“Marty Supreme” චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1950 දශකයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය වටායි. “Marty Reisman” නමැති වෘත්තීය මේස පන්දු (Ping Pong) සෙල්ලම් කරන තරුණ ක්‍රීඩකයාගේ ජීවිතයේ එක් පැතිකඩක් “මාට් සුප්‍රිම්” චිත්‍රපටය හරහා අපි දකිමු. මාට් යනු දුප්පත් පාන්තික තරුණයෙකි. ඔහු සතු සිහිනය වනුයේ කෙසේ හෝ වෘත්තීමය මේස පන්දු ක්‍රීඩකයකු වීමයි. ඔහු වංචාකාරයෙකි. බොරුකාරයෙකි. අවස්ථාවාදියෙකි. සංකීර්ණ ගති ලක්ෂණ ඇති අයෙකි. අනෙකාට අභියෝග කරන්නෙකි. මේස පන්දු ක්‍රීඩාවේ ශූරයෙකු බවට පත්වීම ඔහුගේ අරමුණයි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ මුහුණ දෙන අභියෝග, ගැටලු, අවලාද පිළිබඳ තතු සිනමාපටයේ නිරූපණය වෙයි.
මාට් මවුසර් චරිතය සඳහා පණ පොවන්නේ සම්මානනීය රූපණවේදියෙකු වන “තිමොති ෂැලමෙට්” විසිනි. තිමොති විසින් “මාට් මවුසර්” චරිතය වෙනුවෙන් දැඩි වෙහෙස මහන්සියක් ගත් බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා. විශේෂයෙන් තිමොති චිත්‍රපටය සඳහා 2018 වසරේ සිට මේස පන්දු ක්‍රීඩාව පුහුණුවීම් කටයුතුවල යෙදී ඇත. ඔහු “වොන්කා” (2023) , “ඩූන්: දෙවන කොටස” (2024) , “ද ෆ්‍රෙන්ච් ඩිස්පැච්” (2021) සහ “අ කම්පල්ට් අන්නොන්” (2024) චිත්‍රපට සමඟ වැඩ කරමින් සිටන අතරතුර විවේක කාලයේදී ටේබල් ටෙනිස් මේසයක් සමඟ පුහුණුවීම කටයුතු කළ බව පවසයි. මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන සැබෑ දර්ශන හිටපු ඇමරිකානු ජාතික මේස පන්දු ඔලිම්පික් පදක්කම්ලාභි ක්‍රීඩකයෙකුවන “වෙයි වැන්ග්” විසින් තිමොතිව තවදුරටත් පුහුණු කර ඇත. සිනමාපටයක චරිතයක් වෙනුවෙන් සිදු කරන දැඩි කැපවීම මෙම කාර්යයන් කදිම ආදර්ශයක් සපයන්නකි.
“මාට් සුප්‍රිම්” සිනමාපටයේ අධ්‍යක්ෂ “ජොෂ් සෆ්ඩිට” මේස පන්දු ක්‍රීඩාව කෙරෙහි උනන්දුව ඇති වූයේ ඔහුගේ තරුණ අවධියේ සිටය. මන්ද ඔහුගේ සීයා මේස පන්දු ක්‍රීඩා කරනු දුටු බව හෙයිනි. වර්ෂ 2018 දී, සෆ්ඩිගේ බිරිඳ සහ චිත්‍රපටයේ විධායක නිෂ්පාදක සාරා රොසයින් විසින් එකතුව මේස පන්දු ක්‍රීඩක මාටි රයිස්මන්ගේ, වර්ෂ 1974 ප්‍රකාශිත ස්වයං චරිතාපදාන කෘතිය වන “ද මනි ප්ලේයර්” පිටපතක් මිලදී ගත්තේ සිනමාපටයක් ලෙස ප්‍රතිනිර්මාණය කළ යුතු බව අරමුණු කරගනිමින්.
ජාතික සමාලෝචන මණ්ඩලය (The National Board of Review) සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය (American Film Institute) “මාට් සුප්‍රිම්” චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කළේය. 98වැනි ඔස්කාර් සම්මාන උලෙළෙදි හොඳම චිත්‍රපටය ඇතුළුව නාමයෝජනා නවයක් සහ 79 වන බ්‍රිතාන්‍ය ඇකඩම් චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ඇතුළුව නාම යෝජනා එකොළහක් ලබා ගැනීමට සමත් විය. එමෙන්මය 83වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී නාමයෝජනා තුනක් බැගින් ලබා ගන්නට සමත් වූ අතර තිමොති ඔහුගේ රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සහ විචාරකයින්ගේ තේරීම් සම්මානයක් දිනා ගත්තේය.
සිනමාපටයේ තිර පිටපත සුසාධිත රචනයකි. චරිත සවිස්තරාත්මක ය. චරිතවල ගැඹුරක් පවතී. මිසොන් සෙන් (mise en scene) හෙවත් දර්ශනය (Scene) තුළ තත්වයන් මනා ලෙස සකස් කිරීම හරහා එම යුගය ද චරිත ද විස්තර කරයි. පසුතල නිර්මාණය ද, ආලෝකකරණය, වස්ත්‍රාභරණ, යාන වාහන, ගොඩනැගිලි නිර්මාණය ආදී සියලු භෞතික ද්‍රව්‍යයන් සිනමාපටයේ යථාර්ථය විස්තර කරන ප්‍රධාන සාධක ලෙස සපයා ඇත. පසුබිම් සංගීතය සහ ගීත පෙළ චිත්‍ර‍්‍රපටයට ලබා දී ඇත්තේ කතා සාරයට ආවේණිකබවකි. වේශ නිරූපණ ශිල්පී මයිකල් ෆොන්ටේන් තිමොතිගේ මුහුණට ලප කැළැල් මතුවන සේ විවිධ ආලේපන වර්ග ආලේප කළේ මාට්ගේ දුප්පත් පන්තියේ නියෝජනය කරන පුද්ගලයෙකුගේ පෙනුම ලබා දීම සඳහා ය. බොහෝ විචාරකයෝ තිමොතිගේ රංගනය මේ දක්වා ඔහු රඟපෑ චිත්‍රපටවලින් ඔහුගේ හොඳම රංගනය ලෙස නම් කළහ. “මාට් සුප්‍රිම්” චිත්‍රපටයේ කතාව, කැමරාකරණය, තිර පිටපත, සංස්කරණය, සංවාද, රංගනය, ආලෝකකරණය, පසුතල නිර්මාණය ආදී ආනුෂංගික අංග සියල්ලම ගොනු කොට ඇත්තේ පරිපූර්ණ සිනමා කෘතියක් ලෙස ස්ථානගත කිරීම පිළිබඳ සාක්ෂි සපයමිනි.
මලින්ත විතානගේ
