උණුසුම දිය කරන සීතල උඳුවප් මාසයේ නත්තල උදාවෙන්නේ ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම පෙරදැරිවයි. නත්තල් උත්සවාකාරයෙන් සමරන ක්‍රිස්තියානි බැතිමත්හු කැරොල් ගී ගයමින් ද නත්තල් චිත්‍රපට, ටෙලිනාට්‍ය නරඹමින් ප්‍රීති වෙති. නත්තල් උත්සවය ජනප්‍රිය කලාව වෙත ද දැඩි සේ බලපෑ අතර සිනමාව නත්තල් සම්ප්රදායේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය. නත්තල් චිත්‍රපට (Christmas Movies) විනෝදාස්වාදය පෙරටු කර ගැනීමෙන් ඔබ්බට ගොස් ත්‍යාගශීලීත්වය, පවුල තුළ ඇති සතුට, ඇදහිලි විශ්වාස, අතීතකාමය, තනිකම, නව වසරක බලාපොරොත්තුව පිළිබිඹු කරන අතර දශක ගණනාවක් විවිධ සංස්කෘතීන් පුරා චිත්‍රපට නිෂ්පාදකයින් උත්සව සමයෙහි හාස්‍යජනක, චිත්තවේගීය සහ ගැඹුරුතර මානුෂීය කතාන්තර සන්නිවේදනය කිරීමට සිනමාව පසුබිමක් ලෙස භාවිතා කරයි. එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද නත්තලේ අරුත සහ අසිරිය ගෙනෙන චිත්‍රපට 7ක් මෙලෙස ලැයිස්තු ගත කිරීම මෙම ලිපිය අරමුණු කර ගනී.
1990 වසරේ තිරගත කළ ‘හෝම් අලෝන්’ චිත්‍රපටය නත්තල් චිත්‍රපට අතර ප්රමුඛ පෙළේ ජනප්‍රිය වූ හොලිවුඩ් චිත්‍රපටයකි. ‘ජෝන් හියුග්ස්’ අධ්‍යක්ෂණය කළ ‘හෝම් අලෝන්’ අට හැවිරිදි කෙවින් නම් ළමයා වටා කේන්ද්‍ර වෙන ක්‍රියාදාම – ප්‍රහසන ශානරයේ චිත්‍රපටයකි. නත්තල අතරවාරයේ කෙවින්ගේ නිවසට පැමිණෙන එක්තරා සොරුන් දෙපළ සමඟ සිදුවන සිදුවීමි මාලාව ප්‍රේක්ෂකාගාරය වඩාත් ආසක්ත කරගන්නා ආකාරයෙන් නිරූපණය වෙයි. නත්තල පිළිබඳ හැගීම තීව්ර කරන ‘හෝම් අලෝන්’ බාල, තරුණ, වැඩිහිටි කොයි කා අතරත් ආකර්ෂණය දිනු සිනමාපටයකි.
1973 වසරේ තිරගත වූ “Jesus Christ Superstar” චිත්‍රපටය සංගීතමය – බයිබල් – නාට්‍ය ශානරයේ චිත්‍රපටයකි. මෙම සිනමාපටය ජේසුස් වහන්සේ සහ එතුමන් පාවා දුන් ජුදාස් අතර ගැටුම සංගීතය මුසු ආඛ්‍යාන ස්වරූපයෙන් සමන්විත වේ. ‘මෝමන් ජෙවිසන්’ විසින් අධ්‍යක්ෂණය කළ ‘Jesus Christ Superstar’ චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය ජේසුතුමන් කෙරෙහි වෙනත් මානයකින් සිතන්නට බල කරමින් විශ්මයට පත්කළ චිත්‍රපටයක් ලෙස විචාරකයන් හඳුන්වයි.
2004 වසරේ ‘මෙල් ගිබ්සන්’ සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කළ ”The Passion of the Christ” ජේසුස් වහන්සේගේ ජීවිත කතාව පෙරදැරිකරගත් සිනමාකෘතියකි. චිත්‍රපටය ප්‍රධාන වශයෙන් “The Passion” ලෙස හඳුන්වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඇණ ගසා මරණයට පත් කිරීමට පෙර අති සංවේදී අවසන් පැය දොළහ ඛේදනීය ලෙස නිරූපණය කරන්නකි. ’The Passion of the Christ’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් දැඩි සේ වැලඳගත් චිත්‍රපටයක් වූ අතර ඇමරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයක් දරා නිර්මාණය කළ එය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 612.1 ක් බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගන්නට සමත් විය.
2018 වසරේ තිරගත වූ ”The Christmas Chronicles” චිත්‍රපටය නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් විසින් නත්තල් දිනට පෙර දින කේට් සහ ටෙඩ් යන ළමුන් දෙදෙනා පිරිවරාගෙන යන ළමුන් වෙත නත්තල් තෑගී බෙදා දෙන එක්තරා චාරිකාවක් වටා ගෙතුණකි. මැට් කයිට්ස් විසින් අධ්‍යක්ෂණය කළ ”ද ක්‍රිස්මස් ක්‍රොනිකල්ස්” චිත්‍රපටයේ හොලිවුඩයේ සුපිරි නළු කර්ට් රසල් නත්තල් සීයාගේ චරිතය රඟපෑවේය.
2019 වසරේ තිරගත වූ ”Klaus” චිත්‍රපටය සර්ජියෝ පැබ්ලෝස් විසින් අධ්‍යක්ෂණය කළ වර්ණවත් ඇනිමේෂන් චිත්‍රපටයකි. එක්තරා දූපත් නගරයක වෙසෙන නත්තල් සීයා හෙවත් ක්ලවුස් විසින් ළමුන්ට නත්තල් දින බෙදා දීම සඳහා සෙල්ලම් බඩු සාදයි. ඔහුට අහම්බයෙන් මෙන් මුණ ගැසෙන ජෙස්පර් නම් තැපැල්කරැවා සමඟ මිතුරැ වීමත් සමඟ සිදුවන ක්‍රියාදාමය වටා “Klaus” චිත්‍රපටයේ කතාව ගෙතී ඇත. 2013 වසරේ තිරගත වූ ‘ද ක්‍රිස්මස් කැන්ඩල්’ හොලිවුඩ් චිත්‍රපටය ද නත්තලේ අරුත හැඩ කළ සිනමා නිර්මාණයකි. ‘ජෝන් ස්ටෙපන්සන්’ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි විශ්වාසය තබන ලබ්ධිකයන් කෙරෙහි ඇති එම මිථ්‍යාවන් දුරුකර දැමීමට ගන්නා ඩේවිඩ් නම් දේව ගැතිවරයා පිළිබඳ කථාවකින් සමන්විත වෙයි.
1994 වසරේ තිරගත වූ ‘ජෝන් පැස්කින්’ විසින් අධ්‍යක්ෂණය කළ ‘ද සැන්ටාක්ලෝස්’ චිත්‍රපටය බිරිඳගෙන් දික්කසාද වූ ස්කොට් නමැති පියෙක් සහ චාලි නමැති අට හැවිරිදි පුතෙකු වටා ගෙතුණු චිත්‍රපටයකි. නත්තලට පෙර දින රාත්‍රියේ තම නිවස මතට කඩා නත්තල් සීයාගේ ආගමනයත් සමඟ ස්කොට් සහ චාලි පිය පුතු දෙපළගේ ජීවිතය උඩුයටිකුරු වෙයි. මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ හොඳම නත්තල් චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රේණිගත වූවකි.
වසරක් පාසාම සීත සෘතුවේ පහස දනවමින් නත්තල් චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් තිරගත වෙයි. නත්තල් චිත්‍රපට බොහෝමයක් නිර්මාණය වූව ද ඉන් ප්‍රේක්ෂකාගාරයේ මතකයේ රැදෙමින් ආකර්ෂණය කරගන්නේ සිනමාපට කිහිපයකි. වසර අවසන් වන විට මෙම චිත්‍රපට හත හරහා අපට මතක් කර දෙන්නේ නත්තල් සිනමාව යනු හුදෙක් සැමරීමක්, විනෝදාස්වාදයක් ලබා දීම පමණක් නොව යහපත් සහ සාරධර්මවලින් පොහොසත් මිනිසෙකු වීම පිළිබඳ ආදර්ශවත් පණිවුඩයක් ද රැගෙන එමින්මයි.
මලින්ත විතානගේ
[email protected]
