වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
ආදරය හා සැකය අතර ගැටුම මෙහි තේමාවයි
‘තෙත් සහ වියළි, අරුංගල්, ර්‍ණදඥ එචර, තාත්තා’ වැනි විශිෂ්ට ටෙලි නිර්මාණ මෙන්ම අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූ ‘විෂම භාග’ සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළ කෘතහස්ත ටෙලි සිනමා අධ්‍යක්ෂවරයකු වන ලලිත් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය වන ‘ජීවිතයේ එක් දවසක්’ (ර්‍ණදඥ ච්චර ඪද ඹ්ඪටඥ) ඉකුත්දා සිට විකාශය ඇරැඹීය. ලලිත් රත්නායකගේ සිනමා ටෙලි නිර්මාණ භාවිතය පිළිබඳවත් ඔහුගේ නවතම ටෙලි නාට්‍යය වන ‘ජීවිතයේ එක් දවසක්’ පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් ඔහු සරසවිය හා මෙසේ එක්විය.
ඔබේ නවතම ටෙලි නිර්මාණය ‘ජීවිතයේ එක් දවසක්’ (ර්‍ණදඥ ච්චර ඪද ඹ්ඪටඥ) කියන්නේ කුමක්ද...?
ආදරය හා සැකය එකිනෙකට වියුක්ත කළ නොහැකි ප්‍රපංචයක්ද, විශ්වාසා පරමා ඥාතී" කියන සත්‍යයට අනුව සැකය හට ගන්නාවූ අවිශ්වාසය , ආදරය ඇති තැනක තිබිය නොහැකිද යන්න ‘ජීවිතයේ එක් දවසක්’ සඳහා මම සරලව තේමා කොටගත් ප්‍රස්තුතයයි.
‘ජීවිතයේ එක් දවසක්’ සඳහා වස්තුබීජය සපයාගන්නේ කෙසේද...?
අපේ ජීවිතවලත් මේවා අඩු වැඩි වශයෙන් තිබෙනවා. වටපිටාවේ බොහෝම සුලබයි.
ඔබේ අනෙක් නිර්මාණ හා සසදද්දී මෙහි තිබෙන විශේෂත්වය....?
මගේ නිර්මාණ සඳහා පාදක වූ තේමා එකිනෙකට වෙනස්. නමුත් ඒ රචනා රූපභාෂාවට ගෙනඑද්දී මට ආවේණික මගේ හැඩයක් එහි තිබෙන්න පුළුවන්. ‘ජීවිතයේ එක් දවසක්’ මෙතෙක් ප්‍රේක්ෂකයෝ විසින් මාව හඳුනාගත් ආවේණික හැඩයෙන් මඳක් ඔබ්බට ගිහින් කළ නිර්මාණයක්. මෙහි රැඳී ඉන්නනම් පවතින තත්ත්වයට යම් ප්‍රමාණයකට අපටත් අනුගත වෙන්න සිදුවෙනවා.
මෙහි රංගනයේ යෙදෙන පිරිස සිහිකළොත්..?
බිමල් ජයකොඩි මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරනවා. ඊට අමතරව කලණි දොඩන්තැන්න, සුමින්ද සිරිසේන, පුබුදු චතුරංග, සමනලී ෆොන්සේකා, නයනතාරා වික්‍රමාරච්චි ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා.
අසනීප තත්ත්වයෙන් සිටින සුමින්ද සිරිසේන මහතා වසර කිහිපයකට පසුව නේද රංගනයට පිවිසෙන්නේ....?
අවුරුදු 12කට පසුවයි එතුමා රඟපාන්නේ. ශාරීරිකව යම් දුර්වල තත්ත්වයක් තිබුණත් එතුමාගේ මතක ශක්තිය බොහොම හොඳයි.එතුමාට විශාල සතුටක් වුණා අපි සමඟ පසුගිය දිනවල සිදුකළ රූගතකිරීම්
‘ජීවිතයේ එක් දවසක්’ හි නිෂ්පාදන අර්ථපතීත්වය ගැන සඳහන් කළොත්....?
දීර්ඝකාලීන ඇසුරක් තිබුණු මගේ පාසල් මිත්‍රයෙක් මෙවර මට අර්ථපතීත්වය සලසනවා. ඔහු චානක විමලසිරි.
මෙවැනි කාලයක ටෙලි නිර්මාණයක් කර විකාශනය කිරීම අභියෝගයක් නෙවෙයිද...? පැහැදිලිවම අභියෝගයක්. අපි ඉහත කාලයේ නිර්මාණය කළේ අපේ හිතුමනාපයට අපට හැඟෙන පරිදි . මෙවරත් මම එහෙමයි කළේ. නමුත් එහි යටි හරයක් ඇති නිසා වෙන්න පුළුවන් එය ස්වාධීන රූපවාහිනියෙන් භාරගත්තේ. ඊට මම ස්තුතිවන්ත වෙනවා වත්මන් සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනියේ කාර්ය මණ්ඩලයට. නමුත් ඉදිරියට අපේ ඕනෑඑපාකම්වලට ටෙලිනාට්‍ය කරන්න අමාරුවෙයි. වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ මනදොළ සැපිරිය හැකි ටෙලිනාට්‍ය කළොත් තමයි විකාශනය සඳහා ඇති බිය මගහැරගන්න පුළුවන් වෙන්නේ.
අද වෙද්දී තිබෙන මෙගාරැල්ල සහ 90 දශකයේ උසස් ටෙලි නිර්මාණ ගැන ඔබේ මතය...?
ටෙලිනාට්‍ය කියන සන්නිවේදන කාර්යයෙන් සමාජ විඥානයට කළ හැකි බලපෑම සුළුපටු නොවන බව දැන් අපට ඔප්පු වෙමින් පවතිනවා. එදා ගැඹුරු ප්‍රස්තුත මූලික කරගෙන ටෙලිනාට්‍ය නිර්මාණය වුණා. එකල නිර්මාණකරුවන් දැන හෝ නොදැන පවතින ජන සමාජයේ මිනිස් මනස දූෂණය කළේ නැහැ. ඒ නිර්මාණවලින් සැබැවින්ම ජනවිඥානය පෝෂණය වුණා. නමුත් දැන් ස්වතන්ත්‍ර නිර්මාණකරුවෝ අල්පයි. රචකයෝ බොහෝවිට කරන්නේ අපේ නොවන සංස්කෘතීන්වල නිර්මාණය වන කතන්දර නරඹලා ඒවා අපට ගැළපෙන පරිදි නැවත ලියනවා. නමුත් ඒවා ගළප්පවන්න බැහැ . අවාසනාවකට ප්‍රේක්ෂකයෝ ඒවා භාරගන්නවා. ඒ හේතුවෙන්ම ජනසමාජය විපරිණාමය වීම ඉතා වේගයෙන් සිදුවෙමින් පවතිනවා. රූපවාහිනිය වාණිජකරණය වීම නිසා මේ තත්ත්වය දැන් වැළක්විය නොහැකි තත්ත්වයට පත්වෙලා.
ඔබේ පළමු සිනමාකෘතිය ‘විෂමභාග’ අන්තර්ජාතික සම්මානයට ලක්වුණා. එහෙත් එය මෙරට ප්‍රේක්ෂකයා අතරට යාමේ අඩුවක් තිබුණා නේද....?
කොරෝනා සමයේ තමයි මේ චිත්‍රපටය මුදාහරින්නට අපට සිදුවුණේ. ඒකත් එක්තරා බලපෑමක් වුණා. නමුත් සාපේක්ෂව බලද්දී සතුටු වියහැකි යම් ප්‍රතිශතයක් චිත්‍රපටය නරඹලා තියෙනවා .
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයේ තිබෙන ස්ථානය ගැන තෘප්තිමත් විය හැකිද...?
මා දන්නා තරමින් අපට එහෙම ස්ථානයක් නැහැ.
සිනමාකරණයේදී ඔබ ගුරුකොටගත් අධ්‍යක්ෂවරු, සිනමා නිර්මාණ මොනවාද ..?
මම ප්‍රියකරන ලාංකේය සිනමා අධ්‍යක්ෂවරු අතර ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා, ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙන්ම ආචාර්ය ලෙස්ටර් මහත්මා ඇතුළු පිරිසක්ම ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ අතර මම ප්‍රියකරන නිර්මාණ තිබෙනවා.
ඔබේ කෙටි වාර්තා චිත්‍රපටකරණය ගැන සඳහන් කළොත්....?
මම රූපවාහිනිය වෙනුවෙන් කළ ඒකාංගික නිර්මාණ තිබෙනවා . වාර්තා චිත්‍රපටත් මම කරලා තියෙන්නේ රූපවාහිනිය වෙනුවෙන්. නමුත් ඒවා විශාල කතාබහකට ලක්වූ ඒවා නෙවෙයි.
සිනමාශාලා සංස්කෘතිය සේදීයාමත් නව තාක්ෂණික ක්‍රම තුළින් (ව්ඥබටතඪය, රධභ බභඡඥ වැනි සමාජ මාධ්‍ය) චිත්‍රපට නැරඹීමත් ගැන ඔබ දකින්නේ කෙසේද....?
වෙනස්වීම නතර කරන්න බැහැ. ඒක සදාකාලිකයි. සිනමාශාලා සංස්කෘතිය නැතිවෙලා වෙනත් සිනමා සංස්කෘතියක් බිහිවෙන්න නියමිතයි. එයත් කාලයකදී නැතිව ගිහින් තවත් සංස්කෘතියක් බිහිවේවි.
ඔබ ටෙලි නිර්මාණකරණයේදී ද සිනමාකරණයේදී ද වඩාත් තෘප්තිමත් ....?
සිනමා නිර්මාණකරණයේදී
ඔබේ ටෙලිනිර්මාණවලින් විශේෂත්වයක් තිබෙන නිර්මාණයක් තිබේද.? එසේනම් එයට හේතුව..?
‘තෙත් සහ වියළි’ නිර්මාණය. හේතුව ඒක තවමත් මට බලන්න පුළුවන් නිසා..
‘තෙත් සහ වියළි’ සමාජ මාධ්‍යයේ නැරඹිය හැකිද....?
විශාල පිරිසකගේ ඉල්ලීමක් තිබෙනවා ඒකට. ඒ ඉල්ලීම අනුව ‘තෙත් සහ වියළි’ පසුගියදා යූ ටියුබ් මාධ්‍යයෙන් මුදාහැරියා.
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද....? ආරම්භය පාසල් වේදිකාව. යළිත් එතැනට යන්න මට කාලයක් එන එකක් නැහැ.
ඔබ දෙස් විදෙස් සම්මානයට ලක්වුණා. සම්මානත් හිමිවුණා. ඒ ගැන සිහිකළොත්.....?
සම්මාන හැටියට ගත්තොත් 56ක් විතර මගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘විෂමභාග’ සඳහා ලැබුණා. ෂැංහයි, ගෝව සහ ඉරාන් අන්තර්ජාතික සම්මාන උළෙලවලට තෝරාගැනීම ඒ අතරින් අපට විශේෂයක් වෙනවා.
ආධුනික රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන ඔබේ මතය...?
ආධුනිකයන් කලකදී ලොකුවෙනවානේ. මේගොල්ලෝ එහෙම ලොකුවෙන පාටක් නැහැ. කලාතුරකින් එහෙම අයත් නැතුවා නෙවෙයි.
ඔබ නිර්මාණයකට වස්තුබීජ සපයාගන්නා ආකාරය පැහැදිලි කළොත්....?
මගේම ජීවිතයෙන් නැත්නම් සමාජය තුළ හමුවන මනුෂ්‍යත්වයේ චෛතසික ධර්ම මැනවින් විශද කළහැකි ප්‍රස්තුතයන්.
ඔබේ ටෙලි නිර්මාණ තුළ රූපයට වැඩි අවධානයක් දෙන බව පේනවා.එහි සිනමාත්මක ගැඹුරක්ද අප දකිනවා ..?
(තෙත් සහ වියළි, ර්‍ණදඥ එචර, අරුංගල්, තාත්තා වැනි නිර්මාණ ) මම රචනයේදීත් එය රූපයට හැරෙනහැටි හිතනවා. රූපය සඳහානේ තිර රචනා ලියන්නේ. රූපයෙන් තොර සිනමාවක් නැහැනේ. එතකොට රූපය නොදැන සිනමාව කරන්නේ කොහොමද ..? රූපය, දර්ශනතලයට ගිහින් ක්ෂණිකව තීරණය කළහැකි දෙයක් නෙවෙයි කියලයි මට හැඟෙන්නේ. අපි මේ රූප භාෂාව තුළින් කියන්න උත්සහ කරන ප්‍රකාශනයට ඝෘජුවම ඒ ප්‍රකාශනය සිදුවන රූපය බලපෑමක් කරනවා. ඒ නිසා මම රූපය ගැන සැලකිලිමත් වෙනවා.
‘ජීවිතයේ එක් දවසක්’ නිමාවූ පසු ඔබේ ඊළඟ පිම්ම කුමක්ද......?
මම මගේ දෙවැනි චිත්‍රපටය කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. එහි අර්ථපතීත්වය දරන්නේ ප්‍රභාත් රෝෂන්.
ඔබේ පවුලේ විස්තර කිව්වොත්....?
මගේ බිරිඳ චින්තනී. පුතා සෙනෙරු. මමයි බිරිඳයි පුතයි අපේ පවුලේ ජීවත්වෙන්නේ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ