පසුගියදා නවරත්න ගමගේ ප්‍රවීණ සංගීත නිර්මාණවේදියා නිර්මාණය කළ රණවිරු සමන් බණ්ඩාර විසින් ගායනා කළ මවිසින් ලියූ ගී දෙකත් විශේෂයි. ‘නුඹට එපා නම් මා සමුගන්නම්’ කියන ගීයත් ‘දෑසට නොපෙනෙන ආදරයක්’ කියන ගීයත්.

ඒවගේම ශශ්‍රී ලංකා පොලිස් විශ්‍රාමික සේවා සංවිධානය වෙනුවෙන් නිර්මාණය කළ තේමා ගීතයත් (ගාමිණී පැරකුම් අභය විජයබා ගීතය) එය දේශාභිමාන ගීතයක්. පසුගියදා පැවැති ප්‍රයිඩ් ඔෆ් ද නේෂන් කියන සම්මාන උලෙළේ දී විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ වගේම දෙදහස් විසි හය වර්ෂයේ දී හොඳම ගී පද රචකයා ලෙසද ඒ ගීතය වෙනුවෙන් මා සම්මානයට පාත්‍ර වුණා. එය මගෙ නිර්මාණ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. විශේෂයෙන් මා මේ ආ දුෂ්කර මාර්ගයේ එය මා ලද වටිනාකමක් විදිහටයි සලකන්නේ.

මගෙ විඳවීම් තමයි මගෙ පද රචනා බවට පත් වුණේ.මා කුඩා කලමයි මගෙ තාත්තා නැති වුණේ. ඉන්පසු වසර දාහතක් මගෙ අම්මා එක්තැන් වී සිට නැති වුණේ. ඒ තාක් මව වෙනුවෙන් යුතුකම් මා අතින් සිදු වුණේ. පවුලේ එකම දරුවා ලෙස. ඒ තැන්වල විඳවීම් මම අකුරු කළා. සිගරෙට්ටුවට මත්පැන් බෝතලයට මම ඇබ්බැහි වුණේ නැහැ. ඒ වෙනුවට මම තෝරා ගත්තෙ පෑනයි කොලයයි. අම්මා රෝහලේ නවත්වා ගෙදර විත් කඳුළු අතරින් මා කළේ ලියන එක. ජීවිතයේ වැරදි මං ඔස්සේ යන්න ඕනෑතරම් අවස්ථා තිබියෙදී ඒ හැම අවස්ථාවකදීම මගේ කඳුළු ගලායෑමට සැලැස්සුවේ මගෙ අකුරු මතින්. අනිත් පැත්තෙන් සමාජීය ගැටලු මිනිස්සු එක්ක බෙදාගන්න මගෙ නිර්මාණ භාවිත කරන්න මම කැමැති යි. මා ලියූ ඉඩෝර සුළඟට එවැනි ගීයක්. එහි අකුරු වී තියෙන්නේ ඈත දුෂ්කර පළාත්වල මිනිසුන්ගේ යථාර්ථයේ කඳුළු කතාවයි.

මට අවශ්‍ය වෙන්නේ සංඛ්‍යාත්මකව ගීත රචකයකු ලෙස වාර්තා තබන්න නෙවෙයි. සමහර විට මගේ ජීවිතය අවසාන අවස්ථාව වන විට ලියා තිබෙන්නේ සීමිත ගී ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒවා මිනිසුන් ට සංවේදී වූද ඔවුන්ට ප්‍රයෝජනයක් සහිත ගුණාත්මක ගීත වනු දැකීමයි මගේ අපේක්ෂාව. දැවෙමින් පීඩනයෙන් ජීවත් වන මිනිසුන් තවත් අවුළුවනු වෙනුවට නිවන නිර්මාණවලට දායක වන්නයි මගෙ අකුරු හසුරුවන්නේ.

මේ වන විට පොලිස් විශ්‍රාමික සේවා සංවිධානයේ සංස්කෘතික හා කලා කටයුතු උපදේශක වශයෙන් මම කටයුතු කරන්නෙ. ඊට අමතරව සියලු ජාතීන්ගේ සමගි සංවිධානය කියන ආයතනයේ සභාපති වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම මානව හිමිකම් උදෙසා වූ සාම තානාපතිවරුන්ගේ ජාලයේ සංස්කෘතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඊට අමතරව පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස කටයුතු කරනවා. ඒ සමඟ විශාල සමාජ සේවා කටයුතු ප්‍රමාණයකට නැත්නම් සමාජ සත්කාරය සේවාවන්ට දායක වෙන්න හැකි වෙලා තිබෙනවා මගේ දැනුම හා ශ්‍රම දායකත්වය ඔස්සේ.

ඉතින් මේ සියලු කටයුතු අතරේ නිශාන්තයක ලියූ ගී දෙවැනි ප්‍රසංගය වෙනුවෙනුත් මම සූදානම් වෙමින් ඉන්නවා. එහිදී පෙර ප්‍රසංගයට ඇතුළත් නොවූ නවතම ස්වතන්ත්‍ර ගීත පහළොවක් එළිදක්වන්න අදහස් කරනවා.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT