හෘද ස්පන්දනයක්, හුස්මක්, සුළඟ මත දැවටෙන මිමිනීමක් මධුරතර සංගීත රාවයක් ලෙසින් නිර්මාණය විය හැකි ය. අරාබියේ වැලිතලාවේ සිට චීනයේ කඳුකරය දක්වා, ඉන්දියාවේ විහාරස්ථානවල සිට ජපානයේ කුඩා දූපත් දක්වා විහිදෙන පෙරදිග සංගීතය යනු විභවයක් සහිත ශරීර අභ්‍යන්තරයෙහි සවන් දෙන සංගීත ප්‍රභවයකි. එය විටෙක ආත්මය සුවපත් කරන භාවනාවක් වැන්න. පෙරදිග සංගීතයෙහි එන මෝහන් වීණා සහ සාරංගී යන වාද්‍ය භාණ්ඩ ද්ව්ත්වය පිළිබඳ හසළ දැනුමක් සහිත ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන ශාස්ත්‍රපති සංගීත් නිපුන් මධුර ගුණවර්ධන සංගීත වාදනය තම ආත්මය කරගත් දක්ෂ වාදකයෙකි. හින්දුස්තානි වූ හවායින් ගිටාරය පිළිබඳව පර්යේෂණාත්මක ප්‍රවේශයකින් ලියවුණු ලංකාවේ ප්‍රථම ග්‍රන්ථය රචනා කර ඇත්තේ ද මධුර ගුණවර්ධන විසිනි. මධුර ගුණවර්ධන නම් මධුරතර ලෙස වාදනයට අති දක්ෂ අපුරු වාදකයා පිළිබඳවයි මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ වෙන්වන්නේ.
සංගීතයට මුලින්ම පැමිණෙන්නේ කොහොමද?
සංගීතය මුලින්ම එන්නේ සාමාන්‍ය පෙළ අධ්‍යයනයත් සමඟමයි. සංගීතය මුලින්ම හැදැරීම කළේ සාමන්‍ය පෙළ අධ්‍යයනය සමගාමිව සංගීතය විෂයක් වූ නිසා. මගේ ප්‍රදේශයේ ආරියරත්න කියලා අයියා කෙනෙක් හිටියා. එයා ගෙදරට ඇවිත් ස්වර අභ්‍යාස වගේ දේවල් ටිකක් මට ඉගැන්නුවා. හැබැයි මගේ මල්ලිත් සංගීතය හැදැරීම කළා. තාත්තා මල්ලිට පොඩි ගිටාර් එකක් අරන් දුන්නා. මල්ලි ගිටාර් එක එච්චර ගහන්නෙත් නෑ. ඊටපස්සේ මම ගිටාර් එක ප්ලේ කළා. ඔය සාමාන්‍ය පෙළ විභාගය ළං වෙන කාලේ. ඊටපස්සේ සංගීත විෂය සමත් වුණා. මම උසස් පෙළ සඳහා සංගීතය කළා. මට එතකොට ඉන්දියන් ක්ලැසිකල් ප්ලේ කළේ බොක්ස් ගිටාර් එකෙන්. ඔය අතරතුර මම සමස්ත ලංකාවලට ඉදිරිපත් වෙනවා. එහිදි ස්වර අභ්‍යාස දෙනවා ඒ මොහොතේ වාදනය කරන්න ඔින. හරිම අමාරු වැඩක්. එහිදි මම ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
ඊටපස්සේ සමස්ත ලංකා ඒකල වාදන විවෘත අංශයෙන් දෙවන ස්ථානය හිමි වුණා. විනාඩි විස්සක කාලයක් ඇතුළත මම වාදනයක් ඉදිරිපත් කරන්න ඔින. ඊටපස්සේ පාසල් අධ්‍යාපනය නිම කරලා 2012 වසරේදී රකිතගේ නාද්රෝ බෑඩ් එකට සම්බන්ධ වෙනවා තබ්ලා වාදකයෙකු විදියට. ඔය අතරේ ඉන්දියාවට මම යන්න තීරණය කරනවා උපාධියක් ගැනීමේ බලාපොරොත්තුවෙන්. හවායින් ක්ලැසිකල් ගිටාර් කියන වාද්‍ය භාණ්ඩය වැඩිදුර හදාරන්න තමයි මම ඉන්දියාවට යන්නේ. සුනිල් පාඔිගි කියන සර්ගේගේ මඟ පෙන්වීම මත මම ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ අවුරුදු පහක කාලයක් ඉඳලා සංගීතය ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව හැදැරීම කළා.
ඉන්දියාවේ දී ලබපු අත්දැකීම මොකක්ද?
මගේ දක්ෂතාවය දැකලා ඉන්දියාවේ විවිධ සංගීත කණ්ඩායම්වලින් මට කතා කළා. රොක් බෑන්ඩ්වලින්, ඔය ඩ්‍රම්ස් එක්ක හවායන් ගිටාර් ප්ලේ කරන්න. සරිගමප එකෙන් පවා කතා කළා මුම්බායිවලින්. හොටෙල්වල මම ප්ලේ කළා. මම භාත්ඛණ්ඩේ ව්ශ්වවිද්‍යාලයේ හොඳම වාදකයා වෙලා තමයි ලංකාවට ආවේ.
ලංකාවට ආවට පස්සේ කරපු සංගීත වැඩ මොනවද?
ලංකාවට ආවට පස්ස් සංස්කෘතික මධ්‍යස්ථානවල සහ තරුණ සේවා සභාවේ සංගීත කටයුතු කළ. සමස්ත ලංකා විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරස්වතී පූජා වගේ දේවල් කළා. මම ඊටපස්සේ හින්දුස්තානි වූ හවායින් ගිටාරය පිළිබඳව පර්යේෂණාත්මකව ග්‍රන්ථයක් රචනා කළා.
ඔබ මෝහන් වීණා සහ සාරංගී කියන වාද්‍ය භාණ්ඩ ද්ව්ත්වය ප්‍රගුණ කරපු වාදකයෙක්. මේ වාද්‍ය භාණ්ඩ දෙකම ඔබ හසුරුවාගන්නේ කොහොමද?
ඉන්දියාවේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දී ශිෂ්‍යයෙකුට භාණ්ඩ දෙකක් ප්ලේ කරන්න බැහැ. ඒක නීතියන් වුණු යම්කිසි රීතියක් වගේ. මොකක්හරි එක දෙයක් වාදනය කරන්න තෝරා ගත යුතුයි. උදාහරණයක් විදියට තබ්ලා සහ ස්වරවද්‍ය භාණ්ඩයක් ප්‍රශ්නයක් නැහැ. දෙකක් කරන්න බැරි මොකද කියනවා නම්, උපාධියක් හදාරන කාලයේ දී එක වාද්‍ය භාණ්ඩයක අධ්‍යයනය කටයුතු නිම කළාට පස්සේ වෙනත් වාද්‍ය භාණ්ඩයක් හදාරන්න පුළුවන්. අපේ ලංකාවේ තමයි සෑම එකක්ම නිදහසේ කරන්න ඉඩ දෙන්නේ. නමුත් ඉන්දියාවේ කියන්නේ එක වාද්‍ය භාණ්ඩයක් වෙනුවෙන් අධ්‍යයනය කරන්න කියලා. ඒක තමයි හරිම විධිය. මම හිතන්නේ සංගීතය වෙනුවෙන් නෙමෙයි. මේ දේ ඔිනෑම දෙයකට අදාළයි.
ඔය අතරේ මම සරෝද් වාද්‍ය භාණ්ඩය ප්ලේ කරනවා කියලා විශ්වවිද්‍යාලයේ රාවය පැතිරුණා. ඒ නිසා මම මගේ උපාධිය ගැන හිතලා සරෝද් ඉගැනීම තාවකාලිකව නතර කරන්න වුණා. මෝහන් වීණා හෙවත් හවායින් ගිටාර් එක මම වැඩිදුර හැදැරීම කළා. දවසක දැක්කා සාරංගී වාද්‍ය භාණ්ඩය උගන්වන විනෝද් මිෂ්රා කියලා සර් කෙනෙක්. ඉතින් මම බලන් හිටියා. මට ආශාවක් ඇති වුණා. මම කියුවා සර්ට මට සාරංගී එකක් ගන්න ඔින කියලා. ඊටපස්සේ සර් මට සාරංගී එකක් ගෙනත් දුන්නා හොරෙන්. සාරංගී කියන්නේ ලංකාවට ආගන්තුක වාද්‍ය භාණ්ඩයක්. හැබැයි ඉන්දියාවට එහෙම නෙමෙයි. ඊටපස්සේ මම ආශාවත් එක්ක මම තනියම අභ්‍යාස කළා. ස්වයං අධ්‍යයනයත් එක්ක මම සාරංගී භාණ්ඩය පුරුදු වුණා.
මෝහන් වීණා හෙවත් හවායින් ගිටාරයේ විශේෂත්වය මොකක්ද?
මෝහන් වීණා කියනවට වඩා ඉන්දියන් ස්ලයිඩ් ගිටාර් තමා හරිම නම. පණ්ඩිත් විශ්ව මෝහන් බට් මෝහන් වීණා කියලා නම දැම්ම නිසා තමයි මෝහන් වීණා බවට පත් වුණේ. පණ්ඩිත් විශ්ව මෝහන් බට් ග්‍රැමි දිනපු විශිෂ්ටතම වාදකයෙක්. හරියට සිතාර්වලට රවි ශංකර් වගේ.
සාරංගී වාද්‍ය භාණ්ඩය ලංකාවේ එතරම් අවධානයට ලක් නොවන වාද්‍ය භාණ්ඩයක් වෙන්නේ ඇයි?
සාරයේ අංගය කියන අදහස තමයි සාරංගී කියන්නේ. මිනිස් කටහඬට සමානයි. ඉන්දියානුවන් කියන්නේ රාවණාගේ කාලයේ ඉඳන් පැවැතගෙන එන අවුරුදු 1000ක් විතර පරණ වාද්‍ය භාණ්ඩයක් කියලා. සාරංගී වාද්‍ය භාණ්ඩය වාදනය කරන එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඉතාම අපහසුයි. ඉතාම කැපවීමක් අවශ්‍යයයි. මොකද වාදනය කරද්දි ඇඟිලි තුවාල වෙනවා. ඒ නිසා බොහෝමයක් දෙනා මේ වාද්‍ය භාණ්ඩයට එතරම් රුචි නැහැ. අනෙක් වාද්‍ය භාණ්ඩ වගේ නෙමෙයි සාරංගී කියන්නේ. ඒකට දැඩි පුහුණුවක් සහ ඉවසීමක් අත්‍යවශ්‍යයි.
හින්දුස්තානි වූ හවායින් ගිටාරය පිළිබඳව පර්යේෂණාත්මකව ග්‍රන්ථය ලියවුණේ කොහොමද?
මම ඉන්දියාවේ ගිහින් ලංකාවට ආවට පස්සේ හවායින් ගිටාර් එකට සවුන්ඩ් දෙන්නේ කොහොමද? කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් තිබුණේ නැහැ. මයික් එක දැම්මට නියම ශබ්දය එන්නේ නැහැ. මම කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මේ හවායින් ගිටාර් එක සවුන්ඩ් එක නියම විදියට ගන්න පුළුවන් විදියට හදන්න ඔින කියලා. ඊටපස්සේ විවිධ විදියට උත්සාහ කළා ශබ්දය ගන්න. හැබැයි එකක්වත් සාර්ථක විදියට වුණේ නැහැ. ගිටාර් එක කපලා පවා විවිධ විදියට උත්සාහ කළා. ඊටපස්සේ ඔය අතරේ කැස්බෑවේ ශිරාන් කියලා අයියා කෙනෙක්ට කියලා තනිකරම ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් විදියටම හවායින් ගිටාර් එක හැදුවා. ඒ සොයාගැනීමත් එක්ක හවායින් ගිටාර් එක සම්බන්ධයෙන් රිසර්ච් එක ලියවුණා. විශේෂත්වය වෙන්නේ හවායින් ගිටාර් සම්බන්ධයෙන් ලංකාවේ ලියවුණ පළවෙනි පර්යේෂණාත්මක ග්‍රන්ථය වීම. මීට පෙර මෙවැනි කෘතියක් කවුරුත් රචනා කරලා නැහැ. හවායින් ගිටාර් එක සම්බන්ධයෙන් වැඩිදුර හදාරණ අයෙකුට කෘතියේ ඇතුළත් විස්තර වැදගත් කියලා විශ්වාස කරනවා.
ඔබ නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මේ ශිල්පය සහ දැනුම අනාගත පරපුරට දෙන්න නේද?
ඔවි. මගේ ලාලසාව තියෙන්නේ අනෙකාට ඉගැන්වීම මත. මේ ඉගැන්වීම එක්ක තමයි මගේ පර්යේෂණය ඉදිරියට යන්නේ. තව කෙනෙක්ට මම ශිල්පය සහ දැනුම දෙනකොට මමත් යාවත්කාලීන වෙනවා.
මට හිතෙනවා ඔබ මේ සාරංගී සහ හවායින් ගිටාර් වාද්‍ය භාණ්ඩ ද්ව්ත්වය සමඟ ආත්මීය බැඳීමක් තියෙනවා වගේ. මොකද සාරංගී වගේ වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න පහසුවෙන් බැහැ. ඇත්තටම ඔබ මේ සංගීතය කරන්නේ හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන්මද?
ඔයා කියුව එක හරියටම හරි. මොකද හවායින් ගිටාර් එක වාදනය කරනවට වඩා සාරංගී වගේ වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනකොට මට ශරිරයට වෙනසක් දැනෙනවා. හරියට තෙරපි එකක් වගේ. ඒක නිකං ආත්මය එහෙමත් නැත්නම් ශරීරය අභ්‍යන්තරය සුවපත් කරනවා වගේ.
ඔයාගේ සංගීත ජීවිතයට අවුරුදු 16ක් වෙනවා. ඔයාට හිතෙන විදියට හොඳ වාදක ශිල්පියෙක් කියන්නේ කවුද? මොනවද හොඳ වාද්‍ය ශිල්පියෙකු සතු විය යුතු දේවල්?
කේමදාස මාස්ටර් එක තැනකදි කියලා තියෙනවා. සංගීතය කියන්නේ මොකක්ද? කියලා අහපුවාම ඔහු කියන්නේ පුහුණුව. පුහුණුව එහෙමත් නැත්නම් ප්‍රැක්ටිස් කරන එක තමා ඔහු සංගීතය කියලා කියුවේ. ප්‍රැක්ට්ස් එක නැති වුණොත් සාර්ථක වෙන්න බැහැ. උදාහරණයක් විදියට මට මාසයක් ප්‍රැක්ටිස් කරන් නැතිව හිටියොත් මම සෑහෙන්න අවුලකට පත් වෙනවා. නිහතමානීකම, අවංකකම එන්නේ ප්‍රැක්ට්ස් එකෙන්. ඉතින් ඔය දේ තමා මම විශ්වාස කරන්නේ. වාද්‍ය ශිල්පියකු විදියට සාර්ථක වෙන්න නම් තමන්ට තමන් අභියෝගයක් කරගන්න කියන එක තමා මගේ අදහස නම්.
ඔයාගේ සංගීත ජිවිතය සාර්ථක කරගන්න දායකත්වය දක්වපු පිරිස ගැන සඳහන් කරමු…
මුලින්ම මගේ අම්මා, තාත්තා, මගේ මල්ලි විදුර ගුණවර්ධන ඇතුළු මගේ පවුලේ සියලු දෙනා. ඒ වගේම මලිත් අයියා, රකිත අයියා, ආරියරත්න අයියා, උපාලි සර්, මට උගන්වපු සුනිල් පාඔිගි, විනෝද මිෂ්රා සර්, රවිනාත් සර්, කමලා ශංකර් මැඩම් බෙරණාස්වල වගේ අය මට සෑහෙන්න උදව් කළා.
