පසුගිය කාලය පුරාම ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියා පිළිබඳ අපට අසන්නට ලැබුණේ ඔහුගේ අසනීප තත්ව පිළිබඳ තොරතුරය. සත්‍ය වශයෙන්ම ඔහු දරුණු ලෙස අසනීප වී මේ වන විට රෝද පුටුවකට සීමා වි සිටිම කවුරුනුත් දන්නා දෙයකි. එහෙත් මේ කියන්නට යන්නේ ඔහු පිළිබඳ වන සතුටුදායක තොරතුරකි.
දීර්ඝ කාලයක් පුරා ඔහුගේ ගායනයන් අපට අසන්නට නොලැබී ගියේ ඔහු මුහුණ දුන් විවිධ රෝග පීඩාවන් නිසාය. එහෙත් එළඹෙන දෙසැම්බර් මාසයේ 6 වැනිදා ඔහු වෙනුවෙන් පවත්වන ලබන සංගීත සන්ධ්‍යවේදි ගීත ගායනයෙන් එක් වන්නට ඔහු සුදානම් වනබව මේ සතුටුදායක ආරංචිය වන්නේය.
ප්‍රියංකර පෙරේරාගේ මිතුරන් පිරිසක් එකතු වී ඔහු වෙනුවෙන් පවත්වන්නට යෙදෙන සංගීත ප්‍රසංගය එළඹෙන දෙසැම්බර් 6 වැනිදා සවස හයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ බැන්කට් ශාලාවේදි පැවැත්වේ. ‘සුපුන් සඳක්’ මියැසි රාත්‍රිය නම් වූ මෙම ප්‍රසංගයදා ප්‍රියංකර සමඟ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවෝ රැසක් ගීත ගායනයෙන් එක්වෙති. මේ පිළිබඳ වන කතා බහකට පසුගිය දිනක අපි ප්‍රියංකර පෙරේරා හමුවීමට ගිය මොහොතක සිදුවු කතා බහකි මේ.
ඔබ වෙනුවෙන් පවත්වන සංගීත ප්‍රසංගය සංවිධානය කරන්නේ කවුද?
මේ සංගීත ප්‍රසංගය පවත්වන්නේ ඇත්තටම මගේ මිතුරන් පිරිසක් එකතු වෙලා . මුලින් නම් මගේ කැමැත්තක් තිබුණේ නෑ මේ වගේ දෙයක් කරන්න. නමුත් මගේ මිතුරන් මේ ප්‍රසංගය කරන්න ඕනම කියන නිසා මම කැමති වුණා. මිට මාසයකට විතර උඩදි තමයි ඔවුන් මේ සඳහා සුදානම් වෙන්නේ.
මේ ප්‍රසංගයේ ඔබ ගීත ගායනා කරනවද?
ඔව් මම ගීත හතරක් පහක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.බයිපාස් එකක් කරලා ඉන්න නිසා වැඩි ගිත ප්‍රමාණයක් ගායනා කරන්න අපහසුයි. හැබැයි මම වෙනුවෙන් ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එදාට මේ ප්‍රසංගයේ ගිත ගායනා කරනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ තිලින ගමගේ විසින් .එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, කීර්ති පැස්කුවල්, ජානක වික්‍රමසිංහ , රොහාන්ද සිල්වා,මහින්ද පතිරගේ , මගේ පුතා දිල්මින් පෙරේරා, නදිමාල් පෙරේරා, කමල් අද්දරආරච්චි,සනුක වික්‍රමසිංහ නුවන්දිකා සේනාරත්න. කුමාරි මුණසිංහ ඇතුළු පිරිසක් එදින මේ ප්‍රසංගයට ගායනයෙන් එක් වෙනවා.
ඔබ ඔබේ කලා ජීවිතේ හුගාක් දුර ගෙවලා ඇවිත් ඉන්නේ. දැන් ආපස්සට හැරිලා බලනවිට මොනවද හිතෙන්නේ?
මට ලොකු සතුටක් තිබෙනවා. මම මගේ කලා ජිවිතේ බොහෝ කටයුතු කරපු කෙනෙක්. මම ගීත ගායනා කළා. ඒ වගේම මම චිත්‍රපටවල රඟපෑවා. ටෙලිනාට්‍ය වල රඟපෑවා. මගේ තරුණ අවදියේ මම උපරිමයෙන් ඒ කටයුතු වෙනුවෙන් කැපවුණා. දැන් මම අසනිප තත්වයෙන් ඉන්නේ ඒ නිසා පෙර පරිදිම කලා කටයුතු වල නියැලෙන්න අවස්ථාවක් නෑ. ජිවිතේ කියන්නේ එහෙම තමයි. හැමදාම අපට එකම විදියට ඉන්න අමාරුයි. ඉතින් ජිවිතේ දිහා ආපස්සට හිතත්දි සතුටු වෙන කාරණා මිසක් දුක්වෙන්න කාරණා නෑ. ඒකාලේ මට මතකයි මගේ ‘ප්‍රියංකර රාත්‍රිය’ සංගිත ප්‍රසංගය ඉතාමත්ම ජනප්‍රිය වුණා . ඒක මේ රටේ සංගිතලෝලින් ආදරයෙන් වැලඳ ගත්තා. මම දර්ශනවාර සියයකට වැඩි ගණනාවක් ඒ ප්‍රසංගය පැවැත්වුවා.
දැන් ඔබ අසනීපව එකතැන් වී සිටිනවා. ඔබට ජිවිතේ ගැන කලකිරිමක් දැනෙනවද?්
නෑ. එහෙම කලකිරිමක් දැනෙන්නේ නෑ. මම ජිවිතේ ගැන දැනගෙන හිටියා. හැමදාම එක විදියට ඉන්නබැරි බව මම දන්නවා. මිනිස්සු වයසට යනවා, ලෙඩ වෙනවා කියලා මම දන්නවා. ඒක තමයි ලෝක සත්‍යයය. දැන් මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. දිල්හානි මාව බලනවා. මගේ පුතා දිල්මිනුත් මාව බලනවා. ඒ වගේම තමයි මගේ මානසික සුවය මේ තත්වයෙන් පවත්වාගෙන යන්න මට හොද මිතුරු සබඳතා ටිකක් තිබෙනවා. ඔවුන් අදටත් මා ගැන බලනව. ඒනිසා එහෙම කලකිරිමක් මට නැ. මම ලෙඩ වෙන්න කලින් ඉදලම අතහැරිම කියන දේ ගැන දැනගෙන හිටියා. එහෙම අතහරිමින් තවමත් ජිවත් වෙනවා.
ඇත්තටම දැන් රෝද පුටවක් උඩ ඉන්න නිසා මට තනියම කිසි දෙයක් කර ගන්න බෑ. එක අතකට හුදකලා ජිවිතයක් තමයි ගෙවන්නේ. නමුත් මට ඒ ගැන කනගාටුවක් නෑ. මගේ යාළු මිතුරන්, දිල්හානි මගේ පුතා මගේ ගැන බලනවා. ඔවුන්ගේ ආදරය මැද්දේ මම ජිවත් වෙනවා. දැන් ඉස්සර වගේ එක දිගට සින්දු කියන්නත් අමාරුයි. බයි පාස් එකක් කරලා තියෙන නිසා හුස්ම ගැනීමේ අපහසුතා එනවා. නමුත් ඉදලා හිටලා ගෘහස්ත ප්‍රසංග සඳහා සම්බන්ධ වෙන අවස්ථාත් තිබෙනවා.
අපිට මතකයි එක්තරා කාලයක් තිබුණා ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉතාම ජනප්‍රිය වුණු?
ඔව් මුලින්ම ජනප්‍රිය වුණේ ‘ගමන‘ ටෙලිනාට්‍යයෙන් ඊට පස්සේ ප්‍රමාද වැඩියි, වාරංගනා ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක ඒ කාලයේ මම රඟපෑවා. මම හිතන්නේ ටෙලි නාට්‍ය ඔක්කොම අනුව දශකයේ ආපු ඒවා.
ජීවිතේ ඉතිරි කාලය කොහොම ගෙවෙයිද?
අලුතින් මට ජිවිතයක් ලබන්න හෝ අලුත් බලාපොරොත්තු ඇතිකරගන්න තත්වයක නෙමෙයි මම දැන් ඉන්නේ. ගෙවුණු කාලය ගැන කනගාටුවක් නැතුවා වගේම ඉදිරි කාලයත් මේ ගෙවුණු ආකාරය ගෙවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඔබ ඔබේ දිවිය කලාව ඇසුරු කරගෙන ගෙවපු කෙනෙක් . ඒ වගේම ඔබේ පියාත් කලාවෙන් දිවි ගෙවු කෙනෙක්. කලාව ගැන ඔබට තියෙන හැඟිම කොයි වගේද?
ඇත්තටම කලාව කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ වෘත්තියක් හැටියට මම සලකන්නේ. ඒ වගේම තමයි කලාවේ නියැළෙන වෘත්තිකයිනුත්.කලාකරුවෙක්වෙනවා කියන්නෙත් අසාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. වර්තමානයේ කලාවේ තත්වය ගැන කියන්න තරම් අත්දැකීමක් මට නෑ. මම දිර්ඝ කාලයක් තිස්සේ කලාවෙන් ඈත් වෙලා හුදකලාව ඉන්න නිසා. මම දන්න තරමට සින්දුවක් අලුතින් කරත් ඒක ප්ලේ කරගන්න තැනක් නෑ. තාක්ෂණයත් එක්ක අපේ කාලේ වගේ නොවෙයි හැම දේම වෙනස් වෙලා. මම ගායනා කරපු සින්දුත් ගණනාවක්ම තිබෙනවා. නමුත් ඒවා දැන් ඇහෙන්නෙවත් නෑ. ඉදලා හිටලා හරි ඇහෙන්නේ තාත්තගේ සින්දුවක් විතරයි. කොහොම වුණත් මට ආරංචි වෙන ආකාරයට දැන් තියෙන මේ තාක්ෂණ දියුණුවත් එක්ක ඉස්සර අපි වාදක මණ්ඩලය රැස්වෙලා ගායකයා ඇවිත් රෙකෝඩ් කරපු සින්දු දැන් තනි තනිවම ඇවිත් තමන්ට පුළු පුළුවන් වෙලාවට පටිගත කරලා යන තත්වයකට පත් වෙලාලු. මම නම් හිතන්නේ ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ දරු පරපුරේ හැකියාවන් මොට වෙනවා කියලයි.
ඔබ කලකට ඉහත චිත්‍රපටයක් නිෂ්පාදනය කළා නේද? ඒකට මොකද වුණේ?
ඔව්. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජයන්තදාස් පෙරේරා. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ කේ. ඒ.ඩබ්ලිව් පෙරේරාගේ පුතා විසින්. තාමත් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමට බැරි වුණා. මේ දිනවල ජයන්තදාස් පෙරේරා චිත්‍රපටය තිරගත කර ගැනීමේ උනන්දුවකින් පසු වෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් විවිධ උත්සාහයන් දරමින් ඉන්නවා. මට හිතෙනවා ලබන වසරේදි තිර ගත කර ගැනිමට හැකි වේවි කියා.
ඔබේ පුතාත් දැන් සංගීත ක්ෂේත්රයට පිවිසිලා නේද?
ඔව් එයා දැන් ගීත ගායනය කරනවා. අපේ සංගීත ප්‍රසංගයේත් ගිත කිහිපයක් ගායනා කනවා. පසුගිය කාලයේ එයා ඇමරිකාවේ හිටියේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගිහින්.නමුත් කොරෝනා කාලයේ එයා ආපහු ලංකාවට ආවට පස්සේ ආයෙත් ගියේ නෑ. දැන් දිගටම සංගීත කටයුතු වලට යොමු වෙලා ඉන්නවා.
සේයාරූ -නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න
