චිත්‍රපටයක් නිර්මාණය කරනු ලබන්නේ අධ්‍යක්ෂකවරයාය. එහෙත් එය ඔහුට තනිව කළ හැකි දෙයක් නොවේ. චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විශාල බර පැනක් අවශ්‍ය බව කවුරුත් දන්නා කරුණකි. චිත්‍රපටයක් තැනීමට තීරණය කළත් එයට මුදල් ආයෝජනය කිරීමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි. ‘ අර්ථපති ‘ නැමති භූමිකාව වැදගත් වන්නේ ඒ නිසාය. අර්ථපති යන්නෙන් හඳුන්වන්නේද නිෂ්පාදකවරයාය.ඔවුන් සිනමාවට අත්‍යාවශ්‍යමය. නිෂ්පාදකවරයෙකු වීමට උත්සාහ කරන්නේ සිනමාවට විශේෂයෙන්ම ඇල්මක් දක්වන, ආදරයක් දක්වන පිරිසකි. එහෙත් ඇතැම් අය ලාභය පමණක් මුල්කර ගනිමින් නිෂ්පාදන කාර්‍යයේ යෙදෙති. සිනමාවට හදවතින්ම ආදරය කරන නිෂ්පාදකවරයා කුමන බාධක ඉදිරියේ වුවද සිනමාවේ රැඳී සිටියි. ඇතැම් නිෂ්පාදකවරු තම ප්‍රථම නිෂ්පාදනයෙන්ම සිනමාවෙන් ඉවත් වෙති. එසේ වන්නේ මක්නිසාද ? වර්තමානයේ නිෂ්පාදකවරුන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලු බොහෝය. එහෙත් බොහෝ විට එම ගැටළු විසඳා ගත යුත්තේද නිෂ්පාදකවරයාමය.
ඒ ගැන කතා කළ නිෂ්පාදකවරයෙකු පසුගියදා සරසවියට අදහස් දැක්වීමට ඉදිරිපත් වුයේය. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම සෘජුය. ඔහු පැවසූ දේ සත්‍යය. ඔහු නිෂ්පාදකවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ කීත් රංග ය. සිංහල සිනමාවට දැඩි ලෙස ආදරය කරන සිනමා ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයකි. ලක්මවගෙන් දුරස් වී දුරු රටක පදිංචිව සිටියත් කීත් රංග, ලද විරාමයකදී තම මව් රටට පියාඹා එන්නේ සිනමාවට පෙම්බඳීන නිසාවෙනි. සමස්ත ලාංකික නිෂ්පාදකවරුන් වෙනුවෙන් ඔහුගේ හඬ මෙසේ අවදි කළේය.
මම පසුගියදා ලංකාවට පැමිණියේ රජිව් සිවදාසන් විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය වන ඇයයි මමයි සම්බන්ධ වෙන්න. මමත් එහි චරිතයක් රඟපානවා. මම දවස් දහයක් පමණ දඹුල්ලේ ගත කළා. රූගත කිරීම් වෙනුවෙන්. මා සමඟ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා, රංගන ශිල්පිනී දමිතා අබේරත්න රූගත කිරීම් වලට සහභාගී වුණා.
ලබන වසරේ මගේ නිෂ්පාදනයක් වූ ” ආදරේ ඇත්තමයි” චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම එහි ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට එනවා. තරුණ යුවළක් වටා ඇතිවන සුන්දර කතාවක් රැගත් චිත්‍රපටයක් තමයි ” ආදරේ ඇත්තමයි” චිත්‍රපටය. එහි නිරංජනී ශම්මුගරාජා, පුබුදු චතුරංග, පබෝධා සංදීපනී මෙහි චරිත නිරූපණය කරනවා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය වැලඳ ගනිවී කියා මම හිතනවා.
තරුණ කාලේ අපට විවිධ වූ හීන තිබුණා. සමහර හීන හිතට තදින් කා වැදුණා. ඒ හීන සැබෑවක් කර ගන්න මම උත්සාහ දරපු කෙනෙක්. මම මගේ හීන වලට පණදුන් කෙනෙක්. මම සතුටු වෙනවා අද මම ඉන්න තැන ගැන.
ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ ධනවත්ම සහ දියුණු රටක ඉන්න මම වැඩිපුර ආදරය කරන්නේ ශ්‍රී ලංකාවට. මේ මගේ රට. මම පදිංචි වෙලා ඉන්නේ සිනමාවට ආදරය කරන්නන්ගේ සිහින ලෝකය වන හොලිවුඩ් පුරවරයට සැතැක්ම හයකට පමණ දුරින්. එහි සිනමාව අතිශයින් දියුණු වුවත් මම ආදරය කරන්නේ සිංහල සිනමාවට. මගේ හීනය වුණේ සිනමා නළුවෙක් වෙන්න. ඒ සිහිනය සැබෑ කරගන්න මට සහය දුන්නේ වී. සිවදාසන් මහත්මයා. මේ වන විට මම චිත්‍රපට කිහිපයක රඟපාලා තියෙනවා. මම මුලින්ම සදහන් ආදරය ඇත්තමයි චිත්‍රපටය ගැන. මම එහි ප්‍රධාන චරිතයක් රඟපානවා. මගේ රඟපෑම පැත්තෙන් තවත් පියවරක් ඉදිරියට තැබුවා කියන දේ මට දැනෙනවා. සමහර චිත්‍රපටවල මම රඟපෑවා පමණයි. ” ආදරේ ඇත්තමයි ” මට අභියෝගයක් එක්කළ චිත්‍රපටයක්. මට එහි රඟපාන්න ලැබුණේ සම්මානනීය රංගන ශිල්පීන් සමඟ. ඔවුන් සමඟ කරට කර රඟපාන්න ලැබීම සතුටට කරුණක්.
රංගනය වගේම සිංහල සිනමාවට මම ප්‍රධාන දායකත්වයක් සපයන්නේ නිෂ්පාදන අංශයෙන්. මේ පිළිබඳ කතා කරන්න බොහෝ දේ තිබෙනවා. නිෂ්පාදකවරයෙකු චිත්‍රපටයකට මුදල් යෙදෙව්වේ නැත්නම් චිත්‍රපටයක් හදන්න බැහැ.එහෙත් කියන්න කනගාටුයි බැරෑරුම් වගකීමක් ගන්නා නිෂ්පාදකවරයා රැකගන්න නිසි ක්‍රමවේදයක් ලංකාවේ තවම ඇති වෙලා නැහැ. නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට ගෙවීම් කරන්නේ නිෂ්පාකජවරයා. ඊටත් අමතරව බොහෝ කටයුතු නිෂ්පාදකවරයා අතින් සිදු වෙනවා. ඇතැම් නිෂ්පාදකවරු හරිම අසරණවෙන අවස්ථා තිබෙනවා. චිත්‍රපටයක් නිපදවූ පසු එය තිරගත කර ගැනීමේදී ගැටලු මතුවෙනවා. මම මේ කතා කරන්නේ සියලුම නිෂ්පාදකවරුන් වෙනුවෙන්. චිත්‍රපටය සම්බන්ධව යම් ගැටලුවක් මතුවුවහොත් ඒවා විසඳා ගැනීමට සඳහා පැමිණිලි කරන්න තැනක් නැහැ. පසුගිය කාලයේ මගේ ‘ දෙවෙනි යුද්ධය ‘ කියන චිත්‍රපටය රිලීස් වුණා. එහි කොටස් අරගෙන ඇතැම් පිරිස් ටික් ටොක් සහ විවිධ වෙබ් අඩවි ඔස්සේ මුදාහැරලා තිබුණා. එවැනි වංචනික ක්‍රියා පිළිබඳ අපි පැමිණිලි කරන්නෙ කාටද? ඒ අවස්ථාවලදී නිෂ්පාදකවරුන් අසරණයි.
එවැනි අසාධාරණකම් වලදී ඒ ගැන පැමිණිලි කරන්න, නීති උපදෙස් ගන්න අපට තැනක් නැහැ. මම මේ කාරණා පිළිබඳ කතා කරන්නේ කිසිවෙකුට චෝදනා කිරීමට නොවෙයි. අපිට තිබෙනවා ජාතික චිත්‍රපටි සංස්ථාවක්. එහෙත් එයින් මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙළක් සකස් වෙලා නැහැ. එවැනි ප්‍රශ්න සඳහා විසඳුම් සොයා ගත යුත්තේ අපිමයි. රාජ්‍ය සංස්ථාවක් කියන්නේ ලෝකයම පිළිගන්නා ආයතනයක්. සංස්ථාවට පුළුවන් තොරතුරු තාක්ෂණය ගැන දැනුමක් තිබෙන කිහිපදෙනෙක් සේවයට බඳවා ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ චිත්‍රපටවලට වංචනික ක්‍රියාවලට එරෙහිව වැඩ පිළිවෙළක් සකස් කරන්න. නිෂ්පාදකවරුන් විදිහට අපි චිත්‍රපට සංස්ථාවේ ලියා පදිංචි වෙනවා. ඔවුන් අපිට සෙන්සර් සෙටිෆිකේට් එකක් දෙනවා. ඇතැම් අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් අපි චිත්‍රපට සංස්ථාවට ලිපි ලේඛන ඉදිරිපත් කරනවා. එහෙත් ඒවාට පිළිතුරු ලිපියක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්වයක් යටතේ අපි කෙසේද අපේ කටයුතු කරගෙන යන්නේ. සිනමාව කර්මාන්තයක් හැටියට අපි කොතනද ඉන්නේ. අපේ රට ලස්සන රටක්. එහෙත් රටේ නිසි ක්‍රමවේදයක් නැහැ . අපේ රටේ සෑම දේකටම තියෙන්නේ කෙටිකාලීන විසඳුම්. සිනමාවටත් එසේමයි. චිත්‍රපට සංස්ථාවේ වුවත් කටයුතු සංශෝධනය විය යුතුයි. කාලයක් තිස්සේ එකම පිරිසක් එකම රාජකාරියක යෙදී සිටියත් එහි දියුණුවක් දකින්නට තිබුණේ නැහැ.
වත්මන් සභාපතිතුමා, සුදත් මහදිවුල්වැව මහතාට සිනමාව ගැන ආදරයක්, ඇල්මක් උනන්දුවක් ඇති කෙනෙක්. ඒ ඔහු සිනමාවට සෘජුවම සම්බන්ධ අයෙකු නිසා. ඔහු සංස්ථාවේ යම් වෙනසක් කරන්න උත්සාහ ගන්න කෙනෙක්. තරංගනී ශාලාව නවීකරණය වෙමින් තිබෙනවා.සිනමාකරණය පිළිබඳ පාඨමාලා ක්‍රියාත්මක කරනවා. සංස්ථාවක් විදිහට එවැනි දේ සිදුවිය යුතුයි. සිනමාවට දක්ෂතාවය දක්වන තරුණ පිරිසක් අපේ රටේ ඉන්නවා. සිනමාවේ නියැළෙන්න ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අය වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා අවශ්‍ය සහන ලබා දෙනවා නම් එය ඉතා වටින කටයුත්තක්. මා මීට ඉහතදීත් සඳහන් කළා මෙය කාටවත් දොස් පැවරීමක් නොවන බව. මම මගේ අදහස් ඉදිරිපත් කළා පමණයි. ඒ මා ගැන පමණක් සිතා නොවෙයි. මම අදහස් ප්‍රකාශ කළේ සමස්ත නිෂ්පාදකවරුන් වෙනුවෙන්.
මා නැවතත් කියා සිටිනවා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි රටේ සෑම කටයුත්තකටම. නිසි ක්‍රමවේදයක් නැතිකම කලා ක්ෂේත්‍රයට, සිනමාවට සෘජුවම බලපානවා. ඇතැම් නිෂ්පාදකවරුන් සිනමාවට මුදල් යොදවන්නේ තම ගෙවල් දොරවල් යාන වාහන පවා උගස් තියලා. චිත්‍රපටයක් තිරගත කිරිමේදී සෑම දෙනාටම එකසේ සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඇතැම් නිෂ්පාදකවරුන්ට චිත්‍රපටයක් නිපදවලා වසර ගණනාවක් බලා සිටීමට සිදුවෙනවා. එහෙත් සමහර නිෂ්පාදකවරුන්ට එසේ බලා සිටීමට සිදුවන්නේ නැහැ. චිත්‍රපටය නිපදවලා කෙටි කාලයකින් චිත්‍රපටය මුදාහරින්න අවස්ථාව ලැබෙනවා. ඔවුන් චිත්‍රපටය රූගත කරලා කෙටි කාලයකින් තිරගත කරගන්නවා. එය ඉතා අසාධාරණයි කියලයි මට හිතෙන්නේ. සෑම දෙනාටම ක්‍රියාපටිපාටිය එක හා සමාන විය යුතුයි. සිනමාවේ දියුණුවට උර දෙන්නේ නිෂ්පාදකවරුන් නිසා ඔවුන්ව රත්තරං වාගේ රැකගත යුතුයි. මා ඉහත සඳහන් කළ එවැනි ගැටලු අසාධාරණකම් නිසා සිනමා ක්ෂේත්‍රයට අලුතින් එන්න සිතාගෙන සිටින නිෂ්පාදකවරුන් මුදල් ආයෝජනය කරන්න මැළි වෙනවා. එය සිනමාවට විශාල පාඩුවක්. ඒ නිසා රජය මැදිහත් වී හෝ මෙම ගැටලු වලට පිළියම් යෙදිය යුතුයි.
කතාකළ යුතු විශේෂ කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවට විදේශීය චිත්‍රපට ගෙන්වීම පිළිබඳ. එම චිත්‍රපට ගෙන්වලා අපේ සිනමාශාලා වල ප්‍රදර්ශනය කරනවා. ඒවායේ කටයුතු සිදුවන්නේ ගිවිසුම් ගතවෙලා. ඇයි ඒ අයට බැරි අපේ රටේ නිපදවන විශිෂ්ට චිත්‍රපටයත් එසේ අනෙක් රටවල ප්‍රදර්ශනය කරන්න ඉල්ලීමක් කරන්න. මේ වෙනුවෙන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව හඬක් නැගිය යුතුයි. අපේ සිංහල සිනමාවත් ලෝකයට ගෙන යා යුතුයි.
2025 වසර කියන්නේ සිංහල සිනමාව නැවත පිබිඳුණු වසරක්. හිතා ගන්න බැරි විදිහට චිත්‍රපට රැල්ලක් ආවා. විවිධ මාතෘකා යටතේ නිර්මාණය වූ වාණිජ සහ කලාත්මක ගණයේ චිත්‍රපට. ඒ නිසා සිනමාශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. එය සතුටට කරුණක්. එහෙත් ඒ තිරගත වන චිත්‍රපට්ස් අතරින් දෙක තුනක් ආදායම් අතින් සාර්ථක තැබුවා කියා ඵලක් නැහැ. සෑම නිර්මාණයක්ම ගුණාත්මක බවින් යුක්ත වුවහොත් නිෂ්පාදකවරයාටද එයින් සාධාරණයක් ඉෂ්ට වෙනවා. අපේ කාලෙ අපි දැක්කේ මල් ගස් වටේ සිංදු කියමින් දුවන, සටන් ජවනිකා පිරි චිත්‍රපට. එහෙත් වර්තමානය වෙනස්. රාණි, නෙළුම් කුලුන , වාලම්පූරි, ක්ලැරන්ස් වැනි විවිධ වර්ගයේ සාර්ථක චිත්‍රපට තිරගත කෙරුණා. මට නම් දැනුණේ අපේ සිනමාවත් හොලිවුඩ් වගේ කියලා. ඒ නිසා මේ ලබපු දියුණුව හැමදාමත් එකලෙස පවත්වා ගන්න අපි හැමෝම උත්සාහ ගත යුතුයි.
මේ පිබිඳීම නිසාම ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. ඒ ගැන නම් මට තිබෙන්නේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක්. මම ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්. ඉඩ ලද සෑම අවස්ථාවකම ලංකාවට එන්නේ මගේ රටටත් සිනමාවටත් තිබෙන ආදරය නිසායි.
සිනමාව කියූ විට නළු නිළියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. ඒ වගේම තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. එය දිව්‍යලෝකයෙන් අපට ලැබුණ වරමක් කියලයි මට සිතෙන්නේ. කී දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න බැරිව පසුතැවෙනවද? ඒ නිසා කලාකරුවන් වන අපි , ලස්සනට අපේ ජීවිත පවත්වා ගෙන යන්න නිතරම උත්සාහ කරන්න ඕනෑ. සාමාන්‍ය ජනතාව කලාකරුවන්ට හරි ආදරෙයි. එයාල කැමති කලාකරුවන් ගේ ලස්සන දකින්න. ඒ නිසා අපේ වටිනාකම තබාගෙන කලා ක්ෂේත්‍රයේ රැඳී සිටිය යුතුයි. අපි ලබපු මේ විශේෂ ජීවිතය මියයන තුරු ලස්සනට තබා ගතයුතුයි. එවිට තමයි ප්‍රේක්ෂකයා කලාකරුවාට ආදරය කරන්නේ. ඒ නිසා නළු නිළියන්ද ඔවුන්ගේ ආදරය ලබන විදිහට ක්‍රියා කරන්න අවශ්‍යයි. ඇතැම් නළු නිළියන් හැසිරෙන්නේ අමුතුම ආකාරයකට. ඒ අය ඡායාරූපයකටවත් පෙනීසිටින්න එන්න කැමති නැහැ. කලා කරුවන් වූ පමණින් අහංකාර විය යුතු නැහැ.
ඇයයි මමයි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දඹුල්ලේ ගිය දිනවල පුදුම හිතෙන සිදුවීම් කිහිපයක් දැක්කා. දමිතා අබේරත්න රංගන ශිල්පිනියට සාමාන්‍ය මිනිසුන්ගෙන් ලැබුණ ආදරය මම මගේ ඇස් වලින්ම දුටුවා. රෝහලක අපිට රූගත කිරීම් තිබුණා. එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පවා ආවා ඇයත් සමඟ ඡායාරූප ගන්න. සමහර රෝගීන් ආවේ සේලයින් බෝතලය අතේ තියාගෙන. ඒ තමයි ජනතාව කලාකරුවන්ට ලබා දෙන ආදරය. එක්තරා අවස්ථාවක මාව වැටිලා තුවාල වුණා. මාව රෝහලට රැගෙන ගිහින් ඉක්මනින් ප්‍රතිකාර ලබාදුන්නා. ඇත්තටම පුදුමයි ඒ ලැබුණ ආදරයට.
මා ජීවත් වන ඇමරිකා එක්සත් ජනපදයේ කලාකරුවන්ට ලැබෙන්නේ ඉතා හොඳ පිළිගැනීමක් සහ ගෞරවයක්. ඒ රටේ වාසය කරද්දී කලාවට සම්බන්ධයි කියා දැනගත්ත විට ඉහළ සැලකිල්ලක් ලැබෙනවා. මට එක්තරා අවස්ථාවක ධ්ජධද චඹචපඤ එකක් ලැබුණා. ඇමරිකාවෙන්. එහෙත් ඒ වටිනා අවස්ථාවට මට සහභාගී වෙන්න බැරිවුණා. අසනීප තත්වයෙන් පසුවූ නිසා. ඒ සංවිධායකවරුන් මම කරපු කලා කටයුතු සොයාගෙන් විශේෂ වාර්තා වැඩසටහනක් කරල තිබුණා. පැය භාගයක් පමණ. මට එය දැකල පුදුම හිතුණා. ප්‍රාන්ත පනහක පිරිස එයට සහභාගී වී තිබුණා. එ සම්මානය සඳහා මගේ නම ප්‍රකාශයට පත්කරන විට සභාවේ සියලුම දෙනාම අසුන්වලින් නැඟී සිටියා. ඒ ආකාරයට තමයි රටවල ජනතාව සිනමාවට සැලකන්නේ. අපේ රටේ සිටින ඇතැම් කලාකරුවන් තමන්ගේ ගරුත්වයවත් දන්නේ නැහැ. ඔවුන් විහින් නාස්ති වෙනවා. අපිට දෙවියන් දීපු මේ ලස්සන අවස්ථාව අපි රැකගන්න උත්සාහ කළ යුතුයි. කලාකාමී දක්ෂයින් ඉක්මනින් සමුගන්න තවත් හේතුවක් වන්නෙ අයහපත් හැසිරීම් රටාව.
සිංහල සිනමාවට ආදරය කරන්නෙකු ලෙස මම කැමතියි අපේ සිනමාව පියවරෙන් පියවර ඉහළට ගමන් කරනවා දකින්න. එහෙත් ඒ සඳහා අපේ රටේ පවතින පහසුකම් මදි. සිනමා නිෂ්පාදනාගාර බිහිවෙන්න අවශ්‍යයි. කොළඹ, ගාල්ල, නුවර, අනුරාධපුර වැනි ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදනාගාර බිහි වුණොත් සංස්කරණ, වර්ණ සංයෝජන, හඬ කැවීම්, ශබ්ද පරිපාලනය වැනි කටයුතු එකම වහලක් යටින් ඉටුකරගන්න පුළුවන් . එවිට අපිට පුළුවන් විදේශීය සිනමාකරුවන් අපේ රටට ගෙන්වා ගන්න. ලංකාව කියන්නේ ලස්සන රටක්. අපේ රටේ සුන්දරත්වය විදේශීය සිනමාකරුවන්ගේ ඇසට ලක්විය යුතුයි. කොළඹ තියෙන පරිසරය නෙවෙයි යාපනයට ගියවිට තියෙන්නේ. යාපනයට ගියවිට අපට දැනෙන්නේ වෙන රටකට ගියා වගෙයි. අපේ රටේ සෑම පළාතක්ම සිනමාවට ගැළපෙනවා. මේ සුන්දරත්වයෙන් අපිත් ප්‍රයෝජන ගතයුතුයි.
අපේ රටේ කෙතරම් චිත්‍රපට නිර්මාණය වුවත් චිත්‍රපටය තිරගත කිරීමේදී එහි ප්‍රවර්ධන කටයුතු යාවත්කාලීන වෙලා නැහැ. අලුතින් චිත්‍රපයක් රිලීස් වන විට අපි හැමදාම ඒක නරඹන්න ආරාධනා කරන්නේ මාධ්‍යයට සහ කලා ශිල්පීන්ට. විදෙස් රටවල එසේ නොවෙයි. චිත්‍රපටය නරඹන්න ඔවුන් අහඹු ලෙස තෝරාගත් සාමාන්‍ය ජනයාට ආරාධනා කරනවා.ඔවුන් චිත්‍රපටය නරඹා දෙන ප්‍රතිචාර සිනමා කරුවන් සෘජුවම ලබා ගන්නවා. මම හිතන්නෙ එය චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක බව මැන බැලීමට ඇති හොඳම ක්‍රමයක්. ලංකාවේ චිත්‍රපටයක් තිරගතවීමට පෙර තිබෙන මාධ්‍ය දර්ශනයටත්, ඉන්පසුව මංගල දර්ශනයටත් එන්නෙ මාධ්‍ය ආයතන වලින් සහ කලාවරුවන්. ඔවුන් දෙන ප්‍රතිචාරත් වැදගත්. එහෙත් සාමාන්‍ය ජනයාට තමයි හරිම ප්‍රතිචාර ලබා දෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී මා දැක තිබෙනවා මාධ්‍ය සම්බන්ධීකාරකවරුන් විසින් ලබා දෙන චිත්‍රපටයේ තොරතුරු ඇතුළත් මාධ්‍ය කට්ටලය තැනින් තැන විසිකර තිබෙනවා. එය හරිම කනගාටුදායක තත්වයක්. ඇතැම් මාධ්‍ය චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට ආවත් පුවත්පත්වල ඒ ගැන අකුරක්වත් ලියවෙන්නේ නැහැ.
සරසවිය පුවත්පතට මම මගේ ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. සරසවිය මීට පෙරත් මගෙ චිත්‍රපට සඳහා , මම රඟපෑ චිත්‍රපට වලට අගනා සහයෝගයක් ලබා දුන්නා. සරසවිය අපට තිබෙන වටිනාම සිනමා පුවත්පත. ඒ වගේම තමයි සරසවිය සම්මාන උළෙල . එය මට නම් දැනෙන්නෙ ඔස්කා සම්මාන උළෙල වගෙයි.
මා නිෂ්පාදකවරයෙකු, රංගන ශිල්පියෙකු ලෙස බොහෝ කරුණු ගැන කතාකළ මේ අවස්ථාවේ අවසාන වශයෙන් තවත් එක් කාරණයක් ගැන කතාකළ යුතුයි කියා මට සිතෙනවා. නිෂ්පාදකවරයෙකු ලෙස මම කිසි විටෙකත් අධ්‍යක්ෂවරයාට බලපෑම් කරන්නේ නැහැ. චිත්‍රපටය මෙහෙය වන්නේ ඔහු. නළු නිළියන් තෝරාගන්න තීරණය ගත යුත්තේ ඔහුයි. ඔහුගේ මනසේ තමයි නිර්මාණය ඇඳී තිබෙන්නේ. ඒ නිසා මම නිෂ්පාදනය කරන චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන්ට මම උපරිම නිදහස දෙනවා. බලපෑම් කරන්නට යන්නේ නැහැ මම. අපි අනවශ්‍ය බලපෑම් කරන්න ගියොත් අධ්‍යක්ෂවරයාට රිසිසේ තම නිර්මාණය කරගෙන යාමට අපහසු වෙනවා.
සිනමාවේ ප්‍රවීණයන් සමඟ මම වැඩකරන කෙනෙක්. අපි අතරින් සමුගත් රෝයිද සිල්වා, සුමනා අමරසිංහ සමඟ මම චිත්‍රපටයක් කරලා තියෙනවා. එය සම්පූර්ණයෙන් රූගත කළේ ඇමරිකාවේ. ඒ වගේම වී. සිවදාසන් මහතාව මම දන්නේ අවුරුදු 14දී පටන්. අතීත සිනමාවේ බොහෝ දෙනෙකු මා ඇසුරු කර තිබෙනවා. ඒ නිසා සිංහල සිනමාවට තිබෙන ඇල්ම , ඒ සඳහා ඇති උනන්දුව කවමදාවත් නැති වෙන්නේ නැහැ. ජීවිතය ඇති තුරාවටම මම ඉන්නේ කලාව සහ සිනමාව සමඟ.
මගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන “ආදරේ ඇත්තමයි” චිත්‍රපටය සමඟ ලබන වසරේ නැවතත් මම ප්‍රේක්ෂකයන් හමුවට එනවා.
නයනාංජලි දෙහිපිටිය