ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් වන ‘ආයු’ (Ayu), පසුගිය පෙබරවාරි 10 වන දින ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මැක්මන්ට්‍රි (McMurtry) ගොඩනැඟිල්ලේ පිහිටි අතිනවීන ශාලාවකදී ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී ජාත්‍යන්තර සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇදුරු මඬුල්ල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ පරිපාලන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ප්‍රදර්ශනය, සංස්කෘතික සහ භාෂාමය බාධක ඉක්මවා යාමට මෙම සිනමාපටයට ඇති හැකියාව මනාව පිළිබිඹු කළේය. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ චත්‍ර වීරමන් සහ නිෂ්පාදක යසස් රත්නායක යන මහත්වරුන් සමඟ විශේෂ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී සිනමාපටයේ අන්තර්ගත සංකේතවාදය, දෘශ්‍ය භාෂාව මෙන්ම ස්වාධීන සිනමා නිර්මාණයක නිෂ්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලාංකේය සිනමාවේ වත්මන් තත්ත්වය සහ එය ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ ඇති විභවය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය. ශ්‍රී ලාංකික නොවන ප්‍රේක්ෂකයින් පවා මෙම නිර්මාණය ඉතා ඉහළින් අගය කළ අතර, එහි අඩංගු සනාතන මානුෂීය හැඟීම් ඕනෑම මිනිසෙකුට සමීප විය හැකි විශ්වීය භාෂාවක් බඳු යැයි ඔවුන් ප්‍රකාශ කරන ලදී. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී අපට ලැබුණු මෙම ප්‍රතිචාරය මඟින් සනාථ වන්නේ සිනමාව යනු විවිධ සංස්කෘතීන් යා කරන පාලමක් බවයි. විවිධ පසුබිම් සහිත ප්‍රේක්ෂක පිරිසක් ‘ආයු’ සමඟ මෙතරම් සමීපව බැඳෙනු දැකීම අපට මහත් අභිමානයක්” යනුවෙන් නිර්මාණකරුවෝ පැවසූහ.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහාය වූ ස්ටැන්ෆර්ඩ් දකුණු ආසියානු මධ්‍යස්ථානය (Stanford Center for South Asia), ස්ටැන්ෆර්ඩ් ශශ්‍රී ලංකා සංගමය (Stanford Sri Lanka Association) සහ දකුණු ආසියානු ක්‍රියාකාරී කණ්ඩායම (South Asia Working Group) වෙත නිර්මාණකරුවන්ගේ කෘතඥතාව හිමිවේ. එමෙන්ම මෙම ප්‍රදර්ශනය ස්ටැන්ෆර්ඩ් පරිශ්‍රයේදී සංවිධාන කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ මාර්ලන් ආරියසිංහ මහතාට සහ ආචාර්ය දිමුතු හේමචන්ද්‍ර මහතාට ද විශේෂ ස්තුතියක් පිරිනැමේ. තවද, මෙම ගමනේදී නිරන්තර සහයෝගය ලබාදෙන ‘ආයු’ හි නිල අමෙරිකානු බෙදාහරින්නා වන ගයේෂා පෙරේරා ෆිල්ම්ස් (Gayesha Perera Films) ආයතනය ද මෙහිදී ඇගයීමට ලක්විය.
