Home » ඇරිෆ්ලෙක්ස් කැමරාව දුටු සුදු ජාතික කාන්තාවට සැමියා සිහි වෙයි

ඇරිෆ්ලෙක්ස් කැමරාව දුටු සුදු ජාතික කාන්තාවට සැමියා සිහි වෙයි

by shanaka
December 25, 2025 1:00 am 0 comment

චංචල රේඛා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත හතරටම පෙනී සිටියේ මමයි ගාමිණි ෆොන්සේකායි. චිත්‍රපටයේ රූ ගත කිරීම් තිබුණේ රඹුක්කන සේන අයියගේ නිවෙස අවට. මට තාමත් මතක් වෙනවා ගාමිණි අයියට කණවැල අල්ලගෙන එන ‘ හස කැලුම් උදාවේවා ‘ ගීතය රූ ගත කරපු හැටි. මේගීතය රූ ගත කරන්න අපි නුවර පාරට එනවා.

‘ හස කැලුම් උදාවේවා එදාසේ

අතුරා සිනා මේ පාළු දෑසේ

සසර චාරිකාවේ සතුට වාසනාවේ

අඳුරු සේයා ළඟා නොවේවා

හස කැලුම් උදාවේවා එදාසේ

අතුරා සිනා මේ පාළු දෑසේ…..

පෙරදා මාගේ ඒ සිඟිති කාලේ

දෑතේ රැඳී ලා ඔබේ

පෙරදා මාගේ ඒ සිඟිති කාලේ

දැතේ රැඳීලා ඔබේ

අයාලේ වගේ පා තැබූ ජීවිතේ

එළිය සැදෙන සොයුරු ප්‍රේමයේ….

සැඟවූවා සේ ඒ නෙත් අකාලේ

පාවී ගියේ නෑ සෙනේ

සැඟවූවා සේ ඒ නෙත් අකාලේ

පාවී ගියේ නෑ සෙනේ

සදා මා හිඳීන්නම් රැඳී මේ ලෙසේ

එළිය රැගෙන ඔබට ජිවිතේ

මේ ගීතය සඳහා මට පසුබිම් හඬ මුසු කරන්නේ විශාරද නීලා වික්‍රමසිංහ. සංගීතය සරත් දසනායකගේ. ගී පද රචනය කුලරත්න ආරියවංශගේ. මේ ගීතය රූ ගත කරත්දි මම ගාමිණි අයියට කණ වැල අල්ලගෙන එනවා. නුවර පාරේ ඈතින් බතලේගල කන්ද පේන හරියේදී මට පේනවා විදේශිකයෝ රැගෙන යන කාරයක් අපි පහුකරගෙන යනවා. ඒ කාරෙක ටික දුරක් ගිහින් නැවතෙනවා. මද වේලාවකින් අපි දර්ශන ගතකිරිම් කරන හරියට කාරෙක රිවර්ස් කරනවා පේනවා. කැමරා එක තිබුණ හරියට ඇවිත් කාරෙක නවත්වනවා. හුඟාක් වයසක සුදු ජාතික කාන්තාවක් කාර් එකේ පසුපස දොර ඇරගෙන බැහැලා ආවා.

ඇය ඇවිත් අපි රූ ගත කරමින් සිටි ඇරිෆ්ලෙක්ස් සිනමා කැමරාව දිහා බලාගෙන හිටියා. අපේ කණ්ඩායම ඇයත් සමඟ කතා කළාට පස්සේ තමයි දැන ගත්තේ ඇරිෆ්ලෙක්ස් කැමරා කම්පැනි එක මේ සුදු ජාතික කාන්තාවගේ සැමියගේ කියලා. ඒ වනවිට ඔහු මියගොස් සිටි නිසා කැමරා එක දැකීමෙන් ඇයට සිය ස්වාමි පුරුෂයාව මතක් වෙලා තමයි ඇරිෆ්ලෙක්ස් කැමරා එක බලන්න ඇය ඇවිත් තිබුණේ.

චංචල රේඛා ප්‍රධාන චරිතය වුණේ සිරිසේන( ගාමිණී ෆොන්සේකා) සහ දංචුටි (නදීකා ගුණසේකර) ගැමි සුවඳීන් ප්‍රබෝධවත් වුණු ගම්මානයක උපන් අයිය නගෝ දෙදෙනෙක්. ඔවුන් විවිධ අවස්ථාවල විවිද තාඩන පීඩනවලට ලක් වෙනවා. අයියගේ දෙනෙත් නොපෙනී යනවා. දෙනෙත් නොපෙනෙන අයියව නංගි ආදරයෙන් බලාගන්න ආකාරය සහ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙන විවිධ දුෂ්කර අවස්ථා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත ලියලා තිබුණේ සෝමපාල ලීලානන්ද. නමුත් මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන අයියගෙයි නංගිගෙයි ප්‍රේමයට පසුබිම් වෙන්නේ සේන සමරසිංහයන් තමන්ගේ නංගිට දැක්වූ සැබෑ ප්‍රේමයයි. අයියගෙයි නංගිගෙයි සැබෑ ප්‍රේමයේ චමත්කාරය ගැන කියන්න ඉතාමත්ම අලංකාර, ඒ වගේම එදා මෙදා තුර ජනප්‍රියත්වයෙන් නොඅඩු ගීතයක් මේ චිත්‍රපටයට අන්තර්ගත වුණා.

කීන දං මිටක් කඩන් ආවා මගේ නංගෝ

කාටවත් නොවෙයි නඟාටයි මේ ආ නංගෝ

පොඩිකාලේ වාගේ අපි…

ඔන්න ඔට්ටුයි කියාලා

හැංගි මුත්තන් හොයාලා

හැංගෙමුදෝ අයියේ……

පුංචි හීනේ ගෝනි බිල්ලෝ

නංගි අල්ලන් යන්න ඒවි

මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නේ

තුන්යම රෑ පානේ……

ඉරිඟු යායෙන් කිරල ගාලෙන්

කිරිවැදීලා කිරි ගොයමේ

නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ

සෝවුරු පින් මහිමේ

 

ලබන සතියේ ඔංචිලි පදින්න ගිහින් වුණු අකරතැබ්බය

 

හේමාලි විජේරත්න
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT