Home » ‘අන්කල් ඒ සින්දුව කෑවනේ’ කියලා පුංචි දුවෙක් කීවා

‘අන්කල් ඒ සින්දුව කෑවනේ’ කියලා පුංචි දුවෙක් කීවා

by mavan
October 16, 2025 10:51 am 0 comment

සාහිත්‍ය, සංගීතය හා කලාව යනාදිය අනාදිමත් කාලයක සිට මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට මූලාදර්ශ සැපයූ අපූර්ව විශ්වීය නිමවුම් වේ. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ ස්වකීය රංගන ප්‍රතිභාව රූපණය කරමින් සුවිශේෂී මෙහෙවරක යෙදුණු නිශ්ශංක දිද්දෙණිය වනාහී රූපණවේදියෙක්, ගායනවේදියෙක් යන ඕනෑම යෙදුමකින් හැඳීන්විය හැකි මෙරට පහළ වූ අද්විතීය කලාකරුවෙකි. ඔහු විසින් පණ පෙවූ සිංහබාහු, මනමේ කුමරු, වැදි රජු මෙන් ම ලෝමහංස නාටකයේ බ්‍රහ්මදත්ත රජු වැනි විශිෂ්ට භූමිකා සහෘදයාගේ සිත් සතන් හි නොමැකෙන සටහන් තැබූ චරිත යි. නිශ්ශංක දිද්දෙණිය නමැති කීර්තිමත් රංගවේදියා සමඟ ඔහු ගේ ජීවන මං පෙත පිළිබඳ ව සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

ඔබ ගේ කලා ජීවිතය ආරම්භ වුණේ කොහොමද?

මගේ කලා ජීවිතය ආරම්භ වුණේ ගමෙන්. ඒකට බලපාපු ගොඩක් කරුණු තියනවා. මගෙ මුල් ම පාසල පනාවැන්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. දැන් ඒක හඳුන්වන්නෙ පනාවැන්න ධර්මාරාම විද්‍යාලය කියලා. මගේ අයියලා දෙන්නම ගමේ තියටර් නටපු අය. ඒ කාලේ අද වගේ විශාල ප්‍රමිතිගත වේදිකා තිබ්බේ නෑ. තාවකාලිකව තනාගත්ත වේදිකාවල තමයි තියටර් රඟපෑවෙ. නූර්ති නාට්‍ය ක්‍රමය අභාවයට ගියායින් පස්සෙ ඒකෙ අපර විකාශයක් හැටියට තමයි නගරයෙන් ඇතිවෙච්ච තියටර් නාට්‍ය ක්‍රමය ගමට ගියේ. තියටර් නාට්‍යයේ තිබුණු සංගීතය, ගායනය, රංගනයට මගේ හිත ඇදී ගියා. කලාවට පිවිසෙන්න ඒක හේතුවක් වුණා. මගේ ගම හරිම සුන්දරයි. අපෙ මහ ගෙදරට උඩු පැත්තෙ තියෙන කඳු ගැටයට නැග්ගම සිරීපාදේ පේනවා. හරිම ලස්සනයි. මං හිතන්නෙ ආකාස්මිකව ඒ සොබා සෞන්දර්යනේ ඇති වෙච්ච සෞන්දර්ය හැඟීම් මගේ කලා ජීවිතයට බලපෑමක් වුණා කියලා. මගේ පවුලෙ හැම කෙනෙක්ටම හොඳට ගයන්න පුළුවන්. මගෙ අම්මා කුඹුරට බැස්සම කවි කියන්න මුල අල්ලනවා. හරිම මිහිරියි. තාත්තටත්, අයියලා දෙන්නටත් හොඳ හඬක් තිබුණා. මං හිතෙනවා ඒ ආභාසයත් මට එන්න ඇති කියලා.

ඔබ රංගනය වගේ ම නර්තනයත් ප්‍රගුණ කරල තියෙනවා නේද?

ඔව්. මගේ මුල් ම නාට්‍ය ගුරුවරයා වුණේ රාජා සුමනපාල. ඒ වගේ ම සරත් ලාල් පනාවල කියන්නෙ මගේ නර්තන ආචාර්යවරයා. මම උඩරට නර්තන කලාව දිගට ම ප්‍රගුණ කළා. නර්තනය උගත් නිසා තමයි පසු කාලීනව ශෛලගත නාට්‍ය රඟපෑම් කටයුතු මට බොහොම පහසු වුණේ. ගැමි රඟ මඬල, පාසල් රඟ මඬල හා ප්‍රසිද්ධ රඟ මඬල කියන තුන් ඇඳුන් මගේ රංගන අවධි වලට කුඩා කල ලබපු මේ ඥානය බොහෝ සෙයින් ඉවහල් වුණා.

ඔබට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවුණේ කොහොමද?

සරච්චන්ද්‍රයන්ගෙ මුල් ම ස්වතන්ත්‍ර නාට්‍ය වුණු “බහින කලාව” වේදිකා නාට්‍යයේ ප්‍රධාන නිළිය තමයි සීතා වින්සන් මහත්මිය. එතුමිය තමයි මට සරච්චන්ද්‍රයන් හමුවෙන්න මුල් ම අදහස දුන්නෙ. මගෙ ගුරුවරයෙක් වුණු කරුණාරත්න බණ්ඩාර මහත්මයා වගේ අයත් ඒ සඳහා මාව දිරිගැන්නුවා. ඒ කාලය වෙනකොට මනමේ සහ සිංහබාහු ලංකාව තුළ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ හින්දා සාහිත්‍ය හා කලා ලෝකය තුළ ලොකු ප්‍රබෝධයක් ඇති වුණා. මගෙ හිතත් ඒ ගැන ඇදී ගියා. මං කොහොම හරි උසස් පෙළ සමත් වුණෙත් මහාචාර්ය සරච්චන්ද්‍ර හමුවෙන්න තියෙන දැඩි වුවමනාව නිසා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීපත් වුණායින් පස්සේ මං සරච්චන්ද්‍ර මහත්මයාව හමුවුණා.

විශ්වවිද්‍යාලයේ දී ඔබ ලද අද්දැකීම්?

මම විශ්වවිද්‍යාලයේ දී විෂයන් විදියට හැදෑරුවේ සිංහලයි, ආර්ථික විද්‍යාවයි, භූගෝල විද්‍යාවයි. සිංහල විෂය උගන්නන්න ඩොක්ටර් සරච්චන්ද්‍රත් ආවා. කොහොම හරි පළමුවැනියට ම මම රඟපෑවේ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයේ. ඒ 1969 දී. ඒ නාට්‍යයට ජාත්‍යන්තර සම්මානයක් පවා ලැබුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මම.

එතකොට ඔබට වයස කීයද?

මම සිංහබාහු රඟපෑවෙ 1970. ඊට කලින් අවුරුද්දෙ තමයි පේමතෝ ජායතී සෝකෝ රඟපෑවෙ. ඒ වෙනකොට මට වයස විසි හතරක් විතර ඇති. සරච්චන්ද්‍ර සතුටු වුණා එයා හිතනවටත් වැඩිය සිංහබාහු චරිතය මගේ රඟපෑම තුළින් පෝසත් වුණා කියලා. සිංහබාහු එහෙම රඟපානකොට මම මට ම ආවේණික වූ ගමන්තාල හා ඇතැම් ක්‍රමවේද අනුගමනය කළා. සරච්චන්ද්‍රයන් කිසි දිනෙක ඒවා වෙනස් කරන්න ආවේ නෑ. සරච්චන්ද්‍ර විශ්වාස කළා නාට්‍ය කලාව කියන්නෙ නළුවාගෙ කලාවක් කියලා. අත්‍යවශ්‍ය දෙයකට ඇරුණුකොට ඔහු මැදිහත් වුණේම නෑ.

පේරාදෙණිය ගුරු කුලය ඔබේ කලා ජීවිතයට බලපෑමක් එල්ල කළා නේද?

ඔව් ඇත්තටම. ශාන්ති ගීතදේව, සිරිල් පෙරේරා වැනි විශ්ව විද්‍යාලයෙන් පිටත සිටි කලාකරුවන් පවා සරච්චන්ද්‍රයන් මැදිහත් වෙලා විශ්ව විද්‍යාලයට ගෙන්නලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ හැමදේටම මමත් සහභාගි වුණා. විවිධ කාලවල දී විවිධ වැඩසටහන් තිබුණා. භක්ති ගීත, නැටුම්, නාට්‍ය වගේ ඒවා ගොඩක් තිබුණා. සම්භාව්‍ය සාහිත්‍ය ගෙන කතා කරනකොට කියවෙන මහාචාර්ය සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, මානව විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර විද්වතෙකු වූ මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය කේ.එන්. ජයතිලක වැනි කීර්තිමත් උගතුන් ගේ ආලෝකය පේරාදෙණිය ගුරුකුලයට වගේ ම මගේ කලා ජීවිතයටත් සෑහෙන්න බලපෑවා. ඒ අතුරින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ ඇසුර ඉතා ප්‍රබල ලෙස මගේ සමස්ත කලා දිවිය ම උඩුයටිකුරු කෙරුවා.

සරච්චන්ද්‍ර ඇසුර පිළිබඳ රසවත් මතකයන් එහෙම තියෙනවද?

ඔව්. ගොඩක් තියෙනවා. එකක් දෙකක් කියන්නම්. පේමතෝ ජායතී සෝකෝ කරන කාලේ යම් පුද්ගලික ප්‍රශ්නයක් නිසා සරච්චන්ද්‍රයන් යම් පසුබෑමකට ලක් වුණා. නොකීවාට හැමෝම වගේ දන්නවා ඒ ප්‍රශ්නය. සරච්චන්ද්‍රයන් විශ්ව විද්‍යාලයට ආවෙ නෑ. ඔහු වෙනත් ප්‍රදේශයකට ගිහින් මාස තුනක් විතර විශ්ව විද්‍යාලයට නෑවිත් හිටියා. සරච්චන්ද්‍ර සර්ට අපි හැමෝම වගේ ආදරෙයි. එතුමට ආව ප්‍රශ්නය නිසා අපිත් දුක් වුණා. පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයත් ඇන හිටියා. අපිටත් දුකයි. ඒ නිසා අපි පොඩ්ඩක් විප්ලවකාරී විදිහටත් හැසිරුණා. මාස තුනක් විතර යනකොට මහාචාර්ය සරච්චන්ද්‍ර නැවත විශ්ව විද්‍යාලයට ආවා. අපි ඔක්කොටම ආරාධනා කරලා කැන්ටිමට එක්කගෙන ගිහිල්ලා තේ එහෙම අරන් දීලා එහෙම පස්සේ නාට්‍ය පුහුණුවීම් ආරම්භ කළා. එතුමා නාව නිසා මාස තුනක් ම අපිට දේශන තිබ්බෙ නෑ. ආපිට ඇවිත් කරපු ප්‍රථම දේශනයේ දී එතුමා මෙහෙම කිව්වා.

“මගේ මේ පුණ්‍යවන්ත විද්වත් ශිෂ්‍ය පිරිස මා දිහා තෘෂ්ණිම්භූත ව බලා ඉන්නෙ මොකද කියලා මට තේරුම් ගන්ට පුළුවන්. කොහෙවත් යන ප්‍රශ්න කරේ දමාගෙන ඉන්න ඕනෙ නෑ. මගේ ප්‍රශ්න මට ප්‍රශ්නයක් නෙවෙයි නම් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්ට ඕනෙ නෑ. මං දන්නවා මගෙන් දේශන කිහිපයක් මගහැරුණා.

ගැහැනු ළමයි පාරේ යන බස් වැනි ය

එකක් වැරදුණොත් අනෙකෙන් යා හැකි ය” කියල කිව්වා.

තමන්ගෙ තියෙන ආත්ම පෞරුෂය කොයි විදිහට ද පවත්වාගන්න ඕන කියලා ඉගෙන ගන්න හොඳ කෙනෙක් තමයි සරච්චන්ද්‍ර. එතුමා වැනි ප්‍රාඥයෙක් ඇසුරු කරන්න ලැබීම මගේ භාග්‍යයක්.

ඔබ අවුරුදු 26 ක් විතර සිංහබාහු රඟපෑවා. මේ වගේ විශිෂ්ට චරිත රඟපෑමට ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?

සිංහබාහු මම අවුරුදු 26 ක් රඟපෑවා. මම හිතන්නෙ තව ම ඒ වාර්තාව කවුරුත් කඩල නෑ. නමුත් දීර්ඝ කාලයක් ශෛලගත නාට්‍යවල රඟපෑම නිසා සමහරු කීවා දිද්දෙණිය නාට්‍යධර්මී වලට විතරක් කොටුවෙලා කියලා. නමුත් මම ශෛලගත චරිත විතරක් නෙවෙයි වෙනත් චරිතත් රඟපෑවා. ඒවට සාධනීය ප්‍රතිචාරත් ලැබුණා.

ඔබ මේ ක්ෂේත්‍ර සම්බන්ධ ව ශාස්ත්‍රීය ව අධ්‍යයනය කළා ද?

ඔව්, ඔය දේවල් කරගෙන යන අතරතුර නාට්‍ය ඇතුළු සෙසු කලාවන් සම්බන්ධයෙන් මම වැඩිදුර ශාස්ත්‍රීය වශයෙන් හැදෑරුවා.පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගත්තා. කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ මාස්ටර්ස් ඩිග්‍රියක් කළා. මට ඕන වුණා සරච්චන්ද්‍ර නාට්‍යවල යොදාගත් ගීතවල තනු නිර්මාණය කරන්න රාග යොදාගෙන තියෙන්නෙ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ නිසා මම සංගීතය පිළිබඳවත් වැඩිදුර හැදෑරුවා. විශාරදත් කළා. නමුත් මම සංගීතඥයෙක් නොවන නිසා ඒ නම වැඩිය පාවිච්චි කරන්නෙ නෑ.

සරච්චන්ද්‍රගේ නාට්‍ය ඇරුණු කොට ඔබ වෙනත් නාට්‍ය වලටත් සම්බන්ධ වුණා නේද?

ඔව්. මෑතකදි සම්බන්ධ වුණා සින්දුකාර කවිනළුව කියන නාට්‍යයට. දයානන්ද ගුණවර්ධනගෙ බක්මහ අකුණු, නරි බෑනා, ගජමන් පුවතේ ඇළපාත මුදලි වගේ ඒවට සම්බන්ධ වුණා. මට හුඟක් ලැබෙන්නෙ ගායනා බහුල ව අන්තර්ගත චරිත තමයි. ලූෂන් බුලත්සිංහලගෙ තාරාවෝ ඉගිළෙති, රතු හැට්ටකාරී, මනෝරත්න ගේ මහ ගිරිදඹ වැනි බොහෝ නාට්‍යවලට සම්බන්ධ වුණා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අභාවයට ගිය නූර්ති වර්තමානයට ගළපලා දයානන්ද ගුණවර්ධන 1970 නිෂ්පාදනය කරපු පද්මාවති නූර්තිය. වසන්ත කුමාර මහත්මයා ගේ රාමායණය කියන මුද්‍රා නාට්‍යයේ (ච්චදජඥ ච්පචථච, නෘත්‍ය නාටක) රාමා ගේ චරිතය නිරූපණය කළේ මම.

ඔබ ගේ ගායන දක්ෂතාවය පිළිබඳ සමාජයෙන් බොහොම පැසසුම් ලැබෙනවා නේද?

ගායනයට මට විශේෂ පුහුණුවක් නෑ. විශේෂයෙන් නාට්‍යවලින් ම තමා ගායන කුසලතාවය වඩාත් ප්‍රවර්ධනය වුණේ. ඉස්සර මහාචාර්ය සරච්චන්ද්‍ර පිට දර්ශනවලට යනකොට අපි තරුණයෝනේ. ඉතින් කෑ ගගහා සින්දු කියනවා. ඒකෙන් අපේ කටහඬ නිරායාසයෙන් ම ගායනයට ඔබින විදියට හැදුණා. සරච්චන්ද්‍ර මහත්මයාත් චරිතයකට කිසියම් කෙනෙක් තෝරන්න ඔඩිෂන් එකක් තියපුවම මූලික සාධකයක් විදියට බලන්නෙ ගායන හැකියාව.

ඔබ මුලින් ගායනා කළ සිරි සංඝබෝධි මාලිගාවෙදි ගීතය නව පරපුරේ ගායකයෝ විවිධ අයුරින් ගායනය කරනවා. එයින් ගීතයට හානි වෙලා ද?

හුඟක් වෙලාවට නූර්ති සහ නාඩගම් ගීත බුද්ධිමය දේපළ පනතට අහුවෙන්නේ නෑනෙ. දැන් ඒ ගීතය රැප් කරලා කියනවා. බොහෝ අය එයට විවේචන ඉදිරිපත් කරනවා. යම් උත්සවයකදි මම ඔය ගීතය ගායනා කරලා පිට වෙනකොටම පොඩි ගෑනු ළමයෙක් ඉඳගෙන කීවා අංකල් ඒ සින්දුව කෑවනෙ කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ රැප් කරපු ගීතය තමයි මුල් ගීතය කියලා. මාධ්‍යවලින් ප්‍රචාරය වෙන්නෙත් රැප් කරපු ගීතයනෙ. ඉතින් මම අර දුවට කීවා අනේ දුවේ මට ඒ අයියලා හරියට ම සින්දුව කියලා දුන්නෙ නෑනෙ කියලා.

බොහෝ දෙනා කියනවා නේද සරච්චන්ද්‍ර මහත්මයාගෙ නාට්‍ය තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න කතා කරන්නේ නෑ කියලා.

ඕකට උදාහරණයක් කියන්නම්. දවසක් සමාජවාදී මත දරන විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් සරච්චන්ද්‍ර සර් අල්ලගෙන “සර්ගෙ නාට්‍යවල සමාජ යථාර්ථය නෑනෙ සර්” කියල අහල තියෙනවා. “ආහ් එහෙමද ඔයගොල්ලන්ට දැනෙන්නෙ. මම ඊළඟ එකට දාගන්නම්කො ඒක”කියලා සර් උත්තර දුන්නලු. ඇත්තටම මේ නාට්‍යවල තියෙන්නෙ සාදාතනික යථාර්ථය. සරච්චන්ද්‍රයන්ඒ කාලයේ තිබ්බ සමාජ ප්‍රශ්න කතා කළ නාට්‍ය කිහිපයක් කළා ගොඩක් අය නොදන්නවා වුණාට.

ඔබ ගේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම ත් මගේ බිරිඳ ත් එදා ඉදන් ම සහයෝගයෙන් වැඩ කළා. දරුවන්ගෙනුත් සහයෝගය ලැබුනා මගේ වැඩ කටයුතුවලට. එයාලා දැන් එයාලගේ ඉලක්ක වලට ගිහින්. මම බොහොම තෘප්තිමත්.

තිළිණ සූරියපති

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT