‘ඉඩ්ලි’ යනු රසවත් ආහාරයකි. සහල් පිටිවලින් සකස් කරගන්නා මෙම ආහාරය දකුණු ඉන්දියාවේ සහ ලංකේය ජනතාවගේ උදෑසන ආහාරය ලෙස වඩාත් ප්‍රකට ය. කොළ පැහැති කෙසෙල් කොළයක් මතට වැටෙන සුදු පැහැති ඉඩ්ලි දෙක තුනකට වැටෙන රසවත් සාම්බාරු, පරිප්පු හොද්දක් සමඟ අනුභව කරන දකුණු ආසියාතිකයන් මාර්තු 30 වන දින “ලෝක ඉඩ්ලි දිනය” සමරති. ‘ඉඩ්ලි’ ආහාරය පාදක වන අපුරු චිත්‍රපටයක් ලෙස ‘ඉඩ්ලි කඩෙයි’ ඉන්දියානු දෙමළ චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂකාගාරය අතර වඩාත් කතාබහට ලක් වෙති. ‘ඉඩ්ලි කඩෙයි’ චිත්‍රපටය තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු ධනුෂ් විසිනි. සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ද ධනුෂ් වීම විශේෂත්වයකි. ධනුෂ් විසින් අධ්‍යක්ෂණය කරන සිවිවන සිනමාපටය ද ‘ඉඩ්ලි කඩෙයි’ වන අතර ඔහුම අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟ දක්වන දෙවන චිත්‍රපටය ද වෙයි. ‘ඉඩ්ලි කඩෙයි’ චිත්‍රපටයේ ගෙතෙන්නේ සමාජ ව්විරණයක් ලෙසින් ගෙන එන සංවේදී කතාවකි.
සිවනේසන් කුඩා ගමක නිහතමානී ලෙස අන් අයට උදවි කරමින් ගෞරවනීයව ජීවත්වන අයෙකි. ඔහු ගම්මානයේ ඉඩ්ලි කඩයක් පවත්වාගෙන යයි. සිවනේසන්ගේ ජීවිතයේ හොඳම අඩවිය කැප කරන්නේ ගම්මානයේ වැසියන්ට රසවත් ඉඩ්ලි සාදා දෙන්නටය. සිවනේසන් සාදන ඉඩ්ලි අතිශය රසවත් නිසාම ගම්මානයේ මිනිසුන් සිවනේසන්ට බොහෝ සේ ආදරය කරති. සිවනේසන්ට මුරුගන් නමින් පුතෙකු සිටී. මුරුගන් පියාගේ අඩි පාරේ යමින් ආහාර පිසීම සමිබන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය ලබා මදුරාසියේ ඉහළ වැටුපක් ලබන සුප්‍රකට තරු පහේ හෝටලයක ප්‍රධාන සූපවේදියා බවට පත් වෙයි. මේ නිසා තම පියා සහ මවගෙන්, ගම්මානයෙන් මුරුගන් දුරස් වෙයි.
කාලය ගතවත්ම මුරුගන්ගේ පියා අසනීප වී මරණයට පත් වේ. මුරුගන් ගමට පැමිණෙයි. සැමියා මළ ශෝකය නිසාවෙන් එය දරාගත නොහැකිව මුරුගන්ගේ මව ද මරණයට පත් වේ. මුරුගන් තනිවෙයි. ඔහුගේ පියා පවත්වාගෙන ගිය ඉඩ්ලි කඩය පියා වෙනුවෙන් නැවත ආරම්භ කළ යුතු බව සිතයි. නමුත් මුරුගන්ට එය පහසු කටයුත්තක් බවට පත්වන්නේ නැත. පියා සැකසු ඉඩ්ලි පදමට ගම්මානයේ වැසියන් රහ වැටී ඇත. කාලාන්තරයක් තිස්සේ ගමේ නොසිටි මුරුගන්ව ගම්වැසියන්ට ආගන්තුක ය. තම පියාගේ ජීවිතය ගහට පොත්තක් මෙන් බැඳී තිබුණු ඉඩ්ලි කඩය මුරුගන් අභියෝග මැද පවත්වාගෙන යන්නේ කෙසේද? යන්න සිනමාපටයෙහි සංවේදී ලෙස නිරූපණය වෙයි.
මනුෂ්‍යයෙකුගේ ඉවසීම පිළිබඳ කදිම පණිවුඩයක් සිනමාපටයේ අන්තර්ගත වෙයි. සිනමාකරුවකුගේ අරමුණ තම රසිකයාව එකී මාතෘකාව තුළ කිසියම් බුද්ධිමය සංවාදයකට කැඳවීම ය. ඉන්දියානු සමාජයේ වෙසෙන එක්තරා සමාජ තීරුවක් පිළිබඳ සමාජ ප්රකාශනයක් සේ ගෙනඑයි. සිනමාපටයේ හැඩරුව තීන්දු කිරීමේ දී අධ්යක්ෂවරයාගේ අධ්‍යාශය අතිශය වැදගත් ය. සිනමාපටයේ ආඛ්‍යානය සැකසීමේ දී සිනමාකරුවා සිනමා භාෂාව (Ciema Language) හසුරුවා ඇත්තේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරුතම කලාපයෙනි. ප්‍රේක්ෂකාගාරය විලංගු දමා සිරගත කර දැමීමක් බඳු ය. ”චිත්‍රපටයේ පෙන්වන මේ තේමාව මෙතරම් දැනුණේ ඇයි?” ද යන්න ප්‍රේක්ෂකයාව අවුස්සාලයි.
සිනමාකරු සංරචනය කරන්නේ සංවේදිභාවයේ කම්පනයන් වෙතය. සිනමාකරු ධනුෂ් රංගනයෙන් දායක බොහෝමයක් සිනමාපට මනුෂ්‍යත්වය පිළිබඳ විශ්ලේෂණය කරන සිනමාපට වෙති. වෛරය, ද්වේෂය, ඊර්ෂ්‍යාව වැනි අයහපත් ගති පැවතුම්වලට එරෙහිව ප්‍රේමය, ඉවසීම, නිහතමානීබව යන මානවවාදී සංකල්ප ප්‍රේක්ෂකාගාරයේ විසිරවා හරින්නට ධනුෂ් සැමවිටම සිනමාපට හරහා උත්සාහ දරයි. ‘ඉඩ්ලි කඩෙයි’ නැරඹුවහොත් ඔබට මනුෂ්‍යත්වය පිළිබඳ පණිවුඩයක් සේම අලංකාර අවන්හල් ආහාර අමතක කර දමා රසවත් ඉඩ්ලි කන්නට ආසක්තවෙනබව නම් නිසැකයි.

මලින්ත විතානගේ
