Home » ‘පොඩි අතුල’ට ලැබෙන ප්‍රතිචාර නම් හිතාගන්නවත් බෑ

‘පොඩි අතුල’ට ලැබෙන ප්‍රතිචාර නම් හිතාගන්නවත් බෑ

-රංගන සහ ගායන ශිල්පී නිරෝෂ් අනුරාධ

by mavan
March 12, 2026 12:36 pm 0 comment

සැබෑ නමට වඩා ‘පොඩි අතුල’ නමින් හැඳීන්වුවොත් ඔහුව නොදන්නා කෙනෙක් නොමැති තරම් ය. එකී චරිතය අද වනවිට රටක්ම හඳුනන චරිතයක් වී හමාරය. මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ ‘පොඩි අතුල’ හෙවත් නිරෝෂ් අනුරාධ එම චරිතය පිළිබඳත්, සිය කලා නිර්මාණ දිවිය ගැනත් කතා කිරීමට මෙසේ සරසවිය හා එක්විය.

‘පොඩි අතුල’ ගැන මේ දිනවල හැමෝම කතා කරනවා නේද ?

ඔව්, ප්‍රතිචාර නම් බොහොමයි . ඒ ප්‍රතිචාර මගේ ජීවිතයේ ලබන උපරිම සතුටක් කිව්වත් හරි. බාල, තරුණ, වැඩිහිටි, මහලු සෑම කෙනෙක්ම මාව දැක්ක ගමන් ‘ අතුල අයියා, අතල මාමා, අතුල පුතා’ කියලා කතා කරන්නේ. මගේ සැබෑ නමට වඩා ‘පොඩි අතුල’ නම මිනිස්සුන්ගේ හදවතටම ගිහින් තියෙනවා. පාරේ යද්දිත් වාහන නවත්තලා අතුල අයියා කියලා අත වනලා හෝන් ගහන තත්ත්වයක් තියෙන්නේ. එසේ ලැබෙන ප්‍රතිචාර ගැනනම් උපරිමයෙන්ම සතුටුයි.

කොහොමද මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ ?

‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මල්ලිව මං මුලින්ම දකින්නේ මීට අවුරුදු හය හතකට කලින්. ඊට පස්සේ අපි දෙදෙනා මුහුණු පොත හරහාත් සම්බන්ධ වුණා. 2022, 2023 දී වගේ සාරංග මල්ලිට මම මැසේජ් එකක් දැම්මා, අවස්ථාවක් ආවොත් මටත් කියන්න කියලා. ටික දවසකින් මට කිව්වා අපේ සහාය අධ්‍යක්ෂ ලසංක මධුෂාන් මල්ලි කතා කරාවි කියලා. ඒ විදිහටයි මට ‘සංගීතේ’ ‘පොඩි අතුල’ වෙන්න ලැබුණේ .

පිටපත කියවද්දී චරිතය ගැන මොකද හිතුණේ?

පිළිබඳ කියවද්දි මගේ සිතට අදහසක් ආවා මේකෙන් මම ගොඩ යනවාමයි කියලා. ඒ තරමටම ඒ චරිතය හිතාගන්න බැරි චරිතයක්. මට පොඩි අතුලව දැනුණේ හිත හොඳ චණ්ඩියෙක් කියලා. මේක මටම ගැළපෙන චරිතයක් කියා සිතුණා.

රූගතකිරීම්වලදී අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති ?

ටෙලිනාට්‍යය රූගත කරද්දි වුණු අමතක නොවන සිදුනම් අනන්තවත් තිබෙනවා. ඒ අතර ජ්‍යේෂ්ඨ රංගනවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සමඟ සිදුකළ සටන් ජවනිකාව නම් අමතක වෙන්නේම නැහැ. එහිදී මට ඔහුගෙන් පහරවල් දෙක තුනක් වැදුණා. ඒ සීන් එක අවශ්‍යම නිසා මට ඇතිවුණු වේදනාව මම පෙන්වන්න ගියේ නැහැ, කාගෙන හිටියා. දවස් දෙක තුනක් යන තුරුම ඒ වේදනාව අඩු වුණේ නැහැ. අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මල්ලිටක් මගේ වේදනාව දැනුණා.

මෙහි ඔබ සමඟ තරුණ පිරිසකුත් රඟපානවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහාය ?

ඇතැම් එයාලගෙන් සුපිරිම සහායක් ලැබෙනවා. ඒ ලැබුණු සහාය නිසාමයි ‘පොඩි අතුල’ මෙතරම් සාර්ථකම ජීවමාන කරන්න ලැබුණේ.

අධ්‍යක්ෂවරයා එක්ක කොහොමද ඔබේ ගනුදෙනුව ?

ඔව්, අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මල්ලි හා මම අතර සහෝදර බැඳීමක් තියෙන්නේ. ඔහු සොඳුරු අධ්‍යක්ෂවරයෙක්. මට මේ චරිතය රඟපාන්න මාරම සහායක් දුන්නේ. ඒ ගැන මම ඔහුට ස්තුතියි කරනවා.

‘පොඩි අතුල’ ජීවමාන කරන්න සුවිශේෂී උපක්‍රම යෙදුවාද ?

මේවගේ චරිත අපට සමාජයේ ද හමුවෙනවා. ඒ හමුවන, අප දකින චරිත භාවිත කරන වචන තමයි මෙහිදී මම භාවිත කළේ. අපිට පිටපතේ තිබෙන දෙබස්වලට අමතරව සමාජයේ අපි දුටු චරිත භාවිත කළ වචන මාලාවක් මම යොදා ගත්තා.

කලා ලොවට පිවිසුණු අයුරු මතක් කළොත් ?

2005දී මම දකුණු කොරියාවේ රැකියාව කරද්දී හිතවත් වුණු සහෝදරියක් මට කිව්වා ඔයා හොඳයි රඟපාන්න කියලා. ඊට පසුව මම කිව්වා “රඟපාන්න නම් ආසයි, ඒත් අවස්ථාවක් නැහැනේ” කියලා. ඊට පසුව ඇය කිව්වා “එහෙම දෙයක් නැහැ, මම දන්න සර් කෙනෙක් ඉන්නවා ඇන්ටන් මිහිඳුකුල කියලා” ඒ නංගි මාර්ගයෙන් තමයි ඇන්ටන් මිහිඳුකුල සර්ව හඳුනාගත්තේ. ඔහුව හඳුනාගැනීමත් එක්ක තමයි මම කලා ලොවට පැමිණියේ. ඔහු තමයි මගේ කලා ලොවේ ගුරුවරයා ලෙස සලකන්නේ

රඟපෑමට අමතරව ඔබ ගායකයෙක්ද වෙනවා ?

ඔව්, මම සංගීත ප්‍රසංගවල ගීත ගායනයට එක්වෙනවා.

නිරෝෂ් අනුරාධ නමැති ගායකයා ගැන කිව්වොත් ?

ඇත්තෙන්ම මම ගායනයට යොමුවෙන්නේ ජ්‍යේෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් සනත් නන්දසිරි සර්ට පින් සිදුවෙන්න. ඔහුගේ ගීත තමයි මම බොහෝ ගායනා කළේ. ඒවාට බොහෝ දෙනාගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ගායකයකු ලෙස මම ඉස්මතු වුණේ ර්‍ථධඹඥප ඕචජඬ සංගීත කණ්ඩායමේ ඔගිව් තරංග මල්ලි නිසයි.

ගායනය පැත්තෙන් ඉදිරි නිර්මාණ මොනවද ?

සංගීත ප්‍රසංගවලදි හමුවන සංගීත කණ්ඩායම්වලින් සහ මගේ යහළුවන්ගෙන් ලැබෙන ඉල්ලීමක් තමයි” අයියේ, ඔයාගේ සින්දුවක් කරමු” කියන දේ. මගේ සිතට ඒක තදින්ම වැදුණා..නුදුරේදීම මගේම ගීත කිහිපයක් ඔයාලට දකින්න ලැබේවි.

ඔබ තුළ රංගන දක්ෂතා තිබෙන බව හඳුනාගන්නේ කොහොමද ?

විදේශයේ රැකියාව කරන කාලයේදී යාළුවෝ සමඟ විනෝදයෙන් ගත කරද්දි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි වැනි නළුවන්ගේ චරිත මම රඟපානවා. යාළුවොත් ඒවා ආසාවෙන් රසවිඳීනවා. එයාලත් මාව උනන්දු කරවනවා. ඇන්ටන් මිහිඳුකුල මහතා යටතේ රංගන වැඩමුළුවලට යද්දි මටත් තේරුණා මගේ යම් රංගන හැකියාවක් තිබෙනවා කියලා

ගායකයකු ලෙස විදෙස් සංචාර ලැබුණේ නැද්ද ?

ඩුබායි සහ සිංගප්පූරු විදෙස් සංචාර දෙකකට ප්‍රේක්ෂකයෙක් හරහා මට ආරාධනා ලැබුණත් ඒ දෙකටම යන්න බැරිවුණා. මේ අවුරුද්දේ සංචාර දෙකතුනක්ම ලැබෙන බවකුත් තිබෙනවා.

‘සංගීතේ’ට අමතරව මේ දවස්වල ඔබව දකින්න ලැබෙන අනෙක් නිර්මාණ මොනවද ?

ඔව්, සිරස නාළිකාවේ විකාශය වන ‘කළු අහස’ ටෙලිනාට්‍යයේ රාජු මමයි. ධ්ඊව් හි විකාශය වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ කළු මමයි.

කැමරාවට මුලින්ම මුහුණ දුන් දවස මතකද?

ඔව්, අද වගේ මතකයි. ඒ 2012 වසරේ ඔක්තෝබර් 04 වැනිදා හිරු නාළිකාවේ විකාශය වූ ‘අදිසි’ කතා මාලාවේ රංගනයේදී තමයි මුලින්ම කැමරවට මුහුණදුන්නේ

සිනමාව තුළ ඔබේ භූමිකාව මොනවගේද ?

සිනමාවේ නම් මට අවස්ථා 02යි තවම ලැබුණේ. ‘කතුරු මිතුරු’ සහ ‘ර්ප මිසිස්’ චිත්‍රපටවල සුළු චරීත දෙකක් රඟපෑවා.

රංගනයටද ගායනයටද වඩාත් කැමැති?

මේ දෙකටම මම හරිම ආසයි. මේ දෙකම මගේ ඇඟේ තියෙනවා කියලා මම හිතනවා.

ඉදිරි නිර්මාණ මොනවද ?

ටෙලිනාට්‍ය 03කට පසුගිය දවස්වල දායක වුණා. ළඟදීම ඒවායින් 02ක් විකාශය වේවි.

පවුලේ විස්තරත් කියමු ?

මගේ අම්මා, තාත්තා, ලොකු අයියා, අක්කා, මල්ලිලා දෙන්නා සහ මගේ බිරිඳ ගයනි යන අය මගේ ගමනට පුදුමාකාර සහායක් දෙනවා. එයාලමයි මාව උනන්දු කරවලා ගන්නේත්.. ඔවුන්ට මම හදවතින්ම ස්තුති කරනවා මේ මොහොතේ.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT