රංගන ක්ෂේත්රයට නළු නිළියන් එති. යති. ඇතමෙක් අතිශය ජනප්‍රියතාවයට පත්වෙති. ඇතමෙක් සාර්ථකව රඟනොපෑවත් සමාජ මාධ්‍ය ඔස්සේ තම චරිතය ජනප්‍රිය කර ගනිති. එහෙත් දක්ෂතා ඇති රංගන ශිල්පීන් තමන් කරන චරිත ඔස්සේ ජනතා ආකර්ෂණය දිනා ගනිති. ඒ අතරින් තමන්ට ලැබෙන සුළු චරිතය හෝ රඟපාමින් ක්ෂේත්රයේ නමක් රඳවා ගෙන සිටිති. එහෙත් ඔවුහු ජනප්‍රියතාවය පිටුපස හඹා නොයති. තමා රඟපෑ පළමු ටෙලි නාට්‍යයෙන්ම එම චරිතය කතා බහට ලක්විය හැකිය. මීට වසර කිහිපයකට පෙර විකාශය වූ ” සකිසඳ එළියෙස්” අප කාටත් අමතක නොවන ටෙලි නාට්‍යයකි. ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් එහි ප්‍රධාන චරිතයක් රඟපෑවේය. ඔහුගේ අනියම් බිරිඳ ලෙස රඟපෑවේ එවකට සිටි නවක නිළියකි. එහි ඇගේ රංගනයේ ආධුනික බවක් නොපෙන්වා ඇය තම චරිතය මනාව රඟපෑවාය. ජනප්‍රියතාවය පිටුපස හඹා නොගිය ඇය තමාට ලැබුණ සුළු චරිතයට හෝ උපරිම සාධාරණයක් ඉෂ්ට කළාය. ඇය රේණුකා මාපිටිගම රංගන ශිල්පිනියයි. ඇය සරසවිය සමඟ කරන පළමු කතා බහ මෙයයි. ඇය ” සකිසඳ එළියෙස් ” නාට්‍යයට සම්බන්ධ වීමේ සිට මේ දක්වා ආ ගමන්මඟ පිළිබඳ තොරතුරු මෙසේ සරසවිය හමුවේ ගෙන ආවාය.
මම කලා කටයුතු වලට සම්බන්ධ වුණේ පාසල් යන කාලයේ සිටමයි. ඒ කාලේ මම නර්තනයට දක්ෂයි. නර්තනය සඳහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තා. පාසලේ තිබෙන සෑම කලා කටයුත්තකදීම මම සහභාගී වුණා. මම නර්තනයට දැක්වූ දක්ෂතාවය නිසාම තණ්හා රතී රඟා කියන වෙසක් නාට්‍යයට මාව තෝරා ගත්තා. එය කළේ ජාතික රූපවාහිනියෙන්. මගේ හැකියාව දුටු ලලිතා සිරිබද්දන මහත්මිය මට රඟපාන්න කතා කළා. ඒත් තාත්තාගෙන් ඒ සඳහා අවසරයක් ලැබුණේ නැහැ. ඉන්පසුව උසස් පෙළට පෙනී සිටියා. උසස් පෙළින් පසුවත් මම හිතුවා රඟපාන්න මට අවසර ලැබෙයි කියලා. ඒත් තාත්තාගෙන් අවසරයක් ලැබුණේ නැහැ. ඉන්පසු මම රැකියාවකට ගියා. විවාහ වුණා. දරුවන් ලැබුණා.
මේ කුමන දේ සිදු වුවත් රඟපාන්න මගේ හිතේ තිබූ ආසාව නැතිවුණේ නැහැ. මට හොඳ ස්වාමිපුරුෂයෙකු ලැබුණා. මම එයාට නිතර මෙන්න මේ විදිහට කිව්වා.
” දෙනවක හාමිනේ රංගවේදිනියගේ වයසට ගිහින් හරි මම රඟපානවා” කියලා.
ඔහු මාව තේරුම් ගත්තා. ඔහු මාව ඒ සඳහා උනන්දු කළා. ඔහු කිව්වේ මට මුලින්ම රංගනය ගැන හදාරන්න කියලා. ඉන්පසුව මම ප්‍රවීණ රංගවේදී බන්දුල විතානගේ සහ ප්‍රවීණ රංගවේදිනි අනෝජා වීරසිංහ යටතේ රංගනය හැදෑරුවා. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායකගේ වැඩමුළුවලට සහභාගී වුණා. ඉන්පසුව තමයි මගේ රංගන සිහිනය සැබෑ වුණේ. බන්දුල විතානගේ මහත්මයා තමයි මට මගේ සිහිනය සැබෑ කරගන්න උදව් කළේ. ඔහු මාව චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයා අධ්‍යක්ෂණය කළ ” සකිසඳ එළියෙස් ” ටෙලි නාට්‍යයට සම්බන්ධ කළා.
මට එහි පළමු දර්ශනය තිබුණේ ජයලත් මනෝරත්න රංගවේදියා සමඟ. ඔහු ක්ෂේත්රයේ දැවැන්තයෙක්.හිතේ පුංචි චකිතයක් තිබුණත් ඔහු මට හොඳ සහයෝගයක් දුන් නිසා මගේ චරිතය මට පුළුවන් උපරිමයෙන් කළා. මට මේ අවස්ථාවේ හරි අපූරු සිදුවීමක් මතක් වෙනවා. සකිසඳ එළියෙස් හි මට මුලින්ම කරන්න තිබුණේ කෑම ටිකක් මිදුලට විසි කරල කාක් කාක් කියල කපුටන්ට කතා කරන්න. මමත් ඉතින් මගේ කොටස කළා. ඒක බලාගෙන හිටපු මනෝරත්න මහත්මයා මෙන්න මේ විදිහට කිව්වා.
” ඈ කෙල්ලේ දැන් ඔය කපුටා ඉන්නේ මේ ළඟමද”
එතකොට තමයි මට වැටහුණේ කාක් කාක් කියලා ඈතට ඇහෙන්න කෑ ගැසිය යුතු බව. මගේ හිත රිද්දන්නේ නැතිව ඔහු ඒ දුන්න උපදෙස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ජයලත් මනෝරත්නයන් ගැන කතා කළ මේ මොහොතේ මතක් කළ යුතු තවත් වරිනා චරිතයක් ඉන්නවා. ඒ තමයි අපේ රටේ ජ්‍යේෂ්ඨ මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ශ්‍රියානි අමරසේන මහත්මිය. එතුමියත් මට රංගන ජීවිතයට ආලෝකයක් වුණා. මම රඟපාන්න ආ මුල් කාලයේ මම ඇයට ලිපියක් ලිව්වා. මගේ ආශාව ගැන සඳහන් කරලා. ඇය මා ඉගෙන ගත් පාසලේම ආදි ශිෂ්‍යාවක්. මම ඒ ගැනත් සඳහන් කළා. ඇය මට ඒ ලිපියට පිළිතුරු එවා තිබුණා. ඒ නිසා මට ශ්‍රියාණි අමරසේන මහත්මිය අධ්‍යක්ෂණය කළ හොල්මන් බෝට්ටුට ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් සමඟ මට එහි රඟපාන්න අවස්ථාව ලැබුණා.
මගේ දක්ෂතාවය හඳුනාගත් ජයලත් මනෝරත්නයන්, ඔහු අධ්‍යක්ෂණය කළ සෑම ටෙලිනාට්‍යයකම පුංචි හෝ චරිතයක් මට රඟපාන්න දුන්නා. එහෙත් පූර්ණ කාලීනව රඟපෑමේ නිරත වෙන්න අවස්ථාව නොලැබුණේ ඒ කාලේ මම රැකියාවක නිරතවූ නිසයි. මම රැකියාව කළේ ලෝකයේ තිබෙන හොඳම සමාගම් සියයෙන් එකක. ඒ නිසා මට රැකියාවෙන් ඉවත් වෙන්න හිත දුන්නේ නැහැ. ඒත් ලැබෙන අවස්ථා කෙසේ හෝ බාරගත්තා. මඟහැරී ගිය අවස්ථාත් තියෙනවා. බන්දුල විතානගේ , ෂර්ලි පී දෙලංකාවල, චන්ද්‍රරත්න මාපිටිගම වැනි දක්ෂ අධ්යක්ෂවරුන් යටතේ මට රඟපාන්න ලැබුණා. සකිසඳ එළියෙස් , යෙහෙළි, පූජාසනය, හොල්මන් බෝට්ටුව, පත්තර ගෙදර, භවත්‍රා, දෙගම්මැදියාව, දරිය දියණි, ස්වේත අඳුර, චලෝ, අදුන්ගිර, චංචලා, සබඳ එළියෙස්, උතුම් පැතුම්, යේස් බොස්, මකර දඩයම , නීල පබළු, මැස්සා ඇතුළු ටෙලි නාට්‍ය විසිපහකට අධික සංඛ්‍යාවක රඟපෑවා. වෙළඳ දැන්වීම් හතළිහකට අධික ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. එහෙත් සිනමාවේ නම් චිත්‍රපට කිහිපයකට පමණයි දායක වෙන්න ලැබුණේ. ඒ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උත්පලවණ්ණා, පත්තිනි, යශෝදරා යන සිනමා නිර්මාණවලට දායක වුණා. ඊට අමතරව ප්‍රියංකර විතානාරච්චිගේ සැමීගේ කතාව චිත්‍රපටයට මම දායක වුණා. එය අන්තර් ජාතික සම්මානයට පවා පාත්‍ර වුවත් තවමත් ලංකාවේ තිරගත වූයේ නැහැ.
මගේ මුල්ම චිත්‍රපටය වුණේ උත්පලවණ්ණා. අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවේදී මට විමල් දේශප්‍රිය මහතාව මුණ ගැසුණා. ඔහු තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මා ගැන දන්වා තිබෙන්නේ. ඉන්පසුව මට රංගවේදී ජැක්සන් ඇන්තනිගේ ” යෙහෙළි” වැඩසටහනේ කතාන්දර තුනකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. එහි කියවෙන්නේ ජීවිත අරගලය සමඟ සටන් කරන කාන්තා චරිත ගැන. එහි එක් චරිතයක් රඟපෑමේදී මම සංවේදී වුණා. දරු ගැඹක් දරාගෙන තවත් දරුවන් දෙදෙනෙක් ජීවත් කරවන, සැමියාගේ අඩම්තෙට්ටම් වලින් පීඩා විඳීන ගැහැනියකගේ චරිතයක්. ඒ චරිතය අනුව මම අඬන අවස්ථා තිබෙනවා. ඒත් මට අඬන්න ග්ලිසරීන් දාන්න වුණේ නැහැ. මට ඇඬුණේ ඇත්තටම. එය නැරඹූ අනෝජා වීරසිංහ රංගවේදිනිය මගේ රංගනය අගය කළා. ඒ චරිතයට මම උපරිම සාධාරණයක් කළා.
එවැනි චරිත ආයෙමත් ලැබෙනවා නම් මම හරි ආසයි. වර්තමානයේ දක්ෂ තරුණ අධ්යක්ෂවරු නිර්මාණ කරනවා. ඔවුන් කවුරුවත් වැඩිය අතනොගසන මාතෘකා ඔස්සේ සිනමා නිර්මාණ කරනවා. එය වටිනා කාර්යක්. ඔවුන් නිර්භීත නිර්මාණකරුවන් ලෙසයි මා දකින්නේ. ඒ වගේම තරුණ රංගන ශිල්පී ශිල්පිනියන් ක්ෂෙත්රයට එනවා. මම ඔවුන්ට සුබ පතනවා. 2025 වසර සිනමාවේ දියුණුව කියා පෑ වසරක්. අපේ සිනමාව තව තවත් දියුණු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
මමත් හරි ආසාවෙන් ඉන්නවා සිනමාවේ චරිතයක් ලැබෙනකම්. කලින් රැකියාවක් කළත් මම දැන් ගත කරන්නේ නිදහස් ජීවිතයක්. රඟපාන්න කාල වේලාව තිබෙනවා. සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රියන්ත කොළඹගේ මහතා මට ආරාධනාවක් ලැබුණා. මම ඉතා ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔහුගේ නිර්මාණයක රඟපාන්න. මම නිතර තිරයේ පෙනෙන නිළියක් නෙවෙයි. මට ලැබෙන චරිත ඇතුළේ මට යමක් කරන්න පුළුවන්ද කියල බලනවා. අද තියෙන්නේ වෙනස් ක්‍රමයක්. අපි ඇතැම් නිර්මාණවලට දායක වුණාම සම්පූර්ණ පිටපත අතට නොලැබෙන අවස්ථා තිබෙනවා. එකෙන් අපේ රංගනය සාර්ථකව කරගන්න බැහැ. සම්පූර්ණ පිටපත ලැබීම නිසා අපිත් එක්ක රඟපාන සහෝදර ශිල්පීන්ගේ චරිත කෙසේද , ඒ අනුව අපේ චරිතය කෙසේ ගොඩනඟා ගත යුතුද කියලා තීරණය ගන්න පහසුයි. දැන් ඇතැම් නිර්මාණ වල පිටපතකුත් නැහැ. වර්තමානයේ චැට් වැඩසටහන් වල ඉන්නෙත් එකම පිරිසක්. මම ඒක කාටවත් හිත රිදෙන්න කිව්වා නෙවෙයි. අලුත් පරම්පරාවට අනිවාර්යෙන්ම අවස්ථාව හිමිවිය යුතුයි. එහෙත් අද තත්වය ටිකක් වෙනස් වෙලා. තරුණ පරපුර ජීවත් වන්නේ තාක්ෂණය සමඟ. ටික් ටොක් වැනි සමාජ මාධ්‍යයන් නිසා එක රැයකින් ජනප්‍රිය වූ චරිත සිටිනවා. ඒ නිසාම ඔවුන්ව නිර්මාණවලට යොදාගන්නා අයත් සිටිනවා. එහෙත් ඔවුන්ට තිබෙන්නේ ජනප්‍රියතාවය පමණයි. රංගනය පිළිබඳ දැනුම අඩුයි. හැම දෙනා ගැනම නෙවෙයි මම එසේ කියන්නේ. අලුත් දේවල් ලෝකෙට එනවා. අද තරුණ ළමයි ඒවාට ඉක්මනින් ඇබ්බැහි වෙනවා. මම ටික් ටොක් නිළියක් නෙවෙයි. අද රංගන ක්ෂේත්රයේ සිටි ඇතැම් දක්ෂයන් පසු පසට විසි වී තිබෙනවා. මාවත් මතකයෙන් ගිලිහී ගිහින්දෝ කියා මට සිතෙනවා. මගේ තරුණ කාලේ රැකියාවක් කළ නිසා වටිනා අවස්ථා ගිලිහී ගියා.
මගේ මහත්මයා නිසා තමයි මට රංගන ශිල්පීයක් වෙන්න පුළුවන් වුණේ. ඔහු මාව දිරිමත් කළා. ශ්‍රීලාල් අමරසිංහ ඔහු ව්‍යාපරිකයෙක්.
ඒ වගේම දුව සහ පුතාගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා. දුවත් පුතත් දැන් ඉන්නේ කැනඩාවේ. ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් විදෙස් ගත වූ මොහොතේ සිට මට මහා පාළුවක් තනිකමක් දැනුණා. මාස කිහිපයක් හරිම දුකෙන් හිටියේ. මගේ මානසිකත්වය යහපත් කරගන්නට අවශ්‍ය නිසා මම ගායනය පැත්තට යොමුවුණා. ඒ නිසා මම ගායිකාවකුත් වුණා. අපි කණ්ඩායමක් එකතු වෙලා ගීත ගායනා කරනවා. සචිනි අත්තනායක සංගීත ගුරුවරිය අපිට ඒ සඳහා ගුරුහරුකම් ලබා දෙනවා. තරුණ සහ දෙපිරිසක් එකතුවෙලා ඉන්නවා. ” සිංදු කියන හැන්දෑව නමින් එය නම් කරල තියෙන්නේ. වැඩිහිටි අපි එකතු වෙලා ” සුමියුරු ගී සර” නමින් මරදාන ටවර් එකේ සාර්ථක ප්‍රසංගයක් පැවැත්වූවා. මම මේ කණ්ඩායම් දෙකෙහිම සාමාජිකත්වය දරනවා. මම හරි සතුටින් ගායන කටයුතු වල නිරත වෙනවා.
මම රංගනයට පැමිණියේ මගේ තරුණ වයසේදී නෙවෙයි. ඒ නිසා මම රැකියාව කරන ගමන් සෙමින් ගමනක් ආ රංගන ශිල්පිනියක්. රඟපාන්න ආස වුවත් කෙටි පාරවල් වල නොගොස් හරි පාරෙන් ආපු කෙනෙක් මම. ඉක්මන් ක්‍රම වලින් චරිත ලබා ගත්තෙත් නැහැ. ඒ නිසා තවමත් මම බලාගෙන ඉන්නවා මම කැමති චරිත මට ලැබෙන තුරු. ක්ෂේත්රයට එන්න බලාගෙන සිටින අලුත් පිරිසටත් පොඩි වදනක් කියන්න අවශ්‍යයි. ක්ෂේත්රයට එද්දී ඔබටත් බාධා තියේවි. රඟපෑම සහජයෙන් තියෙන්න පුළුවන්. ඒත් රඟපෑම කියන දේ හැදෑරිය යුතුයි. එසේ හැදෑරීමකින් ආවොත් රංගන ගමන සාර්ථකයි.
අවසන් වශයෙන් කියන්න තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. මගේ රංගන ජීවිතයට අතහිත දුන් සැමටම ස්තූතියි. සාර්ථකව කරන්න හැකි චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
