මේ දිනවල බොලිවුඩ් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකාගාරය අතර ”Dhurandhar” චිත්‍රපටය අතිශය ජනප්‍රිය සිනමාපටයක්. ‘ආදිත්‍ය ධාර්’ විසින් අධ්‍යක්ෂණය කර ඇති ”Dhurandhar” චිත්‍රපටය දේශපාලනික – ක්‍රියාදාම ශානරයේ සත්‍ය කතාවක් ලෙසින් නිර්මාණය වී තිබේ. චිත්‍රපටය වඩාත් ජනප්‍රිය වන්නේ ඉන්දියානු ඉතිහාසයෙහි සිදු වූ රහසිගත මෙහෙයුමක් වටායි. “1999 ඉන්දියානු ගුවන් යානා පැහැර ගැනීම” , “2001 ඉන්දියානු පාර්ලිමේන්තු ත්‍රස්ත ප්‍රහාරය”, “2008 මුම්බායි ප්‍රහාරය” අලළා සැකසුණ “දුරන්දර්” මෙහෙයුම වටා චිත්‍රපටයේ කතාව ගෙතී ඇත. ඉන්දියානු රුපියල් කෝට් 280ක වියදමින් නිර්මාණය වූ ”Dhurandhar” චිත්‍රපටය මේ වනවිට ඉන්දියානු රුපියල් කෝට් 850ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් ලබමින් තිරගත වෙයි. 2025 වසරේ වැඩිම ආදායම ලබාගත් බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ද ”Dhurandhar” සිනමාපටයයි. මෙහි දෙවැනි කොටස වන ”Dhurandhar : Revenge” එන වසරේ මාර්තු 19වන දින තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ කන්දහාර් දුර්ගයේ නවතා තබා තිබෙන තලේබාන් ත්රස්තවාදීන් විසින් පැහැරගත් ඉන්දියානු ගුවන් යානාව ඉදිරියේ සිටින ඉන්දියානු බුද්ධි අංශ කාර්යංශයේ අධ්යක්ෂ “අජේ සන්යාල්ගේ” දුර රූපයකිනි. වර්ෂ 1999 දෙසැම්බර් 30 වන දින එවකට විදේශ කටයුතු අමාත්‍ය “දේවව්රත් කපූර්” සහ ඉන්දියානු බුද්ධි කාර්යාංශයේ අධ්යක්ෂ “අජේ සන්යාල්” විසින් ත්‍රස්තවාදී නායක “සහූර් මිස්ට්‍රි” සමඟ සාකච්ඡා කරන්නේ ඔහුගේ සිරගත කර තිබෙන සහෝදරයා ඇතුළු ත්රස්තවාදීන් තිදෙනෙකු නිදහස් කර ගැනීමේ අරමුණෙනි. ඒ සමඟ ප්‍රාණ ඇපයට තබාගෙන සිටින ගුවන් මගීන්ගේ ජීවිත වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක කප්පම් මුදලක් ද ත්රස්තවාදීන් ඉල්ලා සිටිති. ඔවුන් අවසානයේ ත්රස්තවාදීන්ට උවමනා දේ ලබා දී ප්‍රාණ ඇපකරුවන් මුදා ගනී. නමුත් ඉන්දියාවට ත්රස්තවාදීන්ගේ බේරිමක් ලැබෙන්නේ නැත. 2001 වසරේදී මහා දවාලේ ඉන්දියානු පාර්ලිමේන්තුවට ත්රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි.
මෙම සිදුවීම් දාමයෙන් පසුව “අජේ සන්යාල්” ඉන්දියාවට දැඩි හිසරදයක් වී තිබෙන ත්‍රස්තවාදය තුරන් කර දැමීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. අජේට ලැබෙන බුද්ධි තොරතුරු අනුව මෙම ත්‍රස්තවාදය පෝෂණය ලබන්නේ පාකිස්තානය වෙළාගත් පාතාල කල්ලි සහ දේශපාලඥයන්ගේ බලය පිහිටාධාරයෙනි. මෙම තත්ත්වය වටහා ගන්නා අජේ විසින් ‘දුරන්දර්’ නම් රහසිගත මෙහෙයුමක් ආරම්භ කරයි. ඒ අනුව අජේ විසින් ඉන්දියානු බුද්ධි අංශයේ රහසිගත ඒජන්තවරයකු වන ”හම්සා අලි මසාරි” ඇෆ්ගනිස්ථානය හරහා පාකිස්ථානයට දුරන්දර් මෙහෙයුම සඳහා යවයි. පාකිස්තානයේ කරච්චි නුවර ලියාරි නගරයේ වෙස් වළාගෙන සිටින හම්සා විසින් ලියාරි නගරයේ පාතාලය වෙත සුක්ෂම ලෙස සම්බන්ධ වී ඔවුන් ඝාතනය කර දැමීමේ මෙහෙයුම අරඹයි.
“දුරන්දර්” චිත්‍රපටයේ එන්නේ මෙම කතා පුවත ඇතුළත් සිදුවීම් දාමයයි. සිනමාත්මක වශයෙන් ”දුරන්දර්” වැනි චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා නැරඹීම වැදගත් ය. සත්‍ය කතා පුවතක් පෙරදැරි කරගෙන මෙවැනි ආකාරයේ දේශපාලනික සිනමාපටයක් නිර්මාණය වීම පිටුපස ඉන්දියානු ජාතිකවාදයේ (Nationalism) සංඥාවක් දිස් වීම වීම සහ ඉන්දියාවෙන් වෙන් වී පාකිස්තානය නමැති ඉස්ලාමීය රාජ්‍යය පිළිබඳ විරෝධය නිරෑපණය වේ. ක්‍රියාදාම රසයත්, කතා රසයත් අන්තර්ගත චිත්‍රපටය පැය තුනකට අධික ධාවන කාලයකින් යුක්ත වේ. නමුත් චිත්‍රපටය ධාවන කාලය දිගු වුවත් ප්‍රේක්ෂකයා සිනමාපටයේ අවසානය දක්වා සක්‍රීයව තබා ගන්නට සමත්ව තිබේ.
ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනාගන්නා ප්රව්ණ නළු අක්ෂේ ඛන්නාගේ රංගනය ඉහළ පැසසුම් ලබමින් සිටී. අක්ෂේ ඛන්නා නිරූපණය කරන්නේ පාකිස්තානයේ ඝාතකයකු සහ ප්‍රබල දේශපාලන චරිතයක් වන අබ්දුල් රෙහ්මාන් බලොච්ගේ චරිතයයි. බොලිවුඩයේ ජනප්‍රිය නළු රන්වීර් සිං සිව්ල් වැසියෙකු ලෙස වෙස් වළාගෙන පකිස්තානයේ සැරි සරන හම්සා නමැති ඉන්දියානු බුද්ධි ඒජන්තවරයකුගේ චරිතය නිරූපණය කරයි. දක්ෂ නළුවෙකු වන මාධවන් විසින් මැදිවියේ පසුවන ඉන්දියානු බුද්ධි අංශ ප්‍රධානියා වන අජේ සන්යාල්ගේ චරිතය සඳහා පණ පොවයි. අර්ජුන් රාම්පල් සහ සංජේ දත් ද මෙහි රංගනයෙන් දායක වෙති.
දුරන්දර් චිත්‍රපටය ආන්දෝලනයකට තුඩුදුන් සිනමාපටයනි. චිත්‍රපටය නිකුත් වීමට පෙර මියගිය ඉන්දීය සොල්දාදුවෙකු වන “මේජර් මෝහිත් ෂර්මාගේ” පවුලේ අය ෂර්මාගේ ජීවිතයෙන් සහ පවුලේ කැමැත්ත ලබා නොගෙන රහසිගත මෙහෙයුම්වලින් ආභාසය ලබා ගත් බවට චෝදනා කරමින් දුරන්දර් චිත්‍රපටය නිකුත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කළහ. මෙම විරෝධතා සලකා බලන ලෙස දිල්ලි මහාධිකරණය මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයට (CBFC) නියෝග කළ අතර ඉන් පසුව මණ්ඩලය චිත්‍රපටය නැවත පරීක්ෂා කිරීමෙන් පසුව මේජර් මෝහිත් ෂර්මා සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු කළේය.
ඒ හා සමානව පාකිස්තානයේ පොලිස් නිළධාරියෙකුවන චෞද්රි අස්ලම්ගේ වැන්දඹු බිරිඳ වන නෞරීන් අස්ලම් ද චිත්‍රපටයේ ඔහුගේ චරිතය නිරූපණය කිරීමට විරුද්ධ වූ අතර ඇගේ සැමියා ව්‍යාජ ලෙස නිරූපණය කළහොත් අධ්යක්ෂවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය පවා කර ඇත. මෙවැනි ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් මත චිත්‍රපටය සාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙයි. “දුරන්ධර්” ඉන්දියාව මුහුණ දෙන ත්‍රස්තවාදී තර්ජනය යථාර්ථවාදීව නිරූපණය කළ පළමු ප්‍රධාන බොලිවුඩ් චිත්‍රපටයයි. “දුරන්දර්” සිනමාශාලාවක අනිවාර්යයෙන්ම බැලිය යුතු වටිනා චිත්‍රපටයක් ලෙස ඉහළින්ම නිර්දේශ කළ හැකි සිනමාපටයකි. මේ දිනවල කොළඹ පිහිටි “වන් ගෝල් ෆේස්” PVR සිනමා සංකීර්ණයේ දී “දුරන්දර්” චිත්‍රපටය නැරඹිය හැකිය.
මලින්ත විතානගේ
