බට්ට් චිත්‍ර කතාව පුවත්පතේ පළ වුණාට ඒ කතාව මම කියවලා තිබුණේ නෑ. නමුත් මට අධ්යක්ෂවරයා ලබා දුන්න තිර පිටපත මම හොඳට අධ්‍යයනය කළා වගේම අධ්යක්ෂවරයා දුන්න උපදෙස් පිළිපැද්දා. මේ චිත්‍රපටයේ ‘බට්ටි’ ගේ චරිතයට මාව තෝරා ගන්නේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වුණු දයානන්ද ජයවර්ධන විසින්. ඒ වනවිට ඇත්තටම මම ඔහු හඳුනාගෙන හිටියේ නෑ. නමුත් මම මින් පෙර කරන ලද චිත්‍රපට සහ මා පිළිබඳ පුවත්පත්වල ගිය වාර්තා නිසා ඔහු මාව දැනගෙන ඉන්න ඇති. චිත්‍රපටයට සම්බන්ධ වුණු මා ඇතුළු බොහෝ රංගන ශිල්පින් එවකට සිනමාවට ආධුනිකයෝ. සනත් මම, අනෝජා, අවන්ති ඇතුළු පිරිසක් තමයි ඔහු මේ චිත්‍රපටයට තෝරාගෙන හිටියේ. මම දන්නේ නෑ දයානන්ද ජයවර්ධන මේ චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගත්තේ කුමන සම්බන්ධතාවයක් මතද කියලා. සමහර විට අම්මා ගැනත් ඔහු දැන හඳුනාගෙන ඉන්න ඇති. ‘බට්ටි’ කියන්නේ ඉතාම අහිංසක ගැමි තරුණියක්. ඇය වලව්වේ වැඩකාරකමට එන, දෙවැනි හාමු අතින් අනාථ වෙන චරිතයක්. මිට ප්‍රථම මම සිනමාවේ කරපු චරිත දිහා බලද්දි මේ චරිතයටත් බාහිරින් කිසියම් සමානකමක් තිබෙනවා. එක පැත්තකින් බැලුවම අහිංසකයි, දුප්පත්, ගැමි තරුණියක්. මේක බැද්දේගම ‘හින්නිහාමි’ ගත්තත් මේ ලක්ෂණ තිබුණා.. අනිත් පැත්තෙන් චංචල රේඛා ‘දංචුටි’ ගත්තත් මේ ලක්ෂණ දක්නට ලැබුණා. රිදි නිම්නයේ ‘කුසලා’ ගත්තත් මේ ලක්ෂණ දක්නට ලැබෙනවා. එහෙම බලනවිට බාහිරින් කිසියම් සමානකමක් තිබෙනවා. එකම වගේ චරිත කියලා බොහෝ දෙනෙක් ඒ කාලේ කිව්වත්, චරිත අභ්‍යන්තරයට ගිහින් මම විශ්ලේෂණය කරත්දි මට දැනෙනවා මේ චරිත සියල්ලම එකිනෙකට වෙනස් කියලා. චරිතයට දැනෙන සහ දැනවිය යුතු හැඟීම් මේ චරිත අතර එකිනෙකට වෙනස්. පෙනුමෙන් මේ චරිත හැම එකකම දක්නට ලැබුණේ එක ස්වරූපයක්. බොහෝ දෙනා එහෙම කියන්න ඇත්තේ මතුපිටින් දක්නට ලැබෙන ඒ සමානකම් නිසා වෙන්න ඇති කියලා දැන් මට හිතෙනවා.
සමහර වෙලාවට එකම විදියේ චරිත නේද කියලා කෙනෙකුට හිතෙන එක සාධාරණයි කියලත් හිතෙනවා. නමුත් මේ චරිතවල අන්තර්ගතය වෙනස්. අපි උදාහරණයක් ගත්තොත් චංචල රේඛා දංචුටි වගේ නෙමෙයි බට්ටි. නමුත් මේ චරිත දෙකම නියෝජනය කරන්නේ ග්‍රාමිය තරුණියකගේ ස්වරූපය. ඒනිසයි මම කියන්නේ චරිත අභ්‍යන්තරය තුළයි ඒ වෙනස හඳුනා ගැනිමට හැකිවෙන්නේ කියලා.
‘බට්ටි’ චිත්‍රපටය අපි වර්ගිකරණය කළොත් සම්භාව්‍ය ගණයට හෝ වාණිජ සිනමාවට අයත් වෙන්නේ නෑ. ඒක මැද මාවතේ යන චිත්‍රපටයක්. මේ කාලය වනවිට මමත් මේ ක්ෂේත්රයට නවක රංගන ශිල්පිනියක්. චරිත තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරපු කාලයක් නොවෙයි. නමුත් ‘බට්ටි’ චිත්‍රපටයත් මින්පෙර මම වැඩකරලා තිබුණු ආකාරයේම රංග ක්‍රමවේදයක් තිබුණු චිත්‍රපටයක් විදියට මම හඳුනා ගන්නවා. අධ්යක්ෂ දයානන්ද ජයවර්ධනයන්ගෙනුත් මම ඒ ලක්ෂණ දකිනවා. මට සුපුරුදු රංග ක්‍රමවේදයක් නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යෑමේදි කිසිදු අපහසුවකින් තොරව වැඩ කරගෙන යන්නට අපට හැකි වෙනවා. කිසිම අපහසුතාවයක් දැනුණේ නෑ. ‘බට්ටි’ කතාව දිහා බලපුවහම ඒක ඉතාම සරල ප්‍රේම කතාවක්. නමුත් චිත්‍ර කතාවක් ලෙසින් මේ කතාව ඒ කාලයේ ඉතාම ජනප්‍රිය ලෙස සමාජගතවෙලා තිබුණා. මම මේ කතාව දිහා බැලුවේ සරල, ජනප්‍රිය ප්‍රේම කතාවකට එහා ගිය තැනක ඉඳලයි. සමහර විට මගේ අධ්‍යාපනය, මගේ වෙනස් සිතුවිලි ඒකට හේතු වෙන්න ඇති. මට මේ කතාව ඇතුළේ තේරුණේ වෙනස් පැත්තක් ගැන. මේක ප්‍රේම කතාවකට වඩා ඉන් එහා ගිය සමාජියිය අර්ථයක් තිබුණු කතාවක් විදියට මම දැක්කා. මේ සිදුවිම සිදුවෙන්නේ මිට අවුරුදු 35-40 ට එහා වකවානුවකදිනේ. ඒ වනවිට සමාජය තුළ, ගම ඇතුළේ උස් මිටි පරතරය, දුප්පත් පොහෙසත් බේදය දැඩි විදිහට පැවතුණා. ගමේ වලව්වේ බලපුළුවන්කාරකම් මධ්‍යය් පිඩාවට පත්වෙන දුප්පත් පැලැන්තියක් එදා හිටියා. ඔවුන්ගේ සියලු නොපනක්තම් ඉවසන්න තරම් ඔවුන් අවිහිංසක අසරණභාවයට පත් වී සිටියා. අද වනවිට මේ සමාජ පරතරය අපිට දකින්න නැති වුණාට එදා හොඳටම තිබුණා. බට්ටි කතාව හරහා පෙන්නුම් කරන්නේ ඒ සමාජ පරතරය. කුලවත් ධනවත් යැයි සම්මත පරපුරෙන් පීඩාවට පත්වෙන දුප්පතුන්ගේ ජීවිතේ නොපෙනෙන, කිසි කෙනෙකුගේ කතිකාවකට බඳුන් නොවන යථාර්ථය කියලා තමයි මම දැක්කේ.
බට්ටි කියන ගැමි තරුණියගේ චරිතය නිරූපණය කරන්න මට අපහසුවත් තිබුණේ නෑ. ඒකට හේතුව මගේ ළමා කාලයේ ඉඳලම මේ වගේ චරිත මම ඕනෑ තරම් දැක තිබුණා. මගේ පවුල් පසුබිම නියෝජනය කළේ ඉහළ වලව් පෙළැන්තිය නිසා, අතීතයේ මම ඒ පරිසරයන්හි නොයෙක්වර ජීවත්විමෙන් ලද අත්දැකීම් සමුදායක් මට තිබුණා. අපේ අම්මගේ මහගෙදර වලව්වේ මම ඉස්කෝලෙ යන්න නැවතිලා හිටියා. ඒකාලේ ඒ වලව්වටත් වැඩ කරන්න මිනිස්සු ආවා. මම අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා, ඔවුන් ආවේ වලව්වේ පිටු පස්සේ දොරෙන්. ඔවුන් කවදාවත් වලව්වේ උස් පුටුවක ඉඳගෙන නැහැ. මිටි බංකුවක තමයි ඉඳ ගත්තේ. කිසි දවසක හ¼ඬ නඟලා කතා කළේ නෑ. පුදුම බය පක්ෂපාත කමකින් තමයි කටයුතු කළේ. ඉතින් මේ දේවල් මම හොඳීන් අත්විඳලා තිබුණ නිසා බට්ටිගේ චරිතය ගොඩනඟනවිට ඒ පැරැණි අතීත සිදුවීම් මම මතක් කර ගත්තා. ඒ නිසා ඒක මට විශාල අභියෝගයක් වුණේ නෑ.
ඒ වගේම මම පුංචි කාලේ දැකපු මේ සිද්ධි අතර අපේ අත්තම්මගේ හඟුරන්කෙත ඉලන්ගන්තිලක වලව්වේ දි දැක්කේ මීට ටිකක් වෙනස් අත්දැකිමක්. ඒ වලව්වටත් මිනිස්සු ආවේ පස්සේ දොරින් තමයි. ඔවුනුත් කවදාවත් අස් පුටුවල ඉඳ ගත්තේ නැ. මිටි පුටුවල ඉඳ ගත්තත් අපේ අත්තම්මා ඔවුන්ට සලකුපු විදියේ වෙනසක් තිබුණා. ඉතාම හෘදයාංගම ලෙස අත්තම්මා ඔවුනට ආමන්ත්‍රණය කළා. ආදරණියව වලව්වෙන් බොහෝ දේවල් ඔවුනට ලබා දුන්නා. කන්න බොන්න දුන්නා.
‘බට්ටි’ චිත්‍රපටයේ එන වලව්වෙත් ‘බට්ටි’ගේ අම්මට ඒ වලව්වෙන් හොඳට සලකනවා. නමුත් ‘බට්ටි’ මෙරිල් හාමුගෙන් අනාථ වුණාට පස්සේ තමයි වලව්ව ඔවුන්ට නොපනත් විදියට සලකන්න පටන් ගන්නේ. කොහොම වුණත් මේ ඇති නැති- උසස් පහත් භේදය චිත්‍රපටය පුරාම හොඳීන් අධ්යක්ෂවරයා විසින් පෙන්නුම් කරනවා. ‘බට්ටි’ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වුණාද කියලනම් මට මතකයක් නෑ. නමුත් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘බට්ටි’ගේ චරිතය මගේ රංගන ජීවිතයේ අමතක නොවන සිහිවටනයක් බවට පත් වුණා. ඒ වසරේ සරසවිය සම්මාන උලෙළින් මට ඒ වෙනුවෙන් කුසලතා සම්මානයක් පිරිනමනවා.
දයානන්ද ජයවර්ධන කියන චිත්‍රපට අධ්යක්ෂවරයා පිළිබඳත් මේ මොහොතේ සඳහනක් කරන්න ඕන. ඔහු අපට රඟපාන්න උපරිම නිදහසක් දුන්න කෙනෙක්. අපි ඔක්කොම ආධුනිකයි කියලා නෑ, ඔහු අපගෙන් ඔහුට අවශ්‍ය උපරිමය ලබා ගත්තා. මම ‘බට්ටි’ ට පස්සේ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ පෙම් රජ දහන චිත්‍රපටයේත් රඟපෑවා. ඒ කාලයත් ඉතාම විනෝදෙන් ගෙවුණු කාලයක්. දයානන්ද ජයවර්ධන කියන්නේ ඉතාම හොඳීන් තමන්ගේ නළු නිළියන්ව බලා කියා ගන්න අධ්යක්ෂවරයෙක්. කිසි කෙනෙක් කිසිම අපහසුතාවයකට පත්කරන්නේ නෑ. කවමදාවත් නිෂ්පාදකවරයෙක් ලබා ගැනිමේ අරමුණින් ආටිස්ට්ලගේ ගණන් අඩුකරන්න, ප්‍රඩක්ෂන් කට් ඩවුන් කරන්න පෙලඹුණ කෙනෙක් නොවෙයි ඔහු.
ලබන සතියේ….
වත්සලා අක්කා සමග
