Home » දක්ෂතා තියෙනවා නම් ඉදිරියට යන්න බය වෙන්න එපා

දක්ෂතා තියෙනවා නම් ඉදිරියට යන්න බය වෙන්න එපා

නවක රංගන ශිල්පිනි සුහන්දි උපේත්මා වෝසදී

by mavan
October 23, 2025 10:13 am 0 comment

මේ දිනවල පුංචි තිරය ඔස්සේ බොහෝ දෙනකුගේ නෙත් සිත් පැහැර ගනිමින් රංගනයේ නියැළෙන නවක රංගන ශිල්පිනියක වශයෙන් සුහන්දි උපේත්මා වෝසදී අපට හඳුනාගත හැකි ය. විශේෂයෙන් මේ දිනවල පෞද්ගලික නාලිකා කීපයක විකාශය වන ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන සුහන්දි උපේත්මා වෝසදී සිය කලා කෞශල්‍යයන් දිනෙන් දින ඔප් නංවා ගනිමින් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට එන රංගන ශිල්පිනියක වශයෙන් නිරීක්ෂණය කළ හැකිය.

ඔබේ කලා දිවියේ තොරතුරු මුලින්ම රසිකයන්ට කියමු

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ වෙළෙඳ දැන්වීම් ඔස්සේයි. මගෙ පළමුවැනි ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ දෙදහස් විසි තුනේදී. ඒ “එක්දහස් නවසිය අනූව” කියන ටෙලි නාට්‍යය.

මගේ දෙවැනි ටෙලි නාට්‍යය වෙන්නෙ සී යූ කියන ටෙලි නාට්‍යයයි. ඒ වෙනුවෙන් ගිය වසරේ හොඳ ම නැගී එන නිළිය විදියට රයිගම් සම්මාන සඳහා නිර්දේශ වීම විශේෂත්වයක්. මේ වෙද්දී ටෙලි නාට්‍ය දහයකට වැඩි ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. ඒ අතරින් ‘ අමුතු දීගෙ ‘ ටෙලි නාට්‍යය මම ගොඩක් මහන්සි වෙලා ආසාවෙන් වැඩ කරපු නාට්‍යයක්. ඒකෙ ශාරදා කියන චරිතය තමයි මට නිරූපණය කරන්න තිබුණේ. දඟකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගෙ චරිතයකින් ඇරැඹෙන එහි ගලා යෑම ජීවිතයට ශක්තිමත් ව මුහුණ දෙන ගැහැනියකගෙ ජීවන ගමනක පරිච්ඡේදය තෙක් ගලා යන පුළුල් පරාසයක විහිදුණ චරිතයක්. එය චාමර ජනරාජ් පීරිස් මහතාගෙ අධ්‍යක්ෂණයක්.මේ චරිතය ගොඩක් තරුණ ගෑනු ළමයින්ට කාන්තාවන්ට සමීප චරිතයක් බවට පත් වුණා.

මේ චරිතය කරන කාලෙ බොහෝ දෙනෙක් ඒ ගැන මට ලියල තිබුණා. ඒක ඔවුන්ගේ කතාව වගෙ දැනෙන බව. මට පවා ඒකෙ බර දැනී තිබුණා. ටෙලි නාට්‍යයේ වැඩ ඉවර වෙලා ටික දිනක් ගතවන තුරුත් මට ඒ චරිතයට ඇතුල් වී කටයුතු කරමින් සිටි හැඟීමෙන් මිදෙන්න බැරි වුණා.

අනිත් අවස්ථාව තමයි අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කළ රස රහසක් ටෙලි නාට්‍යයේ ‘මායා’ කියන චරිතය. ඒකත් වෙනස් චරිතයක්. එය නුවරඑළියේ රූපගත කරද්දි සීත කබායක්වත් ඇඟලා ගන්න ඉඩක් නොලැබී රූපගත කරන්න තිබූ චරිතයක්. ඉතින් ඒකත් අමතක නොවෙන අවස්ථාවක්.

ඔබ රංගනයට පිවිසෙද්දි ඒ ගැන පුහුණුවක් හෝ අවබෝධයක් තිබුණාද ?

මගේ පළමුවැනි නාට්‍යය, එක්දහස් නවසිය අනූව කරද්දී මාසයක් විතර අපිට පුහුණුවක් හා අවබෝධයක් ලබා දුන්නා. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ රනිල් කුලසිංහ මහත්මයත් ඒ වගේම ඒ නාට්‍යයේ මගෙ පියාගෙ චරිතය නිරූපණය කළ ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයත් අපිව මාසයක පමණ කාලයක් පුහුණු කළා. කටහඬ පාලනය, ශාරිරික අභ්‍යාස, රංගනය පිළිබඳ අවබෝධය ආදි බොහෝ දේවල් ඒ පුහුණුව ඔස්සේ ලබාගන්න පුළුවන් වුණා. මොකද එතන මා ඇතුළු ව නවක රංගන ශිල්පීන් කීප දෙනෙකුම හිටියා. එතන තමයි ඇත්තටම මම පුහුණු වුණ තැන. ඒ නිර්මාණයත් කොටස් හැටක පමණ හරි ලස්සන කතාවක්.

නූතන පරපුරේ රංගන ශිල්පිනියක් විදියට පිටපතක් අතට ලැබුණහම මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වෙන්නේ ?

පිටපත කියෙව්වට පස්සෙ මම කරන්නෙ ඒ ගැන අධ්‍යක්ෂවරයත් එක්ක කතා කරන එක. ඒ චරිතය මොන වගේ එකක් ද, ඒකෙ අපට කරන්න හැකි වෙනස්කම් වගෙ දේවල් ගැන අපි කතා කරනවා. ඉන් පස්සෙ තමයි ඒ චරිතය නිරූපණය කරන්නේ.

ඒ වගෙම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මම නර්තන විෂය හැදෑරූ කෙනෙක්. ඒ අවධියේ නාට්‍ය හා රංග කලාව ගැන කියවන්න අවස්ථාව බහුලව ලැබුණා. ඒ දැනුමත් මේ කාර්‍යයේදී මට ගොඩක් ප්‍රයෝජනවත් වන බව මගෙ විශ්වාසයයි. ඇත්තෙන්ම ක්ෂේත්‍රයට ආවම අපිට ඉගෙන ගන්න තිබෙන දේවල් බොහොමයි. විශේෂයෙන් ම අපේ ප්‍රවීණයන්ගෙන්. එතනදී මට මුලින්ම මතක් වෙන රංගන ශිල්පිනියක් තමයි මොරීන් චාරුනී මහත්මිය. ඇය තමයි මගෙ දෙවැනි නාට්‍යයේ මගෙ මවගෙ චරිතය නිරූපණය කළේ. ඒකාලෙ මගෙ රංගන ජීවිතයේ මුල්ම අවධිය එතකොට. ඇය මට ජීවිතය ගැන පවා ගොඩක් ගුරුහරුකම් දුන් කෙනෙක්. අපි දර්ශන තලයක සිටිය යුතු විදිය පවා ඇය මවක මෙන් මට පැහැදිලි කළා. කොහොමද රංගන ශිල්පිනියක් තමාගෙ විනය රැකගන්නෙ කියන දේවල් ඉතාම ළෙන්ගතුව මට කියා දීපු අවස්ථා මතක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත වැනි ප්‍රවීණයන්ට ඔවුන් රංගන කාර්යයේ යෙදෙන විදිය පවා නිරීක්ෂණය කිරීම හරි වැදගත් වුණා. ඒ වගේම මේ පරපුරේ සජිත ඇන්තනී වැනි අයවත් මතක් කළ යුතුයි. ඔවුන් රංගන කාර්යයේ නියැළෙද්දි ඉගෙන ගන්න දේවල් බොහෝ යි. ඇත්තෙන්ම ඒ අයගෙන් පසුව මේ කර්මාන්තය හරියට ඉදිරියට අරගෙන යන්න මේ අවබෝධය හරිම වැදගත්.

ඇත්තෙන්ම අද මම යම් තැනක ඉන්නවද ඒ මා වටා ඉන්න පිරිසකුත් නිසානෙ. මොකද මට තනියෙන් ඇවිත් රංගන ශිල්පිනියක් වෙන්න බැහැනෙ. එතකොට ඔවුනුත් මේ වෙනුවෙන් කොච්චර දායකත්වයක් දෙනවද කියල මට අවබෝධයක් තියෙනව. ඒ නිසා ඒ හැම කෙනෙක් එක්කම හරිම සහයෝගයෙන් වැඩකළොත් අපට මේ ගමන යන්න පහසුයි කියන එක මම විශ්වාස කරනවා .

ඕනෑ ම ක්ෂේත්‍රය ක වැරැදි මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඒ ක්ෂේත්‍රයේ වැරැද්දක් නෑ. මේක හොඳ ක්ෂේත්‍රයක්. ඒ නිසා කවුරු හරි මේ ක්ෂේත්‍රයට එන්න ආස නම් බය නොවී තමාගෙ දක්ෂතා තියෙනවා නම් ඇවිත් ඉදිරියට යන්න කියන එක තමයි මම කියන්න කැමති මේ ක්ෂේත්‍රයට එන්න ආස අයට.

මේ වෙද්දී ඔබට එවැනි කුමනාකාර හෝ බාධක බලපෑම් පැමිණ නැතිද ?

ඒකට මුහුණ දෙන ආකාරය අපි අතේ තිබෙන දෙයක්. අනිත් පැත්තෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න අය වැඩි දෙනෙක් මේක පුළුල් විදියට දකිනවා. මේ ගමනේ මට ගොඩක් වැදගත් අවස්ථා කීපයක් තියෙනවා.

විශේෂයෙන් චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂවරයත් එක්ක මම කරපු ‘අමුතු දීගෙ’ ටෙලි නාට්‍යය. අපි කතා කරපු විදියටම ඒ ටෙලි නි‍ර්මාණය මට ගොඩක් විශේෂ යි. ඒ වගේම එතුමා එක්ක වැඩ කිරීම පහසුයි.

ඒ වගේම තමයි මගෙ දෙවැනි ටෙලි නාට්‍යය සී යූ. එය තමයි රයිගම් ටෙලීස්වලට නිර්දේශ වුණේ. එය කොටස් දෙසීයක කතාවක්. එවැනි දීර්ඝ නිර්මාණයක් නිර්දේශ වෙනව හරිම අඩුයි. ඉතින් ඒ අවස්ථාව මම විශ්වාස කරන්නෙ නවක නිළියක් විදියට ඉදිරියට යන්න ලැබුණ හොඳ උත්තේජනයක් විදියටයි.

රසිකයන්ට රිදී තිරයේ ඔබේ රංගන කෞශල්‍යය හඳුනාගත හැකි සිනමා පටයකුත් තිරගත වීමට නියමිතයි නේද ?

ඔව්. ඒ සුර දෙටුවෝ කියන චිත්‍රපටය . ලක්මාල් වීරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මම හිතනව ඒක ලබන වසරෙ මුල බලන්න පුළුවන් වෙයි කියල. ඒකත් මට වෙනස් විදියෙ චරිතයක් පාදක කරගෙන සම්බන්ධ වෙන්න ලැබුණ නිර්මාණයක්. මට රංගනය පැත්තෙන් වෙනස් විදිහේ අත්දැකීමක් ලබා ගන්න හැකි වූ නිර්මාණයක්.මම ඒ නිර්මාණය ගැනත් හරිම සතුටුයි . ඒ වගේම මම හිතනවා ප්‍රේක්ෂකයනුත් ඒ සිනමා පටය ආදරයෙන් වැලඳගනියි කියල.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

මේ දිනවල මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මගෙ උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් ඉන්නේ. ඒ අතරෙම මේ දිනවලදී මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම වෙනුවෙනුත් කටයුතු කරමින් ඉන්නවා. ඒගැන ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට කියන්න අදහස් කරනවා. ඒ වගේම මගේ පළමුවැනි ටෙලි නාට්‍යය, ‘ මේඝනා’ ගේ චරිතයෙන් පසු තවත් අතිශය ගැමි චරිත නිරූපණයක යෙදෙන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

සේයාරූ – තිලක් පෙරේරා

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT