සිනමාපයක් තිරයේ නරඹන තරම් සුන්දරත්වයක් තිරයෙන් පිටිපස නැත. සිනමාපටයක් තැනීමත් දුෂ්කර කාරියකි. එහි බොහෝ වැඩ කටයුතුවලට උර දෙන්නේ සහය අධ්‍යක්ෂවරයාය. නියමාකාරයෙන් කාලය කළමනාකරණය කිරීම, නළු නිළියන් සම්බන්ධීකරණය, රූගත කිරීම් සැලසුම් සැකසීම , ඇඳුම් පැලදුම් ගැන සොයා බැලීම වැනි තවත් බොහෝ කාර්යයන් පැවරෙන්නේ සහය අධ්යක්ෂවරයාගේ කර මතටය. ඔහුට පැවරෙන්නේ භාරදූර කාර්යයන් සමුදායකි. වසර ගණනාවක් එම කාර්යයේම නියැළීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වසර හතළිහක් තුළ චිත්‍රපට හැටපහක් අධ්‍යක්ෂණය කර වාර්තාවක් තැබූ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වෙන ඩොනල්ඩ් ජයන්ත පිළිබඳ මේ අවස්ථාවේ සරසවිය පුවත්පතේ සටහන් කිරීම වැදගත්ය. ඔහු කලා ක්ෂේත්රයේ සෑම දෙනාගේම හිත දිනාගත් සුන්දර මිනිසෙකි. ඕනෑම වේලාවක සිනහවකින් මුව සරසා ගත් ඔහු නළුවෙකු මෙන් කඩවසම්ය. තමා බාර ගන්නා ඕනෑම චිත්‍රපටයකට උපරිම කැපවීමක් සහ සාධාරණයක් ඉටු කරන ඩොනල්ඩ් ජයන්ත සිනමා ක්ෂේත්රයට පා තබා වසර හතළිහකි. ඒ පිළිබඳ ඔහුව ඇගයිය යුතුය. ඔහුගේ සිනමා සම්ප්‍රාප්තියේ සිට මේ දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳ ඔහු සමඟ කළ කතා බහකි මේ.
මම කුඩා කල සිටම සිනමාවට ප්‍රිය කළා. එසේ ආසාව ඇතිවුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නිළි රැජින මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි සිනමා තරුවලට මම කුඩා අවධියේ සිටම ආදරය කළා. ඒ නිසාම තමයි මම කවදා හෝ සිනමා ක්ෂේත්රයට එනවා කියන සිතුවිල්ල සිතේ තියා ගත්තේ. මගේ අම්මා මාව ප්‍රවීණ මාධ්‍යවේදි, චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි ගමගේ මහතාට හඳුන්වා දුන්නා. අම්මා ඔහුට කියා තිබුණා සිනමාවට මගේ තිබෙන ආශාව ගැන. හැබැයි මම හරිම ආසාවෙන් හිටියා රඟපාන්නත්. මම දවසක් කොළඹ ඇවිත් ධර්මසිරි ගමගේ සර්ව මුණගැසුණා. ඒ 1980 දී. ඔහු ඇහුවා ‘මොනවද කරන්න කැමති කියලා. මම මගේ ආශාව ගැන ඔහුට කිව්වා. ඔහු එවකට යොවුන් ජනතා පුවත්පතේ කර්තෘ. පහන් වැට කියන සඟරාවටත් ඔහු සම්බන්ධ වෙලා සිටියා. මමත් ඊට සම්බන්ධ වෙලා වැඩකළා.
ඔය කාලේ තමයි යස ඉසුරු චිත්‍රපටය නිර්මාණය කළේ. ධර්මසිරි ගමගේ සර් මාව ඊට සම්බන්ධ කළා.ඒ සහය කාර්මික ශිල්පියෙකු විදිහට. එදා තමයි මම මාලිනි, විජය සැබෑවටම දැක්කේ.ඉන්පසු ධර්මසිරි සර්ගේ පූජා චිත්‍රපටයේ දෙවන සහය අධ්යක්ෂවරයා වශයෙන් මාව සම්බන්ධ කර ගත්තා. එහි ප්‍රධාන සහය අධ්යක්ෂවරයා වුණේ අයි. එන්.හේවාවසම් කියන ප්‍රවීණ සහය අධ්යක්ෂවරයා. ඒ 1986 දී. මගේ සිනමා වීරයා වුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. එදා මුහුරත් උලෙළට ඔහු ආවා. ඔහුව දැකලා මට දරා ගන්න බැරි සතුටක් ඇතිවුණා. ඔහුව දැකලා මගේ ඇස් දෙකට කඳුළුත් ආවා. මගේ සතුට දැකපු ධර්මසිරි සර් ගාමිණී ෆොන්සේකාට මාව හඳුන්වා දුන්නේ මේ මගේ ඥාති පුතෙක් කියලා. එවිට ගාමිණී මහත්මයා මගෙන් විස්තර විමසුවා. මම කිව්වා සිනමාවේ සහය අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කරන්න ආසයි කියලා. ඒ වෙලාවේ ගාමිණී මහත්මයා මට අපූරු උපදෙසක් දුන්නා.
“ඔයා සහය අධ්යක්ෂවරයෙක් වෙනවා නම් බුද්ධිය, කැපවීම සහ ඉවසීම තියාගන්න, එතකොට තමයි ඉදිරියට යන්න පුළුවන් කියලා.
එය මගේ සිනමා දිවිය සාර්ථක කරගන්න ලැබුණ වටිනා අදහසක්. මම මුලින්ම ප්‍රධාන සහය අධ්යක්ෂවරයා විදිහට වැඩ කරන්නේ 1987 ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දැහැන චිත්‍රපටයේ. සහය අධ්යක්ෂවරයා කියන්නේ චිත්‍රපටයේ වැඩිම බරක් උසුලන කෙනා. ඒක බැරෑරුම් රාජකාරියක්. හැමෝගේම දුක්ගන්නාරාළ වගේ. දර්ශන තලයට ගියාම නළු නිළියන්, කාර්මික ශිල්පීන්, අංග රචනය, ඇඳුම් පැලඳුම් ගැන මේ සියල්ල සොයා බලා සැලසුම් කළ යුතුයි. ඇතැම් අවස්ථාවලදී නොකා නොබි මුළු දවසම වැඩ කරලා තියෙනවා. මට පවරන දේ මම කැපවීමෙන් කරනවා. ඒ සියල්ල ඉගෙන ගත්තේ මගේ ගුරුතුමා වගේ මට සියලු දේ කියා දුන් ප්‍රවීණ සහය අධ්යක්ෂ අයි.එන්. හේවාවසම් මහතාගෙන්. එය මගේ වෘත්තියට මහත් රුකුලක් වුණා. ඒ හැම දෙයක් පිටුපසම සෙවණැල්ලක් වගේ හිටියේ ධර්මසිරි ගමගේ සර්. ඔහු දමා දුන් අඩිතාලම නිසා සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස අද වනතෙක් වසර හතළිහක ගමනක් මට එන්න පුළුවන් වුණා. ඔහුගේ ආශීර්වාදයෙන් තමයි චිත්‍රපට හැටපහක සහය අධ්යක්ෂවරයා විදිහට කටයුතු කරන්න ලැබුණේ.
මම මුලසිටම ඉලක්කයකට අනුවයි කටයුතු කළේ. මම හිතාගත්තා මම කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ චිත්‍රපට හැටපහක සහය අධ්යක්ෂවරයා විදිහට කටයුතු කළාට පසුවයි කියලා. මම චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කරල නිමවන විට තවත් චිත්‍රපට පහක අධ්යක්ෂවරු බලාගෙන ඉන්නවා ඔවුන්ගේ චිත්‍රපට වලට සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස මාව සම්බන්ධ කර ගන්න. මම කැමතියි විවිධ අධ්යක්ෂවරු යටතේ වැඩ කරල ඔවුන්ගේ දැනුම ලබා ගන්න. අලුත් අත්දැකීම් ලබා ගන්න. මම සහය අධ්යක්ෂවරයා විදිහට වැඩකරපු සෑම චිත්‍රපටයක්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ චිත්‍රපට වර්ගීකරණය කරන්න මම කැමති නැහැ. ඒ සෑම චිත්‍රපටයකටම මම කැමතියි. මේ චිත්‍රපටයටයි කියල වර්ග කරන්න මට බැහැ. අධ්‍යක්ෂවරුන්වත් මම වර්ග කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම පාහේ මට හිතවත්. මම ඉහතදීත් සඳහන් කළා මම ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ කළේ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ යටතේ බව. 1987 දී ඔහු අධ්‍යක්ෂණය කළ ‘ දැහැන’ චිත්‍රපටයේ. පසුගිය වසරේ අතිශය සාර්ථකව තිරගත වූ ඔහුගේ අධ්‍යක්ෂණයක් වූ මන්දාරා චිත්‍රපටයේත් සහය අධ්යක්ෂවරයා වුණේ මම. මම මේ අවස්ථාවේ ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ඉන්පසු මම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වෙන උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට විසිනවයකම සහය අධ්යක්ෂවරයා වුණේ මම. ඔහුත් සමඟ වැඩ කිරීම ඉතා පහසුයි. ඔහුගේ නිහතමානීකම, කරුණාවන්ත බව මම ඉතා අගය කරනවා. කිසිම අවස්ථාවක තරහ ගන්නේ නැහැ.
මම ක්ෂේත්රයේ සියළු තරාතිරම් වල නළු නළියන් සමඟ වැඩ කරල තියෙනවා. මම සිනමා ක්ෂේත්රයට ආපු කාලේ මට හමු වුණේ ක්ෂේත්රයේ දැවැන්තයන්. ඔවුන්ට විශාල දැනුමක් සහ රස වින්දනයක් තිබුණා. චරිත පිළිබඳ අධ්‍යයනය, සමාජීය දැනුම, දේශපාලන ඥානය පොතපත කියවීමෙන්, චිත්‍රපට නැරඹීමෙන් සහ ලෝක සිනමාව ගැන මහා දැනුමක් ඔවුන් සතුව තිබුණා. ඒ වගේම සිනමාව ගැන තාක්ෂණික දැනුමත් තිබුණා. ඔවුන් අන් අයට සැලකුවේ මිතුරන්ට , සහෝදරයන්ට සහ දරුවන්ට වගේ. අපි ගැන හැඟීමක් , ආදරයක් ඔවුන්ගේ සිත්වල තිබුණා. ඔවුන්ගෙන් අපට විශාල දැනුමක් ලැබුණා. අතීතයේ සිටි රංගන ශිල්පීන් සතුව යහපත් ගුණාංග රාශියක් තිබුණා. විශේෂයෙන්ම වෙලාවට වැඩ කිරීම, වෙලාවක් දුන් විට ඒ වෙලාවට දර්ශන තලයට යාමට සූදානම් වෙලයි ඉන්නේ. බොහෝ වෙලාවට නළු නිළියන් ගන්න මමත් ඒ වාහනයේම යනවා. ජෝ අබේවික්‍රම මහත්මයා ගන්න ඕනේ පාන්දර පහට නම් ඔහු ඒ වෙලාවට සූදානම් වෙලයි ඉන්නේ. ඔහු අපිව හරිම ආදරෙන් ළෙන්ඟතු කමින් පිළිගන්නවා. රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ වැනි ප්‍රවීණයොත් එහෙමයි. ඔවුන් පිටතදී රඟපාන්නේ නැහැ. දර්ශන තලයේදී පමණයි රඟපාන්නේ. ඒ රඟපෑම විශිෂ්ටයි. එහෙත් වර්තමානයේ නළු නිළියන් බොහෝමයකගේ චර්යාරටා වෙනස්. වෙලාවට දර්ශන තලයට එන්නේ නැහැ. පැය කිහිපයක් පරක්කු වෙලා එන්නේ. ඇතැම් අයගේ රංගනයත් අසාර්ථකයි. ඔවුන් රඟපාන්නේ පිටතදී.
කෙසේ වෙතත් උස් පහත් භේදයකින් තොරව සෑම ශිල්පියෙක්ම මා සමඟ සුහදව වැඩ කරනවා. මට ගරු කරනවා. මම පාසල් කාලයේ සිටම සිනමා තරු වලට ප්රියකළා. ආදරය කළා. හැත්තෑව දශකයේ මගේ ජීවිතයේ සිනමා වීරයන් සහ වීර වරියන් වූ ගාමිණී, මාලිනි, විජය, කලංසූරිය, රවීන්ද්‍ර, ගීතා, සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම, ටෝනි සොමී, අනෝජා, ශ්‍රියානි, වීණා, අයිරාංගනී සේරසිංහ, ජීවරාණි අනුලා කරුණාතිලක, සුවිනීතා පෙරේරා වැනි ජ්‍යේෂ්ඨයන් සමඟ මට වැඩ කරන්න ඉඩ ප්‍රස්තාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අසූව දශකයේ සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි වැනි අයද වත්මන් පරපුරේ රන්ජන් රාමනායක, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, ටීනා ශනෙල්, චුලක්ෂි රණතුංග, දමිත් විජේතුංග සමඟත් මම වැඩ කරනවා.
ඉදිරියේදී මා සහය අධ්‍යක්ෂණය කළ සූරිය සුළඟ, මේඝ වර්ෂා, සාජන් පුංචි සෝම, සිහින අභිෂේක, අග්නි ජය, ආදර ගීතය, ගාමිනි වැනි චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. කොපමණ චිත්‍රපට නිර්මාණය කළත් තිරගත කිරීමේදී ප්‍රශ්න මතු වෙනවා. විශේෂයෙන් සිනමාශාලා පැත්තෙන්. අපි වැඩියෙන් හිතන්නට ඕන නිෂ්පාදකවරුන් ගැන. උදාහරණයක් විදිහට පෙන්වා දුන්නොත් කෝටි තුනක් හතරක් වියදම් කරලා චිත්‍රපටයක් කළාට පසුව කිසිදු අත්තිකාරම් මුදලක් නොගෙන සිනමා ශාලාවලට දෙන එකම රට ලංකාවයි. නමුත් සිනමා ශාලා හිමියන් ඒ සඳහා කිසිදු ප්‍රචාරණ අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නේ නැහැ. හැබැයි ඔවුන් 40% ත් 45% අතර මුදලක් ප්‍රදර්ශනය සඳහා ලබා ගන්නවා. දැන් පෝස්ටරයක් අලවා ගන්නත් පාන්පිටි පවා නිෂ්පාදකයාට සපයා දෙන්න වෙලා තියෙනවා.
මා ඉහත සඳහන් කළේ සිනමා නිර්මාණයක් අමාරුවෙන් නිම කරල ප්‍රදර්ශනය කර ගන්න ගියාම මතුවෙන ගැටලු ගැන. මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. මම සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට ඇවිත් 2026 වසරට වසර හතළිහක් වෙනවා. ඒ වසර හතළිහ තුළ මා ලද අත්දැකීම් බොහෝමයි.
ලංකාවේ සහය අධ්යක්ෂවරුන් සිටින්නේ ටික දෙනෙකු පමණයි. ඒ ටික දෙනාට තමන්ගේ වෘත්තීය නංවා ගැනීමට තමන්ටම පියවර ගන්න සිදු වී තිබෙනවා. සහය අධ්යක්ෂවරයා කියන්නේ අධ්යක්ෂවරයා ගේ ගෝලයෙකු නොවේ. වෘත්තීය මට්ටමකින් ක්‍රියා නොකරන ඇතැම් සහය අධ්යක්ෂවරුන් නිසයි එහෙම මතයකුත් ගොඩනැඟී තියෙන්නේ. සහය අධ්යක්ෂවරයා කියන්නේ අධ්යක්ෂවරයාගේ ගෝලයා වනබව. ඒ කෙසේ වෙතත් හැකියාව ඇති තරුණ තරුණියන් සිනමාවට ආක්‍රමණය කර ගත යුතුයි.
ඉදිරියේදී චිත්‍රපට කිහිපයක් ලැබිලා තියෙනවා. සහය අධ්‍යක්ෂණය සඳහා. සහය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් චිත්‍රපට සීයයකට දායක වී ලෝක වාර්තාවක් තියන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුතින් සිනමා ක්ෂේත්රයට එන්න උත්සාහ දරණ දක්ෂ කලාකරුවන්ට ඒ සඳහා උදව් උපකාර කිරීමට මම බොහෝම කැමතියි. සිනමාවට පිවිසිලා වසර හතළිහක් ගතවන මොහොතේ මාව සිනමාවට හඳුන්වා දුන් ධර්මසිරි ගමගේ මහත්මා සහ මට සිනමාවේ වැඩ කරන්න වෘත්තීය ගරුත්වයක් ලබා දුන් අයි. එන්. හේවාවසම් , ඇන්ටන් ග්‍රෙගරි වැනි මහත්වරුන් මම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. මා මොනදේ කළත් මගේ ජීවිතයේ අංක එක මගේ පවුල. බිරිඳ සහ දරුවන්. අංක දෙක කලාව. මේ වසර තිස්පහ තුළ මගේ බිරිඳ මංගලිකා නාගොඩවිතානගෙන් සහ මගේ දියණියන් දෙදෙනා වෙන නිමේෂා නෙත්මිණි සහ උමේෂා උදේශානිගෙන් ලැබුණ සහය මට මගේ ජීවිතය සාර්ථක කරගන්න විශාල රුකුලක් වුණා.
සිනමාවේ කළ කටයුතු වෙනුවෙන් මට සම්මාන ගෞරව නාම ලැබි තියෙනවා. සහය අධ්යක්ෂවරයා නිහඬව, එහෙත් බොහෝ වැඩ කොටසක් කරන කෙනෙක්. ඒ නිසා සම්මාන ලැබීමත් අපේ ගමනට ලොකු ශක්තියක් සහ දිරිමත් කිරීමක්. මෙතෙක් ආ ගමන ගැන මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක් වගේම සිංහල සිනමාව වෙනුවෙන් මා තුළ තුබූ සිහිනය සැබෑ වීම ජීවිතයේ ලද වාසනාවක්.
