Home » නැවැත්වූ තැනින් යළි අරඹන වල්පොල පරපුරේ ගීත කෝකිලයා

නැවැත්වූ තැනින් යළි අරඹන වල්පොල පරපුරේ ගීත කෝකිලයා

අමිත් වල්පොල

by mavan
March 12, 2026 1:10 pm 0 comment

වල්පොල පරම්පරාවේ තවත් සුවිශේෂීම හඬ පෞරුෂයක් පසුගිය වසර ගණනාවක් පුරාම මෙරට සංගීත ක්ෂේත්‍රයෙන් ඈත් වී තිබුණේය. මින් දශක එකහමාරකට පමණ ප්‍රථම වල්පොල පරපුරේ කිසියම් සංගීත කටයුත්තක් වූයේද එහි ප්‍රමුඛයා වූයේ ඔහුය. මෙ රට රූපවාහිනී නාළිකාවන්හි වල්පොල පරපුර නියෝජනය කිරීමේ ප්‍රමුඛයා වූයේද ඔහුය. එහෙත් පුරා වසර 15කට ආසන්න කාල වකවානුවක් තුළ ඔහු මෙරට සංගීත ලෝලීන් අතරට නොපැමිණියේය. ඊට හේතු කාරණා රාශියක් වුවද මෙවර අපගේ ලිපියේ අරමුණ සංගීත ලෝකයෙන් තාවකාලිකව සමුගෙන සිටි වල්පොල පරපුරේ ඒ ගීත කෝකිලයා නැවත වතාවක් මෙරට ගීත ශ්‍රාවකයන්ගේ හිත සුව පිණිස යළිත් පැමිණි වග සනිටුහන් කරන්නටය.

ඔහු ප්‍රවීණ ගායන ශිල්පී අමිත් වල්පොල ය. පුරා දශක එක හමාරකට වැඩි කාලයක් විදේශගත වී සිටි ඔහු පසුගියදා යළි මව්බිමට පැමිණියේ සිය මවුතුමිය වූ හෙළ ගී රැජන ලතාවල් පොල අසනීප තත්ත්වයෙන් පසුවූ අවදියේදීය. එතුමිය මෙලොව හැර ගිය ඒ ඛේදනීය මොහොත අසීරුවෙන් දරා ගත් අමිත් පසුගිය දිනක අප හමුවූයේ නැවත වතාවක් සිය සංගීත ජීවිතය නවතා තබා තිබූ තැනින් යළි ආරම්භ කරමින් නවමු ගීත අත්දැකීම් රැසක් ද ප්‍රේක්ෂකයන්ට ලබා දෙමින් යළිත් මෙරට සංගීත ලෝකයේ සක්‍රීය සාමාජිකයෙක් බවට පත්වීමේ බලාපොරොත්තුවෙනි.

අමිත් කුඩා කාලයේ සිටම ඉතාමත්ම පිළිවෙළකට පිරිසිදුවට තම ජීවන රටාව සකසා ගත් කෙනෙකි. ඔහු ඔහුගේ බාහිර පෙනුම කෙරෙහිද ඒ කාලයේ සිටම නිරන්තර අවධානයකින් කටයුතු කළ අයෙකි වසර 15ක් වැනි දීර්ඝ කාලයකින් අප හමුවුවද පරණ පුරුදු අමිත්ගේ ජීවන ස්වරූපය බිඳකුදු වෙනස් වී නොමැති වීම සතුටට කරුණකි. එදා දුටු අමිත් ඒ ආකාරයෙන්ම අද මා ඉදිරියේ සිටී. වයසට නොයෑමේ රහස කුමක්දැයි අසන තරමට ඔහු සිය තාරුණ්‍යය මනා සේ රැකගෙන තිබුණි. මේ ආකාරයෙන්ම ඔහුගේ හඬ පෞරුෂය රැකගන්නට ද ඔහු අද මේ දක්වා කටයුතු කරන බවද දැන ගන්නට ලැබිණ.

මම ලංකාවෙන් එළියට ගියේ ඇත්තටම 2016 දී විතර. ඉන්පසු වතාවක් දෙකක් ලංකාවට ඇවිත් ගියා. නමුත් ඉන්පස්සේ දීර්ඝ කාලීනව මම ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා කලා කටයුතු කිසිවක් සඳහා සහභාගී වෙන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. දීර්ඝ කාලීනව විදේශගත වෙලා ඉඳලා මම ලංකාවට ආවේ මුලින්ම විවේකයක් ගන්න. අපි කොයි තරම් කාලයක් විදේශ ගතවෙලා හිටියත් අපේ මුල් පැලවෙලා තියෙන්නේ ලංකාවේ මේ භූමියේ. ඉතින් මමත් කාලයකට පස්සේ මගේ මුල් තියෙන මේ භූමියට ආවා. දැන් ඇවිත් අලුත් හුස්මක් ගත්තා විතරයි.

ඇත්තටම ලංකාවට ආපු අලුතම අම්මගේ අසනීප තත්ත්ව එක කාලය ගත කරන්න වුණා. ඒ වගේම මගේ දියණිය ගඟුලිගේ විවාහ මංගල කටයුතු වෙනුවෙන් වෙහෙස වෙන්න වුණා. ඊට පස්සේ මගේ ජීවිතයේ තවත් අනුවේදීනීයම අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. මගේ මවගේ අභාවය. අම්මා පරම ආයුෂ විඳලා ජීවිතක්ෂයට පත්වුණ බව හැබෑව. නමුත් අම්මත් එක්ක තිබෙන මතක ගොඩ මධ්‍යයේ එකපාරට ආපහු හැරිලා හිත හදාගන්න උත්සාහ ගන්නවා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් හැම දෙනාම අතරින් ඒ කාලේ ඉඳලම අම්මා මට විශේෂත්වයක් දැක්වූවා. අමිතා කියලා තමයි අම්මා මට හැමවෙලේම කතා කළේ. ඒ කාලේ අම්මගේ හෝ අපේ පවුලේ හෝ ප්‍රසංගයක් තිබුණොත් සියලු සංවිධාන කටයුතු කළේ මම. ඉතින් ඒ සියල්ලෙන් ඈත් වෙලා අවුරුදු ගණනාවක් මම දුරු රටකට වෙලා ඉඳලා දැන් ලංකාවට ආවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මගේ පරණ පුරුදු සංගීත ජීවිතය පටන් ගන්න.

කලාවම ජීවිතය කරගත් මිනිසෙකු වූ අමිත්ට ඉන් පරිබාහිරව ජීවත්වීම සැබැවින්ම අසීරු කාර්යයක් වන්නට ඇති. එහෙත් ජීවිතේ යම් යම් ඉලක්ක බලාපොරොත්තු සමඟ තමන් කැමති බොහෝ දේ අතහරින්ට සිදුවීම බොහෝවිට සිදුවන දෙයක්. අමිත්ට ද එය එසේම බල පවත්වන්නට ඇති.

“ඇත්තටම මීට අවුරුදු ගණනාවකට කලින් මට විදේශගතවීමට සිදුවෙන්නේ විශේෂ කාරණා හේතුකොට ගෙන. අපි කලාකරුවෝ හැටියට ස්ථිර ආදායමක් තිබුණු අය නොවෙයි. සංගීත සංදර්ශන තිබුණ එක ඇත්ත. නමුත් අනපේක්ෂිතව එන ස්වභාවික විපත් වෙනත් හේතු මත මේ සංගීත සංදර්ශන කැන්සල් වී යා හැකියි. මේ තත්ත්වය මත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔවුන්ගේ අනාගතය ගැනත් මට ස්ථිර බලාපොරොත්තුවක් තබාගත නොහැකි වුණා. ඒ කාලේ මගේ පුතා ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. දුව මියුසියස් විද්‍යාලයේ සිසුවියක්. මේ බර පැන මම දරන්න ඕන. ඒ වෙනුවෙන් ස්ථිර රැකියාවක් කරන්න ඕන කියන හැඟීම ආවා. ඒ අනුව තමයි මම කැනඩාවට යන්නේ. එහිදී වෙනත් රැකියාවක නියුතු වුණත් සුළු පරිමාණයෙන් මම ගීත ගායනා කිරීම සංගීතය උගන්වන එක කළා. අනෙක් පැත්තෙන් නිරන්තර අභ්‍යාසයේ නියුතු වෙන එක මම අත්හැරියේ නෑ.

අමිත් ඇතුළු ඇගේ පවුලේ සියලු දෙනාටම ගීත ගැයීමේ හැකියාව ලැබී ඇත්තේ සහජයෙනි. එසේත් නොමැති නම් එය ජානගත හැකියාවකි. ධර්මදාස වල්පොල නම් වූ මෙරට පහළ වූ අසාමාන්‍ය හැකියාවකින් හෙබි ඒ අමරණීය ගායකයාගේ වියෝවෙන් පසු ඔහුගේ හඬ පෞරුෂය යථා පරිදි මෙරට ජීවමාන කළෝ අමිත් වල්පොලය. එය අප නොයෙක් වර මෙරට ප්‍රසංග වේදිකාව තුළ මෙන්ම මේ රට බොහෝ රූපවාහිනී නාළිකා හරහාද දැක ඇත්තෙමු. එහෙත් ජානගත හැකියාව ගැන පමණක්ම විශ්වාසය තබා කටයුතු නොකරන්නට අමිත් කටයුතු කළේය. ඔහු නිරන්තරයෙන් එය හැදෑරීමට අවශ්‍ය පසුබිම සොයමින් මෙරට විශිෂ්ට ගණයේ සංගීත ශිල්පීන් හමුවට ගියේය.

මාව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ලතාගේ පුතා කියලා. ඇත්ත මම ලතාගේ පුතා තමයි ඒ බොහෝ අයට මම කියනවා ඇයි මම ධර්මදාස වල්පොලගේ පුතා නෙමෙයිද කියලා. එක්තරා යුගයක මේ රටේ ජනප්‍රියතම ගායකයා වුණේ මගේ පියා ධර්මදාස වල්පොල. අද ඉන්න බොහෝ දෙනා ඔහු හඳුනන්නෙත් නෑ. මේ ළඟදි දවසක ඔයා ලතාගේ පුතා නේද කියලා අහනකොට ඔව් මම ලතාගේ පුතා තමයි ඒ වගේම ධර්මදාස වල්පොලගෙත් පුතා කිව්වම එතන හිටිය කෙනෙක් අහනවා ඒ කවුද අයියේ කියලා. ඉතින් එතනින් එහාට මම මොනවා කතා කරන්නද ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ඕක තමයි ලංකාවේ හැටි කියලා.

කොහොම වුණත් මම ලංකාවෙන් යනකොට මේ රටේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙලා හිටියේ. නමුත් ඒ හැම දේකටම වඩා මට මගේ දරුවන්ගේ අනාගතය වටිනවා කියලා හිතුණා. මගේ දුවගේ උපන් වෙලාව හා කොටහළු නැකත බලපු ජ්‍යොතිෂ මහත්මයෙක් මට කිව්වා මේ දරුවාට ඇඳීවත උගස්කරලා හරි හොඳට උගන්වන්න කියලා. ඒක මගේ හිතට තදින් වැදුණා.

දරුවන් හැරුණු කොට පියෙකුට තවත් ඇති වටිනා වස්තු කොයින්ද? ජීවිතය වර්ණවත් කරමින් තමන් ළඟට ආ දරු දෙදෙනාගේ අනාගතය ඉසුරුමත් කරන්නට ගිය ගමන පිළිබඳ අමිත්ගේ හිතේ අදටත් පසුතැවිල්ලක් නොමැත. පියෙකු වශයෙන් ඔහු අද වන විට ඔහුගේ යුතුකම් කොටස ඉටුකර හමාරය. දරුවන් දෙදෙනාම හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවල නියුතු වන්නේය. අමිත්ගේ වර්තමාන පෙනුමේ හැටියට ඔහුට අවුරුදු හතළිස් එකක පුතෙකු සිටිනවාය යන්න අදහා ගන්නටත් බැරිය. අමිත්ගේ එකම දියණිය ගඟුලි වල්පොල පවුලට උපන් එකම මිනිබිරිය ය. ලතා ධර්මදාස යුවළගේ ලේ උරුමය ලද එකම මිනිබිරිය ගඟුලිය.

ඇත්තටම ගගුලිටත් ඉතාම හොඳ හඬක් පිහිටලා තිබෙනවා. නමුත් ගඟුලි කවදාවත් අපේ අම්මගේ සින්දු කියන්න බලාපොරොත්තුවක් නෑ. ඇය දැනටත් ඇගේ මාවතේ සංගීතය පැත්තෙන් ගමන් කරමින් සිටිනවා. ඇය ඪදඵබචඨපචථ හරහා බඪඬබධඬ හරහා මේ වනවිටත් ඉතාම ජනප්‍රිය ගායිකාවක්. හැබැයි ඇය ගායනා කරන්නේ ඉංග්‍රීසි සින්දු. ගඟුලි හොඳට ඉගෙන ගත්තා. එයා පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගියේ. මගේ පුතාත් අබුඩාබි වල බටහිර සංගීතය උගන්වන කථිකාචාර්ය කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් දැන් මගේ දරුවන් දෙදෙනාගේම ප්‍රශ්න විසඳීලා.

ඒ නිසා මට හිතෙනවා ඉදිරියේදී මගේ සංගීත කටයුතු දිගටම කරගෙන යන්න හැකිවේවි කියල. දැන් මම කැනඩාවේ පුරවැසියෙක් නිසා මට අවශ්‍ය වෙලාවට යන්න එන්න පුළුවන්. ඒ නිසා නැවත දීර්ඝකාලීනව විදේශගත වෙන්න අදහසක් නෑ.

අමිත් මුලින්ම ගායනය හදාරනුයේ සිය පියා වූ ධර්මදාස වල්පොල සෙවණිනි. එහෙත් මෙකී විෂයේ බැරෑරුම්කම සහ පරතරයක් නොපෙනෙන සාගරයවන් විෂය කන්දක් හැදෑරීමේ වුවමනාව ඔහුට කුඩා කල පටන්ම ඇති විය. මේ නිසාම ඔහු ඒ වෙනුවෙන් ගුරුවරුන් සොයා යන්නට විණ.

මම තාත්තාගෙන් නවතින්නේ නැතුව ගායනය කියන විෂය හදාරන්න පී වී නන්දසිරි ළඟට ගියා. ඊළඟට මම සමිතා මුදුන්කොටුවගේ පියා වූ ප්‍රේමදාස මුදුන්කොටුව ළඟටත් ගියා. ආර් ඒ චන්ද්‍රසේනයන් ළඟින් ගිටාර් ඉගෙන ගත්තා. මගේ අයියා සුනෙත් ඉගෙන ගත්තේ තාල තරංග (තබ්ලා) දරුණු විදිහට කවුරුත් වෝකල් කරේ නෑ. නංගිට සහජයෙන් ගායනය කරන කෙනෙක්. මල්ලි වෙස්ටර්න් පැත්තට ගිහින් ඵබභඤර කරන කෙනෙක්.

ගායනය කියන එක හරිහැටි ස්ටඩි කලේ මම. ඒක මම ආනන්ද විද්‍යාලයේ ඉන්න කාළෙත් කළා.

කොහොම හරි අලුත් නිර්මාණ ටිකක් කරන්න ඇත්තටම දැන් බලාපොරොත්තුවක් තියෙනවා. ප්‍රේමකීර්ති අල්විස් ඉන්න කාලේ මට ලියපු ගීත ටිකක් තියෙනවා. මම ආර් ඒ චන්ද්‍රසේනගේ අන්තිම ගෝලයා. ධර්මදාස වල්පොල වික්ටර් රත්නායකත් ඔහුගේ ගෝලයෝ. එයා ඕන කෙනෙක් දිහා බලලා හදනවා සින්දුවක්. වික්ටර් රත්නායක ආවා. ඔහු හැදුවා මෝහයෙන් මුලාවෙලා ළිඳෙන් වතුර බීලා නිහාල් නෙල්සන්ට හැදුවා ලස්සනට පිපුණ වන මල්ගල් ධනපාල උඩවත්තට හැදුවා සුරංගනාවි ගීතය. අපේ තාත්තට හැදුවා ජීවිතේ ප්‍රීති සංසාරෙකි මට ගීතයක් හදන්න කලින් ඔහු මිය ගියා. මම ලතා ධර්මදාසගේ ගීත විතරක් නෙවෙයි මගේම ස්ව නිර්මාණත් එක්ක ලොකු පිම්මකට ලෑස්ති වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.

සේයාරූ – ටෙනිසන් එදිරිසිංහ

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT