Home » දිගු කලකට පසු කොන්ෆියුසියස් නාට්‍යයේ රඟපෑවා

දිගු කලකට පසු කොන්ෆියුසියස් නාට්‍යයේ රඟපෑවා

නාට්‍යවේදි නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ

by mavan
October 23, 2025 9:23 am 0 comment

වර්තමාන කලා ක්ෂේත්‍රයේ සිටින ශිල්පීන් ක්ෂේත්‍රයේ දස්කම් පාන්නේ ඔවුන්ගේ මුල් අඩිතාලම ශක්තිමත් වූ නිසාය. එහෙත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස්ය. රංගනය සහ කලාව යනු කුමක්දැයි හරිහැටි නොදැන කලාවේ නිරත වීම හේතුවෙන් නිර්මාණයේ ගුණාත්මකභාවයද පහළ ගොස් ඇත. රංගනය නිසි ක්‍රමවේදයක් යටතේ හැදෑරීමට ලංකාවේ විධිමත් ආයතන ඇත්තේ අතළොස්සකි.

මෙම ගැටලු නිරාකරණය කරගැනීමට රංගනයට, කලාවට ඇලුම් කරන පිරිසට අවස්ථාවක් උදාවී ඇතිබව කිවයුතුය. එයට සවියක් වන චරිතයක් පසුගිය දිනෙක සරසවියට පා තැබීය. කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මතු පරපුරක් බිහි කිරීමට ශක්තියක් වීමට ඇපකැප වී සිටින ඔහු නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂය. ඔහු ඒ සඳහා අත්වැල් බැඳ ගත්තේ ශ්‍රී ලංකා සංස්කෘතික ආයතනය (සුදර්ශිය) සමඟය. නරේන්ද්‍ර ශ්‍රී මහතාද සුදර්ශියෙන් පෝෂණය වූ විශිෂ්ට කලාකරුවෙකි. නාට්‍යවේදියෙකි. රංගන ශිල්පියෙකි. තිර රචකයෙකි. ඔහුගේ අඩිතාලම ශක්තිමත්ය. ඒ නිසාවෙන් ඔහුට අවශ්‍ය වූයේ කලා ක්ෂේත්‍රයට පා තැබීමට බලාපොරොත්තු වන නව පරපුරට තමන් සතු අත්දැකීම්, දැනුම බෙදා දීමටය. ඔහු සරසවිය හමුවට පැමිණියේ තමා කලා ක්ෂේත්‍රයට පා තැබූ දා පටන් ලද අත්දැකීම් බෙදා හදා ගන්නට සහ වර්තමානයේ තමා අතගසා ඇති භාරදූර කටයුත්ත ගැන කතාබහ කරන්නටයි.

මම කලාවට පිවිසියේ 1972 දී. මගේ මාමා වූ රේමන් කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ ” ලස්සන කතාව” වේදිකා නාට්‍යයෙන්. ඒ කුඩා ළමයෙකුගේ චරිතයක්. ලුම්බිණි රඟහලේදී එය වේදිකා ගත කෙරුණා. නාට්‍යකරණය ගැන ඒ කාලේ මම නොදැන සිටියත් මා රඟපෑ චරිතය ජනප්‍රිය වුණා. එහි එක් දර්ශනයකදී අඬන්න තිබුණා. ඒ රංගනය මම තාත්විකව කළ නිසා ඒ වෙනුවෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. එම රංගනය දීපශිකා සම්මාන උලෙළේදී ඇඟයීමට ලක්වුණා. මා රඟපානවාට ගෙදරින් එතරම් කැමැත්තක් නොතිබුණත් මගේ රංගනය වෙනුවෙන් ලැබුණ ප්‍රතිචාර නිසා පසුව කැමැත්ත ලැබුණා. ඉන්පසු ළමා දිනය වෙනුවෙන් නිර්මාණය වූ ” ළමා ලෝකය” වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඒ නිසා මම පාසලේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. අපේ පාසලේ සිටියා ගුරුවරයෙක්. ඔහු ආනන්ද හේවගේ මහතා. ඔහු සිනමාවට සම්බන්ධ නිසා අපේ පාසලට නිතර කලාකරුවන් පැමිණියා. ගාමිණී ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා වගේ අය පැමිණිවිට මම ගිහින් ඔවුන් සමඟ කතා කළා. මම මුලින්ම රඟපෑ ” ලස්සන කතාවක්” නාට්‍යයේ බැප්ටිස්ට් ප්‍රනාන්දු, අග්‍රා සජීවනී වැනි ජ්‍යෙෂ්ඨයන් සිටියා. ඒ නිසා ඔවුන්ගෙනුත් රංගනය පිළිබඳ ආභාසය ලැබුණා. අපට සාහිත්‍ය ඉගැන්වූ කුමාර කරුණාරත්න මහතාගෙනුත් මට හොඳ සහයක් ලැබුණා. නාට්‍ය රංගනය පිළිබඳ මුලින් දැනුමක් නොතිබුණත් පසුව ඒ පිළිබඳ ඉගෙන ගැනීමට මම පෙළඹුණා.

එකල ලංකාවට පැමිණි නාට්‍යකරුවන් යටතේ රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ අනුව ජර්මනියේ සිට පැමිණි නෝබට් ජේ. මයර් , ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වු වැඩමුළු වලට මම සම්බන්ධ වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි වැනි අයත් එම වැඩමුළුවට සම්බන්ධ වී සිටියා. මහාචාර්‍ය ප්‍රිට්ස් බෙනවිට්ස් , හේලේනා ලෙක්තුමතී වැනි නිර්මාණකරුවන්ගේ වැඩමුළුවලටත් මම සහභාගී වුණා.

1978 දී ආචාර්ය සලමන් ෆොන්සේකා සුදර්ශියේ පංතියක් පැවැත්වූවා. රම්‍යා වනිගසේකර, ජයන්ත චන්ද්‍රසිරි , කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, රමණී සිරිවර්ධන, අවන්ති අපොන්සු, අමිත්ත වීරසිංහ, රමණී බර්තෝලමියුස්, වින්ද්‍යා හේමමාලි වැනි කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් කලාකරුවන් එදා ආචාර්ය සලමන් ෆොන්සේකා සර් ගේ පංතියේ ඉගෙන ගත්තා. පන්තිය අවසානයේ මම සලමන් සර්ව මුණගැසුණා. ඉදිරි දිනකදී අයඳුම් පතක් සමඟ පැමිණෙන ලෙස සර් මට පැවසුවා. ඒ අනුව අවශ්‍ය අයඳුම් පත සකසා ගෙන සර්ව හමු වෙන්න ගියා. අපිට පෝළිමේ ඉදල තමයි අවස්ථාව ලබා ගන්න සිදුවුණේ. එහිදී මට රඟපාලා පෙන්වන්න කිව්වා. මා රඟපාලා අවසන් වූ විගස ඔහුගේ මුවින් මෙවැනි වදනක් පිටවුණා.

” ෂා මරුනේ”

“රඟපෑම හොඳයි, හොඳ පෞරුෂයක් තියෙනවා”

සර් මාව තෝර ගත්තා. 1978 දී මට ආචාර්ය සලමන් ෆොන්සේකා හමුවීම මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. එදා ඔහුගෙන් ලද ගුරුහරුකම් මගේ රංගන ජීවිතයට විශාල රුකුලක් වුණා. ඔහු නිතරම පැවසු වදනක් තිබුණා

” අනුකරණය නොව භාවාතිශයින් රඟපෑ යුතුයි ”

ස්ටැනිස්ලව්ස්කි සම්ප්‍රදාය තමයි ඔහු අපට ඉගැන්වූයේ. ආචාර්ය සොලමන් ෆොන්සේකා සර්ගෙන් ලැබූ දැනුමත් සමඟ මම 1985 දී ” සාම පූජා ” වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළා.

එයින් පසුව සර් මට පැවසුවා ” ඔබ නැවතත් පන්තියට පැමිණිය යුතු නැති බව. මම නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ නිසා නාට්‍යකරුවෙකු ලෙස සමාජයට යන ලෙස සර් මට උපදෙස් දුන්නා. මට කනගාටුයි එවැනි දැනුම් සම්භාරයක් ඇති නාට්‍යවේදීයෙකුගෙන් ලංකාව හරිහැටි ප්‍රයෝජනයක් නොගැනීම ගැන.

“සාම පූජා” නාට්‍යයේ කතා කළේ ජාතිවාදය ගැන. එහි දෙමළ භාෂාවෙන් දෙබස් අඩංගු වී තිබුණා. එහි ඇතැම් දෙබස් මඟින් ජාතිවාදය මතුවන බව පවසා එය රැඟුම් පාලක මණ්ඩලය මඟින් තහන්ස්ම් කළා. මම ඒ පිළිබඳ එකල සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාටත් අභියාචනයක් යොමු කළා. රැඟුම් පාලක මණ්ඩලයෙන් මට දැන්වූවා එහි ඇතැම් දෙබස් ඉවත් කරන ලෙස. ටවර් හෝල් එකේ දර්ශන වාර තුනක් පෙන්වූවා. දර්ශන වාර තුනේදීම ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී ගියා. රැඟුම් පාලක මණ්ඩලයේ සියලු දෙනාම ආවා සාම පූජා” නරඹන්න. ඔවුන් කියූ පරිදි දෙබස් ඉවත් කර නොතිබූ නිසා ” සාම පූජා” තහනමට ලක්වුණා. පසු කාලයක මම එය නැවතත් වේදිකා ගතකළා. ” සාම පූජා” සඳහා මට සම්මාන පවා හිමිවුණා. ඉන්පසුව මම පිළිකා , සුබ රාත්‍රියක්, රතී රඟා සහ කාල් මාක්ස් වැනි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා.

1992 දී වේදිකා ගතකළ ” කාල් මාක්ස්” මගේ හොඳම වේදිකා නාට්‍ය නිර්මාණය. එහි කියැවෙන්නේ සමාජවාදයේ ස්වරූපය සහ කාල් මාක්ස්ගේ දර්ශනය. එය වර්තමානයටත් ගැළපෙන නාට්‍යයක්.

ඉන් ටික කලකට පඩුව මම කාලාවෙන් ඈත් වුණේ දේශපාලනයට නැඹුරු වූ නිසා. වසර තිස් දෙකකට පසුව මහාචර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ” කොන්ෆියුසියස් ” වේදිකා නාට්‍ය සමඟ සම්බන්ධ වෙන්න ලැබුණා. වසර තිස් දෙකන් රංගනයෙන් ඈත් වී සිටි නිසා මට රංගනයට නැවතත් පිවිසෙන්න හැකිවේදෝ කියා සිතුණා. එහෙත් එතුමාගේ තීරණය වුණේ මම රඟපෑ යුතුමයි කියන එක. ඒ අනුව මාව ” මෙන්සියස්” ගේ චරිතයට තෝරා ගත්තා. ” කොන්ෆියුසියස්” විදිහට චරිතය නිරූපණය කළේ ප්‍රවීණ රංගන ශිල්පී කිංග්ස්ලි ලෝස්. ” සුනන්ද සර්ගෙන් ලැබුණ දිරිමත් කිරීම මට විශාල ශක්තියක් වුණා. එහෙත් මම තීරණය කළා හරියට කරගන්න බැරු වුණොත් නාට්‍යයෙන් ඉවත් වෙනවා කියලා. ඒත් එහෙම වුණේ නැහැ. මගේ රංගනය සාර්ථක වුණා.

ඒ අතරේ මට සිතුවිල්ලක් පහළ වුණා. අප දැන උගත් දේ මතු පරපුරට ලබා දෙන්න. මේ පිළිබඳ මම සුදර්ශියේ වත්මන් සභාපති සමන්ප්‍රිය මාරසිංහ සමඟ සාකච්ඡා පැවැත්වූවා. NVQ තත්වයේ රංගන පාඨමාලාවක් පවත්වන්න මම යෝජනා කළා. එම අවස්ථාවේ සමන්ප්‍රිය මාරසිංහ මහතාගේ තීරණය වුණේ සුදර්ශියේ තිබෙන අඩුපාඩු සකස් කර අවසන් වූ පසු රංගන පාඨමාලාවක් පවත්වන්න. එයට වේලාව පැමිණෙන තුරු සුදර්ශියේ අපි නාට්‍ය වැඩමුළු පැවැත්වූවා.

සුදර්ශි ආයතනයේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කිරීම් සඳහා අනෙකුත් කටයුතු සම්පූරණ වූ පසු සභාපති සමන්ප්‍රිය මහතා මට දැනුම් දුන්නා. NVQ මට්ටමට සරිලන තෘතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශය මම සකස් කළා. මෙය වසරක පාඨමාලාවක්. රංගනය , අධ්‍යක්ෂණය , තිරරචනය ඇතුළු සෑම අංශයක්ම ආවරණය වන පරිදි විෂය නිර්දේශය සැකසී තිබෙනවා. මේ සෑම දෙයකටම වඩා අපට අවශ්‍ය මිනිසත්කමින් පිරිපුන්, එකම පවුලක පිරිසක් වගේ කටයුතු කළ හැකි ශිල්පීන් පිරිසක් කලා ක්ෂේත්‍රයට දායාද කරන්න. විශේෂයෙන් සුදර්ශියෙන් පිටවන ශිල්පීන් ක්ෂෙත්‍රයේ වෘත්තීය මට්ටමට ගෙන ඒමට අපි කටයුතු කරනවා. අද කලා ක්ෂේත්‍රයට පැමිණෙන ශිල්පීන්ට වෘත්තීය භාවයක් නැහැ. අතීතයේ කලාකරුවන්ගේ වෘත්තීය භාවය ඇති කරන්නට පුරෝගාමිව කටයුතු කළේ ගාමිණී ෆොන්සේකා මහත්මයා. ගිවිසුමකට අනුව වැඩකළ යුතුබව කලාකරුවන්ට පෙන්වා දුන්නේ ගාමිණී ෆොන්සේකා. එදා මම ” සාම පූජා” කරද්දී එහිසිටි ශිල්පීන් හතළිස් අට දෙනා සමඟම ගිවිසුමකට අනුවයි කටයුතු කළේ. ඉන්දියාවේ මේ තත්වය ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. හිතෙන හිතෙන ආකාරයට ඕනෑම කෙනෙකුට රංගනයට පිවිසෙන්න නොහැකියි. ඔවුන් එසේ එනවානම් රංගනය පිළිබඳ පිළිගත් රංගන පාසලකින් අධ්‍යාපනයක් ලබා පැමිණිය යුතුමයි. එවැනි තත්වයක් අපේ රටේ නැහැ. ඒ තත්වය අපේ රටෙත් ඇති කිරීමට තමයි සුදර්ශිය මේ සඳහා වෙහෙස වන්නේ.

විද්වත් ආචාර්ය මණ්ඩලයක් මඟින් මේ පාඨමාලාවේ දෙසුම් , ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ලංකාවේ සිටින ආචාර්යවරුන්, මහාචාර්යවරුන් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, රංගන ශිල්පී සහ කතිකාචාර්‍ය ප්‍රසන්නජිත් අබේසූරිය, රංගන ශිල්පී සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මප්‍රිය ඩයස්, නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැනි ප්‍රවීණයන් මේ සඳහා අප හා අත්වැල් බැඳ ගන්නවා.

පාඨමාලාවට සඳහා මේ වන විට සැලකියයුතු සිසුන් සංඛ්‍යාවක් සහභාගී වෙනවා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා සභභාගී වෙනවා. ඔවුන්ට ලබාදෙන ප්‍රායෝගික අභ්‍යාස ඉතා මැනෙවින් සිදුකරනවා. ඔවුන් පැමිණෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්. ඒත් ඔවුන් දැන් එකම පවුලක පිරිසක් වගේ හැඩගැසෙමින් සිටිනවා. කලාකරුවෙකු වූ විට ආචාරශීලී විය යුතුයි. ජ්‍යෙෂ්ඨයන්ට ගරුකළ යුතුයි. තමන්ගේ චරිතය යහපත්ව තබා ගතයුතුයි. ගුණගරුක , ආචාරශීලී කලාකරුවෙකු බිහිකිරීමත් සුදර්ශියේ තවත් අරමුණක් වී තිබෙනවා.

අන්තර්ජාතික මට්ටමට යා හැකි අති දක්ෂ කලාකරුවන් අපේ රටේ ඉන්නවා. එහෙත් ඒ පිළිබඳ සහතික කරන්න පිළිගත් ආයතන අපේ රටේ නැහැ. මෑතකදී විදේශීය නිර්මාණයකට ලංකාවෙන් රංගන ශිල්පීන් තෝරා ගැනීමක් සිදුකළා. ඔවුන් අපේ රංගන ශිල්පීන්ගේ සුදුසුකමක් ලෙස මැන බැලුවේ ව්ඍQ මට්ටමේ සිටිනවාද කියන කාරණය. එහෙත් එවැනි තත්වයක් අපේ රටේ රංගන ශිල්පීන්ට නොමැති නිසා අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපේ රටේ අති දක්ෂයන් ඉන්නවා. ඔවුන්ව ඒ තත්වය ඇති කිරීමට මඟ පාදා දිය යුතුයි.

අපේ රටේ නිර්මාණ අන්තර්ජාතික මට්ටමට ගෙන යාමට නම් එහි නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. ඇතැම් නිර්මාණවල නිර්මාණ වලට පිටපතක් නැහැ. ඇතැම් නළු නිළියන් රංගනය පැත්තෙන් දුර්වලයි. ඇතැම් නිෂ්පාදකයන් නිර්මාණයට මුදල් යොදවලා ඔවුන් එහි රඟපානවා. එපමණක් නෙවෙයි ඔවුන්ගේ සිය පවුලමත් රඟපාන අවස්ථා තිබෙනවා. මේ නිසා නිර්මාණයේ ප්‍රමිතිය පහළ යනවා. සුදර්ශිය මඟින් කෙරෙන්නෙත් ඒ ප්‍රමිතිය ඇති කිරීමට අවශ්‍ය ශිල්පීන් බිහි කිරීම.

සිනමාකරණය සඳහා පාඨමාලාවක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මේ දිනවල සූදානම් වෙනවා. ඩොමී ජයවර්ධන, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, අමරසිරි කලංසූරිය, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, පූජිත මෙන්ඩිස්, ෆ්‍රෙඩී සිල්වා වැනි ජ්‍යේෂ්ඨ රංගන ශිල්පින් පිරිසක් එදා අපට සිටියා. ඔවුන්ගේ දක්ෂතා විවිධාකාරයි. ඔවුන්ව මඟතොටේදී දුටුවත් අපට මතක් වන්නේ ඔවුන් කළ චරිත. ඒ තරම් විශිෂ්ටයි ඔවුන්ගේ රංගනය. ඒ රංගනයේ ගුණාත්මක බවක්, ප්‍රමිතියක් ගැබ් වී තිබුණා. එනිසාම ඉදිරියේදී සැලසුම් කරන පාඨමාලාවේ රංගනය පමණක් නොව සිනමාව හා බැඳුණු අනෙකුත් අංශයන් ගැන දැනුමක් ලබා දෙන්න අප සූදානම්. ඒ සඳහා සිනමාව පිළිබඳ හසල දැනුමක් ඇති ආචාර්ය මණ්ඩලයක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. එවිට සිනමාවේත් උසස් ප්‍රමිතියක් ඇතිවේවි.

වර්තමානයට වඩා එකල සිනමාවේ යම් ප්‍රමිතියක් තිබුණා. කෙටි චිත්‍රපට තුනක්වත් අධ්‍යක්ෂණය කර තිබීමෙන් පසුව තමයි දිගු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට චිත්‍රපට සංස්ථාවෙන් අවසර ලැබෙන්නේ. කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසු තමයි මටත් ” සමනළ ජීවිත” කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අවසර ලැබුණේ. එය වර්තමානයටත් ක්‍රියාත්මක වනවා නම් උසස් නිර්මාණ බිහි වීමට ඇති ඉඩකඩ වැඩියි.

මේ සියලු ගැටලුවලට විසඳුමක් ලෙස තමයි සුදර්ශියේ අපි නව පාඨමාලාවක් හඳුන්වා දුන්නේ. එමඟින් ලැබෙන ප්‍රතිඵල තව වසර කිහිපයකින් සැම දෙනාටම දැක බලා ගන්නට හැකිවේවි. නිසි පුහුණුවක්, දැනුමක් නිසියාකාරව ලබා ගතහොත් විශිෂ්ට කලාකරුවෙක් ලෙස කලා ක්ෂේත්‍රයේ නම රන්ඳා ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා උනන්දුව ඇති ඕනෑම කෙනෙකුට සුදර්ශි ආයතනයට සම්බන්ධ වන්නට පුළුවන්.

අද මා මෙවැනි තත්වයක සිටින්නේ කලාව, රංගනය ගැන නිසි පුහුණුවක්, නිසි දැනුමක් මට ලැබුණ නිසා. සිනමාව පිළිබඳ මගේ ගුරුවරයා වුණේ තිස්ස අබේසේකර මහතා. කොළඹ විශ්ව විද්‍යාලයේදී මම ඔහු යටතේ ඉගෙන ගත්තා. රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී ඔහු අපට පැවැත්වූ දේශන අදටත් මට මතකයි. පසු කාලීනව මම ඔහුගේ පවුලේ සාමාජිකයෙක් බවට පත්වෙනවා. ඔහුගේ දෙවෙනි දියණිය නොරිකෝ අබේසේකර සමඟයි මා විවාහ වූයේ. ඉන්පසුව තිස්ස අබේසේකර මහතා මා සමඟ ඉතාමත් සමීප වුණා. ඔහු ලේඛයෙක්. මමත් ලේඛකයෙක්. අප අතර එවැනි සමානකම් තව බොහෝ තිබුණා. එවැනි විශිෂ්ටයකුගෙන් ගුරුහරුකම් ලැබීමට වරම් ලැබීම මගේ වාසනාවක්.

එනිසාම මට අවශ්‍ය වත්මන් පරපුරටත් එවැනි පසුබිමක් ඇතිකිරීම. එය කෙටි කාලයකින් කළ හැකි දෙයක් නෙවෙයි. සුදර්ශි ආයතනයෙන් ඒ සඳහා දැමු අඩිතාලම ශක්තිමත්. ඉදිරියේදී සුදර්ශියෙන් බිහිවන මිනිසත් බවින් යුත් පරිපූර්ණ කලා ශිල්පීන් අපේ කලාකෙත අස්වද්දන බව නිසැකයි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT