Home » ‘ගුණවතී’ නිසා දැන් පාරේ බැහැලා යන්නත් බැහැ

‘ගුණවතී’ නිසා දැන් පාරේ බැහැලා යන්නත් බැහැ

ප්‍රවීණ රූපණවේදී - කෞශල්‍යා ප්‍රනාන්දු

by shanaka
November 13, 2025 1:00 am 0 comment

ලාංකේය සිනමාවේ ජනප්‍රිය නිළි තරු කොතෙකුත් සිට ඇත්තේය. එදා රුක්මණී දේවියගෙන් ආරම්භ වූ නිළි පරපුරේ සිට ජනප්‍රිය කිරුළ දිනු මෙදා ඩිනක්ෂි ප්‍රියසාද් දක්වා මේ කිරුළ හිමිකර ගත්තවුන් කොතෙක් දැයි අපි ගණන් බලා නොමැත. මේ සියලු දෙනාම ජනතාවගේ කිරුළ හිමිකර ගනුයේ ඔවුන් වෙනුවෙන් තමන් විසින් නිරූපණය කරන ලද කුමන හෝ භුමිකාවන් වෙනුවෙනි. ජනතා හද සන්තානයේ ලැගුම් ගන්නට කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් හැකිවන්නක් නොවේ. එසේම එකී ජනතා ආකර්ෂණය දිනා ගන්නා අන්දමින් රංගනයේ යෙදීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

මේ පූර්විකාව විශේෂයෙන් රැගෙන ආවේ මේ දිනවල ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම නිළිය පිළිබඳ සඳහනකටය. ඇය කවුදැයි මේ මොහොත වන විටත් ඔබ හඳුනාගෙන ඇතැයි සිතමි. බෝහෝ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් මේ මොහොත වන විටත් ආදරයෙන් නරඔන චිත්‍රපටයක් වනුයේ තිසර ඉඔුලානගේ, මෝඩ තරිඳු චිත්‍රපටයය. එහි ප්‍රධාන භුමිකාව වන ගුණවතී හෙවත් මෝඩ තරිඳුගේ ආච්චි අම්මා වනුයේ කෞශල්‍යා ප්‍රනාන්දුය. මේ මොහොත වන විට මේ රටේ බෝහෝ ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනාගත් චරිතය වනුයේ ඇයය. ජනප්‍රියත්වය කොතෙක් දැයි කිවහොත් ඇය කියන පරිදි ඇයට ද පොදු ස්ථානය කට ගමන් කීරීමට අපහසු වන අන්දමේ ජනප්‍රියත්වයක් මේ නිසාම ඇති වි තිබේ. කෞශල්‍යා ප්‍රනාන්දු මෙතෙක් අප හඳුනා ගෙන තිබුණේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ට ගණයේ චරිතාංග නිළියක වශයෙන්ය. මෝඩ තරිඳු හරහා ඇය ලබන මේ ජනප්‍රියත්වය මින් පෙර වෙනත් සිනමා පටයකින් ඇය ද ලබා නොමැතිය. මේ නිසාම අප පසුගිය සතියේ දිනක ඇය සොයා ගියේ මෝඩ තරිඳු පිළිබදත් ඇගේ සිනමා දිවියේ නවක තතු පිළිබදත් විමසන්නටය.

“මෝඩ තරිඳු චිත්‍රපටයේ ආච්චි අම්මා (ගුණවතී) ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මට මින් ඉහත කවදාවත් ලැබිල නෑ මීට ඉස්සර මම රඟපාපු චිත්‍රපටවලට ප්‍රතිචාර ලැබුණේ කවුරු හරි මුණ ගැහුණම කියන දේවල්, එහෙම නැතිනම් විචාරයකදී මගේ රංගනය පිළිබද කරනු ලබන ඇගයීම් වැනි දේ තමයි මට ලැබිලා තියෙන්නේ. නමුත් දැන් මට පාරක බැහැල යන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ වගේ තත්වයන් මට උදා වුණේ ප්‍රථම වතාවට ඒකට ඉතින් චිත්‍රපටයේ ශානරය, ඒක ඇතුලේ තිබෙන රසවත් බව හැමෝටම විඳගන්න පුළුවන් බව වගේ විවිධ කාරණා හේතු වෙනවා.

චිත්‍රපටයේ තිර නාටකය කියවත්දි ඔබට මොකද හිතුණේ ?

මම තිසර ඉඹුලානලා හොඳට අඳුනනවා ඔවුන්ගේ විදිය මම දන්නවා. මමත් ඔවුන්ට හැම තිස්සේම කියා කියා හිටියේ චිත්‍රපටයක් කරන්න කියලා. ඉතින් පිටපත ගෙනත් මට දුන්නම මට හරි සතුටු හිතුණා ඔවුන් චිත්‍රපටයක් කරනවා කියන හැඟීමට. තිර රචනය හරිම රසවත්. මම තිර නාටකය කියෙව්වෙත් හිනාවෙන ගමන්මයි. මට තිරපිටපත දුන්නා විතරයි. චරිතයක් ගැන මට කිව්වේ නෑ. ඒ හින්දා මම ඇහුවා මේ පිටපතේ මම මොකක්ද කරන චරිතය කියලා. තිසර කිව්වා ආච්චි කියලා. මම කිව්වා යකෝ මං ආච්චියෙක් කරන්නද හදන්නේ කියලා. එතකොට තිසර කියනවා හරි හරි….ඔයා තරුණයි තමයි, අපි makeup කරල ගමු කිව්වා. ඊට පස්සේ කොණ්ඩෙ දාලා පික්චර්ස් අරගෙන බැලුවා. මමත් ඉතින් පුළුවන් ධෛර්යය දාලා ආච්චි කෙනෙක් වුණා. ඇත්තටම මම හරියටම කැමැති වුණා මේ චරිතයට. වෙනස් විදියේ චරිතයක් නේ. නිළියෙකුට හැමදාමත් එකම විදියේ චරිත කරලා වැඩක් නෑ.

ඔබේ සිනමා ඉතිහාසය පුරාම මේ වගේ චරිතයක් තිබිලා නැතුව ඇති ?

නෑ. කවදාවත් නෑ චරිතාංග නිළියක් විදියට හරිම කර්කෂ බැරැරූම්. චරිත නිරූපණය තමයි මෙතෙක් මම සිනමාවේ නිරූපණය කළේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ගත්තොත් තිසර මගේ හොඳ යාළුවෙක්. එයා මුලින් අපිට රඟපාන්න දෙනවා. මම මගේ විදියට කරගෙන යනකොට මෙන්න මෙතන මේ විදියට කරන්න කියලා එයා උපදෙස් දෙනවා. එහෙම නැතුව එයාට ඕන රූපයක් හදලා ඒ ඇතුලේ අපි ඉන්න එකක් එයාට ඕන වුණේ නෑ. මම දැක්කා එයා දීලා තිබුණ සම්මුඛ සාකච්ඡාවකත් කියලා තිබුණ ඉගෙන ගත්තේ නැති අයත් එකක් වැඩ කරන්න. එයා කැමැතියි කියලා. ඉතින් ඒක තමයි එයාගේ ස්ටයිල් එක. අපි පුළුවන් තරම් සැහැල්ලුවෙන් වැඩකළා. විනෝදෙන් ලොකු බරක් ගත්තේත් නෑ නැත්තෙත් නෑ. මේ චරිතය රඟපෑවේ. තිසර හරි සැහැල්ලුය කිව්වට වෙලාවකට හරි සැරයිත් එක්ක.

ගුණවතීගේ චරිතය ඔබ අවබෝධ කරගත්තේ කොහොමද?

මේ ආච්චි ගුණවතී මවතේදී මගේ ආච්චි ඒ කියන්නේ මගේ අම්මගේ අම්මා සහ මගේ සැමියා චන්දන ගේ ආච්චි යන දෙන්නම මගේ ඔලුවේ වැඩ කළා. එක තැනක් තියනවා තරිඳු පූසාව ළිඳට දාලා ගෙට එනකොට මම කාමරේ නිදාගෙන ඉන්නවා. ඔක්කොම මගේ ආච්චි නිදා ගන්න විදිය. නැගිටලා වාඩීවෙලා කතා කරන විදිය අපේ ආච්චිගේ විදිය. මට අපේ නංගී චිත්‍රපටය බලලා ඇවිත් කියනවා. ඔයා අපේ ආච්චි වගේමයි කියලා. අපේ ආච්චිගේ කොණ්ඩෙත් සුදුම සුදුයි. එහෙම හැඩ රුව මවා ගත්තා. මම සාමාන්‍යයෙන් චරිතයකට යනකොට කවුරු හරි මතක් කරගෙන මගේ ජීවිතේ ඒ සම්බන්ධයෙන් ලැබුණා අත්දැකීම් ළංකර ගන්නවා. ඇත්තටම ඔසරිය අඳීන්න මම කැමැති නැති කෙනෙක්. මම කිව්වා අනේ ඔසරියද අඳීන්න ඕනේ කියලා තිසර කියනවා බෑ බෑ චරිතයට ඔසරිය අඳීන්නම ඕන කියලා.

ඔබ වැඩිපුරම රඟපාන්නේ ‘තරිඳු’ නිරූපණය කළ සූර්යා දයාරුවන් සමඟ කොහොමද ඒ සබැඳීයව?

ඇත්තටම සූර්යා කියන්නේ හරිම සුන්දර ළමයෙක්. මම එයත් එක්ක මීට කලින් වැඩ කරල තියෙනවා. පෝටා වැටිය කියල ටෙලි නාට්‍යයක ෂර්ලි පී දෙලංකාවලගේ. එතකොට එයා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්, ඒ සම්බන්ධයත් ටිකක් තිබුණා. ඊට පස්සේ හතෙන් හත කියලා තිසර කළා යූ ටියුබ් සීරිස් එකක් එතැනදිත් ඔහු මුණ ගැහුණා. කොහොමත් තිසරගේ යාළුවොත් මට හරි ආදරෙයි. අපි දෙන්නා හොඳට මේ චරිත ද්විත්වය රඟපෑවා. එයා කියන දේවල් වලට මට සමහර වෙලාවට හිනා යනවා. එක සැරයක් තිසරගෙන් බැණුුනුත් ඇහුවා හිනාවෙලා.

ඔබ හිතන්නේ මේක ඔබේ ගමනේ වෙනස් සන්ධිස්ථානයක් කියලද? මොකද මේ වන විට ලංකාවේ ජනප්‍රියම නිළිය ඔබ ?

මගේ ජීවිතේට කවදාකවත් ඒක මම හිතුවේ නෑ. මම හීනෙකින්වත් හිතලා නෑ එහෙම එකක් ගැන. මම ඒකට ගරු නොකරනවා නොවෙයි. නමුත් මට පුදුමය මම කොහොමද එහෙම වුණේ කියලා. සමහර අය මට කියනවා තමයි. ඔයා තමයි මේ දිනවල ජනප්‍රියම නිළිය කියලා. ඒක මට ලැබෙන්න තිබෙන්නේ තරිඳුගේ ආච්චිගේ චරිතයෙන්. පොඩි තිසර ඒක අධ්‍යක්ෂණය කරලා තිබෙන විදියෙන්. මගෙන් සිද්ධ වෙන දේවල් මේ හැමදෙයක්ම නිසා තමයි ඒක එහෙම වෙනවා නම් වෙලා ඇත්තේ. සමහරු මට කියනවා ඔයාව දැක්ක ගමන් මට හිනා යනවා කියලා.

ඔබ මේ නිර්මාණය වුණු තත්ත්වයට කැමැතිද?

අනිවාර්යයෙන්ම. මේ චරිතය රඟපාන්න මට ලැබුණු එකට මම කැමැතියි. වෙනස් චරිතයක්. මෙච්චර කල් මම කරගෙන ආව දේවල් එක්ක බලනකොට මම කරගෙන මේක හුඟක් වෙනස්. මට හිතෙනවා නිළියෝ වුණාම මේ වගෙ අභියෝග ගන්න ඕන කියලා. නැත්තම් එකට විදියේ චරිත කළාට ප්‍රේක්ෂයන්ට දැනෙන්නේ නෑ අපිට අපේ කාලය තුළ ඒ වගේ අභියෝග ගන්න හුඟාක් අවස්ථා ලැබුණේ නෑ. යුද්ධය, කොරෝනා, අරගලය වගේ දේවල් එක්ක අපිට හුඟාක් අතපසු වුණා.

නිළි භුමිකාව කියන එක අධ්‍යාපනයක් එක්ක යා යුතු එකක්ද?

මගේ අම්මයි, තාත්තායි කිව්වේ ඔයා ඒකට යනවා නම් ඒක ඔයා හරියනවා හදාරල යන්න කියලා. මගේ මහත්තයා වුණත් හිටියේ ඒ මතයේ. නිකම් හිටපු ගමන් කරන්න එපා. ඒකට ඔයාට දැනුමක් තියෙන්න ඕන. ඒ ගැන අදහස, ගැඔුරක් ඇතුව ඒ දේ කරන්න කියලා තමයි ඔවුන් කිව්වෙ. මම ඒ කාලේ ඉඳලාම හුඟාක් දේවල් කළා. චිත්‍රපට බලනවා කියවනවා. උපදෙස් විව්ධ අයගෙන් අරගෙන තිබෙනවා. ඒ අතර සත්‍ය මාඉටිපේ ඉන්නවා. මට එයා මේ ගැන හරියට උපදේස දුන්නා. ඒ හැම දෙයක්ම ඔළුව තියාගෙන මට පුළුවන් ශෛලිය මම හදා ගත්තා.

මෝඩ තරිඳුගෙන් පස්සේ ඔබේ නිර්මාණ?

එකක් තමයි විමුක්ති ජයසුන්දරගේ අලුත් චිත්‍රපටයේ පොඩි චරිකයන් රඟපානවා. මීට කලින් මම ඔහුගේ සුළඟ එනු පිණිස සුළඟ ගිනි අරන් හිත් වැඩ කළා. විමුක්තිගේ අලුත් චිත්‍රපටය ‘ස්පයින් ස්ටාර් ඊට පස්සේ පාලිත පෙරේරා අලුත් චිත්‍රපටයක් කළා. අනුර සිල්වා ගේ ‘මෝහිණි’ ලලිත් රත්නායකගේ, ඩෙල්ෆ්ට් ඉස්සරහට එන්න තිබෙනවා.

වේදිකාවේ ඔබ රඟපාන ඇෆ්‍රඩයිට් මල්කොල්ලය මේ දිනවල හරිම ජනප්‍රියයි නේද?

ඇෆ්‍රඩයිඩ් අපි කළේ කාන්තාවෝම “දෙනෙක් එකතු වෙලා අපේ කණ්ඩායම් පස්හය දෙනෙක්ම අපේ අම්මගේ Drama SchooI එකෙන් ආපු අය. පස් දෙනෙක්ම ශාන්ත පාවුල බාලිකාවේ. ඉතින් අපිත් එකතු වෙලා තමයි මේ නාට්‍යය කළේ. ඒක ජනප්‍රිය වුණා. විදේශ සංචාරත් කළා. ඒ සමඟම මේ දිනවල, රහසිගත ලිපි ගොනු කියලා නාට්‍යයකුත්. ඒ්ක මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු තමයි අධ්‍යෂණය කලේ. සෞම්‍ය ලියනගේ, මම සමායි ලක්සිරි, චමින්ද බටකොටුව, ගශෝදා රසාති ඇතුළු පිරිසක් මේකේ රංගනය එක් වෙනවා. ඉතාම නිර්මාණාත්මක සහ අද කාළයේ සමාජයේ සිද්ධවන දේශපාලනමය සිද්ධිදාමයක් පදනම් කරගන කරන ඉමහත් රසවත් නාට්‍යයක්.

 

 

 

හේමාලි විජේරත්න

[email protected]

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT