කඩවසම් බව, රූපසොබාව තිබූ පමණින් රංගන ශිල්පියෙකු විය නොහැකිය. අතීතයේ රංගන ශිල්පියෙකුට රූපය, කඩවසම් බව එතරම් වැදගත් වූයේ නැත. එදා රංගනයට පිවිසීමට මූලිකම සුදුසුකම වූයේ රංගනය පිළිබඳ මනා පුහුණුවක් සහ අධ්‍යයනයයි. එයින් පෝෂණය වූ කළ රංගනයේදී ඔවුන්ගේ පෞරුෂය නිතැතින්ම ඉස්මතු විය. එසේ රංගනයට පිවිසි ශිල්පීන් බොහෝමයක් අතීත සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමාවේ දස්කම් පා ඇත.

එහෙත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස්ය. අද රංගනය සඳහා මනින සාධකය වී ඇත්තේ රූපය සහ කඩවසම් බවය. ඇඟපත, රූපය තිබූ පමණින් බොහෝ තරුණයන් නළුවෙකු වීමට සිහින මවති. තරුණියන්ද එසේමය. රූපකායත්, කඩවසම් බවත් සමඟ රංගන හැකියාවෙන් පිරිපුන් ශිල්පීන්ද ඒ අතර සිටිනා බවද සඳහන් කළ යුතුය. දෙබසක් හරි හැටි කියා ගත නොහැකිව, එහෙත් තමා නළුවෙකු නිළියෙකු, යැයි කියා ගන්නා පිරිස බොහෝය. ඔවුන් රඟපෑම යනු කුමක්දැයි කියාවත් දැනුමක් නැත. මනා පුහුණුවක් ලබා, රංගනය ගැන නිසි අධ්‍යයනයකින් සන්නද්ධ වූ පිරිස කලා ක්ෂේත්‍රයේ සාර්ථක වී ඇති බවද කිව යුතුය. රංගවේදී කිංග්ස්ලි ලෝස් එසේ සාර්ථක වූ රංගන ශිල්පියෙකි. ඔහු වර්තමානයේ සිංහල සංස්කෘතික ආයතනයේ( සුදර්ශි) සාමාන්‍යාධිකාරිවරයාය.
කිංස්ලි ලෝස් රංගනයට පිවිසීමට පෙර රංගනය පිළිබඳ මනා පුහුණුවකින් සහ නිසි අධ්‍යයනයකින් පෝෂණය වූ කලාකරුවෙකි. එවන් දැනුමකින් සන්නද්ධව කලා ක්ෂේත්‍රයට පැමිණි ඔහු අදවන විට අපේ රටේ සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ රංගවේදියෙකු බවට පත්ව ඇත. එසේ සාර්ථක වූ ඔහු වත්මන් තරුණ පරපුරටද එය දයාද කිරීමට මහත උත්සාහයක් දැරීම අගය කොට සැලකිය යුතුයි. කිංස්ලි ලෝස් මහතා මේ වන විට සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) රංගන පාසලේ සාමාන්‍යාධිකාරිවරයාය. ඔහු සහ සුදර්ශියේ ඉහළ නිලධාරීන් එක්ව අඩිතාලම දැමා ඇති සුවිශේෂ වැඩකටයුත්තක් පිළිබඳ දැන ගැනීමට සරසවියේ අප සුදර්ශියට පිය නැඟුවේ එතුමන් මුණගැසී ඒ පිළිබඳ වැඩිදුර කතාබහ කිරීමටයි. කතාබහ ආරම්භයට පෙර කිංග්ස්ලි ලෝස් මහතා රසවත් තේ කෝප්පයක් අපවෙත පිළිගන්වමින් කතාවට මුලපිරුවේ ඔහුගේ අතීතය පිළිබඳවද සිහිපත් කරමිනි.
මම දවසක් දුටුවා පත්තරයක තිබු දැන්වීමක්. ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට සිසුන් බඳවා ගන්නවා කියලා. 1973 ජනවාරි මාසයේ. නළුවෙක් වෙන්න හීනයක් මටත් තිබුණා. මමත් එයට අයදුම් කළේ නළුවෙක් වෙන්න හිතාගෙන. එතනට ගියවිට මට තේරුණා එතනින් ඉගෙන ගැනීමට යමක් තිබෙන බව. ඉතින් මගේ හීනේ පැත්තකින් තියලා ඉගෙන ගන්න යොමු වුණා. මම එයින් ලබා ගත් පුහුණුවෙන් සහ දැනුමෙන් සාර්ථක ඵල නෙළා ගත් කෙනෙක්. එ නිසා තමයි අවුරුදු පනස් දෙකක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින්නේ . අද වෙනකල් මම රඟපානවා.
මුල් කාලයේ රූපවාහිනිය තිබුණේ නැහැ. මම මුලින්ම පිවිසියේ වේදිකාවට. නාට්‍යවේදී ධම්ම ජාගොඩයන්ගේ ‘ මළවුන් නැඟිටී’ වේදිකා නාට්‍යයෙන්. එය නිර්මාණය කළේ විශ්ව විද්‍යාල සිසුන් පමණක් සහභාගී කරවාගෙන. පිරිමි ළමුන් පමණයි සහභාගී කරවා ගත්තේ. විශ්ව විද්‍යාල ඇතුළේ පමණයි පෙන්නුවේ. මටත් අවස්ථාවක් ලැබුණා එහි රඟපාන්න. ඉන්පසු මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ සහ ‘ සිංහබාහු’ නාට්‍යයන් සඳහා රංගනයෙන් දායක වුණා. වේදිකාවට වගේම මම සිනමාවටත් දායක වුණා. ජැක්සන් ඇන්තනීගේ ‘ අබා’ සහ උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය නම් සෑහෙන ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. එත් වර්තමානයේ ටෙලි නාට්‍ය ගැන නම් තියෙන්නේ ඉතාමත් කනගාටු දායක තත්වයක්. ටෙලි නාට්‍යවල ගුණාත්මක බව පහළ ගිහින්. අතීතයේ හොඳ පිටපත් ලියවුණා. එහි මුල මැද අග කියන දේ පිළිවෙළකට ලියවී තිබුණා. ඒ නිසා අපටත් අපේ රංගනය පිළිවෙළකට හැඩගස්සවා ගැනීමට හැකියාව තිබුණා. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වෙලා. අද නිසි පිටපතක් ලියවෙන්නේ නැහැ. මුල මැද අග කියන දේ නැහැ. වර්තමානයේ ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට ගිය විට කොළ කිහිපයක් අතට ලැබෙනවා. නිවැරදි අධ්‍යක්ෂණය කිරීමක් නැහැ. අපිට අවශ්‍ය විදිහට රඟපාන්න කියනවා. හැමදේම මුදල්මත තීරණය වෙලා.එක් දිනකදී දර්ශන ගණනාවක් රූගත කරනවා. වැරදුණත් නැවත ඒ දර්ශන ගන්නේ නැති අවස්ථා තිබෙනවා. ඇතැම් ටෙලිනාට්‍ය වලින් ලැබිය යුතු මුදල ලැබෙන්නේ නැහැ. කලාව දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා. අපි ඒකේ විකිණෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ අපේ කලාවට වටිනාකමක් දෙන්න. ගුණාත්මක බවක් ඇතිකරන්න. සෑම අතින්ම අංග සම්පූර්ණ කලාකරුවෙක් බිහිකරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි විශේෂ කටයුත්තක් ආරම්භ කළා. පසුගිය සැප්තැම්බර් හයවෙනිදා.
සිංහල සංස්කෘතික ආයතනය නමින් හඳුන්වන සුදර්ශියේදි රංගන පාසලක් ආරම්භ කළා. සුදර්ශියේ වත්මන් සභාපති සමන්ප්‍රිය මාරසිංහ මහතාගේ අදහස් තිබුණ මෙවැනි දෙයක් අපට අවශ්‍ය බව. ඔහු සහ අනෙක් නිලධාරී මඩුල්ල මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව මට ආරාධනා කළා එහි මූලිකත්වය ගන්න. ඒ අනුව තමයි එහි සාමාන්‍යාධිකාරිවරයා විදිහට කටයුතු කරන්න මම සම්බන්ධ වුණේ. මෙම රංගන පාසලින් විශේෂ රංගන පාඨමාලාවක් සැලසුම් කරන්න්නට අපි බලාපොරොත්තු වෙනවා. එය ත්‍රිතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ විෂය නිර්දේෂයට අනුව සිදුකරන්නේ. ඒ ඒ විෂයයන් ගැන මනා පළපුරුද්දක් සහ දැනුමක් ඇති ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වෙනවා. එය දැවැන්ත වැඩ පිළිවෙලක්. මෙහි පාඨමාලා කාලය වසරයි. සිසුන් සියයකට ඉගෙන ගැනීමට ඉඩකඩ තියෙනවා. අපි මෙහි මුලින්ම සිසුන්ට උගන්වන්නේ රංගනය පිළිබඳ සතර අභිනය නෙවෙයි. පවුලක් විදිහට සමඟියෙන් කටයුතු කරන්නේ කෙසේද කියන දේ ගැන අපි සිසුන්ව දැනුම්වත් කරනවා.
මෙම පාඨමාලාව සඳහා සහභාගී වෙන්නේ විවිධ පළාත්වලින් .මිශ්‍ර ගතිගුණ තිබෙන සිසුන්. මුලින්ම කරන්නේ එකම පවුලක් විදිහට ඉන්න පුළුවන් විදිහට ඔවුන්ගේ මානසික මට්ටම සකස් කිරීම. එකිනෙකට උදව් කර ගනිමින් කරුණාවන්ත පුද්ගලයෙකු විය යුතුයි. හොඳ කලාකරුවෙකු වන්නට නම් කණ්ඩායම් හැඟීම ඇතිකර ගත යුතුයි. මෙවැනි කාරණා පිළිබඳව අපි මුලින්ම සිසුන්ව දැනුම්වත් කරනවා. මෙහි අපි සිසුන්ට උගන්වන්නේ රංගනයම පමණක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දෙනවා. කවදා හෝ අන්තර් ජාතික මට්ටමට යන්න නම් ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍යමයි. පුහුණුව නිසියාකාරව අවසන් කළේ නැතිනම් අපි ඔවුන්ට සහතික පතක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ආරම්භයේ සිට සිසුන් මේ සඳහා මහන්සි විය යුතුයි. ඒ වගේම තමයි රංගන ශිල්පියෙකුට විනය කියන දේ අවශ්‍යමයි. එය අපට තේරෙන්නේ පිටරටකට ගිහාම. ඒ නිසා සුදර්ශියෙන් බිහිවෙන්නේ අංග සම්පූර්ණ කලාකරුවෙක්. එවැනි කලාකරුවෙකු බිහිකිරීම සුදුසුම ස්ථානය සුදර්ශිය. මෙම පාඨමාලාව සඳහා මේ වන විට සිසුන් පනහකට ආසන්න ප්‍රමණයක් සහභාගී වෙනවා. තවත් සිසුන් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවත් ඉඩපහසුකම් තිබෙනවා කලාවට ආදරය කරන ඕනෑම කෙනෙකුට මේ සඳහා ලියාපදිංචි වීමට.
වත්මන් සභාපතිතුමා යටතේ පාලනය වන සුදර්ශීයෙහි කැපී පෙනෙන දියුණුවක් වර්තමානයේ තිබෙනවා. සුදර්ශියට විශේෂ දැක්මක් , දර්ශනයක් තිබෙනවා. පාරම්පරික කලාව පරිස්සම් කරගෙන නූතන කලාව දියුණු කිරීම තමයි සුදර්ශියේ දැක්ම. මෙම ආයතනයේ වටිනාකම පිළිබඳ බොහෝ අයට අගයක් නැති කාල වකවානු තිබුණා. ඒ නිසා මේ වටිනා භූමිය ඇතැම් රජයන් විසින් අත්පත් කරගැනීමට ප්‍රයන්ත දැරුවේ. අපි එකතු වෙලා ඒ වෙනුවෙන් ලොකු සටනක් කළා. තාමත් අපි ඒ සටන අත් හැරලා නැහැ. ඒ නිසා ඒ තීරණය නතර කර ගැනීමට සුදර්ශිය දෙසට කොළ එළියක් වැටී තිබෙනවා. මෙය කොළඹ හතට අයත් ඉඩමක්. වටිනකමින් වැඩියි. මෙය විශාල ආදායමක් ඉපැයිය හැකි ඉඩමක්. අපි මෙහි සංස්කෘතික වටිනාකම පෙන්වා දී තිබෙනවා. කලාව වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුවන සුදර්ශිය ආරක්ෂා කර ගැනීමට අපි ඇපකැප වෙනවා.
අපි සුදර්ශිය පවත්වාගෙන යන්නේ නාට්‍ය පෙන්වීමෙන් සහ මෙහි තිබෙන ගොඩනැගිලි කුලියට දී ලැබෙන ආදයමින්. මෙය පවත්වාගෙන යාමට රජයෙන් සහන ලැබෙන්නේ නැහැ. ඇතැම් විට කලාවට ආදරය කරන අයගෙන් ආධාර ලැබෙනවා.
වර්තමානයේ රංගනය සහ ආශ්‍රිත විෂයයන් ඉගෙන ගැනීමට නිසි ආයතනයක් ලංකාවේ නැහැ. අතීතයේ සිටි අති දක්ෂ කලාකරුවන් බිහි වුණේ සුදර්ශියෙන්. මෙහි තිබෙන වසර ගණනාවක් පැරණි නුගරුක එයට සාක්ෂි. නුගරුක සේවනේ ,එහි සිසිලස අතරේ දැවටෙමින් අතීතයේ විසූ කලාකරුවන් තමන්ගේ රංගන කටයුතු පුරුදු පුහුණු වුණා. මේ වන විට සුදර්ශියේ එළි මහන් වේදිකාවත් නාට්‍ය දර්ශන පවත්වන්න හැකියාව තිබෙනවා.
සුදර්ශිය කියන්නේ මගේ ජීවිතයේත් කොටසක්. ඒ නිසා සුදර්ශිය වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු දේ මම උපරිමයෙන් ඉටුකරනවා. ඒ සමඟම මගේ රංගන කටයුතුත් සුපුරුදු පරිදි නිරත වෙනවා. ඉදිරියේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නයනාංජලි දෙහිපිටිය
සේයාරූ – නිශ්ශංක විජේරත්න
