Home » ගීත රචනය පුළුල් විෂය ක්ෂේත්‍රයක් – නවක ගී පද රචිකා නිලූකා සෙනෙවිරත්න

ගීත රචනය පුළුල් විෂය ක්ෂේත්‍රයක් – නවක ගී පද රචිකා නිලූකා සෙනෙවිරත්න

by sachintha
September 11, 2025 1:00 am 0 comment

සිය ජීවන අත්දැකීම්වලින් ලද පරිචයෙන් ගීත නිර්මාණකරණයට පිවිසි ඇය, අද වනවිට නවක ගීත රචිකාවක් වශයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් සිටින්නීය. ගීත ශ්‍රවණය කිරීමෙන් , පොතපත පරිශීලනයෙන් මෙන්ම විශිෂ්ට ගීත රචකයන්ගේ ආභාසය ලබමින්, සිය හැකියාවන් වර්ධනය කරගනිමින් දීර්ඝ ගමනක් යෑමට සූදානම් වන ඇය නිලූකා සෙනෙවිරත්නය. සිය නිර්මාණ දිවිය පිළිබඳ කතාබහක යෙදිමට සරසවිය හා මෙසේ එක්වූවාය.

මේ දිනවල සිදුකෙරෙන නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ….?

මේ දිනවල ගීත කිහිපයක් නිර්මාණය කිරීමට යොමුකර තිබෙනවා. එහි වැඩකටයුතු තවම නිමවී නැහැ. ඊට අමතරව කෙටිකතා කිහිපයක් ද ලියා අවසන් කළා. ඒවගේම නවකතාකරණයට යොමුවෙන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ කාර්යයන් මම ආරම්භ කර තිබෙනවා. තව නොබෝ දිනකින් එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එය සාර්ථක නිර්මාණයක් වේවි කියා මා සිතනවා.

ගීපද රචනා කලාවට යොමුවූ ආකාරය කිවොත්…..?

ගීපද රචනා කලාවට යොමුවූයේ 2018දී. එහෙත් මම කුඩා කාලයේ ඉඳන් කවි සහ නිසදැස් නිර්මාණකරණයේ යෙදි තිබෙනවා.

පාසල් සමයේත් සාහිත්‍ය, කලා කටයුතුවලට යොමුවී සිටියාද…..?

ඔව්, ඒ කාලයේත් සාහිත්‍ය, කලා කටයුතුවලට යොමුවී සිටියා. ඒවායින් කලාප, දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණත් ලබා තියෙනවා. ඒ ජයග්‍රහණ තුළින් මට හොඳ උද්‍යෝගයක් ලැබුණා නිර්මාණකරණයට.. ඒ ගැන සතුටුයි.

කුඩා කල සිට ගීත අහන්නත් කැමැත්තක් දැක්වුවාද…..? ඒ මතකයට ගියොත්….?

ඔව්, මම කුඩා කල ඉඳන්ම ගීත ඇසීමට ප්‍රියතාවක් දැක්වුවා. ඒත් ඉස්සර අපේ ගෙදර රේඩියෝවක් තිබ්බේ නැහැ . මගේ ආච්චි අම්මා පිරිත් අහන රේඩියෝවෙන් තමයි මම සින්දු අහන්නේ. ඒකත් ලොකු මාමා ගෙනවිත් දීපු රේඩියෝවක්..ඉතින් ආච්චි අම්මාගෙන් බැණුම් අහඅහා සින්දු අහනවා. ගීතයේ අරුත වැටහුණේ නැතිවුණාම මතකයෙන් කොළ කෑල්ලක ලියලා අර්ථය වැටහෙනකල් ගීතය නැවත නැවත කියවනවා. රේඩියෝවේ බැටරි බැස්සම මම සල්ලි එකතුකරන පුංචි කැටය කඩලා තමයි ආච්චි අම්මාට බැටරි කෑලි දෙකක් ගෙනත් දෙන්නේ. නැත්නම් පිරිත් අහන්න නැහැ කියලා ආච්චිගෙන් බැණුම් අහනවා. ඒ මතකයේ කටුකත්වයක් තිබුණත් ඒ මතකයට මම බොහෝසෙයින් ආදරය කරනවා. ඒ මතකය හරිම සුන්දරයි .

ගීපද රචනයට ආභාසය ලද අයුරු කීවොත් …..?

ගීත ශ්‍රවණය කිරීමෙන් සහ පොතපත පරිශීලනයෙන් ආභාසය ලැබුවා. ඒවගේම මට ජීවිතයේ මුහුණදෙන්න වූ සිදුවීම් ද ගීපද රචනයට ඉවහල් වුණා කීවොත් නිවැරදියි .

ගීපද රචනයේදී වඩාත් කැමැත්තක් දක්වන තේමාවක් තිබෙනවද……?

‘විරහව’ යන තේමාව යටතේ ගීපද රචනයට මම විශේෂ කැමැත්තක් දක්වනවා. එයට හේතුව කියන්නනම් දන්නේ නැහැ .

ගීත රචනයේදී ගුරුහරුකම් ලැබූ පිරිසකුත් ඇති….?

එහිදී මම බොහෝ ගුරුහරුකම් ලැබුණේ ගීපද රචනා සංගමයේ ලේකම් ජෝර්ජ් රොබ්සන් මහතාගෙන්. රොබ්සන් සර් මට නිතරම ගීත රචනය පිළිබඳ බොහෝ දේ කියාදුන්නා. ඒවගේම රෝහණ හෙට්ටිආරච්චි මහතාවත් මතක් කළයුතුයි. ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, රත්න ශ්‍රී විජේසිංහ යන විශිෂ්ට ගීපද රචකයන්ගේ පොත්පත් කියවීමෙන් ද ගුරුහරුකම් ලැබුවා.

ගීත රචනා කලාව තවදුරටත් ශාස්ත්‍රීය ලෙස හදාරන්න බලාපොරොත්තුවකුත් ඇති……?

මේ ක්ෂේත්‍රය වඩාත් පුළුල් විෂය ක්ෂේත්‍රයක්. ඉන් අප ඉගෙනගත් දේට වඩා නොදත් දේ බොහෝමයි. ජීවිත කාලය පුරාම ඉගෙනගත්තද ඉගෙනගෙන අවසන් කරන්න අපහසුයි. තවදුරටත් ගීත රචනා කලාව ඉගෙනුමට අදහසක් තිබෙනවා.

ජ්‍යේෂ්ඨ ගීත රචකයන් බොහෝමයක් අද නිහඬයි….?

මා සිතන්නේ ඔවුන්ට ගෞරවාන්විතව නිසි තැන නොලැබීම එයට හේතුවක් කියලයි. අනෙක අද තරුණ පිරිස තුළ වෙනස්ම සංගීත රසයක් ඇතිවීම මෙන්ම සමාජයේ සාහිත්‍ය රසය ගිලිහීයෑමද මෙයට හේතුවක් කියන්න පුළුවන්.

වත්මන් ගීත රචනා කලාව ගැන ඔබේ දෘෂ්ටිය දැනගන්න කැමැතියි ……?

අද සමාජය තුළත් අගය කළ යුතු නිර්මාණ නවකයන් තුළින් බිහිවී තිබෙනවා . ඒ අතර අගය කළ නොහැකි නිර්මාණ ද නැතිවාම නෙවෙයි.පුද්ගලයාගෙන් පුද්ගලයාට තිබෙන රසවින්දනය විවිධාකාරයිනේ. සෑම ක්ෂේත්‍රයකම හොඳ සහ නරක දෙක සම්මිශ්‍රව තිබෙනවනේ.

නවක ගීපද රචකයන්ගේ නිර්මාණකරණය ගැන මොකද හිතෙන්නේ…..?

අද නවක නිර්මාණකරුවන් අතළොස්සක් අතරින් නව නිර්මාණ බිහිවෙනවා. සමාජයට හරවත් දෙයක් දියහැකි උසස් රසවින්දනයක් සහිත නිර්මාණ ඒ අතර වෙනවා.

කවිය, නිසඳැස, ගීතය අතර වෙනස විග්‍රහ කළොත් ….?

නිසඳැසක් කියන්නේ නිර්මාණකරුවකුට නිදහසේ සිතුවිලි හැසිරවිය හැකි මාධ්‍යයක්.. හැබැයි, කවිය කියන දේ බොහෝදුරට ඊට එහාගිය නීති මාලාවකින් නිමැවිය යුතු දෙයක්. ගීතය යනු කවියේ අනියමක් ලෙස හැඳීන්වුවොත් මා නිවැරදියි කියා මම සිතනවා. නිසඳැස හා කවිය ගීතයකට පරිවර්තනය කළ හැකිවුවත් ගීතයක් කවියකට පරිවර්තනය කළ නොහැකියි.

චිත්‍රපට, ටෙලිනාට්‍ය සඳහා ගීත ලියන්න ආරාධනා ලැබුණේ නැද්ද….?

නැහැ. ඒ සඳහා නම් අවස්ථාව ලැබී නැහැ. ආරාධනාවක් ලැබුණොත් සතුටින් භාරගන්නවා..

ඔබේ නිර්මාණ එකතු කර ග්‍රන්ථයක් සම්පාදනයට අදහසක් නැද්ද ….?

මගේ නිර්මාණ එකතුවක් පොතක් ලෙස එළිදක්වන්න කැමැත්තෙන් ඉන්නවා. කවදා හෝ එය ඉටුකරගත හැකිවේවි කියා බලාපොරොත්තු වෙනවා

පුවත්පත්, සඟරා සමඟ ඔබේ නිර්මාණකරණ ගනුදෙනුව කොයිවගේද …..?

ප්‍රථමවරට මගේ කවියක් පළවුණේ ‘සිළුමිණ’ පුවත්පතේ. ඉන් අනතුරුව වරින්වර නොයෙකුත් පුවත්පත්වල මගේ නිර්මාණ පළවුණා.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ නිර්මාණ දිවියට ලැබෙන සහාය ගැන කීවොත්…?

මගේ සැමියා රැකියාව වශයෙන් කරන්නේ රන්,රිදී අභරණ නිෂ්පාදනයයි. මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් ඉගෙනීම් කටයුතුවල යෙදෙනවා. මගේ නිර්මාණ දිවියට ඔවුන්ගෙන් විශාල සහායක් ලැබෙනවා . මගේ ජීවිතයේ කඩවැටීම් වූ අවස්ථාවලදී මගේ සැමියා හා දරු තිදෙනා මා පසුපස සෙවණැල්ලක් වගේ සිටියා. මගේ මවුපියන් සහ සොහොයුරියන් දෙදෙනාගේ දිරිගැන්වීම් මට මේ ගමනේදී විශාල දිරියක් වුණා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT