2025 වසර ගෙවී අලුත් වසරක් ලබන්න තව ඉතිරිව ඇත්තේ දින කීපයක් පමණයි.
ගෙවී යන වසර දෙස ආපසු හැරී බැලීමේදී 2025 යනු සිනමාට ඉතාමත් හොඳ වසරකි. සිංහල සිනමාවට, ශ්‍රී ලාංකේය සිනමාවට ඉතාමත් විශිෂ්ට වසරකි.
2025 ජනවාරි මාසයේ 10 වන දා තිරගත වූ රෝස ආදරේ මේ වසරේ තිරගත වූ පළමු සිංහල චිත්‍රපටය වේ.
ඉන්පසු ගිරිරාජ් කෞශල්‍යගේ තිර රචනයෙන් ආ කාසි වාසි නම් හාස්‍ය රසය පිරි පවුලේ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටය නිසා ඇතැම් ගම්බඳ සිනමා ශාලාවලට පවා ප්‍රේක්ෂකයින් ඇදෙන්නට පටන් ගත්තා. ජනවාරි මාසයේ අග තිරගත වීම ආරම්භ කල සත්‍ය සිදුවීම් ඇසුරෙන් සිනමාවට නැඟුණ රාණි නිසා සිංහල සිනමාව නව මාවතකට එළඹෙන්නට වුණා. ඇත්තටම එය 2025 සිංහල සිනමාවේ එක් සන්ධිස්ථානයක් බවට පත්වුණා මේ කරුණු කාරණා සමඟ චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව සරසවිය සමඟ කළ කතාබහකට අපි කැඳවාගත්තා.
මේ ගෙවී යන 2025 වසර තුළ විශාල පිබිදීමක් ඇතිවී තිබෙනවා. කොවිඩ් ව්‍යසනය නිසා සිනමා ශාලා වලින් ඈත්ව සිටි ප්‍රෙක්ෂකයින් පෙර නොවූ ලෙස සිනමා ශාලාවලට ඇදෙන්නට පටන් ගත්තා. යම් තදබදයක් ඇති වුණා කිව්වොත් නිවැරදියි.
2025 වසරේ සිංහල සිනමාවේ මේ පිබිදීම නිසා ලාංකේය ජනතාව සිංහල සිනමාව කියන දේ කතා කරන මාතෘකාවක් බවට පත්වුණා.
මේ අනුව දේශීය චිත්‍රපට නිෂ්පාදකයාට සිංහල සිනමාව, ශ්‍රී ලාංකේය සිනමාව ගැන විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අනුව තේරුම් යනවා සිංහල සිනමාවට හොඳ වස්තු බීජයක්, කතාවක්, හොඳ තේමාවකින් යුත් හොඳ අන්තර්ගතයක් සහිත සිනමාව ලාංකේය ප්‍රේක්ෂකයින් වැලඳගන්නවා කියන එක. ඒ අනුව 2025 වසර සියලුම සිනමා හල් වලට හොඳ වසරක් බවට පත්වුණා. චිත්‍රපට නිෂ්පාදකයා, ප්‍රදර්ශකයා ඇතුළු සිනමා හල් හිමියන්, සේවකයින් ඇත්තටම සතුටු වූ වසරක් බවට මේ ගෙවී ගිය වසර පත්වුණා.
පහුගිය කාලයේ ආ චිත්‍රපට අතුරින් රාණි, නෙළුම් කුලුන, දේවි කුසුමාසන, වාලම්පුරි, ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්, සූර්යා, නීරා, ආයු සහ වසර අවසානයේ ආ මෝඩ තරිඳු, මාරියා යන චිත්‍රපට ඉතා ඉහළ ප්‍රෙක්ෂක ආකර්ෂණයක් දිනා ගත් චිත්‍රපට වෙනවා ඒ හේතුවෙන් දිවයිනේ සියලුම සිනමා ශාලා සහ සිනමා ශාලා සංකීර්ණ පාහේ මේ තිරගත වීමට පැමිණි සිංහල චිත්‍රපට වෙනුවෙන් වැඩි තිර කාලයක් ලබා දීම විශේෂයෙන් කැපී පෙනෙන දෙයක් බවට පත්වුණා. එය දළ වශයෙන් ගත් කල සියයට අසූවක් පමණ වෙනවා. අතීතයේ පැවතී තිබු පසු කාලයේ කෙමෙන් විදෙස් චිත්‍රපටවලට පමණක් සීමා වූ රාත්‍රී 9.30, හෝ 10.00 දර්ශන වාරය නැවත වරක් සිංහල චිත්‍රපට වලට වෙන්කරන්නට පටන් ගත්තා.
මේ නිසාම චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක සිට සමස්ත කාර්මික ශිල්පීන්, රංඟන ශිල්පීන්, චිත්‍රපට ප්‍රදර්ශකයින්, සිනමා ශාලා හිමියන් සහ එහි සේවකයින් යම් උද්යෝගයක් මේ වකවානුවේ ලැබුවා. ඔවුන්ගේ ආදයම් තත්ත්වය ඉහළ ගියා. මෙම කර්මාන්තයේ ඉහළ සිට පහළට ඇති හැම කාර්යයක්ම භාර පුද්ගලයින් ඉතාමත් සතුටට පත්වුණා. මේ පිබිදීමේ වෙනසට සමස්තයක් ලෙස ගත්තම 2025 වසර, ආනයනික විදෙස් චිත්‍රපටවල ආදායම් යම් පසුබෑමක් තිබූ වසරක් බවට පත් වුණා. එවැනි කාලයක ගුණාත්මක චිත්‍රපට පෙළක් ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට හැකි වීම සිනමාකරුවන්, නිෂ්පාදකයින් සහ ප්‍රදර්ශකයන් වන අප ලැබූ ජයග්‍රහණයක්. තවද 2025 වසර යනු සිනමා හල් නාමාවලියට නව සිනමාහල් සහ සිනමා සංකීර්ණ එකතු වූ වසරක්ද වෙනවා. ඒ අනුව ගත් කල ඇත්තෙන්ම මෙය සිංහල සිනමාවේ ස්වර්ණමය වසරක් බවට පත්වුණා. හැත්තෑව අසූව දශකයේ පැවති සිනමාව මෙන් අප මේ ජයග්‍රහණය රැකගත යුතුය.මේ හේතු කාරණා මුල්කොට ගෙන සිංහල චිත්‍රපට නිෂ්පාදකයා රැක ගත යුතුයි.
ඔවුන් තව තවත් දිරිමත් කල යුතුයි. එමගින් අපට තවත් උසස් තත්වයේ සිංහල චිත්‍රපට දැක බලාගැනීමට හැකි වන්නේ ඒ සියලු දේවල් නිසියාකාරව සිදුවුනොත් පමණයි. ගැටලු ප්‍රශ්න අමතක කර පැය එකහමාරක් දෙකක් වගේ සුළු කාලයකට මනස නිරවුල්ව ඉතා සුළු මුදලකට යම් සහනයක්, වින්දනයක් ලබන්නට ඇති මාධ්‍ය ලෙස සිනමාව ඉදිරියෙන්ම තැබිය යුතු වෙනවා.
යම් යම් කාල වකවානු වලදී පොදුවේ ඇතිවූ ව්‍යසනයන් වලදී අඩියටම කඩා වැටුණත් යළිත් අළු ගසා නැගිටීමට ප්‍රදර්ශකයාට හැකිවුණා. පසුගිය කොවිඩ් ව්‍යසනයට පසු චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ මැදිහත් වීමෙන් එවකට පැවති රජය හා සාකච්ඡා කර ප්‍රදර්ශකයින් වෙනුවෙන් වසර දෙකක සහන කාලයකට විනෝද බද්ද ඉවත් කර සිනමා ශාලා වලට සහනයක් ලබා දීමට අපට හැකි වුණා. එමගින් වැටුණු සිනමා හල් නැඟී සිටුවන්නට යම් ශක්තියක් ලැබුණා. ඇතැම් පරණ සිනමා ශාලා නවීකරණය වුණා. යටිතල පහසුකම් ඇතුළු ප්‍රේක්ෂකයින්ට පහසුකම් සැලසුණි. නමුත් පසු කලෙක විනෝද බද්ද සමඟ එකතුවන අගයමත පැණවෙන බද්ද (VAT) එකතුවීමත් සමඟ ටිකට් පත් මිල ඉහළ නැඟුණ. මෙය යම් දුරකට ලාංකේය ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් බවට පත්වුණා. අඩුම වියදමකින් සිනමා ශාලාවකට ඇවිත් ඔවුන් ලබන වින්දනය අපිට මිල කළ නොහැකිය. කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් වුවද, ඒ සතුට අප්‍රමාණයි. එය අපිට මැන බැලිය නොහැකියි.
පසුගිය කාලයේ කැබිනට් පත්‍රිකාවක් මගින් සිනමාවට බලපා ඇති විනෝද බද්ද අයකිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ඉවත් කිරීමට කටයුතු සිදුවුණා. නමුත් දේශපාලනිකව, පවතින රජයන් වෙනස් වීමෙන් එය ඇණ හිටි බව කිව යුතුයි.
එනිසා අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සිනමාවට බලපාන මෙම විනෝද බද්ද අයකිරීම ඉවත් කර දී ස්ථිර සහනයක් ලබා දෙන ලෙසට.
තවද චිත්‍රපට සංස්ථාව විසින් අයකරනු ලබන චිත්‍රපට බෙදාහැරීමේ ගාස්තුව වහාම අඩු කළ යුතුය යන්න අපගේ මතයයි. එම අඩු කිරීම නිසා සිදුවන වාසිය අප සෘජුවම දේශීය චිත්‍රපට නිෂ්පාදකයාට සහ සිනමා හල් වෙත ලබා දිය යුතුය. එමගින් ඔවුන්ගේ ආදායම මෙන්ම මේ ක්ෂේත්රය පිළිබඳ විශ්වාසයද ගොඩ නැඟෙනවා. එමඟින් මෙම කර්මාන්තය තව තවත් යම් ස්ථාවරත්වයට පත්වනවා. දේශිය චිත්‍රපට නිෂ්පාදකයාත්, සිනමා හල් හිමියාත් අප රැක ගත යුතුය.
උදාවන 2026 වසරද සිනමාවට සුබදායි වසරක් වනු ඇතැයි අපි සියලු දෙනාම විශ්වාස කරමු.
ඒ අනුව ධර්මයුද්ධය 2, ෆාදර්, රූම් නම්බර් 106, රිවර්ස්ටන් වැනි සිනමා නිර්මාණ වලින් පෙරනිමිති දක්නට තියනවා. තව තවත් උසස් සිනමා නිර්මාණ බිහිකරන්නට සිංහල සිනමා අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකයින්ට, තිර රචකයින් ඇතුළු සමස්ත කාර්මික ශිල්පීන්ට ඉඩ හසර ලැබේවායි අපි සියලු දෙනාම එක්ව උදාවන වසරට ප්‍රාර්ථනා කරමු.

සටහන සහ සේයාරූ
නිශ්ශංක විජේරත්න
[email protected]
