වැසි දා රෑ, සාතන්ගේ හෝරාව, යක්ෂයා කිසිසේත් නොනිදයි, ඉන්ස්පෙක්ටර් ත්රාස්, ලේ තැවරුණු රෝසමල්, ඩ්රැකියුලා සොහොනෙන් නැගිටියි, ඩ්‍රැකියුලාගේ ලේ වියරුව, නොම්බර 999 බංගලාව 01, නොම්බර 999 බංගලාව 02, ගිනියම් ඇස්, දවල සංග්‍රාමය, පිටුවහලාගේ නීතිය, දික් කන්ද වලව්ව, ගිජු ලිහිණියන්ගේ රාත්‍රිය, නිසාචරයෝ, ඩ්රැකියුලා ශාපලත් අඩවිය, සොහොන් පිල්ලුව, රුදුනියාමය ආදී ත්‍රාසජනක කතා ශානරයේ ග්‍රන්ථකරණයේ නියැළී ලේඛකයෙක්, ග්රන්ථ කතුවරයෙක්, තිර පිටපත් රචකයෙක් ලෙස කටයුතු කරන ජයසංඛ කරුණාරත්න තම විසිවැනි කෘතිය ලෙස රචනා කරන්නට තම රචනාකරණයේ දිසානතිය යොමු කරනු ලබන්නේ චිත්‍රකතා ඉතිහාසය පිළිබඳ පර්යේෂණාත්මක ග්රන්ථකරණයක් වෙතය. ඔහු ගත් ඒ වෑයම ජනගත කරනුයේ රූප කතා ඉතිහාසය නොහොත් ලංකාවේ චිත්‍රකතා පරිණාමය නමිනි.
ජයසංඛගේ මෙම වෙනස්ම ශෛලියේ රචනාකරණය එළි දක්වනුයේ. මෙම මස 30 වැනිදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්රයේදීය. මේ අපේ කතාබහ ඔහුගේ විසි වැනි කෘතිය ලෙස එළි දක්වන රූපකතා ඉතිහාසය නොහොත් ලංකාවේ චිත්‍රකතා පරිණාමය පිළිබඳවය.
ත්‍රාසජනක කතා ශෛලියේ ග්‍රන්ථකරණයේ නියැළි ඔබ තම විසිවැනි කෘතිය ලෙස එළිදැක්වීමට චිත්‍රකතා ඉතිහාසය තෝරගන්නට විශේෂ හේතුවක් තියෙනවාද?
මම පුංචි කාලෙ ඉඳලම චිත්‍රකතා රසිකයෙක්. මම ඉපදෙන්නේ අසුව දශකයේ ඒ වෙනකොට පත්තර කියන දේ සමග මිනිස්සු පුදුම විදිහට බද්ධවෙලා ගනුදෙනු කළ වකවානුවක් අපේ ගෙදරටත් ඒ කාලෙ පත්තර බෙදන මාමා කෙනෙක් පත්තර අරන් ආවා. මං ඒ වෙනකොට පෙර පාසල් යන කාලේ මගේ ගෙදරට සුරතලා පත්තරය ගන්නවා. හැබැයි අපේ ගෙදරට අල්ලපු ගෙදරට ගන්නවා දිනපතා ප්රවෘත්ති පත්තරයත් සමඟ තව කුඩා පත්තර දෙකක්. ඒ කුඩා පත්තර දෙක හරිම ලස්සන පාට පාට පින්තූර තියෙන පත්තර දෙකක්. ඔය කාලයේ රූපවාහිනීයේ විකාශය වුණා හඬකවන ලද ටාසන් මම පුංචි පෙර පාසල් දරුවා වුණත් මේ කතාවට මම පිස්සු වැටිලා හිටියේ. ඒ කාලේ මගේ ලෝකේ ලොකුම වීරයා ටාසන්. දවසක් පත්තර මාමා පත්තර බෙදනකොට මම දැක්කා ටාසන්ගේ වගේ රූපයක් තියන පිට කවරයක් සහිත පත්තරයක්. අපේ ගෙදරට අල්ලපු ගෙදරට ගන්නවා මම පත්තරේ මොකක්ද කියලා දන්නෑ.
මම ගේ ඇතුළට ගිහින් අම්මගෙන් ඇහුවා ටාසන් වගේ පින්තූරක් තිබුණු ඒ පත්තරේ මොකක්ද කියලා. අම්මා ටිකක් කල්පනා කරලා කිව්වා එහෙනම් අල්ලපු ගෙදරට අරන් ඇත්තේ චිත්‍රකතා පත්තරයක් කියලා. හැබැයි ඒ වෙලාවේ අම්මා කිව්වා චිත්‍රකතා පත්තර බලලා අහුවෙන්න නම් එපා කියලා. පොඩි ළමයිට ඒවා හොඳ නෑ කිව්වා. මගේ හිතේ ටාසන්ට තියන ආශාවට අම්මා එපා කිව්ව දේ පැත්තක තියලා වැටෙන් පැනල ගිහින් ඒ ගෙදර ඇන්ටිගෙන් ඉල්ලුවා ටාසන්ගේ කවරේ තියන පත්තරේ පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා. ඒ ඇන්ටි කල්පනා කරලා කිව්වා ඔය එහෙනම් සිත්තර හරි සත්සිරි හරි පත්තර වෙන්න ඇති කියලා ගේ ඇතුළට ගිහින් සිත්තර පත්තරය ගෙනාවා. ඒකෙ කවරේ තිබුණේ සිංහගේ ටෝගා ජී සමරසිංහ තමයි කතාව ලියලා සිත්තරට මේ ටෝගා ඇන්දේ. ටෝගා තමයි චිත්‍රකතාවකට මගේ මුලින්ම කැමැත්තක් ඇති කළේ.
පෙර පාසල් අවසන් වසරේ සිටි ශිෂ්‍යයා සිත්තර පත්තරයේ ඇදි ටෝගා කාටුනයක් දැකීමත් සමඟ චිත්‍ර කලාවට පෙම් බඳීන රසිකයෙක් බවට පත්වුණා ?
කොහේ හරි චිත්රකතාවක් දැක්කොත් බලන තැනට මම පත්වුණා. දිනපතා පත්තරවල, ළමා පත්තරවල, චිත්‍රකතා පළ වුණා. මම ඒ චිත්‍රකතා අනිවාර්යෙන් කියෙව්වා. ගෙදරට මාළු ඔතාගෙන එන පත්තර කොළ වල චිත්‍රකතා මම එකතු කළා. වැඩිපුරම මම ආශා කළේ වීර කතාවලට.
ඔබේ ආශාවට ගෙදරින් තහංචි වැටුණේ නැද්ද?
මගේ ලොකු තාත්තගෙ පුස්තකාලයක් තිබුණා ගෙදර ඔය පොත් තිබුණු කාමරයේ තමයි ගෙදර බුදුපහන තියන්න සකසලා තිබුණේ. මමයි ආච්චියි ඔතැනට යනවා. පහන තියන්න ඒ ගිය වෙලාවට ලොකු තාත්තාගේ පොත් රාක්කයේ මම ආශා කරන පොත් අරගෙන ඇවිත් අම්මට දීලා කියවගන්නවා. මට ලොකුවට පොත් කියවන්න බෑ. එතකොට අම්මා කියන කතාව අහල මම සතුටක් ලබනවා. දවසක් ඔය පොත් රාක්කයේ තිබිලා සුපර් මෑන් ගැන සිංහලින් දෙබස් ලියපු සඟරා හතරක් විතර මට හම්බ වුණා. මා තුළ තිබූ වීර කතා පිස්සුව තවත් වැඩි කළා. මේ සුපර් මෑන් සඟරා හමු වීමත් සමග කැලෑවේ වීරයා ටෝගා. නමුත් සුපර් මෑන් ඊට වෙනස් ෆැන්ටසියක් මම සුපර්මෑන්ට ආදරය කළා.
චිත්‍ර කතා රසිකයෙක් පමණක්ද ඔබ එවැන්නක් ඇඳීමේ හැකියාවක් ඔබට නැද්ද?
පියල් උදය සමරවීර මහතා පත්තර වලට චිත්‍රකතා ඇන්දා. ඒවා මම දරුවෙක් හැටියට බැලුවා. ඒවා බලලා මම විසින්ම අඳීන්න උත්සාහ ගත්තා. මම පාසලේ හය වසරේ ඉගෙන ගන්න කාලේ තමයි චිත්‍ර කතා අඳීන්න පෙලඹුණේ. මුලින්ම මම චිත්රකතාවක් ඇන්දේ මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලයේ කැටපත් පවුර බිත්ති පුවත්පතට. ඒ වෙනකම් ඒ පුවත්පතේ පළවී තිබුණේ කවි නිසැදැසේ වගේ දේවල්. මට කලින් කවුරුවත් චිත්‍ර කතාවක් මේ සඟරාවට ඇඳලා තිබුණේ නැති නිසාවෙන් මම මුලින්ම ඇදී ගෝනගල කන්දේ විලාපය චිත්‍රකතාව ගොඩක් ජනතාව අතර ජනප්‍රිය වෙනවා.
බිත්ති පුවත්පත හැරුණු කොට තවත් පත්තර සඳහා ඔබ චිත්‍රකතා ඇන්දාද?
ඔව් විජය පත්තරේ තිබුණා. විසිඑක්වන සියවස් දරුවෝ කියලා අතිරේකයක්. එතකොට මම පාසලේ නමය වසරේ ශිෂ්‍යයෙක්. මම ඒ සඳහා කපුටු කාක් කියලා චිත්‍ර කතාවක් අඳීනවා. ඒක පාසල් ශිෂ්‍යයෝ අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒක මගේ දෙවැනි චිත්‍ර කතා නිර්මාණය. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ද නේෂන් පත්තරයේ කිඩ්ස් ළමා අතිරේකයට චිත්‍ර කතා නිර්මාණය කළා. ස්ටෝරි නමින් අවුරුදු දෙකක් විතර මම මේ පත්තරේට චිත්‍ර කතා ඇන්දා.
දිගටම ඔබ චිත්‍රකතා ඇඳීමේ නිරත වෙනවද?
නෑ. 2008 වසරේ මම චිත්‍රකතා ඇඳීම පැත්තක තියලා නවකතා රචනා කරන්න යොමු වෙනවා. පාසලේ හතර වසරේ ඉන්නකොටත් මම යොවුන් නවකතාවක් ලිව්වා. නමුත් මුද්‍රණය කළේ නෑ. මුද්‍රණයෙන් එළියට එන්නේ 2008 වසරේ මම ලිව්ව වැසි දා රෑ කෘතිය. ඒක තමයි මගේ පළමු මුද්රණත්වාරයෙන් එලිදකින මුල්ම නවකතාව.
2008 වසරේ වැසි දා රෑ රචනා කරමින් ත්‍රාසජනක කතා නවකතාකරණයේ නියැළෙන ඔබ එවැනි කෘති දහනමයක් රචනා කරමින් එලි දක්වා 2026 වසරේ සිය විසිවැනි කෘතිය ලෙස චිත්‍රකතා පරිණාමය දෙසට යොමු වෙනවා නේද?
අතට අහුවෙන ඕනෙ දෙයක් කියවපු මම මුලින්ම කතාවක් ලෙස කියවන්නේ ඩබ්ලිව් ඕ.ටී ප්රනාදුගේ පුසී හොඳ පූසී පුංචි ළමා කතාව එතැනින් පසු පොත් එක්ක තියෙන බැඳීම මා තුළ කාවැදීමක් සිදු කරන්නේ ලස්සන වසීලිස්සා කියන සුරංගනා කතාව ලියපු පොත එතනින් පස්සේ තමයි මම විසින්ම පොත් හොයමින් කියවන්නෙක් බවට මාව පත් කරගන්නේ.
ලස්සන වසීලිස්සාට පෙම් කරන ඔබ වඩාත් කියවන්න පෙම් කරන්නේ ඩීමන් ආනන්ද ලියූ ත්‍රාසජනක කතා ඇතුළත් කෘති නේද?
මා තුළ වීරත්වය ගෑවුණු ත්‍රාසය පිරි කතාවලට ලොකු ආශාවක් තිබුණා. කුඩා කල පටන් ඒකත් එක හේතුවක් වුණා. මේ පෙලඹීමට තවත් කාරණයක් මේ සඳහා හේතු වුණා. මම මාතර රාහුල විද්‍යාලයේ හතර වසරේ ඉගෙනගන්න කාලයේ පන්තියේ ළමයි අතර තිබුණා කියවීමේ කවයක්. අපි කීප දෙනෙක් එකතු වී පොත් හුවමාරු කරගනිමින් පොතපත කියවීමේ ක්‍රමයක් අපි කීපදෙනෙක් අතරේ පොත් තියෙනවා දන්න අනික් ළමයි පවා තමන්ට අර පොත තියනවා මේ පොත තියනවා කියලා පෙන්නන්න එක්ක ගෙදරින් පොත් ගෙනාපු අවස්ථා තිබුණා. දවසක් මගේ යාළුවෙක් වූ දිලිප් සුරංග ලියනආරච්චි එයාගේ ගෙදර තිබුණු තාත්තගේ චිත්‍රකතා මිටියක් අරන් ආවා. හැත්තෑව දශකයේ සිත්තර පත්තර මිටියක් තමයි දිලිප් ගෙනාවේ. ඒ ටික දැක්ක ගමන් මම හරියට කුප්පමේනියා දැක්ක බළලා වගේ ඉස්පාසුවක් නැතිව ගියා. දිලිප්ට චිත්‍රකතා ගැන ලොකු ආශාවක් නෑ. මට ඕනේ මේ ටික දිලිප්ගෙන් ඉල්ලගන්න ඒකට මම උපක්‍රමයක් කල්පනා කළා. දිලිප්ගේ ආශාව තිබුණේ විසිතුරු මසුන් ඇති කරන්න. දිලිප් කිව්වා මට මාළු ගෙනත් දෙනව නම් මම ඔයාට මේ පත්තර ටික ගෙනත් දෙන්නම් කියලා.
මම පාසල් ගියේ ස්කූල් වෑන් එකේ මාතර රාහුල විද්‍යාලය ඉදිරිපිට කාණුවක් තියෙනවා. මම වෑන් එක එනකම් ඔතන ඉන්නවා. පාසල ඇරිලා ඔය ඉන්න අතරේ මම කාණුවට බැහැලා ඒකෙ හිටිය ගප්පි මාළු අල්ලලා දිලිප්ට දීලා ඒ චිත්‍ර කතා පත්තර ටික මම එයාගෙන් ගත්තා. ඒ අරගෙන ඒ පත්තර වල තිබුණු ටෝගා වගේ. තවත් වීර කතා ගිය පිටු අරගෙන අනිත් පිටු පැත්තකට විසි කරලා දැම්මා.
ඒ ගත්ත පත්තර කෑලි තවමත් මා ළඟ සුරක්ෂිතව තියෙනවා. අද මට දුකයි. ඒ පත්තරවල අනික් කෑලි ටික තිබුණා නම් කියලා.
පසු කලෙක මම විසින්ම චිත්‍රකතා පත්තර මිලදී ගත්තා. ඒවා එකතුවකුත් මා ළඟ තියෙනවා අදටත් මේ නිසා තවමත් මා තුළ චිත්‍රකතා හා බැදුණු සදා අනුස්මරණීය මතකයක් මා සතුව තියනවා.
එළඹෙන තිස් වැනිදාට එළි දක්වන්න නියමිත රූප කතා ඉතිහාසය නොහොත් ලංකාවේ චිත්‍රකතා පරිණාමය කෘතිය තුළින් ඔබ කතාබහට ලක් කරන්නේ මොන වගේ කාරණාද?
ලංකාවේ චිත්‍ර කලා විකාශය චිත්රකතාවේ විකාශය මේකට සම්බන්ධ ශිල්පීන් මේ කලාව තුළ තියන විද්‍යාත්මක පැතිකඩ එයින් සමාජයට බලපෑමක් ඇතිකල ආකාරය චිත්රකතාවට අපි ප්‍රවිශ්ඨය ලබාගන්නා ආකාරය චිත්රකතාවට බටහිර බලපෑම කොහොමද නවකතාවේ වගේම චිත්‍ර කතාවට ආභාසය ලැබෙන්නෙත් බටහිරින් ඒ ආකෘතිය හරහා තමයි මෙහි චිත්‍රකතා බිහි වෙන්නේ. මුලින්ම පත්තර වලට තමයි චිත්‍රකතා ඇන්දේ පසුව තමයි චිත්‍රකතා පත්තර වශයෙන් බිහිවීමක් සිදුවුණේ.
ඔබට චිත්‍රකතා පත්තරවලට අඳීන්න අවකාශ ලැබුණේ නැද්ද?
මගේ පාසල් කාලය ගෙවිල ගියේ අනූව දශකයේ ඒ වෙනකොට චිත්‍රකතා පත්තර අපෙන් ඈත් වෙලා. චිත්‍ර කතා පත්තරවල අවසානය තමයි අපේ තරුණ කාලය ඒ නිසාම මට එවැන්නකට යොමු වෙන්න අවස්ථාව උදාවුණේ නෑ.
ඔබේ විසිවැනි කෘතිය එළිදැක්වීම කොයි ආකාරයටද සැලසුම් කරලා තියෙන්නේ?
මේ මස තිස් වැනිදා සවස තුනට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී. මා විසින් රචිත රූපකතා ඉතිහාසය නොහොත් ලංකාවේ චිත්‍රකතා පරිණාමය දොරට වඩිනවා. එහිදී ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටපෙ ආරච්චි, මහාචාර්ය මනෝ රංජන් හේරත්, ප්‍රවීණ චිත්‍රකතා ශිල්පී ඇන්ටන් බී පෙරේරා දෙසුම් පවත්වනු ලබනවා. ඊට අමතරව චිත්‍රකතා සම්බන්ධව කැසට් සංස්කෘතියක් ලංකාවේ ඇතිවෙලා තිබුණා. එවැනි කැසට් තුනක් ලංකාවේ නිෂ්පාදනය වෙලා තිබුණා. දැනට ඒ කැසට් වල අඩංගු වී තිබුණු ජනප්‍රිය ගීත තුනක්. නෙලුක විජේසූරිය විසින් මෙහිදී ගායනා කිරීමක් ද සිදු කරනු ලබනවා.
පැරණි චිත්‍රකතා සම්බන්ධයෙන් නිකුත් වූ චිත්‍රකතා කැසට් පට තුන මොනවාද?
ශ්‍රවන විනෝදනී, සිත්තර එක්ස් සෝටික් සෝන් ශශ්‍රී ලංකා, ඔටුන්න හිමි කුමාරයා මේ නම්වලින් නිකුත් වූ කැසට් පටවලින් තෝරාගත් ගීත තුනක් මගේ උත්සවයේදී එදින ගායනා කරනු ලබනවා.
චිත්‍රකතා සම්බන්ධයෙන් පර්යේෂණාත්මක කෘතියක් ලියන පළමු කෙනාද ඔබ?
නෑ. මීට කලින් මහාචාර්ය සුනිල් ආරියරත්න, මහතා නිසිත වර්ණසූරිය මහතා මේ සම්බන්ධයෙන් පොත් රචනා කරලා තියෙනවා. එයට මෙයත් මගේ තවත් එක් උත්සාහයක්. අනික් කර්තෘවරුන් දෙදෙනාටම මග හැරුණු කරුණු මගේ කෘතියට ඇතුළත් කරලා තියෙනවා. මේ හරහා ලංකාව තුළ යළිත් චිත්‍රකතා පිළිබඳ සංවාදයක් ඇතිවෙනවා නම් මම කැමතියි. චිත්‍රකතාව හරහා මිනිස්සුන්ට දෙන්න පුළුවන් ගොඩක් දේ තියෙනවා. අද වෙනකොට මිනිස්සුන්ට තවත් කියවීමේ මාධ්‍යයක් නැතිවෙලා තියෙනවා. චිත්‍ර සහ කතාව දෙකම ඇස් දෙකෙන්ම එකට කියවන විශේෂ මාධ්‍යයක් තමයි අද අපිට නැති වෙලා තියෙන්නේ. මේක අද සමාජයට සත් ප්‍රයෝජනවත් කලාවක් කර ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව ඒ සඳහා සංවාදයක් ගොඩනැගේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
චන්දන දයාසිරිවර්ධන
