Home » කෙටි මාර්ගවලින් ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය නැහැ

කෙටි මාර්ගවලින් ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය නැහැ

රංගන ශිල්පිනී ජයනි වීරසිංහ

by shanaka
November 13, 2025 1:00 am 0 comment

කාන්තාව යනු නිවසට පහනක් වන තැනැත්තියකි. කුඩා අවදියේදී , යොවුන් වියේදී මව්පියන්ගේ රැකවරණය ලබන ඇය නිසි වයසට එළඹි කල ඇයත් පවුලක් පෝෂණය කිරීමට පටන් ගනී. අතීතයේ කාන්තාවට සිදුවූයේ පවුල , දරුවන් රැක බලා ගනිමින් නිවස තුළම රැඳී සිටින්නටයි. එහෙත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස්ය. කාන්තාව, තරුණිය නිවසට කොටු වී නැත. සමාජයේ විවිධ භූමිකාවන් වල නිරත වන්නට කාන්තාවට වර්තමානයේ නිදහස හිමිවී ඇත.

සමාජ පිළිගැනීමක් ඇති වෘත්තියක නියැළෙන , කලාක්ෂේත්‍රයේ බබළන කාන්තා චරිතයක් පසුගිය දා සරසවිය හමුවට පැමිණියාය. ඇය වෘත්තියෙන්, දහසක් සිසුන්ගේ නුවණැස පාදන ගුරුවරියකි. කලා ලෝකයේ ඉවසීමෙන් , නිහතමානීව ගමනක් යන රංගන දක්ෂතාවයෙන් පිරි රංගන ශිල්පිනියකි. එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක නිරත වුවත් ඒ සියලු දේ සමබරව පවත්වාගෙන යන බුද්ධිමත් කාන්තාවකි. ඇය ජනනී වීරසිංහයි. ඈ සතුව ඇති සුන්දරත්වය නිසාම රූ කිරුළකටද ඇය හිමිකම් කීවාය. ජනනී වීරසිංහ සමාජයේ වැදගත් රැකියාවක් වන ගුරු වෘත්තියේ නියැළෙමින් කලාවටද ආදරය කරන නිහතමානී චරිතයකි. පසුගිය කාලයේ තිරගත වූ ඉරානි, අපේ ප්‍රින්සිපල් , බුද්ධ මතා වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ඇයට ඕනෑම චරිතයකට ප්‍රවිෂ්ට වීමට දක්ෂතාවය ඇත්තියකි. ඉදිරියේදී ඇගේ රංගනයෙන් හැඩවන චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඇය ඇගේ නවතම තොරතුරු සරසවිය සමඟ බෙදා හදා ගත්තේ මෙසේය.

කලා ලෝකයේ සැරිසරන්න පුංචි කාලේ ඉදන්ම සිහිනයක් තිබුණා. එහෙත් කවදා හෝ නිළියක් වනවාය කියන සිහිනය හිතේ තිබුණේ නැහැ. ගුරුවරියක් වෙනවාය කියන සිහිනය හිතේ තිබුණෙත් නැහැ. මම චූටි කාලේ අම්මාගේ සාරියක් ඇඳගෙන කණ්ණාඩිය ඉදිරියට ගිහින් නටනවලු. කලාව කෙරෙහි ඇල්මක් පුංචි කාලේ ඉදන්ම තිබුණා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ 2011 වසර. එම වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි තරඟයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ මගේ ජීවිතයේ විශේෂ වෙනසක් ඇතිවුණා. 2011 වසරේ රූ කිරුළක් පැලදුවා. ගුරු පත්වීම ලැබුණා. මගේ විවාහය සිදුවුණා. ඒ නිසා එම වසර මට විශේෂයි.

මට පළමු වරට ගුරුපත්වීම ලැබුණේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා බාලිකාවට. රංගනයත් ගුරුවෘත්තියත් සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද කියා මට හමුවන ඇතැම් අය අහනවා. මම වෙලාව කළමනාකරණය කර ගනිමින් වැඩ කරන්නේ. රංගනය සඳහා කාල වේලාව අවශ්‍යයි. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහ හතරක් වෙනවා. රංගනය සඳහාම ඒ කාලය යෙදෙව්වා නම් අද මම ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගිහින්. ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන්නේ රජයේ වියදමින්. අපි කවුරුත් අධ්‍යාපනය ලැබුවේ එහෙම. ඒ වෙනුවෙන් මගෙන් රටට විය යුතු යුතුකම ඉටුකරන්න ඕන. ඒ නිසා මම මුල්තැන දුන්නේ මුලින්ම ගුරුවෘත්තියට. ගුරු පත්වීම ලැබුණට පසුවයි මුල්ම ටෙලි නාට්‍යයේත් රඟපෑවේ. මේ අවුරුදු දහ හතර කාලය අතර රඟපෑ චරිත වලට වඩා ප්‍රතික්ෂේප කළ චරිත ප්‍රමාණය වැඩියි. මම චරිත තෝරා බේරා ගැනීමක් කරනවා. මම කරන වෘත්තියේ ගරුත්වය රැකගත යුතු නිසා සහ මම මවක් නිසා.

මම උගන්වන්නේ සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය. එහිදී විෂය නිර්දේශයේ තිබෙනවා දරුවන් වෙනුවෙන් ඉගැන්විය යුතු විශේෂ පාඩම්. විශේෂයෙන් ප්‍රජනනය සහ නව යොවුන් විය වැනි පාඩම්. දරුවන් මව්පියන්ගෙන් ඒ ගැන විමසන්න මැළි වෙනවා. එහිදී අපේ වගකීම තමයි ඔවුන්ව ඒ පිළිබඳ දැනුම්වත් කිරීම. මම උගන්වන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. එහි ඉගෙනුම ලබන්නේ පිරිමි දරුවන් වුවත් ඒ පාඩම් වල එන කරුණු ගැන මම විවෘතව උගන්වනවා. මට ගැහැනු පිරිමි භේදයක් නැහැ. එම පාඩම් ඉගැන්වීම අපේ වගකීම.

පාසලේදී මා වටා ඉන්නේ පිරිමි දරුවන් වුවත් මට කිසිදු ගැටලුවක් මතු වෙලා නැහැ කිසිම දවසක. මා රංගන ශිල්පිනියක් වුවත් මට අනවශ්‍ය ලෙස විහිළු තහළු කරන්නේ නැහැ. එහෙත් ඔවුන් මගේ රංගනය වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන විමසනවා. මා කළ චරිත ගැන කතා කරනවා. මම වෙළඳ දැන්වීම් වලත් පෙනී සිටින නිසා ඔවුන් ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. මම එක්තරා හඳුන්කූරු දැන්වීමක සිටියා. ඒ කාලේ සිසුන් මට කතා කළේ ඒ හඳුන්කූරු වර්ගයේ නම මුලට දාල. මම රඟපෑ ” අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටය තිරගත වූ පසු සිසුන් මට කතා කළේ යමුනා ටීචර් කියලා. මම රඟපෑවේ යමුනා කියන ගුරුවරියගේ චරිතය මා කරන චරිත දරුවන්ට දැනුණු එක ගැන මට සතුටුයි.

වර්තමානයේ මම ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ. මම තීරණය කළා සිනමාව වෙනුවෙන් පමණක් කාලය යොදවන්න. මම වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවටයි. මම ප්‍රධාන චරිත වගේම සහය චරිතත් රඟපාලා තියෙනවා. ඒ අතරින් ඉරානි චිත්‍රපටය මට විශේෂයි. එහි මට ලැබුණේ ප්‍රධාන චරිතය. මාත් සමඟ ප්‍රධාන චරිතය කළේ ඉන්දියානු නළු රාජ් කුමාර්. ඉරානි චිත්‍රපටය ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිපැයුමක්. ‘ ලතා’ නැමති සෙල්ලක්කාරකමට හැදුණ, වගකීම් දරන්නෙ නැති දරුණු ගති පැවතුම් ඇති කාන්තාවකගේ චරිතය තමයි මම රඟපෑවේ. ඉන්දියානු ශිල්පීන් සමඟ වැඩ කිරීමෙන් මම අත්දැකීම් රාශියක් ලබා ගත්තා. ඔවුන් චිත්‍රපටයට දායක වන රංගන ශිල්පීන් පිළිබඳ හොඳීන් සොයා බලනවා. රංගන ශිල්පීන් ගැන නිතරම අවධානයෙන් පසුවෙනවා. ඉරානි සිංහල හඬ කවා නැවතත් තිරගත කිරීමට සූදානම්.

මා රඟපෑ අලුත්ම චිත්‍රපටය නුදුරේදීම තිරගත වේවි. ඒ තමයි අධ්‍යක්ෂ සමීර නාඔටුන්නගේ ‘ වයිෆ්’ චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ උදාරි. ඇයගේ මිතුරිය ලෙස රඟපෑවේ මම. ඒ වගේම ඉතාමත් ආසාවෙන් රඟපාන්න බලා සිටින චිත්‍රපටයක් තිබෙනවා.ඒ චිත්‍රපටය කැලෑ හඳ. අතීතයේ තිරගත වූ කැලෑ හඳ චිත්‍රපටය නැවතත් නිෂ්පාදනය කරනවා වර්තමානයේ සිටින රංගන ශිල්පීන්ව යොදාගෙන. එය මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක්. එතුමාගේ ආරාධනාව ලැබුණහම මට අදහගන්නත් බැරිවුණා. එදා චන්න දේශප්‍රිය අයියගෙන් මට දුරකතන ඇමතුමක් ආවා. ඔහු කිව්වා සුනිල් සර්ට මට කතා කරන්න අවශ්‍ය බව. ඒ වෙලාවේ මම ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. කැලෑහඳ චිත්‍රපටයට තෝරා ගැනීම ගැන එතුමාට මම ස්තූතියි කියනවා. මේ දිනවල මම කැලෑහඳ චිත්‍රපටය වෙනුවෙන් මට ලැබුණ චරිතය පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්නේ. එහි රූගත කිරීම් තවම පටන් ගත්තෙ නැහැ.

සෝමරත්න දිසානායක මහත්මාගේ රේපිස්ට් චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. එහෙත් එයට සහභාගී වෙන්න බැරිවුණේ රූපගත කරන්න දී තිබූ දිනවල මම අම්බලන්ගොඩ ගිහින් සිටි නිසා.

ඉදිරියේදී අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලකගේ චිත්‍රපටයක රඟපෑමට සූදානමින් ඉන්නවා. ඒ චිත්‍රපටයත් ලස්සන චිත්‍රපටයක් වෙයි. තවත් විශේෂයෙන් කතාකළ යුතු චිත්‍රපටයක් තිබෙනවා. අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සගේ චිත්‍රපටයට ” මං සොයන්නේ ප්‍රේමයක් . එහි මම රඟපාන්නේ මවකගේ චරිතයක්. මගේ දුව ලෙස රඟපාන්නේ අභිලාෂි සන්තුෂ්කි. එය ලබන වසරේ තිරගත වෙයි . එහි චරිතය දෙමළ සම්භවයක් තිබෙන කාන්තාවක්. ඇය විවාහ වෙන්නේ උඩරට වංශවත් පවුලක කෙනෙක්. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අනුරාධ මල්ලවාරච්චි තමයි මගේ මහත්මයාට රඟපාන්නේ. මම සොයන්නේ ප්‍රේමයක් පිටපත අනෝමා විජේවර්ධනගෙන්. මම හිතනවා මට ලැබුණ චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා.

මම මෙතෙක් ආවේ හිමින් ගමනක්. එහෙත් මා කළ චරිත ගැන මම තෘප්තිමත්. මට ජනප්‍රිය තලයට යන්න කිසිදු හදිසියක් නැහැ. ක්ෂේත්‍රන්යේ රැඳී සිටින්න ජනප්‍රිය බව අවශ්‍ය නැහැ. තිබිය යුත්තේ දක්ෂතාවය, විනය, ජ්‍යේෂ්ඨයන්ට ගරු කරීම ආදි දේවල්. අද ඇතැම් අය කලා කටයුතු කරනවාට වඩා සැරිසරන්නේ සමාජ මාධ්‍යයේ. ටික්ටොක් වැනි මාධ්‍ය වලින් පමණක් ජනප්‍රිය වුණත් ප්‍රේක්ෂකයාට දැනෙන චරිත කරල නැහැ. කෙටි මාර්ග වලින් ජනප්‍රිය විම ඉක්මනින්ම කඩා වැටීමකට හේතුවක් වෙනවා. අවුරුදු දහ හතරක් වූ මගේ කලා ජීවිතයත් පවුල් ජීවිතයත් රැකගෙන යන ගමන සුබයි.

ඒ සුබ ගමන යන්නට මගේ පාසලේ විදුහලපතිතුමා හොඳ සහයෝගයක් ලබා දෙනවා. මම එයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. එතුමාත් කලාවට බොහෝ සෙයින් ප්‍රිය කරන කෙනෙක්. මගේ පාසලේ කටයුතුත්, කලා කටයුතුත් හොඳීන් කළමනාකරණය කර ගනිමින් කරගෙන යන නිසා මට කිසිදු පීඩනයක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මම කිසිදු පාඩුවක් කරලත් නැහැ. පාසලෙන් වගේම මට මගේ පවුලෙන් ලැබෙන සහයක් අප්‍රමාණයි. මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයා ගිහාන් නිශාන්ත. ඔහුගෙන් මගේ රඟපෑම් කටයුතු වලට බාධාවක් නැහැ. මම රූගත කිරීම් වලට ගිය විට මගේ දරුවන් බලා ගන්නේ මගෙ මව්පියන්. එය මට පහසුවක් වගේම දරුවන් ගැන කිසිදු බියක් දැනෙන්නෙ නැහැ. දරුවෝ තුන්දෙනා දන්නවා මම රඟපාන බව. ඉරානි චිත්‍රපටයේ අවසානයේදී මම මැරෙනවා. ඒක දැකලා මගේ චූටි දුව හොඳටම ඇඬුවා. මම පෙනී සිටි වෙළඳ දැන්වීම් රූපවාහිනියේ දකින විට අන්න අම්මා ඉන්නවා කියා ඔවුන් මට අඬගසනවා. මම මගේ ළමා කාලය දකින්නේ මගේ චූටි දුවගෙන්. එයත් පුංචි කාලෙ මම වගේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නටනවා.

දරුවන් ගැන කතා කළ අවස්ථාවේ මේ කාරණාව ගැනත් කිවයුතුයි කියා මට සිතෙනවා. ලංකාවේ ළමා චිත්‍රපට හැදෙනවා අඩුයි. සිනමාව ඔස්සේ ළමුන්ට පණිවිඩයක් දිය හැකියි. මම රංගනයෙන් දායක වු අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙන් දරුවන්ට යහපත් පණිවිඩයක් දුන්නා. අද දරුවන් තාක්ෂණයත් සමඟ තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. ඔවුන් තුළින් කලාකාමි බව දුරස් වී ගිහින්. ඒ නිසා ළමයින්ට සුදුසු හරවත් ළමා නිර්මාණ බිහි වෙනවා නම් හොඳයි. කලාකාරිනියන් විදිහට අපත් එයට සහයෝගය දිය යුතුයි. මම ගුරුවරියක් නිසා මට ඒ අවශ්‍යතාවය හොඳීන් දැනෙනවා.

ඒ වෙනුවෙන් මටත් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්‍යෙන්ම මම එයට දායකත්වය සපයනවා.

රඟපෑම පැත්තෙන් ප්‍රේක්ෂකයාට දැනෙන චරිත රඟපාන්න කැමැත්තක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ කැපවීමත් අවශ්‍යයි. ඒ නිසා වසර එකකට හෝ දෙකකට ගුරු වෘත්තියෙන් විරාමයක් ගන්න තීරණයක් තිබෙනවා. රූ කිරුළක් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි මා කලා ක්ෂේත්‍රයට ආවේ. ඒ නිසාම 2021 දී විවාහක රූ රැජින තරඟයකට සහභාගී වුණා. එහිදී මට ” ඕඥඵබ ඩ්චඪප” අංශයෙන් ජයග්‍රහණය අත් කරගන්න අවස්ථාව ලැබුණා. හීනයක් තිබුණා තවත් එවැනි තරඟයකට සහභාගී වෙන්න. එහෙත් වෙලාවකට හිතෙනවා නැවතත් එවැනි තරඟයකට යන්ව අවශ්‍ය නැහැ කියලා. රංගනයට උපරිම දායකත්වය සපයන්න ඉතාමත් කැමත්තකින් ඉන්නවා. මට සම්මාන ලැබිය යුතුමයි කියන මතයේ මම නැහැ. මට අවශ්‍ය ලැබෙන චරිතයට උපරිම කැපවීමෙන් එ චරිතයට සාධාරණයක් කරන්න. කවදත් හිමින් ගමනක් ආපු මම ඉදිරියටත් ඉවසීමෙන් සහ කල්පනාවෙන් රංගන ක්ෂේත්‍රයේ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

ඒ ගමනේදී මාව විශ්වාස කළ සැමටත් සහය දුන් සැමටත් මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.

 

නයනාංජලි දෙහිපිටිය

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT