ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචකයකු ලෙස සිය අනන්‍යතාව රඳවාගෙන සිටින තරුණ ලේඛකයකු වන නිදුක් මධුෂික විසින් රචිත නවතම ටෙලි නිර්මාණය ඉකුත්දා පුංචිතිරය ඔස්සේ විකාශය ඇරඹිණි. ‘හුස්මක් ළඟින්’ නම් වූ මෙම නිර්මාණය පිළිබඳවත් සිය නිර්මාණාත්මක දිවිය පිළිබඳවත් කතාබහ කිරීමට ඔහු මෙසේ සරසවිය හා එක්විය.
ඔබේ නවතම තිර රචනය ‘හුස්මක් ළඟින්’ පසුගියදා විකාශය ඇරඹුවා නේද?
මේ මම රචනා කරන තුන්වැනි දීර්ඝ ටෙලිනාට්‍යය. ‘ධරණි, සැලෙනා නුවන්’ ටෙලිනාට්‍ය දෙක මීට පෙර රචනා කළා. ‘හුස්මක් දුරින්’ සති අන්තයේ රාත්‍රී 9:00ට විකාශය වන්නේ. මම විශ්වාස කරනවා පෙර නිර්මාණ වැලඳගත් ප්‍රේක්ෂකාගාරය වගේම අලුත් ප්‍රේක්ෂකාගාරයකුත් මෙය වැලඳගනියි කියලා
කොහොමද මෙය ලියන්න අදහස ආවේ?
ජීවිතයේ අපි හැමෝටම සමහරවිට සිද්ධවෙනවා වැරද්දක් නොකර වැරදිකාරයෙක් වෙන්න. මටත් ජීවිතයේ එක් මොහොතක එවැනි දෙයකට මුහුණදෙන්න වුණා. එහිදී මට දැනුණු හැඟීමයි නිර්මාණයක් බවට පත්වුණේ. මම නිවැරදිව බොහෝ දේ කරද්දි වැරදිකාරයෙක් බවට නොදැනුවත්වම පත්වුණා. එවැනි අවස්ථාවක මනුස්සයෙක් කොහොමද ඊළඟ මොහොතට මුහුණදෙන්නේ කියා මම සිතුවා. ඒ අදහස් එක්ක මේ වගේ තිර රචනයකට මම පෙලඹුණා
කතා සංකල්පය ගැන යම් ඉඟියක් දුන්නොත් ?
සුනිල් නමැති සාමාන්‍ය පහළ මධ්‍යම පාන්තික පවුලක ප්‍රතිපත්තිගරුකව වෘත්‍තිය දිවියේ කටයුතු කරන පියකුට වෘත්තිය දිවිය අහිමිවීමේ ඛේදජනක සිදුවීමක් සහ ඉන්පසු දරුවන් සමඟ ඔහු සමාජයට මුහුණදෙන ආකාරයත් මේ සිදුවීම එක්ක ඔහුගේ ලොකුදුව කෙසේද පියාට සාධාරණය ඉටුකරන්න කටයුතු කරන්නේ කියන කතා සංකල්පයත් සමඟ මේ නිර්මාණය දිවයන්නේ
චරිත පෙළගැස්වීමේදී විශේෂ සූක්ෂ්ම උපක්‍රම යොදාගත්තාද?
මම සෑමවිටම රචනා කිරීමේදී ඛ්ඩචපචජබධප ඕඪධඨපචනඩර එකක් ලියනවා. එහිදී මම පරිකල්පනීය චරිත යොදාගන්නවා අඩුයි. එදිනෙදා දිවියේ මට හමුවූ, දැනුණු චරිතවල භෞතික සහ මානසික පසුබිම ගැන අවධානය යොමුකරනවා. තිර රචනයට පෙර ඒ චරිතවල අභ්‍යන්තරික පසුබිම, මනස කෙසේද ක්‍රියාත්මක වන්නේ කියන දේ ගැන දළ අදහසක් සෑම චරිතයකටම මම ලියාගන්නවා. බොහෝදුරට මම මට සමීප චරිතම තමයි යොදාගන්නේ.
ඔබෙ අනෙක් තිර පිටපත් එක්ක සැසඳීමේදී මෙහි විශේෂත්වයක් තිබේද?
මීට පෙර ලියූ ‘ධරණි’හි කියවෙන්නේ සැමියා අහිමි කාන්තාවක් දරු දෙදෙනා සමඟ කොහොමද සමාජයට මුහුණදෙන්නේ කියන දේ. ‘සැලෙනා නුවන්’හි කියවෙන්නේ ගමේ සිදුවන අසාධාරණකම්වලට විරුද්ධව ඒ ගමේ තරුණයෙක් නැඟීසිටීම ගැනයි. ‘හුස්මක් ළඟින්’වලින් ජීවිතයේ එක් පැතිකඩක් නිරූපණය වෙනවා. පෙර රචනා කළ පිටපත්වලට වඩා මෙහි යම් වෙනසක් ලියන මට දැනෙනවා. එය ප්‍රේක්ෂකාගාරය කෙසේ භාරගනීද කියා ඒ ප්‍රතිචාර දැනගන්න කැමැත්තෙන් ඉන්නවා
තිර පිටපත් රචනයේදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ මානසික ගනුදෙනුව කෙසේද සිදුවුණේ?
මම පිටපත් ලියද්දි දළ සැකැස්මක් හදා අධ්‍යක්ෂවරයාට දෙනවා. මෙහි අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක. ඔහු සමඟ මම වසර 5ක් පමණ මේ වෙද්දි වැඩකර තිබෙනවා. ඔහුට මා ගැන වගේම මට ඔහු ගැනත් අවබෝධයක් තිබෙනවා. රූගතකිරීම් ගැන පිටපත ලියද්දි අපි අතර සාකච්ඡාවක් තිබෙනවා. මගේ අකුරු වඩාත් දැනෙන ලෙස රූපයට ගේන්නේ කෙසේද කියනදේට මම වැඩි බරක් තියනවා. තිර පිටපත සාර්ථක වුණොත් නිර්මාණයේ බොහෝදුරක් සාර්ථකයි කියා සිතනවා. අපි දෙදෙනාගේ අදහස් බොහෝදුරට සමපාත වෙනවා . මම පිටපතක් ලියද්දි විශ්වසනීයත්වයට මූලිකත්වය දෙනවා. චරිතයක් ගත්තත් ඒ චරිතය තිර රචකයා මුලින්ම මානසිකව දකින්නේ පරිකල්පන අවකාශය තුළයි. තිර රචකයා කියනදේ අධ්‍යක්ෂවරයා රූපයට ගේන්න ඕනේ. තිර රචකයාගේ හැඟවුම්කාරකයක් බවට අධ්‍යක්ෂවරයා පත්කරන්න ඕනේ
රූගතකිරීමේදී ඔබත් දර්ශනතලයට යනවද ?
පිටපතින් පසු රූගතකිරීම් ගැන සාකච්ඡා මට්ටමින් මට අදහසක් තියෙනවා. ඒ අනුවයි මම අවසන් පිටපත ලබාදෙන්නේ. මම කොහොමත් එක තැනක සිට රචනා කරන්නේ නැහැ. බොහෝදුරට දර්ශනතලයට යනවා. එහි හැඩහුරුකම් බලනවා. ඡායාරූප ගන්නවා. එය මට රචනයේදී පහසුවක්..රූගතකිරීම් ගැන අදහසකුත් එනවා. එකතැනක සිට රචනා කළත් රූගතකිරීමේදී රචනයේ වෙනස්කම් කරන්න වෙනවා. ඒවගේම රංගන ශිල්පීන් ඒ කාර්යය කරද්දි වඩා හොඳ අදහසුත් ඇතිවෙනවා. රූපවාහිනියේ අපි දකින්නේ රංගන ශිල්පියාගේ සාර්ථකම දර්ශනයයි. අසාර්ථක දර්ශන තුළ රචකයකුට, රංගන ශිල්පියකුට ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. ඒ තුළ මට නව හැදෑරීමකුත් තිබෙනවා. රූගතකිරීම්වලට ගියාම මගේ අදහස් අප්ඩේට් වෙනවා. දර්ශනයක් ලියා මට සෑහීමකට පත්වෙන්න ලැබෙන්නේ නැහැ . ඒ අතෘප්තිකර හැඟීමට මම හරිම ආසයි. එයින් මම උත්තේජනයක් ලබනවා.
පිටපත ලියද්දි රංගන ශිල්පීන් ගැන ඔබේ මනසේ චිත්තරූප මැවීමක් වුණාද?
මම මුලින්ම පිටපත් ලියන්නේ ගුවන් විදුලි නාට්‍යවලට. එහිදී මම විශ්වාස කරන විදිහට තිර රචකයා මානසිකව ඒ රූපය හෝ හඬ දැකලා, අහලා ඉවරයි දර්ශනතලයට හෝ රූගත කරන ස්ටුඩියෝවට යද්දි. තිර රචකයාගේ මනසේ ඒ පිළිබඳ චිත්තරූපයක් තිබෙනවා වගේම ඒ චිත්තරූප එක්ක ක්ෂේත්‍රයේ සිටින චරිත කොතෙක්දුරට සමපාත වී තිබේද කියා හිතනවා. ‘හුස්මක් ළඟින්’ රචනයේදී බොහෝ චරිත මට සිතුණු චරිත. ඒ සිතුණු චරිත සම්බන්ධ කරගත නොහැකි අවස්ථාත් තිබුණා. එහිදී මගේ දෙවැනි විකල්පය ලෙස මගේ මනසේ වූ චරිත ගැන කතා කර තිබෙනවා. පරිකල්පනීය අවකාශය ඇතුළත මා දුටු රූප, රූපවාහිනිය ඇතුළේ 100%ක්ම නොවුණත් 50%කට වැඩි අගයකින් දකින්න පුළුවන්..
දෙබස් රචනයේදී යම් උපක්‍රම යොදාගත්තාද ?
රංගන ශිල්පීන් පිටපත භාරගත්‍තම ඔවුන් කවුද කියා මා දන්නවා.එවිට සමහර රංගන ශිල්පීන්ට හැගීම් ප්‍රකාශයට දෙබස් කිවයුතුමයි කියා මට සිතෙනවා. එහිදී මම දෙබස් යොදනවා. සමහර රංගන ශිල්පීන්ට ඔවුන්ගේ ඉංගිතයන් මඟින් ඒ අදහස දේවි කියා මා සිතනවා. එහිදී ඔවුන් එක්ක මම සාකච්ඡා කර ඔවුන්ට ඒ අවස්ථා ඉංගිතයන් මඟින් නිරූපණයට අවස්ථාව ලබාදෙනවා දෙබස්වලට බරක් නොදී .මෙය රූප මාධ්‍යයක් නිසා දීර්ඝ දෙබස් ලිවීමෙන් මා වෑළකී සිටියා. අවශ්‍ය දෙබස් රසවත්ව ලියන්නයි උත්සාහ කරන්නේ. රංගන ශිල්පීන් ගැන අදහසක් තිබුණම ඔවුන් අනුව මම දෙබස් ලියන ක්‍රමවේදය, කතා කරන ක්‍රමවේද , චරිත, හැසිරීම් , සිදුවීම් අනුව දෙබස් ලියන ක්‍රමවේද ආදි ලෙස ඒ දෙබස්වල පරාසය හා එය යොදන අයුරු ගැන මා සැලකිලිමත් වෙනවා.
‘හුස්මක් ළඟින්’ කාර්මික තිර රචනය ඔබ විසින්මද ලියන්නේ?
දීර්ඝ ටෙලිනාට්‍යවල , චිත්‍රපටවල වගේ ගොඩාක් වෙහෙස වී කාර්මික තිර රචනයක් සිද්ධවෙන්නේ නැහැ. බොහෝදුරට සාහිත්‍යමය තිර රචනයම තමයි රූගතකිරීම් ස්ථානයේදී අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා එක්ව සකසාගෙන නිර්මාණය කරන්නේ.
ප්‍රේක්ෂකයා ඉල්ලන දේම ඔබ දෙනවද? නැත්නම් ඔබේ ශෛලියට ප්‍රේක්ෂකයාව අනුගත කරවනවද?
ප්‍රේක්ෂකයන් ඉල්ලන දේම දෙනවා කියන අදහසේ මම නැහැ. මට දැනෙන දේ අවංකවම රහට ලියන්න මම උත්සාහ කරනවා. ප්‍රේක්ෂකයාව මගේ ශෛලියට අනුගත කරවා ඔවුන්ට රසවත් අත්දැකීමක් ලබාදෙන්න තමයි මා උත්සාහ කරන්නේ. නැවුම් රසවින්දනයක් දෙන්නයි හැමවිටම උත්සාහ කරන්නේ.
‘හුස්මක් ළඟින්’ ටෙලියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මෙය විකාශය ආරම්භ වී තවම සුළු කාලයයි. මෙය ආසාවෙන් නරඹන බව මට තේරෙනවා ලැබෙන ප්‍රතිචාරවලින්.
සිනමා තිර පිටපත් රචනයේ ඔබේ භූමිකාව කෙසේද?
මම ‘කම්බිලි’ නමින් චිත්‍රපටයක් ලිව්වා. එය තිරගත වුණා. 2025 ලක්ස් සිනමා සම්මාන උලෙළේදී හොඳම තිර රචනා 04 ට මෙය නිර්දේශ වුණා. පසුව සිනමා තිර රචනාවලට ආරාධනා ලැබුණත් , ලිවීම මගේ වෘත්තිය වුවත් කාලයක් අරගෙන තෘප්තිකර හැඟීමකින් හොඳීන් ලියන්න ඕනේ කියා සිතුවා. සිනමා පිටපත් 02කට ආරාධනා ලැබුණත් එක් පිටපතක් බොහෝදුරට ලියා අවසන්. ඉදිරියේදී සිනමා ක්ෂේත්‍රයේ තිර රචකයකු ලෙස කටයුතු කිරීමේ අදහසක් තිබෙනවා.
රූපවාහිනී හා සිනමා තිර රචනා මාධ්‍යයන්හි වෙනස දකින්නේ කෙසේද?
මෙහි පැහැදිලි වෙනස්කම් රැසක්ම තිබෙනවා. රූපවාහිනිය ගත්තොත් එහි ප්‍රධාන ආදායම් මාර්ගය වෙළෙඳ දැන්වීම්. එසේනම් ඒවගේ ප්‍රේක්ෂකයා රඳවා තබාගත යුතුයි. එහිදී තිර පිටපත වැදගත් අංගයක්. ඒ වෙනුවෙන් ආයාසයක් ගන්න ඕනේ. ටෙලිනාට්‍ය ගත්තොත් එහි කොටස් ප්‍රමාණය වැඩියි. එහි අතුරු කතාද රැසයි. එහිදී ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීමේ උපක්‍රමික ශිල්පීය ක්‍රම තිර පිටපත් රචකයා සතුවිය යුතුයි. ඒ අනුවයි අනෙක් හැඩතලයන් හැදෙන්නේ. සිනමාව යනු නිශ්චිත කාල අවකාශයක් තුළ ලිවිය හැකි දෙයක්. ඒ වෙනුවෙන් කැපවූ ප්‍රේක්කාගාරයක් එතැන තිබෙනවා. තිර රචනයේ සිට සියල්ල වෙනස් මේ මාධ්‍ය ද්විත්වයේම.
අද තරුණ, නවක රංගන ශිල්පීන්ගේ රඟපෑම ගැන මොකද සිතෙන්නේ?
අද තරුණ පිරිසට මේ ක්ෂේත්‍රයට පහසුවෙන් අවතීර්ණවීමේ අවකාශය තිබෙනවා. අවස්ථා ලබාගෙන ඒ තුළ හැදෑරීම් කර ඉදිරියට එන ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. අද රංගනයට එන තරුණ අය අවබෝධයෙන් කටයුතු කළොත් ඔවුන්ට දිගු ගමනක් තිබෙනවා.
තිර රචනා ලිවීමේ ආරම්භය සිහිකළොත්?
මම පුවත්පත් කලාවේදියෙක් ලෙස වසර 07ක් පමණ වැඩකළා. ඒ තුළ විශේෂාංග ලිපි වගේම සිරිකත, තරුණයා පුවත්පත්වලට නවකතාත් ලියන්න ගත්තා. ඒත් සමඟ ගුවන් විදුලි නාට්‍ය ලියන්නත් අවස්ථාව ලැබුණා. මුලින්ම සිරස එෆ්. එම්.ගුවන් විදුලි නාට්‍ය රචනා කළා. ඒ අතර ඒකාංගික ටෙලිනාට්‍ය රැසක්, ටෙලි චිත්‍රපට 35ක් පමණ රචනා කර තිබෙනවා. ඒ ආභාසයත් සමඟයි තිර පිටපත් රචකයකු වශයෙන් දීර්ඝ ටෙලිනාට්‍යවලට එක්වන්නේ. ලියන එක ඒ කාලයේ සිටම මට තිබූ උණක්. කියනවට වඩා මට දැනෙන දේ ලියන එක මට සැනසීමක්. මට දැනෙන දේ ලියන්නයි සෑමවිටම උත්සාහ කළේ. තවමත් මම තිර රචනා කලාව ඉගෙන ගනිමින් ඉන්නේ. පුරුද්දක් වෙලා තිබූ ලිවීම පසුකාලීනව ඇබ්බැහියක් වුණා.
දෙස් විදෙස් ලේඛකයන්ගේ නිර්මාණ ඔබේ පිටපත් රචනයට කොතෙක්දුරට බලපෑවාද?
පුරුද්දක් ලෙස මම සතියට පොතක් හෝ කියවනවා. මේ වෙද්දි බොහෝ ලේඛකයන්ගේ පොත් කියවා තිබෙනවා. සතියකට චිත්‍රපට 03ක් වගේ බලනවා.ඒ දේවලටයි මගේ ජීවිතේ වැඩිකොටසක් මම වෙන්කර තියෙන්නේ. කෙනෙක් සිතලා නවත්වන තැනින් ආයෙත් සිතලා පටන්ගන්න පුළුවන්නම් ඒ තුළ අලුත් සිතීමක් තියෙනවා කියා මා සිතනවා. දෙස් – විදෙස් ලේඛකයන්ගේ නිර්මාණවල හැඩහුරුකම් හා සාධනීය ලක්ෂණ මගේ ඇඟටත් එනවා. පවුලෝ කොයියෝ වැනි ලේඛකයන්ගේ රචනා ශෛලියට මම කැමැතියි. ඔහුත් තිර රචකයෙක් . ඕඪතතර එඪතඤඥප, ර්‍ථචඤඤර ඛ්ඩචරඥටඵඬර, ඛ්ඩචපතඪඥ ම්චභටථචද, ඒචපධද ඉධපඬඪද, බ්චමචඤ ඒඬඩබචප, ඒඤඪබරච ඛ්ඩධනපච, ඒදභපචඨ ම්චඵඩරචන ආදී විදෙස් තිර රචකයන් පිළිබඳ මගේ අධ්‍යයනයක් තිබෙනවා.
මෙරට සිටි විශිෂ්ටතම තිර රචකයන්ගේ ආභාසයත් ඔබට බලපෑවාද?
පුවත්පත්වල සේවය කරන සමයේ සෝමවීර සේනානායක මහතාව අවසානයට ඉන්ටර්විව් කළේ මමයි. ඔහු සමඟ කතා කරමින් බොහෝ කාලය ගතකළා. ඔහු ලියූ පොත් පවා මට ලබාදී තිබෙනවා කියවීමට. ඔහු අවසන්වරට ලියමින් සිටි ‘රන්බැඳී මිනිස්සු’ තිර පිටපතත් මට දුන්නා කියවීමට. ඔහුගේ හැසිරීම, ජීවන විලාසිතාව මම අධ්‍යයනය කළා. ඒවා මට නව අත්දැකීම් වුණා. ආචාර්ය තිස්ස අබේසේකර මහතාගේ තිර පිටපත් මා කියවා තිබෙනවා. මා ඒවා ඇසුරු කරනවා. නවකතාවලින් ලියවුණු තිර පිටපත්වලදී ඒ දෙකම මම අධ්‍යයනය කළා. ඒවා මට අත්දැකීම් වුණා වගේම ඒවා වක්‍රව මගේ නිර්මාණකරණයට බලපෑවා.
තිර රචනා කලාව අධ්‍යයනයට මෙරට ඇති පාඨමාලාවන්හි වෘත්තියමයභාවය ගැන මොකද සිතෙන්නේ?
තිර පිටපත් රචනය වෙනුවෙන්ම වූ පාඨමාලා අඩුයි..විනිවිදභාවයෙන් යුතු පාඨමාලා මෙරට තුළ සිදුකෙරෙන්නේ නැති තරම්. න්‍යායාත්මක කරුණු ඉගෙන ගත්තත් ප්‍රායෝගික කරුණු තමන් තුළ තිබිය යුතුයි කියා මා සිතනවා. සිනමා හා රූපවාහිනී පාඨමාලා රැසක් නම් දක්නට තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේත් එවැනි පාඨමාලා තිබෙනවා. එහෙත් නිර්මාණාත්මක රචනය කියන දේ තමන් සතු දෙයක් ලෙස මා දකින්නේ. මෙහි වෘත්තියමයභාවය ගැන කීවොත් නිශ්චිත, විධිමත් රාමුවකින් නියාමනය වූ ක්‍රමවේදයක් අද වෙද්දි දකින්නට නැහැ. එහි අවිධිමත් බවක් තිබෙන්නේ. තිර රචනා කලාව තුළ යම් ස්ථාවර බවක් ඉදිරියේදී නිර්මාණය වේවි යන සාධනීය , සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා.
නවකතා සහ කෙටිකතාකරණය තුළ නිදුක් මධුෂික භූමිකාව කෙසේද?
මම කෙටිකතා ලියන්න ලෝභකමින් සිටි කෙනෙක්. ඒත් ග්‍රන්ථයක් සම්පාදනයට අවකාශයක් තිබුණේ නැහැ. පසුගිය වසරේ මම නවකතාවක් නම් එළිදැක්වුවා. අනෙක් නවකතාව රචනා කරමින් ඉන්නේ. මේ වසරේ එය එළිදක්වන්න හිතාගෙන ඉන්නේ. කාල අවකාශය සමඟ නවකතාවට යම් කාලයක් අරන් විධිමත්ව ලිවීමට අදහසක් තිබෙනවා. හොඳ නවකතාවක් පාඨකයාට ලබාදීමේ අරමුණ මගේ තිබෙනවා
ඉදිරි නිර්මාණ ගැන ඉඟියක් දුන්නොත්?
තව ටෙලිනාට්‍යයක් රචනා කරමින් ඉන්නේ. සිනමා නිර්මාණ 02කට ආරාධනා ලැබුණා.
පවුලේ අය ගැන මතක් කළොත්?
මගේ වැටීම් , නැඟිටීම් සමඟ මා එක්ක ඉන්න මව, බිරිඳ ගැනත් මෙහිදී මතක් කළ යුතුයි. ඔවුන් තමයි මට ශක්තියක් වෙන්නේ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
