Home » ටෙලි නාට්‍ය කියන්නේ රචකයාගේ කාර්යභාරය

ටෙලි නාට්‍ය කියන්නේ රචකයාගේ කාර්යභාරය

- තිර පිටපත් රචක සමන්ත කුමාර ගමගේ

by mavan
February 19, 2026 12:21 pm 0 comment

සමන්ත කුමාර ගමගේ ප්‍රථමයෙන්ම ලාංකේය කලා ක්ෂේත්‍රය හඳුනාගන්නේ දක්ෂ නළුවෙක් ලෙසිනි. ඔහු ටෙලි නිර්මාණ රාශියක නළුවෙකු ලෙස කටයුතු කළ අතර ටෙලි පිටපත් රචකයකු ලෙස ද ඔහුගේ දක්ෂතාවය විදහා පායි. ඔහු ‘තුංමංතැන්න’, ‘සත්කුළු පව්ව’, ‘ඉඩෝර වැස්ස’, ‘පානාමංකඩ’, ‘ගිරිදේවි’, ‘වියළි’, ‘බඹරෙක් ඇවිත්’ සහ ‘බැද්ද අද්දර’ ටෙලි නිර්මාණවල තිර පිටපත් රචනා කර තිබේ. 2025 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළෙහි හොඳම ටෙලි නාට්‍යය තිර පිටපත සඳහා පිදෙන සම්මානය සඳහා ඔහු රචනා කළ “වියළි” ටෙලි නාට්‍යය සඳහා හිමි විය. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ වෙන්වන්නේ තිර පිටපත් රචක සමන්ත කුමාර ගමගේ සමඟ සිදු කළ කතාබහ සමඟිනි.

තිර පිටපත් රචකයකු ලෙස ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණීම සිද්ධ වෙන්නේ කොහොමද?

මම මුලින්ම නළුවෙක් විදියට කලා නිර්මාණවල වැඩ කරද්දි ක්ෂේත්‍රයේ රඳා පවතින්න වෙන ක්‍රමයක් හොයන්න වුණා. මේ දෙයත් එක්ක මම වේදිකා නාට්‍ය ලියන්න ගත්තා. ලියපු වේදිකා නාට්‍ය තමයි “මම සහ මම”, “යාදින්නි” වැනි නාට්‍යය. එම නාට්‍යය රාජ්‍යය නාට්‍ය උලෙළ සඳහා නිර්දේශ වීම් සහ සම්මාන පවා හිමි වුණා. මම දැක්කා ලංකාවේ රචකයක්ගේ ඌනතාවයක් සහ හිඩැසක් තිබෙනබව. කැම්පස් එකේ ඒකාංගික ටෙලිනාට්‍යය රචනා තරඟයක් තිබුණා. ඒ තරඟයට මම ඉදිරිපත් කරපු “තවලම” ප්‍රථම ස්ථානය හිමි වුණා. සතියකට පස්සේ ෂර්ලි පී. දෙලංකාවල ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයා මට කතා කළා. ඔහු තමයි තරඟය විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙන්නේ. ෂර්ලි මට ආරාධනා කළා එයාගේ ඊළඟ දිගු ටෙලි නාට්‍යයෙහි තිර පිටපත ලියන්න කියලා. ඒ 2012 ලියපු “තුංමංතැන්න” තිර පිටපත. ඊටපස්සේ ෂර්ලි අධ්‍යක්ෂණය කළ “සත්කුළු පව්ව” ටෙලි පිටපත ලියුවා. ඉඩෝර වැස්ස, පානාමංකඩ, ගිරිදේවි, වියළි, බඹරෙක් ඇවිත් කියන සම්මානනීය ටෙලි පිටපත් ලියන්න මට හැකි වුණා. එම ටෙලිනාට්‍යයවල තිර පිටපත් බොහෝමයක් සම්මාන උලෙළවල්වල ඇගයුමට ලක් වුණා.

ටෙලි පිටපත් රචනයට ඔබ යම්කිසි හැදැරීමක් කළාද?

මගේ අදහසට අනුව පිටපත් රචනය කියන්නේ කියවීම සහ සමාජ නිරික්ෂණය සමඟ කළ යුතු දෙයක්. මම සාමාන්‍යයෙන් මුලින් කරන්නේ අශෝක හදගමගේ තිර පිටපත් ටික කියවීම. ඒ වගේම සයිමන් නවගත්තේගම⁣ගේ කෘති ටික කියවන එක. කියවීමෙන් ලොකු හැදැරීමක් කරනවා. ස්වයං අධ්‍යයනයත් සමඟ තමයි මම තිර පිටපත් රචනය අධ්‍යයනය කළේ. මගේ අදහස අනුව වේදිකා නාට්‍යය කියන්නේ නළුවාගේ කාර්යභාර්ය. නළුවා අසමත් නම් වේදිකා නාට්‍යය අසාර්ථකයි. ටෙලි නාට්‍යය කියන්නේ රචකයාගේ කාර්යභාර්ය. 80%ක් රචනය. එය තමයි අත්තිවාරම. රචනය පරිපූර්ණ නොවේ නම් කුමන අධ්‍යක්ෂවරයා වුණත් ටෙලි නාට්‍යය සාර්ථක කරගන්න බැහැ. ඇත්තටම ඉස්සර වගේ ප්‍රේක්ෂකයා රූපවාහිනිය ඉදිරිපිට ටෙලි නාට්‍යයක් බලනවා වගේ නෙමෙයි වර්තමානයේ ඉන්න ප්‍රේක්ෂකයා. දැන් ටෙලිනාට්‍ය බලන්නේ යුට්යුබ් එකෙන්. ඒ නිසා රචකයා දක්ෂ විය යුතුයි. ඒ දවස තුළ ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න. හොඳ සිද්ධි මාලාවක් ගොඩනඟන්න පුළුවන් වෙන්න ඔින රචකයාට.

නවකතාවක් ටෙලි පිටපතකට ගෙන ඒමේදි මුහුණදෙන අභියෝග මොනවද?

බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්නවා නවකතාවකින් ටෙලිනාට්‍යයක් ලියන්න පහසුයි කියලා. ඇත්තටම නවකතාවකින් සිනමාපටයක්, ටෙලිනාට්‍යයක් කිරීම තමා අපහසුම. රූප මාධ්‍යය තුළ පෙන්විය හැකි සීමාවක් තියෙනවා. කාලය අවකාශය සීමිතයි. පාඨකයාට සිතුවිලිවලින් දුරක් යන්න පුළුවන්. නමුත් රූපවලින් දුරක් යන්න බැහැ. මාධ්‍ය සදාචාරය තුළ සීමාකම් තියෙනවා. කෘතියක ඔින දෙයක් ලියන්න පුළුවන්.

නවකතාව තිර පිටපත් දක්වා ගෙන එද්දි ඔබට තිබෙන නිදහස මොන වගේද?

මට එක්තරා අධ්‍යක්ෂවරයෙක් ආරාධනාවක් කරනවා නවකතාවකින් ටෙලි නාට්‍යයක් ලියන්න කියලා. මම ඒ නවකතාව කියවුවාම මුල සිට අග දක්වාම තියෙන්නේ චරිත වර්ණනාවක්. ඉතින් ඒ නවකතාව රූප මාධ්‍යයට ගෙනාවොත් අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. මොකද ඒක ඇතුළේ සිද්ධි නැහැ. කියවද්දි අපූර්වත්වයක් තියෙනවා. ඒ නිස ටෙලි නාට්‍යය සඳහා තිර පිටපතක් ලිවීමේ දී වස්තු බීජය වටා තිර පිටපත ගොඩනඟන්න පුළුවන්. උදාහරණයක් විදියට ශාන්ති දිසානායකගේ ගිරි දේවි නවකතාවේ අවසානය වෙනස්. මම ඇයත් සමඟ කතා කරලා නාට්‍යයේ අවසානය සඳහා වෙනස් කරලා ආශාගේ චරිතය පරමාදර්ශි චරිතයක් බවට පත් කරනවා. ඒ නිසා තිර පිටපත් රචකයා සහ නවකතාකරුවා අතර හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

“දඩමංකඩ” නවකතාව තිර පිටපතකට ගේන්නේ කොහොමද?

ශාන්ති අක්කගේ දඩමංකඩ නවකතාවේ වස්තු බීජය සහ චරිත ටික ගත්තා. ඒ චරිත ටික විසිරවද්දි මට යම් වෙනස් කිරීමි කිහිපයක් කළා. මම ටෙලි නාට්‍යය පටන් ගන්නෙම මේක කෙළවරක් නැති ගමනක් කියලා. වෘත්තයක ගමන් කරන්නේ. අපි ගමන් කරද්දි ජීවිතයේ නැවත නැවත දේවල් හමුවෙනවා.

වියළි කලාපයේ ජීවිත ටෙලි සිතුවමක වෙත ගෙන එ⁣මේදි එහි දැක්වෙන යථාර්ථය සැබෑවක්ද? යන්න බොහෝ ප්‍රේක්ෂකයන් විසින් ගොඩනඟන ප්‍රශ්නයක්. එය එසේද?

මගේ ගම අනුරාධපුරයේ රාජාංගණේ ප්‍රදේශය. මම වැඩ්පුරම ගත කළේ හේන් සහ කුඹුරු එක්ක. ඒ සෑම චරිතයක්ම මම අත්විඳලා තියෙනවා. සමාජයේ සංකීර්ණතාවය, දුක, පීඩනය තියෙන්නේ ගම්වල. ගම සුන්දර නැහැ. ගම ඇතුළේ තරඟකාරීබව, කුහකත්වය වැඩියි. වෛරය වැඩියි. ගම ඒකයි සංකීර්ණ වෙන්නේ. ගමේ මිනිස්සුන්ට හීන වැඩියි. තමන් හදපු දරුවන්ගෙන් ඉටු කරගන්න බැරි වුණු හීන දකින්න උත්සාහ කරනවා. සමාජ ප්‍රශ්නත් එක්ක දරුවෝ අතරමැද ගන්ධබ්බයෝ බවට පත් වෙනවා. 90 දශකයේ ගාමන්ට් තරුණිය, හමුදා තරුණයා අවසානයේ බිහි වෙනවා. අතරම වුණු සමාජයක් තමා ගම තුළ පවතින්නේ.

ඔබ තිර පිටපත ගේන්නේ ගමේ යථාර්ථය. ගම කොහොමද? ඔබේ නිර්මාණවලට දක්වන ප්‍රතිචාරය…

ගමේ මිනිස්සු මේ නාට්‍යවලට හරිම කැමැතියි. ඔවුන් කියනවා, අපේ ජීවිතත් මේ වාගේ කියලා. අපිත් ඒ කාලේ මෙහෙම ලියුම් දුන්නනේ වගේ අතීතකාමයන් ඇවිස්සෙනවා. මේ දිනවල විකාශය වන බැද්ද අද්දර නාට්‍යයෙත් ලියුම් හුවමාරුවන දර්ශන තියෙනවා. ඇතැම් අය කමෙන්ට් දෙනවා අපේ කාලයත් මෙහෙම ලියුම් හුවමාරු වුණානේ කියලා. ඇත්තටම මට මගේ ජීවිතයේ සිදු වූ අත්දැකීම්, රිදුණු තැන්, මාව කම්පනයට පත් කළ දේවල් තමයි නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ.

වියළි ටෙලිනාට්‍යයේ තිර පිටපත සඳහා 2025 රූපවාහිනී රාජ්‍ය සම්මාන හිමි වෙනවා. මේ පිළිබඳව ඔබට දැනෙන හැඟීම මොකක්ද?

වියළි ටෙලිනාට්‍ය සඳහා සමිමාන හිමිවීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. මීට පෙර සිග්නිස් සම්මාන උලෙළෙහි ගිරිදේවි තිර පිටපත සඳහා සම්මාන හිමි වුණා. මෙි සම්මානය ලැබීම පිළිබඳ මට විශාල සතුටක් වගේම නිර්මාණකරණයට පන්නරයක්.

ඔබේ අදහස හැටියට හොඳ තිර පිටපත් රචකයකු සතුවිය යුතු ලක්ෂණ මොනවද?

එකම දේ ඇස්, කන් ඇරගෙන ජීවත්වීම. මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි නම්, මිනිස්සු අධ්‍යයනය කරන්න බැරි නම්, අනෙකාව කියවගන්න බැරි නම්, ලියන්න බැරි නම් ලියන්න නම් බැහැ. හොඳ පිටපත් රචකයකු වෙන්න බැහැ. සමාජ නිරික්ෂණය රචනයට අත්‍යාවශ්‍යයි.

ඉදිරි නිර්මාණ මොනවද?

පාවුලෝ කොයියෝගේ “වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි” ටෙලි නාට්‍යය ලියලා ඉවරයි. ඒ වගේම වරිච්චි ස්කෝලය කියලා පොතකින් තිර පිටපතක් ලියන්න ආරාධනා ලැබ්ලා තියෙනවා.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT