අතීතයේ මෙන් නොව වර්තමානයේ තාක්ෂණය ඉතාමත් දියුණුය. අද සිනමාවට, සංගීතයට ඉහළ තාක්ෂණික පහසුකම් නැතිවම බැරිය. විශේෂයෙන් සංගීතයට තාක්ෂණය අත්‍යාවශ්‍යම අංගයක් වී අවසානය. ගීතයක් ගැයීමට අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳ නිසි හැකියාවක් නැතත් ,නවීන තාක්ෂණය භාවිතයෙන් ගායකයෙකු හෝ ගායිකාවක විය හැකිය. එසේ කිරීමෙන් එක් රැයකින් ජනප්‍රිය වූ අයද නැතුවා නොවේ. එවැන්නන්ට සංගීත ක්ෂේත්‍රයේ පැවැත්මක් තිබේද යන්න සැක සහිතය.තවත් සමහරු ජනප්‍රිය සංගීත ශිල්පීන්ගේ ගීත ගයා ජනප්‍රිය වෙති. ඔවුන්ට ඔවුන්ගේම ගීත නැත. අතීතයේ සංගීත ක්ෂේත්‍රයට පා තැබූ විශිෂ්ට ගායක ගායිකාවන් ගීතයක් ගායනා කළේ නිසි පුහුණුවකින් පසුවය. නැතහොත් ඔවුන් තුළ තිබූ සහජ හැකියාව තවත් ඔප මට්ටම් කරගැනීමෙනි.
හඬක් තිබූ පමණින් ගායන ශිල්පියෙකු විය නොහැකිය. රිද්මයකට, ස්වර අනුව නිසියාකාරව ගායනා කිරීමේ හැකියාව අනිවාර්‍යෙන්ම තිබිය යුතුය. එසේ දක්ෂතාවයක් නොමැති වුවත් තමාගේ හඬ පිළිබඳ විශ්වාසයක් සහ සංගීතය පිළිබඳ ඇල්මක්, උනන්දුවක් තිබෙනවා නම් සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යා හැකිය. එවන් ගමනක් යාමට නම් ඒ පිළිබඳ මනා දැනුමක් සහිත සංගීත උපදේශකවරයෙකු යටතේ හෝ ගුරුවරයෙකු යටතේ පුහුණුවක් ලබා ගත යුතුය. අද වන විට බොහෝ තැන්වල සංගීත ඇකඩමි බිහිවෙමින් පවතී. එහෙත් නිසියාකාරයෙන් දැනුම සපයන ආයතන ඇත්තේ අතළොස්සකි. වසර තිහක පමණ සිට සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති, අත්දැකීම් සම්භාරයක් සහිත සංගීතවේදියෙකුගේ අතින් සිදුවන අගනා කටයුත්තක් පිළිබඳ මෙවර සරසවියෙන් තොරතුරු ගෙන ඒමට සූදානම්.
ඔහු සංගීත උපදේශකවරයෙකු, වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන්නේය. ඔහු සංගීත ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට සංගීත ඥානය සහිත මතු පරපුරක් බිහිකිරීමට වෙර දරන පුද්ගලයෙකි. ඔහු සංගීතවේදී ප්‍රදීප් බෝගහවත්තය. එළඹෙන අප්‍රේල් හතර වෙනිදා ඔහුගේ මූලිකත්වයෙන් සිදුවන අපූරු සංගීතමය වැඩසටහනක් පිළිබඳ කතාබහක යෙදීමට ඔහු සරසවිය සමඟ එක්විය.
මම සංගීත උපදේශකවරයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මම සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන්නට පටන්ගෙන මේ වන විට වසර තිහක් පමණ වෙනවා. මට අවශ්‍ය සංගීතයට ලැදියාව ඇති පිරිස තෝරා ගෙන ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම. ඒ වගේම ඔවුන්ට වෘත්තීය මට්ටමේ ශිල්පීන් බවට පත්කරන්න. ඒ අරමුණින් තමයි මම ඛ්පඥඵජඥදඤධ ථභඵඪජ & ඍධඪජඥ ඒජචඤඥථර නමින් සංගීත පුහුණුව දෙන ආයතනයක් ආරම්භ කළේ. එය පිහිටුවා ගෙන වසර ගණනාවක් වෙනවා. ඒ සඳහා මා සමඟ එක්වූ පිරිස විවිධාකාරයි. මා එසේ පැවසුවේ එහි පුහුණුව ලබන්නේ පාසල් යන වියේ පසුවන අයම නෙවෙයි. ලංකාවේ ඉහළ පෙළේ වෘත්තීන්වල නියැළෙන පිරිස් මා ගාවට පැමිණෙනවා සංගීත පුහුණුව ලබන්න. ඔවුන් එන්නේ ඔවුන් ගෙවන පීඩාකාරී තත්වයෙන් මිදෙන්න. වාදනයක යෙදිලා, ගීතයක් ගයලා මානසික සුවයක් ලබන්න. ඔවුන් දවස ගෙවන්නේ රාජකාරි ජීවිතයේ විවිධ ප්‍රශ්න මධ්‍යයේ. ඔවුන්ටත් පුංචි හෝ විවේකයක් අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය සංගීත චිකිත්සාවක්. සංගීතයට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ මනස සුවපත් කරන්න. විවිධ තරාතිරම්වල වෘත්තීන් කරන උදවිය මා ළඟට එන්නේ ඒ අරමුණින්.
බොහෝ අය මා ළඟට පැමිණෙන විට නිසියාකාරව පුහුණුවක් දැනුමක් නැහැ. ගීතයක් ගැයීමට. මම මුලින්ම කරන්නේ ඔවුන්ගේ හැකියාව හඳුනාගැනීම. ඔවුන්ගේ හඬ පරාසය ගැන සැලකිලිමත් වීම. ඉන්පසු තමයි ඔවුන්ගේ පුහුණුව ආරම්භ කරන්නේ. ඒ සඳහා ඔවුන්ගේ සහයෝගයත් අවශ්‍යයි. රැකියාවෙන් නිවාඩුවක් ලැබෙන වෙලාවට ඔවුන් පුහුණුවීම් සඳහා පැමිණෙනවා. ඒ පැය කිහිපය අතර ඔවුන් දැඩි කැපවීමකින් පුහුණුව ලබනවා. මම ඔවුන්ට කියන්නේ ඔවුන්ගේම කියා අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නා ලෙසයි. අවුරුදු 30 ක් තුළ මා ලබාගත් සංගීත දැනුම සහ අත්දැකීම් තමයි මම ඔවුන්ට ලබා දෙන්නේ. මම සංගීතය පිළිබඳ දැනුම ලබා ගත්තේ කේමදාස මාස්ටර්, රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාරගෙන්. මා ගාව ඉන්න ගෝල පිරිස ඉහළ බුද්ධියෙන් මට්ටමක සිටින අය. ඒ නිසා ඔවුන් ඉක්මනින් මා කියන දේ ග්‍රහණය කරගන්නවා. ඒ නිසා ඔවුන්ට උගන්වන්න ලෙහෙසියි.
බොහෝ අය උනන්දු වන්නේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරලා එක රැයකින් ජනප්‍රිය වෙන්න. එහෙත් මම මගේ ගෝලයන්ට උපදෙස් දෙන්නේ තමන්ටම කියලා ගීත නිර්මාණයක් කරගන්න කියලා. ඒ අනුව තමයි ඉදිරියේදී මගේ ඇකඩමිය හරහා ගීත ඔවුන්ගේම ගීත එළිදක්වන්නේ. ඔවුන්ට ගීත රචනා කරදුන්නේ බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ, වසන්ත දුක්ගන්නාරාල, සෝමලතා හේරත් මැණිකේ, ජැක්සන් ඇන්නති, බුද්ධිකා අබේවික්‍රම සහ මැණික්පුර කිත්සිරි යන ප්‍රවීණයන්. ඒ සඳහා නියමිත මුදලම අයකළේ නැහැ. මා නිසාම ඔවුන් ඉතාමත් අඩු මුදලකට ඒ ගීත රචනා කර දුන්නා. ඒ නිසා මගේ ගෝලයන්ට ලැබුණේ ලොකු සහනයක්. වෙන අයට නම් ගීත ලියාගන්න විශාල මුදලක් රැගෙන ගීත රචකයන් සොයා යාමට සිදුවෙනවා. එහෙත් මගේ ගෝලයන්ට ගීත ඉතා පහසුවෙන් ලැබුණා.
ඒ ගීත එළිදැක්වීමේ උත්සවය සඳහා තමයි අපි මේ දිනවල සැරසෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා සවස 2 .00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. එදාට කලා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් විශාල පිරිසක් සහභාගී වෙනවා. ර්‍ථපචඤඥඥන එඪබඩ ර්‍ණජඥඵබපච නමින් වාදක ශිල්පීන් හයදෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ ගායනා සඳහා සංගීතය සැපයෙනවා. වැඩසටහන මෙහෙයවන්නේ මහේෂ් නිශ්ශංක. මගේ ගෝලයන් ගායනා කරන ගීත සියල්ල පටිගත කරන්න මට විශාල සහයෝගයක් ලබා දුන්නේ සංගීතවේදී මහින්ද බණ්ඩාරයන්. මම මේ අවස්ථාවේ ඔහුව ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. මේ පටිගත කළ ගීත ඉදිරියේදී ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය සඳහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් සහ බොහෝ අයට නොලැබෙන අවස්ථාවක්. නිසියාකාරයෙන් පුහුණුව ලබා, සංගීතය ගැන දැනුමක් ලබා අවසානයේ තමන්ගේම ගීතයක හිමිකරුවෙකු වීමට ලැබීමත් වාසනාවක්.
නයනාංජලි දෙහිපිටිය
