Home » ජීවිතේ සයුරක් වගේ ‘මාරියා’

ජීවිතේ සයුරක් වගේ ‘මාරියා’

by mavan
November 6, 2025 1:50 pm 0 comment

කලකට ඉහතදී ඉන්දුනීසියාවේ බන්ගයි දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ‘මාරියා’ නිර්මාණය වී ඇත. ජාති කුල ආගම් නොතකන විලී, බෙනට්, ඇන්තනි, ඔස්කා, ඩයියා සහ ටෙනි යන මිතුරන් පිරිස මහ මුහුද සිය ජීවිතය කර ගනිමින් බහුදින ධීවර යාත්‍රාවක ආධාරයෙන් දියඹ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන මිතුරු ධීවර පිරිසකි. කාලයක් පුරා සතුටින් විනෝදයෙන් සාමකාමීව ධීවර වෘත්තියේ නියැළෙන ඔවුනට, හිතුවක්කාර රළු මුහුද හිතමිතුරු ස්ථානයක් බවට පත්වී තිබුණි. දිනක් මොවුන් පන්නයේ යෑම සඳහා පිටත්වීමට සූදානමින් සිටි අවස්ථාවක, එක්තරා තරුණයෙක් මෙම ධීවරයන්ට හොර රහසේ යාත්‍රාවට ගොඩව සැඟව සිටින්නේ, දියඹ මුහුදේදී හමුවන නැවක ආධාරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණෙනි. ධීවර පිරිසට ඔහු ඇස ගැටෙන්නේ ගොඩබිම සිට විශාල දුර ප්‍රමාණයක් යාත්‍රා කිරීමෙන් අනතුරුව බැවින් ,ආගන්තුක තරුණයාට එහිම ඉන්නට ඉඩ දෙනවා හැර වෙන විකල්පයක් හමුනොවේ. ධීවර මිත්‍ර සමාගමේ සාමකාමි සිත් එක් දිනකදී දෙදරා යන්නේ මුහුදේ පාව ආ යම් වස්තුවක් ධීවර යාත්‍රාව මතට ගොඩ ගැනීමෙන් පසුවදීයි. ඉන්පසු සිදුවන සුවිශේෂී සිදුවීම් පෙළ ‘මාරියා’ තුළින් පෙන්වා දී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අරුණ ජයවර්ධන, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳව උපාධිධාරියෙකු ද වෙයි. එසේම ජාතික තරුණ සේවා සභාව තුළින් රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව, මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් වන සිරස ආයතනයට එක්ව එහි වසර 14ක සේවා කාලයක් නිමවා, ඉන් අනතුරුව හිරු රූපවාහිනී නාලිකාව හා එක්ව ගෙවූ සේවා කාලය තුළ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ වැඩසටහන් කළමනාකරුවකු ලෙස එම ක්ෂේත්‍රයේ වසර විස්සක සේවා කාලයක් නිමවා ඇත. ඔහුගේ සිනමා ගමන් මඟ ආරම්භ වනුයේ 2009 වසරේදී තිරගත වූ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීමෙනි. ඉන් අනතුරුව ‘නිකිණි වැස්ස’ ( 2013), ‘හැපි බර්ත් ඩේ’ (2022), ‘1970 ලව් ස්ටෝරි’ (2024). යන චිත්‍රපට නිර්මාණය කරමින් තිරගත කර ඇති අතර, ඔහු අධ්‍යක්ෂණය කරන ලද ‘ධර්ම යුද්ධය-2’ සිනමාපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත. පුංචි තිරය තුළින් ‘සක්කාරම්’ , ‘සපුමල් ආරාමය’ , ‘ok බොස්’ , ‘රස රහසක්’, ‘මාස්ටර් සර්’ සහ ‘මාරම්බරී’ වැනි ටෙලි නිර්මාණ ඉදිරිපත් කර ඇති ඔහු, ගීත රචකයෙකු සහ ප්‍රවීණ තිරපිටපත් රචකයකු ද වෙයි. විවිධ රූපවාහිනි නාලිකා තුළින් විකාශනය වූ ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘සිදාදියේ සමනළියක්’, ‘රොන් සොයා’ වැනි ටෙලිනාට්‍යයන් හි මෙන්ම, ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘යාත්‍රා’ චිත්‍රපටයේද තිර පිටපත් රචකයා ලෙස අරුණ ජයවර්ධන කටයුතු කර ඇත.

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT