නළුවෙක් ලෙස ගුරුවරයෙක් වන්නට නොව ගුරුවරයෙක් ලෙස නළුවෙක් වන්නට ඔහු සැමවිටම උත්සාහ ගනු ලැබිණි. සැබැවින්ම ඔහු අද වන විට ඒ තමන් කට්ට කාගෙන ආ ගමනේ ප්‍රතිවිපාක අත්විඳීනුයේ බොහෝ හැකියාවන් ගොන්නක් සමඟිනි. සිංහල විෂය ඉගැන්වීමේ පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ඔහු නමින් උපාලි විජේවර්ධනය. මේ වෙන විට කොළඹ ආනන්ද විද්‍යාලයේ ජනප්‍රිය සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්වීමේ පාසල් ගුරුවරු ලෙස කටයුතු කරන උපාලි විජේවර්ධන ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසින්ද මේ දිනවල පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හමුවට පැමිණේ.
ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ රාත්‍රී 9.30 විකාශය වන ජහුටා ටෙලි නාට්‍යයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට එන උපාලි මීට පෙර සිල්ලර සමනල්ලු, නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඔස්සේ ද රංග ශිල්පියෙකු ලෙසින් ප්‍රේක්ෂක හමුවට එක්විය. ගුරු වෘත්තියට අමතරව විරුදු ගායකයෙක්, හිටි වන කවි ගායකයෙක්, හඬ කැවීම් ශිල්පියෙක්, සාහිත්‍ය ගී රස වින්දන විචාරකයෙක්, පද්‍ය නිර්මාණකරුවෙක්, ගීත රචකයෙක්, වීදි නාට්‍ය රංග ශිල්පියෙක්, වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය රංග ශිල්පීයෙක් ආදී බොහෝ හැකියාවන්ගෙන් පිරි කලාකරුකු ලෙසින්ද කටයුතු කරනු ලබයි මේ කතාබහ කලාවත් සමඟ ගමනක් යන රසකාමී ගුරුවරයා සමඟයි.
මේ දවස්වල කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් අතරේ වගේම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් අතරත් ජනප්‍රිය චරිතයක් ඔබ?
මට හරියට ඒකට සෘජු පිළිතුරක් දෙන්න බෑ. මම ගැන ඔය වගේ කතිකාවතක් ඇතිවෙලාද කියලා මම පාසලේ උගන්වන්නේ සිංහල විෂය හැබැයි මගේ ඉගැන්වීමේ කලාවේ වෙනසක් මම ඇති කරලා තියෙනවා. ඒක මම විසින් හදාගත්ත දෙයක්. මේ වෙනස් ඉගැන්වීමේ ක්‍රියා විලාසයට දරුවනුත් හරිම කැමතියි. ඒ දරුවන්ගේ කැමැත්ත ඔවුන් මා පිළිබඳ දෙමාපියන්ට පවසන දේ අනුව දෙමාපියනුත් නිරායාසයෙන් මා ගැන පැහැදීමකින් ඇති කියලා මම විශ්වාස කරනවා.
ඔබ කලාකාරයෙක් ලෙස ගමනක් අරඹන්නේ කොයි ආකාරයෙන්ද?
මම නුවරඑළියේ වලපනේ ලියන්වෙල කියන ගමේ ඉපදුණු කෙනෙක්. දුෂ්කර ගමක් වූ මෙහි ලියන්වෙල ශශ්‍රී සුධර්ම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ලියන්වෙල ප්‍රේමරතන දහම් පාසලෙන් දහම් පාසල් අධ්‍යාපන ලබා උසස් පෙළ සඳහා පොරමඩුල්ල ජාතික පාසලට ඇතුළත් වුණා. එහිදී කලා අංශයෙන් ඉගෙනීමේ කටයුතු සිදුකර විභාග සමත් වී. ශශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා..
උපකාරක පන්තියක් දැකල තිබුණේ නැති කාලයක කැකුණ තලල ආලෝකය අරන් ඒ එළියෙන් පොත් පාඩම් කර අති දුෂ්කර ජීවිතයක් ගතකර ගමට පිටින් ආ ගුරුවරුන් ලබාදුන් ජීවිත දැක්ම නිසාවෙන් අපි හරි මඟ හොයා ගත්තා. අපි දැක්ක උතුම්ම කෙනා වුණේ ගුරුවරු. සල්ලි මුදල් තිබුණත් අපේ හිතට වැදුණු එකම කෙනා වූණේ ගුරුවරයා. අපේ ගමේ පාසලට පිටින් ආපු ගුරුවරු අපිව හඳුනාගත්තා කැලෑවේ පිපුණු මල් වූ මේ අය කවදහරි සමාජගත කරන්න පුළුවන් කියන දේ මේ ගුරු දෙවිවරු හඳුනාගත්තා. අපිට හරි හමන් යුනිෆෝම් එකක් තිබුණේ නෑ. නමුත් ඒ ගුරුවරු අපිට කිව්වා පුතේ මෙන්න මේ වගේ හරිගමනක් උඹලට යන්න පුළුවන් කියලා කරපු ආශිර්වාදය නිසාම තමයි මට පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට එන්න ලැබුණෙත්.
පාසල තුළින් ජීවිතය ජයගත්ත පුද්ගලයෙක් ඔබ?
ඔව් ගුරුවරු දෙමව්පියන් වගේ ඒ යායුතු මඟ කියලා දුන්නා. සිංහල, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය මම විෂයක් ලෙස හැදෑරුවා. හැමදාම ඉස්කෝලෙ යන එක මූලික වශයෙන් සිදු කළා. අපිට උපකාරක පන්තියකට යන්න තරම්වත් වත්කමක් තිබුණේ නෑ. නමුත් පාසලේ විවිධ තරඟ සඳහා ළමයි අරන් ආපු ගුරුවරු අපේ හැකියාව දැකලා. ඒ අය අපිට කිව්වා ඇවිත් එයාලගේ පන්ති වලින් පෞද්ගලිකව ඉගෙන ගන්න කියලා. ඒ වෙනුවෙන් මුදලක් ගත්තේ නෑ. අපේ හැකියාව දැක්ක ගුරුවරු ඉදිරිය දැකලා අපිව උනන්දු කළේ එහෙම. එකේ ප්‍රතිඵලයක් විදියට මට ශශ්‍රී ලංකා රජරට විශ්ව විද්යවලට යන්න වරම් ලැබුණා. එහිදී සිංහල, ජන සන්නිවේදනය, නාට්යා රංග කලාව විෂයන් හැදෑරීම සිදු කළා.
කලාවට ප්‍රේම කරන්න ඔබ පටන් ගත්නේම විශ්වවිද්‍යාල ප්රවේශයත් සමඟද?
එහෙම කියන්නමත් බෑ. කලාවට ප්රවිෂ්ටවීම මුලින්ම ඇති වුණේ දහම් පාසලත් සමග. අපේ දහම් පාසලට ඩෙස් පුටු නැති කොට අපි කළේ ඒවා ගන්න ගමේ කට්ටිය එකතු වෙලා නාට්‍ය රඟ දැක්වූවා. ඒවා පෙන්වීමෙන් ලබපු මුදල්වලින් ඩෙස් පුටු ගත්තා.
ගමේ පන්සලේ සල්පිල ඔබේ හැකියාව උරගා බැලූ හොඳ අවස්ථාවක් කිව්වොත්?
ගමේ පන්සලේ තිබුණු සල්පිල්වල. බඩු වෙන්දේසිය සඳහා පද්මා අඹතලාව, තෙරි පැහැරුවන් වගේ කවි කියන උදවිය පිටස්තරින් පැමිණියාට පස්සේ ඔවුන් කවි කියන හැටි මම පුංචි කොලු ගැටය හැටියට බලන් හිටියා. මටත් ඒ වගේ කවි කියන්න පුළුවන්නේ කියලා හිතපු අවස්ථා තිබුණා. මේ අය කවි කියලා රබාන පැත්තකින් තියලා ගියහම මම ඒ ළඟට ගිහින් රබානට තට්ටු දාලා බැනුම් අහපු අවස්ථා තිබුණා. මගේ අම්මා ටී.පී කුසුමාවතී. ඇයට කවි කීමේ හැකියාවක් තිබුණා. මගේ පියා යු.ජී. ප්‍රේමදාස ඔහු කැඩුම් බිදුම් වෙද මහත්තයෙක්. අපේ ගමේ අදටත් මළ ගෙදරක වෙස්සන්තර කාව්‍ය කියනවා. නෙළුමක නෙළුම් කවි කියනවා. බණ ගෙදරක දානෙ ගෙදරක හාමුදුරුවෝ වඩම්මන එක පෙරහැර වර්ණව අදටත් අම්මලා මුල් වෙලා කරනවා. ඒ සිරිත් විරිත් අදටත් අපේ ගම්වල අම්මලාගේ මූලිකත්වයෙන් සිදු වෙනවා. අන්න ඒ ආභාසය ශිල්පීය දක්ෂතාවය නිරායාසයෙන්ම අපටත් උරුම වුණා. අපි ඒ ගැන උගත් දක්ෂයෝ නොවෙයි. මගේ අම්මට වගේම මගේ මාමා කෙනෙක් වූ කරුණාරන්නට හොඳට කවි ගායනා කරන්න පුළුවන්. මාමා පන්සලේ පින්කම් පොළේදී කවි ගායනා කරන කොට සහායට මාවත් ගත්තා.
මාමාගේ සහයට හිටිවන කවි කියූ උපාලි පසු කලෙක හිටිවන කවියෙක් වුණා?
ගමේ සල්පිලේ කවි කිව්ව මට පොරමඩුල්ල ජාතික පාසලට ආවට පස්සේ මගේ කවි හැකියාවට හොඳ පිළිගැනීමක් ඇතිවුණා. ඉස්කෝලෙට අලුත ආපු ශිෂ්‍යයෙක් හැටියට මට රැග් එකක් විදියට ලැබුණේ කවි කියන්න. මම විදුහල්පති ගැන පාසල ගැන දකින දේ ගැන හරි අපූරුවට හිටිවන කවි කිව්වා. ඒ හින්දම මම පාසලේ ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් මට ඕනෑම සිද්ධියක් කියලා කවියක් කියන්න කිව්වොත් එහෙම නැත්නම් සින්දුවක් කියන ඒ තාලෙට කවියක් කියන්න කිව්වොත් හරි අපූරුවට කවි ගොතලා. මට කියන්න පුළුවන්.
විශ්ව විද්‍යාලය තුළත් ඔබේ කලා හැකියාවට මඟක් විවෘත වුණාද?
විශ්වවිද්‍යාලය තුළ නොයෙල් චන්ද්‍රසිරි ගුරුතුමාගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. සේන නානායක්කාර ගුරුතුමා යටතේ ජන සන්වේදනය ඉගෙන ගත්තා. මට සිංහල විශේෂවේදී උපාධිය හදාරන්න අවස්ථාව උදා වුණා. අපේ විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට මහාචාර්යවරු මේ විෂය සඳහා නොසිටි බැවින් රත්න විජේතුංග අත්තනායක, එම්. හේරත්, තිස්ස කාරියවසම්, උදය ප්‍රශාන්ත මැද්දේගම වගේ සිංහල විෂයට ප්‍රවීණයෝ පිරිසක් අපේ විශ්වවිද්‍යාලයට ඇවිත් අපිට ඉගැන්නුවා. ඒ ඇසුර ආභාසය නිසාවෙන්ම මට සාර්ථකව සිංහල විශේෂවේදී උපාධිය හදාරා අවසන් කරන්න පුළුවන් වුණා.
උපාලි තොරන්වල කවිත් කිව්වා කියලා ආරංචියි?
කිව්වා කිව්වා මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කොට මගේ කවි කීමේ හැකියාව ගැන බොහෝ දෙනෙක් දැන සිටියා. ඒ අයගේ කතාබහෙන් මගේ හැකියාව ගැන විශ්ව විද්‍යාලයෙන් පිට බොහෝ අය දැනගෙන හිටියා. වෙසක්, පොසොන් දවස්වලට මට ආරාධනාත් ආවා තොරන්වල කවි කියන්න. ඒ වෙනුවෙන් මට මුදලකුත් ලැබුණා. අවුරුදු හතරටම විශ්වවිද්‍යාලයේ හොස්ටල්වල හිටියේ. එක දවසක් මට තොරණක විරුදු කියන්න ආරාධනාවක් ආවා. මම හොස්ටල් එකේ යාළුවන්ටත් නොකියා විරිදු කියන්න ගියා. මගේ දක්ෂකම නිසාම තොරණ සංවිධාකයෝ මට ඇඳුම් එහෙමත් දීලා දින කීපයක් නවාතැන් දීලා තොරණේ කවි විරිදු කියන්න දුන්නා. ඔය අතරේ මගේ යාළුවෝ මාව හොයලා තොරතුරක් නැතුව ඉන්නකොට ආරංචියක් ඇවිත් තියෙනවා මම මහ කරදරා වැවේ ගිලිලා මැරිලා කියලා. මේ ආරංචියට මාව හොයාගෙන විශ්වවිද්‍යාලයේ යාළුවො එනකොට මම තොරණ ළඟ විරුදු කියනවා දැකලා යාළුවෝ මම ළඟට ඇවිත් කිව්වා මචං අපි හිතුවේ උඹ ඉවරයි කියලා. කහට ගස්දිගිිලිය, දුටු වැව ගලෙන් බිදුණු වැව ප්‍රදේශවල මම තොරන්වල විරිඳු කිව්වා.
උපාලි කියන්නේ පොත් ගුල්ලෙක් කියලත් ආරංචියි?
මම ගොඩක් පොත් කියවපු කෙනෙක්. පාසලේ වුණත් පුස්තකාලයේ තිබුණු හැම පොතක්ම වගේ මම කියෙව්වා. පුස්තකාලේ තිබුණු ලොකුම පොත් කියෙව්වේ මම. බණ පොත් පවා මම කියෙව්වා විශ්වවිද්‍යාල ජීවිතයේත් එහෙමයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වීමත් සමග ගුරු වෘත්තියට ඔබ ප්‍රවිෂ්ට වෙනවා?
මම මුලින්ම කෑගල්ල සිරිසීල වංශ ධර්මායතන පිරිවෙනේ සිංහල විෂය භාර ගුරුවරයා විදියට මුලින්ම පත්වීම ලබනවා. ඒ පත්වීමත් සමග මම උගන්වන එක වගේම මගේ ඉගැන්වීමේ අවශ්‍යතාව වෙනුවෙන් මට ගොඩක් ගැඹුරු භාෂා දැනුමක් ලබන්න උපකාරයක් ලැබුණා පිරිවෙන් අධ්‍යාපන ඉගැන්වීමේ අවස්ථාවේදී.
ඔබේ හිටිවන කවි කලාව තවදුරටත් පෝෂණය වීම ඇරඹෙන්නේ කොහොමද?
මම ඉගෙන්වීමේ කටයුතු සිදුකළ පිරිවෙන් ප්‍රදේශය වූ නාමල්ගම තොරණක් ප්‍රදර්ශනය කළා. මෙහි විරිඳු කවි ගායනා කිරීම නායක හාමුදුරුවෝ මට පැවරුවා. දවසක් මේ අවස්ථාවට පුද්ගලයෙක් පැමිණියා. ඔහු හරි අපූරුවට ප්‍රසන්න හඬකින් විරිඳු ගායනා ඉදිරිපත් කළා. මගේ හිතත් මේ පුද්ගලයා කෙරෙහි නිරායාසයෙන්ම ඇදී ගියා. ඔහු තමයි ගුවන්විලි සංස්ථාවේ ආගමික අංශයේ නියෝජ්‍ය වැඩසටහන් අධ්යක්ෂ උපාලි මාරසිංහ මහත්තයා. එතුමන් මගේ කවි හැකියාව හඳුනාගත්තා. මගේ ඒ හැකියාව වැඩිදියුණු කරන්න උපදෙස් ලබා දුන්නා. එතුමන් තොරන් සල්පිල්වල වැඩවලට මාව එක්ක ගියා.
කවියක් තුළ භාෂා ගැළපීම්, උපමා උපමේය දාන හැටි ආදි ශාස්ත්‍රීය පැත්ත එතුමා මට පුරුදු පුහුණු කළා. මුල මැද අග එළිසමය ආරක්ෂා කරගෙන හිටි වන කවියක් කීමේ තැනට මාව පුරුදු පුහුණු වීම සිද්ධ කළා. කවියක් ක්ෂණිකව නිර්මාණය කරමින් ගායනා කිරීම කවියක් ලියන තරම් ලේසි නෑ. කොහොමහරි එකයි තිහ වෙනකම් පිරිවනේ උගන්වලා මාරසිංහ මහත්තයා වැඩ කරන තැනට ගිහින් එතුමාවත් අරගෙන මගේ මෝටර් සයිකලේ හවස හය වෙනකොට තොරණ ළඟට ගිහින් පාන්දර තුන හතර වෙනකන් තොරණේ කවි කිව්වා. ඊට පස්සේ පසුදා යළිත් රජකාරියට ගියා. ඔය වගේ දුෂ්කර වැඩ කොටසක් කළා මහන්සි නොබලා.
ආචාර්යවරයකු ලෙස පිරිවෙන් කිහිපයක පාසල් කිහිපයක ඉගැන්වීම් කටයුතුත් ඔබ සිද්ධ කරනවා නොවේද?
කෑගල්ල සිරිසීලවංශ ධර්මායතන පිරිවෙනෙන් පස්සේ මම පරපේ ශශ්‍රී විද්‍යා ශශ්‍රී පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිදු කළා. ඊට පස්සේ මම පිරිවෙන් අධ්‍යාපන ගුරු වෘත්තියෙන් සමුගෙන රජයේ පාසල් ගුරුවරයක් ලෙස කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදු කළා. 2012 වසරේ මම කොළඹ ඉසිපතන විද්‍යාලයට පැමිණියා. මම ඒ විද්‍යාලට එනකොට එහි විදුහල්පති ලෙස කටයුතු කළේ ඒ.සී පෙරේරා මහතා මගේ ගමේ පාසලේ මම ඉගෙන ගන්න කොට අපේ ගමේ පාසලට ඇවිත් විද්‍යා විෂයන් ඉගැන්වූ ගුරුවරයා තමයි. ඒ.සී.පෙරේරා මහතා. එතුමා එදා අපේ අනාගතය දැකලා අපිට ලෝකය පෙන්නලා දුන්න අයගෙන් කෙනෙක් වුණා. දෛවයේ හාස්කමකටද කොහේදෝ ගුරුගෝල සබඳතාවයක් එකට මුණ ගැහුණා. ඊට පස්සේ මම 2019 වසරේ කොළඹ ආරක්ෂක විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදු කළා. ඉන් අනතුරුව 2025 වසරේ කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණියා. දැන් මම එහි ඒ උසස් පෙළ හා අනෙකුත් ශ්‍රේණි සදහා සිංහල විෂය උගන්වනවා.
හොඳ ගුරුවරයෙක් වීමේ සිහිනය කවදත් අත්විඳී ඔබ රංගන ශිල්පියෙක් වුණේ කොහොමද?
මම දරුවන්ට උගන්වන විශේෂ ක්‍රමය නිසාම මගේ රංගන හැකියාව හඳුනාගත් සද්ධා මංගල සූරිය බණ්ඩාරත් ඔහුගේ බිරිය වන චේතනීත් මට යෝජනාවක් ගෙන ආවා අපි චරිතයක් කරමු නේද කියලා. මම ඉසිපතන විද්‍යාලයේ උගන්වන කාලේ තමයි සද්ධා මංගල මහත්තයාව මම හඳුනාගත්තේ. ඒ හඳුනාගැනීම සිදුවන්නේ ඔහුගේ දරුවෙක් ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මම ඔහුට සිංහල විෂය ඉගැන්නුවා මගේ ඉගැන්වීමේ රටාවේ අපූර්වත්වය දැකලා මේ දරුවා ගෙදර ගිහින් කිව්වා. මාර සර් කෙනෙක් අපිට සිංහල උගන්නවා. හරිම ආශයි අහන් ඉන්න කියලා. මේ කතාබහ නිසාම සද්ධා මංගල මහත්තයත් චේතනී මහත්මියත් මම උගන්වනවා බලන්න දවසක් පාසලට ආවා. ඒ ඇවිත් මගේ හැකියාව දැකල තමයි මට රංගනයක් කරමු කියලා යෝජනාවක් ගෙන ආවේ.
ඔබේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය වුණේ ?
සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ ඇමතිවරයෙකුගේ චරිතයක් තමයි කළේ. මම ගුරුවරයෙක් ලෙස හිඳ නළුවෙක් බවට පත්වුණේ 2014 වසරේ මට ඕන කළේ නළුවෙක් ගුරුවරයෙක් වෙන්න නොවෙයි ගුරුවරයෙක් නළුවෙක් වෙන්න. මීට කලින් වේදිකා නාට්‍යවල රඟ පාල තිබුණොත් මගේ හීනයක් තිබුණා කවදා හරි ටෙලි නාට්‍යයක රඟපාන්න.
කා සමගද ඔබ ටෙලි රංගනයට මුලින්ම සම්බන්ධ වුණේ?
ගිහාන් ප්‍රනාන්දු සමඟ ඔහු ඒ ටෙලි නාට්‍යයේ තොටළඟ හැරී ලෙස රඟපෑවා. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳලාම ටෙලි නාට්‍ය වලට මගේ ලොකු කැමැත්තක් තිබුණා කවද හරි රඟපාන්න මාර්ගයක් හොයා ගන්නවා කියලා ගමක බිමක ඩෙස් ටිකක් තියලා නාට්‍යයක් පෙන්නපු මට කැමරාවක් ඉදිරියේ රඟපාන්න ලැබුණා. ඒ නාට්‍ය තුළ මගේ කවි හැකියාවෙනුත් සද්ධා මංගල මහත්තයා ප්‍රයෝජනයක් ගත්තා. ඔය අතරේ මට සිවගුරුනාදන් මහත්තයා අධ්‍යක්ෂණය කළ නාඩගම්කාරයෝ. ටෙලි නාට්‍යයේ ජයශාන්තගේ චරිතයට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒක මගේ දෙවන ටෙලිනාට්‍ය රංගනය. ගමින් ගමට ගිහින් විරුදු කියල සල්ලි හොයාගෙන කලාවෙන් ජීවත්වෙන පුද්ගලයෙකුගේ චරිතයක් තමා මම එහිදී රඟපෑවේ.
මේ දිනවල ස්ර්ණවාහිනියේ විකාශය වන ජහුටා ටෙලි නාට්‍යයේ ඔබ හඬ උච්චාරණයෙන් රංගනයේ නියැළෙනවා නොවේද?
මේ නාට්‍යය තුළ තියෙන්නේ දෙබස් කථන ගීත මුද්‍රා නාට්‍යය ක්‍රමවේදය මම තමයි සූරිය බණ්ඩාර මහත්තයාගේ අවධානයට යොමු කළේ මේ වගේ ක්‍රමයක් පිළිබඳ මම මේ නාට්‍යයේ කරන චරිතය තමයි දෙබස් කථනය චරිතයට අවශ්‍ය සියල්ලෙන් මම පොහොසත් නිසාවෙන් අධ්යක්ෂවරයාට වගේම පිටපත් රචකයාටත් හරිම පහසුවක් වෙලා තියෙනවා මගේ ඉදිරිපත් කිරීම. ඒ අතරේ පෙනී සිටින චරිත සඳහාත් දායක වෙනවා.
ඔබ සේවය කළ පාසල්වලත් දැනට සේවය කරන පාසලේ දරුවෝත් ඔබට මෙතරම් ආදරයක් දක්වන්නට හේතුව?
මගේ ඉගැන්වීමේ රටාවට අදටත් මම පාඩමක් ඉගැන්නුවොත්, පන්තියේ ඉන්න සියලු ළමයි බොහොම ලෙන්ගතුව අහන් ඉන්නවා. මට ආදරය දක්වනවා. මම උගන්නපු පාසල් වලදී මම දැක්ක දෙයක් තමයි මම උගන්නපු පන්තිවල දරුවෝ මාව නැවත එවන්න කියන තැනටත් එහෙම නැත්නම් නොකියා අර ගුරුවරයා එවන්න කියන තැනටත් හැදිලා තිබුණා. සිංහල භාෂාවේ ගුරුවරයයි ශිෂ්‍යයයි අතර තියන සම්බන්ධතාවය සිරිත් මල්දම පුංචි වාක්‍යයකින් කියලා තියෙනවා හොඳම ශිෂ්‍යයෙක්ගේ වටිනාකම “වත් සැපෙන කී කී දෙයක් වහා සපයයි මන වඩන න්‍යායෙන් නොව පෙම් වඩන න්‍යායෙන් හැසිරේ” කියා.
ගුරු වෘත්තිය නළුවෙක් බවට පත්කිරීම නේද ඔබගේ් අධ්‍යාපන ඉගැන්වීම?
ඒක නොවෙයිද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මම හිතනවා මේ නව අධ්‍යාපන ක්‍රමයට දරුවා ප්‍රිය කරනවා. මම නළුවා වෙන්නේ ළමයා ඉදිරියේ. ගුරුවරයෙක් ලෙස මම ලබන ආත්මීය තෘප්තිය මට වචනවලින් කියා නිම කරන්න බෑ. මොන වෘත්තියෙන් අපි ඉහළට ගියත් සංවේදී හදවතක් තිබිය යුතුයි. සහෘද බව තිබිය යුතුයි. තව කෙනෙක්ගේ දුක හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුයි.
වේදිකාවෙන් බැහැර වෙලාද?
විශ්වවිද්‍යාලයේ ගතකරපු කාලේ රජ වීදිය වීදි නාට්‍ය කණ්ඩායමේ රඟපෑවට පස්සේ වේදිකාවේ රඟපෑවේ නෑ. නොයෙල් චන්ද්‍රසිරි සර්ගේ මූලිකත්වයෙන් අපි කරපු මිටියාවතේ ගීතය නාට්‍ය උතුරු මැද කලා උලෙළේ ප්‍රථම ස්ථානය දිනුවා.
කොහොමද පවුලේ තොරතුරු?
මගේ බිරිය ප්‍රසාදි ශාලිකා වික්‍රමරත්න. ඇය ගුරුවරියක් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ උගන්වනවා. ලොකු පුතා මිලිදු සුභාෂ විජේවර්ධන, පොඩි පුතා නිසඟ මියුරු විජේවර්ධන දෙන්නම කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
ගුරුවරයෙක් නළුවෙක් වීම තුළ අද ඔබ මොන වගේ පුද්ගලයෙක් ලෙස හඳුන්වනවාටද කැමති?
කලාවත් සමඟ යන රසකාමි ගුරුවරයෙක් කියනවට පෙර නොවු විරූ ගුණයෙන් යුත් ප්‍රතිභා සම්පන්න පුද්ගලයෙක් ලෙස මට පත් වෙන්න ලැබීම ගැන මට ආඩම්බරයක් නැතුවාම නොවෙයි.
මට බැරි දෙයක් නෑ අද වෙනකොට මම පර්යේෂණාත්මක නාට්‍ය පිටපත් ලියමින් පෙර පුහුණුවක් ලබනවා. මට ව්‍යාකරණ ඉගෙන්වීමේ යූටියුබ් චැනල් එකක් පවා තියෙනවා උපාලි සිංහල කියල.
ඔබ දරුවන්ට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?
මම ළමයින්ට කියන එකම දේ තමයි අපි පුතේ පයට පෑගෙන්න දූවිලි කවුරුවත් මේක ගණන් ගන්නේ නෑ. මමත් පයට පෑගෙන දූවිලි. කවුරුහරි මට දූවිලි කියනවට මම දූවිලි ගොඩක් කියනවට මම කැමතියි. ඕක පෑගිිලා මඩවෙලා මඩ ගොඩක් කියනවට මම කැමැතියි. ඊට පස්සේ ඕකට මැටි ගොඩක් කියනවට මම කැමතියි. මම හොඳ මැටි ගොඩක් පෑගිලා පෑගිලා මම හොඳ මැට්ටෙක් හැබැයි මම ඔය මැටි ගොඩෙන් හොඳ වඩේ එකක් හදනවා. ඒකකැඩෙනවා. මම බෝලයක් හදනවා ඒකත් කැඩෙනවා. හැබැයි මම මල් පෝච්චියක් හදනවා. ගුරුලේත්තුවක් හදනවා පුතේ මම කියන්නේ ඔයාලා කවද හරි දේව පිළිමයක් හදන්න එදාට මිනිස්සු දුක වේදනාව කියයි තමන්ගේ පිළිමයක් හරි හදා ගනියි. ඕනෙමනම් බුදුපිළිමයක් හරි හදා ගනියි.
මම කියන මැටි ගුලිය දේව පිළිමයක් බවට පත්කර ගත්තොත් හැමෝටම දුක වේදනාවට පිහිටක් වෙන්න පුළුවන් කියලා මම කියනවා අන්න ඒ ගමන මම යනවා.
චන්දන දයාසිරිවර්ධන
